ඔබ මොහොතක් සිතන්න. අපි අවිද්‍යාව නිසා මොනතරම් වැරදි දෘෂ්ඨිවල ඉන්නවාද කියලා. ඔබට සිතෙන්නේම “දැන් ශාසනයෙන් වසර දෙදහස් පන්සීයක් ගෙවිලා අවසන්, දැන් ශාසනය අතුරුදන් වන යුගය, ධර්මය අවබෝධකර ගැනීමට මේ වකවානුවේ නොහැකියි. පිනක් දහමක් කරගෙන, පාරමී සම්පූර්ණ කර ගැනීමයි කළ යුත්තේ” කියලා.
මේ සියලුම දෘෂ්ඨීන් අවිද්‍යාව නිසා ඇතිවන ඒවාය. සමාජය දෙස බැලීමේදී අපි දකින්නේ විකෘති ස්වභාවයන්ය. අනාගතයේදී ඇතිවන විකෘති ස්වභාවය ගැන කොසොල් රජතුමාගේ සිහින විස්තර කිරීමේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මනාව පෙන්වා දී ඇත. වර්තමානයේ අපි කවි බණ, විරිදු බණ, කාලීන බණ, දෙපිට කැපෙන වචන යොදන බණ ආදිය අසන්නෙමු. අනාගතයේදී අපට සින්දුවෙන් බණ කියන ස්වභාවය දැකිය හැකිය. ස්වාමීන්වහන්සේ ධර්මාසනයේ සිට ධර්මගීතය ගායනා කරන විට ඒ අසළ සිටින සංගීත කණ්ඩායම එම ධර්ම ගීතයට සංගීතය සපයනු ඇත. මේවා ජනතාව අතර, විශේෂයෙන්ම තරුණ පරපුර අතර, ඉතා ජනප්‍රියභාවයට පත්වේ. ජනතාව, තරුණ පරපුර ධර්මයට යොමු කිරීම සඳහා පාලකයන් ද, මාධ්‍යය ද තව තවත් ධර්ම ගීත ප්‍රචලිත කරනු ඇත. මේවාට ඔබ කලබල විය යුතු නැත. මේවා ලෝකයේ ස්වභාවයන්ය. අපි කලබල වියයුත්තේ මෙසේ නොවුනහොත්ය.
අපි කළ යුත්තේ ලෝකයේ මෙම ස්වභාවය හඳුනාගෙන ලෝකයෙන් මිදීයැමට වෙර දැරීමය. ලෝකයේ ස්වභාවය අපට වෙනස් කළ නොහැකිය. ඔබ මේවාට ගැටුනහොත් ඔබ ගැටෙන්නේ ධර්මය සමඟය. ලෝක ස්වභාය සමඟය. අප කළ යුත්තේ ගැටීම නොව අවබෝධ කරගැනීමය. ඔබ අතීතයද, අනාගතයද අතහැරිය යුතුය. වර්තමානය තුළ පමණක් ජීවත්විය යුතුය. නිවන් මඟ වඩන්නා යනු වර්තමානය තුළ ජීවත් වෙන්නාය. හෙටක් ගැන බලාපොරොත්තුවක්, ඊයේ ගැන පසුතැවීමක් ඔහුට නැත. වර්තමානය තුළද ඔහු දැකිය යුත්තේ මොහොතකින් අතීතයට යන, මොහොතකට පෙර අනාගතය වූයේ වර්තමානය බවයි. එසේනම් වර්තමානය ද මායාවකි, මුලාවකි. එය නිරතුරුවම වෙනස් වෙයි. කාලය වෙනස්වීම අවබෝධයෙන් දකින්නා කාලසටහන්වලින් ඉවත්වේ. කාලසටහන් පාවිච්චි කළ හැක්කේ එකිනෙකට වෙනස් විෂයන්ටය. එහෙත් විශ්වය තුළ ඇත්තේ එකම විෂයකි. එකම පාඩමකි. එය නම් අනිත්‍යයයි.
ඔබ ජීවත්වන්නේ ද අනිත්‍යය තුළය. එහෙත් ඔබ එය නොදනී. අනිත්‍යභාවය නිසා ඇතිවන දුක නැති කරගැනීම සඳහා ඔබ වෙහෙසේ. ඔබ තුළ ඇති තරගකාරීත්වයද, වේගයද, අනිත්‍යභාවය නිසා ඇතිවන දුක අවසන් කරගැනීම සඳහා ඔබ ගන්නා ව්‍යයාමයේ ප්රතිඵලයකි. ජීවත්වීම යනුවෙන් ඔබ කරන්නේ ඔය කාර්යයයි. අබෞද්ධ පිංවතුන්ටද, සියලු සත්වයාටමද මෙය පොදුය. ඔබ සිනාසෙන්නේ සතුටට යැයි ඔබට සිතෙනු ඇත. නැත. ඔබ සිනාසෙන්නේ දුක නැතිකර ගැනීම සඳහාය. ඔබ ආහාර ගන්නේ කය පිනවා ගැනීමට නොව කුසගිනි දුක නැතිකර ගැනීමය. ඔබ ඖෂධ ගන්නේ ශරීරය සතුටු කිරීමට නොව මරණයෙන් බේරීමටය. ඔබ ශරීරයේ සුවඳවිලවුන් තවරා ගන්නේ ශරීරයෙන් හමන දුගඳ දුරුකර ගැනීම ය. ඔබ හිසකෙස් කළුකර ගන්නේද සුදු හිසකෙස් නිසා ඇති වන දුක නැති කර ගැනීමටය. බලන්නකෝ “මම, මගේ” යැයි ඔබ ගොඩගසාගෙන සිටින දුක් කන්දක විශාලත්වය.
හොඳයි ඔබ මෙහෙම සිතන්නකෝ. ඔබ පන්සලට ගිහින් බුදුන්වඳින්නේ අපායට, දුකට වැටෙයි කියලා බයට. එතැනදී ඔබ මොකද කරන්නේ. දිව්‍යලෝක, මනුෂ්‍ය ලෝක ප්‍රර්ථනා කරනවා. බලන්න ඔබ දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරනවා. මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙමින් එම දුකම ප්‍රාර්ථනා කරනවා. අනිත්‍යභාවයට පත්වෙන දිව්‍යලෝක දුකම ප්‍රාර්ථනා කරනවා. පිංකම් කරලා දුකම ප්‍රාර්ථනා කරනවා. පෘතග්ජන සත්වයා අගමුල පැටළුණ නූල් බෝලයක් වගේ යැයි ලොව්තුරා බුදුසමිඳුන් දේශනා කළේ මේ නිසාය. හැබැයි ඔබ නිවීසැනසිල්ලේ වීර්යයෙන් සතියෙන් මේ නූල්බෝලයේ පැටළුම ලිහාගතහොත්, ඔබට එහි අගක් මුලක් මැදක් හොඳට දකින්න පුළුවන්. ලෙහාගන්න පුළුවන්කම තිබීයදීමයි ඔබ මේ පැටලී සිටින්නේ. ඔබ මේ නූල්බොලයේ පැටලිල්ල ලිහාගතහොත් ඔබ නූල්බෝලය නැවත බදාගන්නේ නම් නැහැ. මොකද ඔබ අවබෝධයෙන් දන්නවා නූල්බෝලය පැටළුම් ස්වභාවයෙන් යුක්ත බව. මේ පැටළුම ලිහාගන්න ඔබට කාලය ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබට නිහතමානීකම තිබෙන්න ඕනේ. නිවන් මඟ නිවීමේ ශබ්දකෝෂයේ “අ”යන්න නිහතමානී කමයි. නිහතමානීකම නොමැති කිසිවෙකුට නිවීමේ ප්‍රතිපදාවේ දශමයක්වත් ඉදිරියට යා නොහැකිය. භික්ෂුව ගිහි කාලයේදී කොතැනින්ද, කවුරුන්ගෙන්ද යමක් ඉගෙනගැනීමට හැකි…. ඒ සැමදෙනාටම සවන්දුන්නේය. ජාතිය, ආගම, වයස, තරාතිරම, නොබැලූවේය. ගතයුත්ත ගත්තේය. අත්හලයුත්ත අත්හැරියේය. වරක් භික්ෂුව ගිහිකාලයේදී ප්‍රධාන නගරයක ගමන්කරන විට යාචක මනුෂ්‍යයෙන් දැඩි වේදනාවකින් පෙළෙමින්, තම ගුදමාර්ගයෙන් ඉවතට පැමිණි අඟල් හයක් පමණැති ශරීර අවයවයක් ශරීරය තුළට ඔබනවා දුටුවේය. එය අර්ශස් රෝගයේ දරුණු අවස්ථාවකි. මේ යාචක පිංවතාගෙන්ද භික්ෂුව නිවීමට අවශ්‍ය කලමනා සොයාගත්තේය. කුඩා දරුවෙක්ගෙන් ඔබට යමක් ඉගෙනීමට හැකිනම් ඔබ එය ඉගෙනගත යුතුය. එය කළහැක්කේ නිහතමානීකම තිබුනොත්ය. නිවීමේ මඟ උදෙසා ඔබට මවුකුස පිළිසිඳ වැඩෙන කලල රූපය තුළින් ලැබිය හැකි අවබෝධය, මහා පඬිවරයෙක්ගෙන් ලැබිය නොහැකිය. මන්ද මහා පඬිවරයා පිළිබඳව ඔබට නිවැරදිව අවබෝධය ලබාගන්නට නම් ඔහුගේ කලල අවස්ථාවට, බිළිඳු අවස්ථාවට යායුතු හෙයිනි. මේ දැකගැනීමට ඔබ තුළ නිහතමානීකම තිබිය යුතුය.
තමා ශිල්වත් බවත්, භාවනාවෙන් ඉහළ තත්ත්වයක සිටින බවත් සිතමින්, මහා සංඝරත්නයට නොවඳින පිංවතුන්ද සිටියි. ධර්මය දැනීමට නම් අවම වශයෙන් ඔහු තුළ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබිය යුතුය. සමහරවිට ශීල, සමාධි, භාවනා මාන්නය නිසා මහා සංඝරත්නයට නොවඳින පිංවතුන් සිටින්නේ මිත්‍යාදෘෂ්ඨික භාවයේ වීමටද ඉඩ ඇත. මේවා නිහතමානී නොවීමේ ප්රතිඵලයයි. මහාසංඝරත්නයට නමස්කාර කිරීමට එම පිංවතුන්ට හිස නොනැමෙන්නේ ඒ පිංවතුන්ගේ හිස මාන්නයෙන් බරව ඇති නිසාය. අබුද්ධෝපත්ති කාලයේදීත් පසේබුදුවරු ලොව පහළවී ධර්මය අවබෝධ කරගෙන නිවන් දකිති. උන්වහන්සේලා මනුෂ්‍ය ලෝකයේ මව්කුසක උපත ලබා ගන්නේ සංසාරයේ පුරණ ලද පාරමී ශක්තිය අධ්‍යාත්මය තුළ දරාගෙනයි. සංසාරයේ පුරණ ලද අනිත්‍යසංඥාවේ ඉව උන්වහන්සේලාගේ අධ්‍යාත්මය තුළ සැඟවී තිබෙනවා. උන්වහන්සේලා තනිවම, හුදෙකලාවේ වනගතව ධර්මය අවබෝකර ගන්නවා. හැබැයි අවබෝධකරගත් ධර්මය පසේ බුදුවරු විසින් ජනතාවට දේශනා කරන්න යන්නේ නැහැ. ඒ උන්වහන්සේලාට දේශනා කිරීමේ ශක්තිය, අවබෝධය නැති නිසා නොවෙයි. ධර්මය අවබෝධය ලැබුවා කියන්නේ එහි ස්වභාවය දැක්කා කියන එකයි. ධර්මයේ ස්වභාවය දැක්කා නම් එය දේශනා කරන්න බැරිවෙන්න බැහැ. ඔබ පිටකොටුවට ගියානම් ඔබ දන්නවා බස්නැවතුම, දුම්රියපළ, බෝසමිඳුන් කොතැනද සිටින්නේ කියලා පිටකොටුවේ ස්වභාවය ගැන කියන්න. ඔබට එය කියන්නට බැරිනම් ඔබ නියත වශයෙන්ම පිටකොටුවට ගිහින් නැහැ. පසේබුදුවරු තමා අවබෝධකරගත් ධර්මය අනුනට දේශනා නොකරන්නේ ධර්මය අවබෝධයට තබා, ධර්මයට ගරුකිරීමටවත් විශමවූ, පාපකාරී, මිත්‍යාදෘෂ්ඨික අබුද්ධෝත්පාද කාලයකදී කෙනෙකු නොමැතිවීමයි. පසේබුදුවරු එවැනි කාලයකදී එවැනි මිනිස් සමාජයකට ධර්මය දේශනා කිරීමට ගියහොත් එම සමාජය පසේබුදුහිමිට “පිස්සෙක්” යැයි පරිභව කරනු ඇත. පහරදෙනු ඇත. මෙවැනි හේතූන් නිසා මිනිසා රැස්කරගන්නා අකුසල්වල ප්‍රමාණය උන්වහන්සේලා හොඳින්ම දනියි. ඒ නිසා පසේබුදුරජාණන් වහන්සේලා වනයේ හුදෙකලාවේ වැඩසිටිමින් පිරිනිවීයති. උන්වහන්සේලා මිනිසාට දේශනා කිරීමට නොයන්නේ ඔවුන් කෙරෙහි ඇති කරුණාව, මෛත්‍රිය නිසාමය. මෙවැනි විශම කාලවලදීත් පසේබුදුවරු ධර්මය අවබෝධ කරගන්නේ නම්, ධර්මය අවබෝධ කරගැනීමට කාලය ප්‍රශ්නයක් නොවේ. ප්රශ්නය ඇත්තේ ධර්මය අවබෝධකර ගැනීමට ඔබ කාලයට භාරදීමයි. කාලය තුළ ඇත්තේද වෙනස්වීම, ගෙවීයාම පමණක්මය. අතීතයද, වර්තමානයද, අනාගතයද නිරතුරුවම වෙනස්වන, අනිත්‍යයට පත්වන ස්වභාවයන්ය. මෙතුවක් කලක් සංසාරයේදී කාලය විසින් ඔබව රවටා ඇත. ඔබව රැවටීමට කාලයට උදව් කළේ අවිද්‍යාවයි. නිත්‍යභාවයේ නැති අනාගතයකට, ධර්මාවබෝධය ලැබීම භාර කරන පෘතග්ජන සත්වයා දිය පිපාසයෙන් මිරිඟුව පසුපස දිවයන මුවෙක් සේ නැති අනාගතයක් පසුපස දිවයයි. ඔහු දිවයන වේගයෙන්ම ඔහු සොයන අනාගතයද අවිද්‍යාව විසින් ඉදිරියට දුවවනු ඇත. මේ අවිද්‍යාවෙන් ඔබ නොමිදුනොත් දිවීමත්, හතිදැමීමත්, දුකත් හැර ඔබට අනාගතයක් හමුනොවනු ඇත. කල්ප ගණනක සිට අනාගතයට දිවයමින් හතිදමමින් මේ මොහොතේ ඔබ සිටින්නේද එම ස්වභාවයේමය. මේ මොහොතේද ඔබ නිවන්මඟ වැඩීම කල්දමා ඇත. සමහරු මෛත්‍රී බුදුසමිඳුන් දැක නිවන් දැකීම පිණිස කල්ප ගණනක් අනාගතයට ගොස් ඇත. නැති අනාගතයක් ඉලක්ක කරමින්, ධර්මය අවබෝධකර ගැනීමට ඔබ ලැබූ මේ උතුම් අවස්ථාව අපතේ හැරීමකි ඔබ මේ කරමින් සිටින්නේ.
අවබෝධය අතින් ඔබ මෙතැනැයි සිටින්නේ කියලා අධිතක්සේරුවකට එන්න එපා. මොකද ඔබ මෙතැනයි ඉන්නේ කියලා කියන්න ස්ථිර, වෙනස් නොවන තැනක් ලෝකයේ නැහැ. ඔබට, මම මෙතැන සිටිනවාය කියලා රැඳීසිටින්න බැහැ. ඔබට එහෙම සිතෙනවානම් ඔබ සිටින්නේ අන්තිමයාටයි. ඔබට ප්‍රථමයා වෙන්න නම්, ඔබට දැනෙන්න ඕනේ ඔබ සිටින්නේ අනිත්‍යය තුළයි කියලා. ස්ථිර තැනක් නැති ලෝකයේ ඔබ කළ යුත්තේ ස්ථිර තැන් සෙවීමට නොව අස්ථිර ලෝකයෙන් මිදීයැමය. කාලය තුළ අතීත, අනාගත වර්තමාන වශයෙන් ස්ථිර යමක් නොමැත. කාලය යනු අනිත්‍යයයි. එනිසා කාලය, වේලාව ඔබ අත්හරින්න. එවිට අතීත, අනාගත, වර්තමාන තුන් කාලයම ඔබට අතහැරේවි. ඔබට එසේ දකින්නට බැරිනම් ඔබ සිතන්න, සංසාර ගමන්මගේ ඔබ ගතකරන මේ මොහොත හොඳම කාලය බව. ධර්මය අවබෝධකරගැනීම පිණිස මෙවැනි කාලයක් තව කල්ප ගණනාවකට ඔබට නොලැබේවි. ඉක්මනින් හිතන්න. වර්තමානය අතීතයට යනවා. අනාගතය වර්තමානය වෙනවා. ඔබ නැති අනාගතයක් දකිමින් දුක සමඟ පෙරටම යනවා. අනාගතය, අනාගතය…. කියලා මාරයා ඔබට ලොකු කැරට් අලයක් දික්කරනවා. දුක සැපක් කරගත්ත, සැප බලාපොරොත්තුවක් කරගත්ත අපි මේ යන්නේ නැති අනාගතයක් සොයාගෙන.