මේ ලිපිය පින්වත් ඔබට සටහන් තබන්නේ නොවැම්බර් 26 වැනිදා. වේලාව සවස පහට විතර ඇති. කුටියට යාබද කැලෑ තීරයට එපිටින් පිහිටි වෙල් යායේ, නිරතුරුව ම ගැවසෙන මීහරක් රංචුව පාලනය කරන ගොපලු දරුවාගේ කටහඬ භික්ෂුවට හොඳින් ඇසෙනවා. මීහරක් රංචුව හැසිරවීමේදී ගොපලු දරුවා, භාවිත කරන්නේ අමුතුම භාෂාවක්. විවිධ ශබ්ද නඟමින්, ඔහු මීහරකුන් තමන්ට අවශ්‍ය දිශාවට යොමු කරනවා. අහිංසක ගොපලු දරුවාගේ මුවින් නික්මෙන හඬ ඇසෙද්දී ඒ හඬ භික්ෂුවට ඇසෙන්නේ මීහරකෙක්ගේ අඳෝනාවක් වගේ මයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ, ‘තෘෂ්ණා පච්චයා උපාදානං’ කියන ධර්මතාවයේ ඒහිපස්සික ගුණයයි, භික්ෂුව එම ගොපලු දරුවා තුළින් දකින්නේ. තම ජීවිකාව උදෙසා මීහරක් රංචුව තෘෂ්ණාවෙන් උපාදානය කොටගත් නිසාම, එම සත්ත්ව උපාදානයන්ට අදාළව එම රුව ගුණ සහිත චේතනාවන්ගෙන් ජීවිතය බැඳී යනවා. යම් හෙයකින්, මේ ගොපලු දරුවා, මරණාසන්න මොහොතේ මීහරක් සත්ත්ව උපාදානයට බැඳී ගියොත් ධර්මානුකූලව ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතය, මීහරකෙක් ව ඉපදෙන්න හොඳටම ඉඩ තිබෙනවා. නිරතුරුව ම කුටිය අවට තණකොළ බුදින්න පැමිණෙන මීහරක් දකිද්දී භික්ෂුවට සිතෙන්නේ, මේ මීහරක් පෙර ජීවිතවල, අනුන්ට ගොඩක් ණය වෙලා තිබෙනවා. ණය අරගෙන එම ණය නොගෙවා හැරලා තිබෙනවා. ණය අරගෙන වංචාවන් කරලා තිබෙනවා. දරුවෙක් තම දෙමාපියන්ට ධර්මානුකූලව යුතුකම් ඉටු කරන්නේ නැත්නම්, තමන් ඉපදුණු රටට, ජාතියට, ආගමට යම් පින්වතෙක් ධර්මානුකූලව, යුතුකම් ඉටු කරන්නේ නැතිනම් අපි ණයකාරයෝ වෙනවා.
වර්තමාන සමාජයේ තම යුතුකම් ඉටු කරලා, ණයෙන් මිදෙන පින්වතුන්ලාට වඩා තම යුතුකම් වගකීම් පැහැර ඇරලා, ලෝකයට පෙරළා ණය වෙන පිරිස ඉතාමත් වැඩියි. අපි ලෝකයෙන් යුතුකම් අකුරට බලාපොරොත්තු වුණත්, පෙරළා යුතුකම් ඉටුකිරීමේදී අපි හුඟක්ම දුර්වල වෙනවා. පසුගිය දවසක භික්ෂුවට පිණ්ඩපාතය බෙදන්න වැඩිහිටි පාසල් දරුවෙක් පැමිණියා. එම දරුවාගේ කොණ්ඩය අවශ්‍ය ප්‍රමාණයට වඩා හුඟාක් වැවිලයි තිබුණේ. භික්ෂුව එම දරුවාගේ පියාගෙන් විමසුවා, ඇයි මේ දරුවා කොණ්fඬ් වවාගෙන සිටින්නේ කියලා. එවිට එම පින්වත් පියා කියනවා, දැන් කාලයේ ළමයි තම හිසකෙස් වැඩිපුර වවනවාය කියලා. භික්ෂුව එම තාත්තාගෙන් විමසුවා දරුවන්ට හිසකෙස් අනවශ්‍ය ලෙස, සකස් කොට ගෙන පාසලට එන්න අවසර දෙනවද කියලා. එම තාත්තා කියනවා දැන් විදුහල්පතිවරුන් දරුවන්ට බයයි. එම නිසා පාසලෙන් අවශ්‍ය අවවාදයන් ලැබෙන්නේ නැහැය කියලා.
අනාගත පරම්පරාව විනයගරුක භාවයට පත් කරන, දරුවෙක්ගෙ දෙවැනි අම්මා වෙන්නේ, පාසලේ විදුහල්පතිතුමා සහ ගෞරවනීය ගුරු මණ්ඩලයයි. දස මසක් කුසේ දරාගෙන ලොවට බිහිකළ දරුවෙක්, පළමු අම්මා විසින් පෝෂණය කරන්නේ රුධිරය කිරි බවට පත් කරලා. මවකගේ මෙත්තා, කරුණා, මුදිතා උපේක්ෂා ගුණයන්ට පුලුවන් රතු රුධිරය සුදු පැහැති මවුකිරි බවට පත් කරන්න.
පාසල් ජීවිතය, යහපත් විනයගරුක පුරවැසියෙක් සමාජගත කළ යුතු වුවත්, වර්තමානයේ කුමක් ද සිද්ධ වෙන්නේ. දරුවෙක්ගේ දෙවැනි අම්මා වන පාසල විසින් සමහරක් ගුරුතුමන්ලාගේ වගකීම් පැහැර හැරීම විසින්, දෙවැනි අම්මා දරුවන්ට පොවන අධ්‍යාපනය නමැති මවුකිර, කාමච්ඡන්දයන්ගෙන් බියෙන්, සැකයෙන්, අවිනයෙන්, පංචනීවරණ ධර්මයන්ගෙන් ම පෝෂණය වෙලා. ඒ නිසාම ධර්මානුකූල හේතුඵල ධර්මයන් නොදන්නා භාවයෙන් සමහරක් පාසල් බලධාරීන්, ජාතියේම ණයකාරයන් බවට පත් වීමේ ධර්මානුකූල අනතුරේ කොටස්කරුවන් දිශාවට ගමන් කරනවා.
පාසල් පද්ධතියේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමේ, වැඩිම වගකීම තිබෙන්නේ දරුවන්ගේ දෙමාපියන්ට. භික්ෂුව මේ මොහොතේ වැඩ සිටින ගම්මානයේ තිබෙනවා, දරුවන් සියයක් පමණ අධ්‍යාපනය ලබන පාසලක්, මෙම පාසලට සහ දරුවන්ට ආදරෙන් හිටපු විදුහල්පතිතුමා, දැන් පාසලේ නැහැ. පාසල් කාලයේදී දරුවෙකුගේ වරදකට පහරක් ගැසුවාය කියලා, දරුවාගේ දෙමාපියන් අදාළ බලධාරීන්ට පැමිණිලි කරලා, එම පාසලට ආදරය කළ විදුහල්පතිතුමා වෙනත් පාසලකට මාරු කරලා. භික්ෂුවට හොඳටෝම විශ්වාසයි. දරුවන්ට, දෙමාපියන්ට පාසලට, ආදරය කරපු එම විදුහල්පතිතුමා වර්තමානයේ මේ සියල්ලටම ද්වේශ කරනවාය කියලා. අනාගතයට දැනුමෙන්, තාක්ෂණයෙන්, විනයෙන් පෝෂණය වෙන සමාජයක් බිහිකරන ගුරුවරයා නමැති දෙවැනි අම්මාගේ ගුණාත්මකභාවය ඇති කොට ගැනීමේ වගකීම, පින්වත් දෙමාපියන් සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. ගම්වල, නගරවල දෙමාපියන්ගේ පුලුවන්කාරකම් ගුරු වෘත්තියේ ආත්ම ගරුත්වයට ඇඟිලි ගැසීම සුදුසු නැහැ.
යම් පින්වතෙක් ලබන්නා වූ ආදායම කියන්නේ, වැටුප කියන්නේ, හේතුඵල ධර්මයක්. අතීතයේ අපි දුන්න දෙයයි වර්තමානයේ අපි ලබන්නේ. එක් පින්වතෙකුට දෝත පුරා පිරී ඉතිරී යන්න ලැබෙනවා. තවත් පින්වතෙකුට එක අතක් පිරෙන්න පමණයි ලැබෙන්නේ. තවත් පින්වතෙකුගේ දෑත් දෙකම හිස් වෙලා තිබෙන්නේ. කාටවත් අසාධාරණයක් වෙලා නැහැ. අතීතයේ දුන්න දෙය ලැබෙනවා. පින්වතෙක් සිටිනවා, ඔහු අවුරුද්දට එකම වතාවක් පමණයි. දානයක් පූජා කරන්නේ. තවත් පින්වතෙක් සිටිනවා ඔහු මාසයකට වතාවක් දානයක් පූජා කරනවා. තවත් පින්වතෙක් සිටිනවා ඔහු සතියකට වතාවක් පමණයි, දානයක් පූජා කරන්නේ. තවත් පින්වතෙක් සිටිනවා ඔහු දිනපතා දන් පූජා කරනවා. තවත් පින්වතෙක් සිටිනවා ඔහු සෑම නිමේෂයකදීම අවශ්‍ය දෙය, අවශ්‍ය කෙනාට, දන් දෙනවා. අපිම දුන්න දෙයයි පෙරළා අපිට ලැබෙන්නේ. ඔබ ලබන වැටුප කියන්නෙත් හේතුඵල ධර්මයක්. පින්වත් ඔබ දක්ෂ විය යුතුයි. අකුසලයටම යොමුවන සමාජය ඉදිරියේ පින්වත් ඔබ, ඔබගේ රාජකාරිය වෙනුවෙන් ලබන වැටුප, ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන, ධර්මයක් බවට පත් කොට ගන්න.
පින්වත් ඔබ මාසික වැටුප පමණක් ම ලබන කෙනෙක් නම්, ඔබ මාසෙකට එක දවසක් පමණක් දන් පූජා කරපු කෙනෙක්. එහෙම පින්වතුන් ඕනෑ තරම් සමාජයේ ජීවත් වෙනවා. මාසෙකට වතාවක් සලාක දානය පූජා කරනවා නමුත් ස්වාමීන් වහන්සේ නමක් නිවස ඉදිරියට වැඩියත් දානේ හැන්දක් බෙදන්නේ නැහැ. පින්වත් ඔබ මාසික වැටුපට අමතරව දිනපතා අතිකාල දීමනා, ප්‍රසාද දීමනා, දිරි දීමනා සහ වෙනත් ආදායම් ද ලබන පින්වතෙක් නම්, ඔබ පෙර ජීවිතවල නිතිපතා, වේලාව, අවේලාව නොබලා, දන් පූජා කරපු සිල්වතුන්ට උපකාරක ධර්මයන් පූජා කරපු පින්වතෙක් වෙන්න පුළුවන්.
ඉහත සටහනින් පින්වතුන්ලාට සිතෙන්න පුළුවන්, ලෝකය, පංචඋපාදානස්කන්ධ ලෝකය හරිම පුදුමාකාරයි නේද කියලා. ලෝකය තුළ කිසිම පුදුමාකාර දෙයක් නැහැ. ලෝකය හේතුඵල ධර්මයක් පමණක්මයි. පින්වත් ඔබට සිතෙනවා නම්, ලෝකය හරිම පුදුමාකාරයි, ප්රශ්නකාරයි කියලා, ඊට එකම ධර්මානුකූල හේතුව පින්වත් ඔබේ, අවිද්‍යාවේ පුදුමාකාර වර්ධනය පමණක්මයි. අවිද්‍යාව නැතිවෙන තැන, ලෝකය ඔබට හේතුඵල ධර්මයක් මයි.
පින්වත් ඔබ ලබන වැටුපත්, ඔබ ලැබුව වෘත්තියත්, ධර්මතාවයක් නම්, පින්වත් ඔබ ධර්මයට ගරු කරන්න ඕනේ. එවිටයි, ඔබ ම භුක්තිවිඳින ධර්මය තුළින්, කුසලය, මතු කොට ගන්නේ, මේ මොහොතේ ගවගාලේ, වැසි, පිනි, සීතල, සැපයක් ම කොට ගෙන සුවසේ නිදන මීහරක් රංචුව. කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැහැ. ඒ නිසා ම සෑම සැප වේදනාවකට ම ඇලී යනවා. සෑම දුක් වේදනාවකට ම ගැටී යනවා. මේ නිමේෂයේදීත් මී හරක් රංචුව ම, අනාගත පංචඋපාදානස්කන්ධ ලෝකය අකුසලයෙන් ම වර්ධනය කොට ගන්නවා. කොළ පැහැති වියළී ගිය තණපත්, රතුපාට රුධිරය කරගන්න, එම රතුපාට රුධිරය හෙට උදෑසන සුදුපාට ප්‍රණීත මී කිරි බවට පත් කොට ගන්න. අවශ්‍ය හැකියාව සහිතව උපන් මීහරකා, ආදිනවයන් හඳුනන්නේ නැහැ. හඳුනන්නේ ආශ්වාදය පමණක් මයි. වෙල්යායේ තණකොළ බුදින මීහරකා වියළී ගිය තණපත් අනුභව කරලා, අතීත අකුසල් නිසා ම, ලෝකයාට ප්‍රණීත මීකිරි සුදුම සුදු පැහැයෙන් ලබා දුන්නත්, අවසානයේ මස්කඩ මුදලාලිලට කඳුළු පිරි දෑසින් ම, තම ශරීර මාංශයන් පූජා කොට මියැදුනත්, ලෝකය ගැන මුකුත්ම නොදන්නා මීහරකා කවදාකවත් ම ලෝකය හිනස්සන්නේ නැහැ.
වර්තමානයේ පාසල් දරුවන්, අවිනයවාදීන්ව හැසිරෙද්දී පින්වත් දරුවන් ගැන සිතීම පැත්තකින් තබා, හේතුඵල ධර්මයන්ට අදාළව, භික්ෂුව සිතන්නේ, පින්වත් ගුරුවරයා ගැනයි. ගුරු වෘත්තියට ඉහළින් තිබෙන, නිලධාරි සහ දේශපාලන වගකිවයුත්තන් ගැනයි. අපි රාජකාරියක් ඉටු කරලා, මාසේ අන්තිමට වැටුප අතට ගනිද්දී, එම වැටුප ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ වැටුපක් වෙන්න ඕනේ. පින්වත් ඔබ ක්‍රිස්තියානි පින්වතෙක් නම්, එම වැටුප ක්‍රිස්තු ධර්මයේ අර්ථයන්ගෙන් පෝෂණය වූ වැටුපක් වෙන්න ඕනේ. සමාජයේ යම් පින්වතෙක් හොඳ රැකියාවක් නැතිව, ජීවත් වෙද්දී, තවත් සමහරෙක් අඩු වැටුපක් ලබමින් ජීවත් වෙද්දී, රැකියා පෝළිමේ ළතැවෙමින්, ජීවත් වෙද්දී පින්වත් ඔබ ඉහත කඩඉම් සියල්ලක් ම ජයගත්තේ, ඔබේ අතීත කුසල් සංස්කාර ධර්මයන් නිසා මයි. එම නිසා පින්වත් ඔබ ලබන මාසික වැටුප, ආශ්වාදයක් බවට නොව, ආදීනවයන්ගෙන් මිදීම උදෙසා ප්‍රයෝජනයට ගැනීමට දක්ෂ වෙන්න.
අපගේ යුතුකම, වගකීම්, පැහැර හැරීමෙන් අපේ ජීවිත වලට එකතු වෙන සාංසාරික ණයකාරිත්වය, පටිච්චසමුප්පන්නව අපිට විපාක දෙන්නේ අනාගත සාංසාරික ජීවිතයේදී කම්කරුවන්, මෙහෙකරුවන්, පුලන්නන්, යදින්නන් බවට, බර අදින සතුන් බවට, පස්ගෝරස, බිත්තර ලබා දෙන සතුන් බවට පත් කරලා. පින්වත් ඔබ ලබන වැටුපට අදාළව ඔබේ යුතුකම් වගකීම් ඉටු නොකරන අයෙක් නම්, ඔබ පින් කරලා, දිව්‍ය තලයක ඉපදුනත්, මාතලීගේ අශ්ව රථයේ බර අදින දිව්‍ය අජානීය අශ්වයෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. පින්වත් ඔබ ලබන මාසික වැටුප, අනාගත බරපතළ ආදීනවයන් ගෙන් මිදීම උදෙසා ම ඔබ කළමනාකරණය කොට ගත යුතුයි.
පින්වත් ඔබ රාජකාරිය ඉටු කොට, මාසය අවසානයේ, රුපියල් පනස්දාහක වැටුපක් අතට ගන්නවා නම්, එම වැටුප අතට ගත්ත මොහොතේ ඔබ තුළ විශ්වාසයක් ඇති වෙන්න ඕනේ, මම රුපියල් පනස්දාහකට වැඩි සේවයක් සිදු කළාය කියලා. පින්වත් ඔබ වැටුප් දිනයට, ඔබේ හෘද සාක්ෂියත් සමග ඔබ සංවාදයේ යෙදෙන්න. පංචඋපාදානස්කන්ධ ලෝකයේ අධිකරණ, ස්ථාපිතවී තිබෙන්නේ තමා තුළමයි. හේතුඵල ධර්මයන්ට අදාළව, ලෝකයේ සාධාරණම තීන්දු ලබා දෙන සංස්කාර නමැති විනිශ්චයකරුවා ලබා දෙන තීන්දුව, ක්‍රියාත්මක කරන දැනීම් කරුවා වෙන්නේ විඤ්ඤණයයි. තමා, තමාට බොරු කළ නොහැකි, බොරු කළොත් බොරුවත් විපාකයට ම පැමිණෙන, ලෝකයේ අසමසම නීති පද්ධතිය, සංස්කාර නමැති විනිශ්චයකරුවා ලබාදෙන විඤ්ඤාණය නමැති තීන්දුවයි. පින්වත් ඔබ පංච උපාදානස්කන්ධ ලෝකයට බොරු කළත්, වගකීම් යුතුකම් පැහැරහැරියත්, ඔබ තුළ තෘෂ්ණාවේ සැඩ පහර හේතුවෙන් සකස් වෙන, පංච උපාදානස්කන්ධ ලෝකය, වගකීම් යුතුකම් පැහැර හරින්නේ නැහැ. මේ ජීවිතයේ පින්වත් ගුරුවරයෙක්, තම යුතුකම් පැහැර හැරියොත්, ඊළඟ ජීවිතයේදී බර ඔසවන නාටාමි කෙනෙක් කරන්න පුළුවන්.