සැඩ පහර හයකට හසුවී ගලාගෙන යන ‘කඳක්’ නොවන්න!

මේ දිනවල කැලයේ හැම තැනම පුංචි, පුංචි, සුදුපාට මල් පිපිලා. කැලයේ මල් පිපුණහම කැලය හරිම ලස්සනයි. ඒ මල්වල ලස්සන බලන්න කවුරුවත්ම අහල පහලක වත් නැහැ. කැලයේම පිපිලා, කැලය ලස්සන කරලා, ඒ මල් කැලයේ ම පර වෙලා යනවා. බුදුසමිඳුන් ඉදිරියේ ඇති, සත්‍යයේ පූජාසනයක් මත පූජා වෙලා, පරවී යන්න මේ මල් වාසනාවන්ත නැහැ.

මීමැස්සන්ට නම්, මේ මල් සෙල්ලම් බඩු ගානයි, කැලෑ මලේ සුවඳේ ආශ්වාදයෙන් ගුම්, ගුම් හඬ නඟා, මීමැස්සෝ සිත්සේ රොන් උරා බොනවා. මල ගැන වගක්වත් මීමැස්සන්ට නැහැ. රොන් උරා බී සතුටු වුණ මීමැස්සෝ, ආපසු මල දෙස නොබලා ම පියාඹා යන්නේ, තමන්ගේ ම මීවදයට. මලේ රසය මීමැස්සන්ට පූජා කරලා කැලයේ කැලෑ මල්, කැලයේ ම පරවෙලා යනවා. මීමැස්සන්ගේ ආත්මාර්ථකාමී භාවය නිසාදෝ, කැලෑ මලේ පිහිටෙන් පෝෂණය කළාවූ මීවදයත් කවුරුන් හෝ මනුෂ්‍යයෙක් ඩැහැගෙන යනවා.

වනයේ වන මල් පිපෙනවා, මීමැස්සෝ මීවද බඳිනවා, මනුෂ්‍යයෝ මීවද කඩාගන්නවා, අවසානයක් නැති ගමනක්, ලෝකය ඉදිරියේ තිබෙනවා. කාලය වේගයෙන් ගලාගෙන යනවා, ලෝකය අපි ළඟ නතර කරලා.

ලෝකය අපි ඉදිරියේ නතරවී තිබෙනවාය කියලා අපිට පෙනුනත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාවේ සැඩපහර ලෝකය යටකරගෙන ගලාගෙන යනවාය කියලා. පින්වත් ඔබ ඇසෙන් ප්‍රියමනාප රූපයන් දකිද්දී, ඇස හරහා තෘෂ්ණාවේ සැඩපහර ගලාගෙන යනවා. පින්වත් ඔබ කනෙන් කැමැති, අකැමැති ශබ්දයන් අසද්දී, තෘෂ්ණාවේ සැඩ පහර කන හරහා ගලාගෙන යනවා. පින්වත් ඔබේ නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින්, කැමැති, අකැමැති දැනීම් සකස් වෙද්දී, තෘෂ්ණාවේ සැඩ පහර වේගයෙන් ඉහත ආයතනයන් හරහා ගලාගෙන යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත් ඔබේ ආයතන හයේ ඵස්සය තුළින් ගලාගෙන යන, මේ තෘෂ්ණාවේ සැඩ පහරට පටිච්චසමුප්පන්නව භවයෙන් භවයට ඔබව ගසාගෙන යනවා.

පින්වත් ඔබ සිතනවා ඔබ ඉන්නේ සතුටෙන්ය කියලා, ඔබ සිතනවා ඔබ සිටින්නේ තෘප්තියෙන්ය කියලා, ඔබ සිතනවා ඔබ සිටින්නේ ජයග්‍රාහීවය කියලා, ඔබ සිතනවා ඔබ සිටින්නේ විනෝදයෙන්ය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ඔබ, තෘෂ්ණාවේ සැඩ පහරට හසුවී කරවටක් දුක නමැති සාගරයේ ගිලී සිටින පින්වතෙක්ය කියලා.

පින්වත් ඔබ මොහොතක් ඇස් දෙක පියාගෙන දකින්න, තව මොහොතකින් පින්වත් ඔබ, කට, දිව, නහර පිනවන, රස බොජුන්, මත් වතුර සොයාගෙන යන පින්වතෙක් වෙන්න පුළුවන්, පින්වත් ඔබ තව මොහොතකින්, ලස්සන, විසිතුරු, මෝස්තර විලාසිතා සහිත ඇඳුම් පැළඳුම් ආභරණ, සොයාගෙන, සාප්පු සවාරි යන කෙනෙක් වෙන්න පුළුවන්. පින්වත් ඔබ, සති අන්තයේ විනෝදය, විවේකය, සොයාගෙන, ඈත දුරබැහැරක, යන පින්වතෙක් වෙන්න පුළුවන්. සමාවෙන්න පින්වත, ඔබ තෘෂ්ණාවේ සැඩ පහරට අසුව, ගසාගෙන යන පින්වතෙක් බවට පත්වෙලයි සිටින්නේ. ඔබ තුළ සකස් වෙන සෑම ඇලීමේ, ගැටීමේ සිතක් පාසා ම පින්වත් ඔබ තෘෂ්ණාවේ සැඩ පහර වේගවත් කොට ගන්නවා.

කාමයේ කෙටි ආස්වාදයට, රූපයේ කෙටි ආස්වාදයට, සැපය යැයි, තෘප්තිය යැයි, ජයග්‍රහණය යැයි, විනෝදය යැයි රැවටෙන මනුෂ්‍යයෝ ලන්තෑරුම් එළියේ ආලෝකයට ලොල්වී පිච්චී මියයන පළඟැටියන් මෙන් කෙටි සැපය ඉදිරියේ සතුටු වී, දුක ඉදිරියේ පසුතැවෙනවා. දුකත්, සැපත් දෙක ඉදිරියේදී ම, පින්වත් ඔබ තෘෂ්ණාවේ සැඩ පහරට ගසාගෙන යනවා.

ඇස තුළින් කන තුළින් ගලාගෙන යන තෘෂ්ණාවේ සැඩ පහර වේගවත් වෙන්න, වේගවත් වෙන්න සතර අපාය නමැති දිය සුළියේ ග්‍රහණයට ඔබ කොටු වෙන්න පුළුවන්.

කෙටි කාමයේ ආශ්වාදය, කෙටි රූපයේ ආශ්වාදය, ඔබලා හරිම, රැවටිලිකාර ධර්මතාවයන් දෙකක්. මෙය සටහන් තබන භික්ෂුව, ගිහි ජීවිතය තුළ, මේ රැවටිලිකාර ධර්මයන් දෙකට, මොනතරම් රැවටිලා තිබෙනවාද? සක්කායදිට්ඨිය, මමත්වයේ දැඩිභාවය, ආශ්වාදය ඔබේ පිය උරුමයයි. මමත්වයේ දැඩිභාවයේ පිය උරුමයෙන් ලද ජාන ශක්තිය, මගේ ලේ, මස්, සම් ඇට මිදුළු හරහා කිඳා බැස, ඔබ ඇති කළා වූ ප්‍රමාදය සුළුපටු නම් නොවේ. මට මතකයි, අතීතයේ යම් දවසක ඔබ මට කියනවා “පැවිදි වෙන්න අවශ්‍ය නැහැ, පිනට දහමට ලැදි යුවතියක් කසාද බැඳලා, ධර්මයේ හැසිරෙමු”යි කියලා. මට මතකයි තවත් දවසක ඔබ මට කියනවා, “පිනට දහමට ලැදි යුවතියක් සමග විවාහ වෙලා, දරුවෙක් හදලා, අපි දෙදෙනා ම පැවිදි වෙමු”ය කියලා. පිනට දහමට ලැදි යුවතියක්ය කියන අර්ථය, මාව ගොඩාක් තෘෂ්ණාවේ සැඩ පහරට කොටු කරන්න උත්සාහ ගත්තා.

මට මතකයි, මා පැවිදිවීම සඳහා ගෙදරින් නික්ම යන්න දින දෙක තුනකට පෙරාතුව මගේ කාමරයේ දුරකථනය උදේ අටට පමණ නාද වුණා. දුරකථනයෙන් කතා කළේ කාන්තා කටහඬක්. ඇය මා හඳුනන කාන්තාවක්. ඇය මට වසර පහකට මෙහා හමුවෙලා තිබුණෙ නැහැ. ඇය දුරකථනයෙන් එකපාරට ම යෝජනා කළා මාව හමුවෙන්න අවශ්‍යයි කියලා. මම ඇයට ප්‍රකාශ කළා, මම පැවිදි වෙන්න තීරණය කරලයි තිබෙන්නේ කියලා. ඇය ගත් කටටම ප්‍රකාශ කළේ, ඔයාට මොළේ හොඳ නැතිද, කියලා. දැන්ම මහණවෙන්න එපා, වයසට ගිහින් මහණවෙන්න කියලා. මම ඇයට ප්‍රකාශ කළා මගේ තීරණයේ වෙනසක් නැහැය කියලා.

උතුම් පැවිදිභාවයට පත්වීම සඳහා, නිවසින් පිටවී යාමට දින දෙක තුනකට පෙරාතුව, උදේ පාන්දර අටට පමණ ඍද්ධියෙන් පැමිණි මාරදූතියක් සේ, දුරකථනයෙන් මා සොයා පැමිණි, අනුන්ගේ ඇසෙන්, මනසින් ගලා බසින තෘෂ්ණාවේ සැඩ පහරක් මා වළක්වා ගත්තේ, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ දේශනා කොට වදාළ සංසාර බිය, සංසාර ගැඹුර තුළින් මය, ආශ්වාදයේ අනිත්‍යභාවය තුළින්මය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධර්මයේ නොහැසිරෙන, සංසාර බිය, කාමයන්ගේ නිසරුභාවය නොහඳුනන, නිදිමතට, විනෝදයට ලොල්වෙමින්, ආහාරයට ගිජුවෙමින්, කාලා, බීලා, විනෝදවෙලා ඒ මේ, අත පෙරළෙමින් නිදන, අනුවණ පින්වතා, අවිද්‍යාවේ අන්ධභාවය නිසාම, කැමැත්තෙන්ම මේ තෘෂ්ණාවේ සැඩ පහරට බිලිවී, නැවත, නැවත මව් කුසවලට ගොඩගසනවාය කියලා.

මෙය සටහන් තබන භික්ෂුව, ඇස් දෙක පියාගෙන මොහොතක් දකිනවා, ඇස තුළින් දැක්කාවූ කැමැති, අකැමැති රූපයන් නිසා මනස තුළින් ගලා බසින තෘෂ්ණාවේ සැඩ පහර, පටිච්චසමුප්පන්නව මව් කුසවල් ලක්ෂ කීයකට නම් ගොඩගසන්නට ඇතිද කියලා. ඕපපාතික උපත්, ලක්ෂ කීයකට ගොඩගසන්නට ඇතිද කියලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඔබට පෙනෙන ඔය ජලයෙන් පිරුණු, මහා සාගරය කියන්නේ, සාගරයක් නොවේය කියලා. ඔය මහා සාගරය කියන්නේ, ජල කඳක් පමණක්මය කියලා. ඔය ජල කඳට සීමාවක්, මායිමක්, අවසානයක් තිබෙනවා. නමුත් ඇසේ ඵස්සය නිසා, කනේ, දිවේ, නාසයේ, මනසේ ශරීරයේ ඵස්සය නිසා, සකස් වෙන තෘෂ්ණාවේ මහා සැඩ පහර, අතීතයේ, කල්ප විනාශයන් දස දහස් ගණනක්, පසු කොට ගෙන, සීමාවක්, මායිමක්, අවසානයක් නොමැතිව පටිච්චසමුප්පන්නව ගලාගෙන ඇවිත් තිබෙනවා.

විඤ්ඤාණය නමැති මැජික්කරුවා, උපාදානය නමැති සුදු හුණු කැටයෙන්, භවය නමැති කළුලෑල්ලේ, සංස්කාර නමැති පුළුන් කොට්ටයෙන් මක, මකා, සිතුවම් කළා වූ අලුත්, අලුත්, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, සතර අපා, සත්ව රූපවල, විවිධත්වය හිමිකාරිත්වය, පින්වත් ඔබ නුවණින් මෙනෙහි කොට දැකීමට දක්ෂ වෙන්න.

විඤ්ඤාණය නමැති මැජික්කරුවා සුදු හුණු කැටයත්, කළු ලෑල්ලත්, පුළුන් කොට්ටයත් උපයෝගී කොට ගෙන භව ගමනේ මෙතෙක් කර ගෙන පැමිණි ඇඟ කිලිපොලා යන අති බිහිසුණු සූක්ෂම මේ මැජික් සූදුව, පින්වත් ඔබ වර්තමානයේත් නොදකින්නේ, අවිද්‍යාවේ අඳුර නිසා මය. දැනුමට, බුද්ධියට, පළපුරුද්දට හසු නොවන මේසා සාහසික භව දුකක්, පටිච්චසමුප්පන්නව පින්වත් ඔබට උරුම කොට දුන්, විඤ්ඤාණය නමැති සූක්ෂම මැජික්කරුවා, පෝෂණය කරන, අවිද්‍යා අඳුරේ සැඟවී පින්වත් ඔබට මුකුළු කරන, සංස්කාර නමැති අසත්පුරුෂ රූපසුන්දරියගේ, අසත්පුරුෂ භාවයත්, සුන්දරත්වයත් යන දෙක ම තෘෂ්ණාවේ සැඩ පහර වේගවත් කොට දෙන එකම කාසියේ දෙපැත්ත බව, පින්වත් ඔබ ධර්මානුකූලව දකින්න.

මේ සටහන ලියන දැන් වේලාව සවස පහට පමණ ඇති. පරිසරය හොඳටෝම නිහඬයි, සප්ත බොජ්ඣංග ධර්මයන් පැලපදියම් වූ භික්ෂුවගේ සිතත්, පරිසරයේ නිහඬභාවයත් එකතු වූ තැන, පරිසරයත් භික්ෂුවගේ ජීවිතයත්, එකක් බවට පත් වෙනවා.

විවේකය හරිම ගාම්භීර ධර්මයේ අත්දැකීම් ජීවිතයට එකතු කොට දෙනවා, ආධ්‍යාත්මික සහ බාහිර සතර මහා ධාතුව එක ගොඩකටත්, විඤ්ඤාණය සහ ආයුෂය තව ගොඩකටත් දමලා, භික්ෂුව මොහොතක් පංචඋපාදානස්කන්ධ ලෝකයෙන් නිදහස් වෙනවා. මේ නිදහස තාවකාලිකව ලෝකයෙන් මිදුණා වූ නිදහසක්. විඤ්ඤාණය නමැති මැජික්කරුවාට, රූපයට බැස ගැනීමට තිබෙන නිදහස තාවකාලිකව ඇහිරුවා වූ නිදහසක්. පංචඋපාදානස්කන්ධ ලෝකය, මොහොතක් අක්‍රීය කළා වූ නිදහසක්.

භික්ෂුව නැවතත් ජීවිතයට ගොඩ වෙනවා, පරිසරයේ නිහඬභාවය නැති වෙලා, ආයෙමත් වේගයෙන් සුළං හමනවා, සතරමහා ධාතුව අනිත්‍යභාවයට පත් වෙන වේගය, නුවණින් දකින්න, ප්‍රඥාවේ විනිවිදභාවය අත්‍යවශ්‍ය ම වෙනවා. එතෙක් අපි සතරමහා ධාතුවේ අනිත්‍යභාවය ඉදිරියේ, සතරමහා ධාතුවේ ම උපකාරයෙන් සකස් වෙන, පංචඋපාදානස්කන්ධ ලෝකය නමැති, තෘෂ්ණාවේ සැඩ පහර, වේගවත් කොට ගන්නවා. තෘෂ්ණාවේ සැඩ පහරට හසුවී පටිච්චසමුප්පන්නව ගසා ගෙන යන, පින්වත් ඔබේත්, මගේත් භව ගමන, වළක්වා ගැනීමට ඇති එකම ධර්මානුකූල මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ, සතරසතිපට්ඨාන ධර්මයන් කෙරෙහි මනාව පිහිටුවා ගත් සිහිය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි, මනාව සිහිය පිහිටුවා නොගැනීම නිසා ම, මනුෂ්‍යයාගේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින්, ගලාබසින තෘෂ්ණාවේ සැඩ පහරේ වේගය තුළින්, මතු කොට දී තිබෙන, සමාජ විකෘතිය, සමස්ත සමාජය ම, විසඳුමක් පෙනෙනතෙක් මානයක වත් නොපෙනෙන ප්‍රශ්නාර්ථයක් බවට පත්කොට තිබෙනවා.

දැනුම තේරුම තිබෙන බුද්ධිමතුන්, සමාජය වෙලාගෙන තිබෙන මේ ධර්මානුකූල ප්‍රශ්නාවලියට බොහෝම සුන්දර, අධර්මානුකූල හේතු දක්වනවා, කෙනෙක් කියනවා, ආණ්ඩුව වෙනස් විය යුතුය කියලා, තව කෙනෙක් කියනවා ව්‍යවස්ථාව වෙනස් කළ යුතුය කියලා, තවත් කෙනෙක් කියනවා දෙවියෝ කෝපවෙලාය කියලා, තව කෙනෙක් කියනවා රටේ ග්‍රහචාරය හොඳ නැහැය කියලා, තවත් සමහර පින්වතුන්, රටේ සිටින අයගේ පින් මදිය කියලා, දිව්‍ය තලවල සිටින පින්වත් දෙවියන්ට අපේ රටේ අම්මලාගේ මවුකුසවල පිළිසිඳ ගන්න කියලා අධිෂ්ඨාන පූජා තියනවා. ප්‍රශ්නයට විසඳුම් වශයෙන්, දක්වන හේතු දෝරේ ගලාගෙන යනවා, නමුත් ප්‍රශ්නයට සැබෑම ධර්මානුකූල හේතුව වන, මනුෂ්‍යයාගේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් ගලා බසින තෘෂ්ණාවේ වේගවත් සැඩ පහර, ප්‍රශ්නයට සුන්දර විසඳුම් ඉදිරිපත් කරන ගෞරවණීය පින්වතුන්ලාත් යටකරගෙන ම, හැමෝගේම ඇස් වසා තව තවත් දුක දෙසට ම, අනතුර දෙසට ම ගලාගෙන යනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්ත්වයාට ඇති, ලොකුම බිය, ජරා, ව්‍යාධි, මරණ, බියයි කියලා, ජරා, ව්‍යාධි, මරණ බිය ඉදිරියේ, ජීවිතයේ කොනක් ධර්මයේ ගැටගහලා මරණ බියට, රෝග බියට, බලාපොරොත්තු බිඳවැටීමේ බියට, ධන හානි, ව්‍යාපාරික හානි, බියට, පමණක් ධර්මයේ පිළිසරණ සොයන පින්වතුන්, සද්ධර්මයේ උතුම් සැපය ලැබීම උදෙසා, අර්ථවත්ව ජීවිතයට බැඳ දැමිය යුතු, දුක ඇතිකරන, තෘෂ්ණාවේ රැහැන්පට අසිහියෙන්ම ජීවිතයෙන් ලිහා දමනවා.

තෘෂ්ණාවේ රැහැන් පට ජීවිතයෙන් ලිහා දැමූ කල, නිදැල්ලේ රූප, වේදනා, සඤ්ඤාවන් සොයා ගෙන යන ජීවිතය, බොහෝම වේගවත් වෙනවා. මේ වේගය සමාජගත වෙන්නේ, ජනතාවගේ ජාතික, ආගමික, විශ්වාසයන් තුළින් පෝෂණය වුණ, සියලුම සමාජ සාරධර්මයන්, විකෘති කරමින්. ඒ වගේමයි, ස්වාභාවික පරිසරය, ස්වාභාවික සම්පත් අවිචාරයෙන් විනාශකොට දමමින්, උතුම් සාරධර්මයන්ගේ, ස්වාභාවික පරිසරයේ, වටිනාකම තබා මේ බුද්ධෝත්පාද කාලයක, තමන් ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකමවත්, නොහඳුනන පින්වත් මනුෂ්‍යයෝ, වර්තමානයේ, ස්වාභාවිකත්වය මරා දැමූ, අස්වාභාවික කෘත්‍රිම ලෝකයක්, මහ පොළව මත නිර්මාණය කරමින් පවතිනවා.

ස්වභාවධර්මය මරාගෙන, ඉදිවෙන මේ අස්වාභාවික, කෘත්‍රිම ලෝකයේ, අස්වාභාවික මනුෂ්‍යයෙක් වීම සඳහා, සුදුසුකම් ලැබීමට, ලොකු තරඟයක්, සමාජය තුළ ඇතිවෙලා තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති වී තිබෙන, විභාග පැවැත්වීමේ පෙරේතකම, තරගකාරිත්වය තුළ මේ නිර්මාණය වෙමින් පවතින, අස්වාභාවික කෘත්‍රිම ලෝකයේ, අස්වාභාවික මනුෂ්‍යයෙක් වීම සඳහා පින්වත් ඔබ දක්වන උනන්දුව හොඳින්ම ප්‍රකට වෙනවා.

මුදල් මුල්කොට ගත්, කාමච්ඡන්දයන් මුල්කොට ගත්, සාරධර්මයන් නොතකන, විනය වඳ බැහැපු, මේ ඉදිවෙන අස්වාභාවික කෘත්‍රිම ලෝකයේ, ජීවත් වෙන පින්වතුන්, ධර්මය, අධර්මයෙන් වසා දමනවා. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට දෙන්නේ නවීකරණය කරපු අර්ථයන්, දුකට හේතුව තෘෂ්ණාව කියලා මේ පින්වතුන් පිළිගන්නේ නැහැ. එම පින්වතුන් කියන්නේ, දුකට හේතුව සල්ලි නැති වීම කියලා, දුකට හේතුව, ස්වයං පාලනය නොදීමය කියලා, දුකට හේතුව, සමලිංගික සේවනය, ගබ්සාව නීතිගත නොකිරීමය කියලා, දුකට හේතුව, කාන්තාවන්ට නිදහසේ මත් වතුර මිලදී ගැනීමට අවසර නොදීමය කියලා, දුකට හේතුව, විකෘතියෙන්ම නවීකරණය කරනවා.

තෘෂ්ණාවේ සැඩ පහරට හසුව, මොළය සෝදාගත් පින්වත් මනුෂ්‍යයෙක්ගෙන් ඇසුවොත්, ආර්යඅෂ්ටාංගික මාර්ගයේ ඇති වැදගත් කම කුමක්ද කියලා, එම පින්වතා පිළිතුරු දෙන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොන වැදගත් කමක්ද, ඊට වඩා අධිවේගී මාර්ගය වටිනවා, මාතරට පැයෙන් යන්න පුළුවන්ය කියලා. මේ අස්වාභාවික කෘත්‍රිම ලෝකයේ ජීවත් වෙන පින්වතුන්, ජීවිතයෙන් වේගයක් මයි සොයන්නේ, මෙවැනි පින්වතුන්ලාට මේ උතුම් ශ්‍රී සද්ධර්මය හරිම හිසරදයක්, පංචශීලය ගැන කියන්නේ නැති, අකුසල් මූලයන් ගැන කියන්නේ නැති, නැවත පටිච්චසමුප්පන්න උපතක් ගැන කියන්නේ නැති, මාර ධර්මයන් සරණ යන්නයි මේ පින්වතුන්ලා සැදී පැහැදී සිටින්නේ, මේ අය, ආස්වාදය පසුපසම හඹා යමින්, මොනතරම් වෙහෙස වෙලා, යමක් ලබාගත්තත්, ඒ ලබන්නේ පරණ අත්දැකීමක් මයි.

ඒ නිසාම, ජීවිතයේ තෘප්තියක් නැහැ. අතෘප්තියෙන් ආයෙමත් සොයනවා, ජීවිතවලට කිසිම විවේකයක් නැහැ. සති අන්තයේ නිවාඩුවක් ලැබුණොත්, විනෝදය සොයන්න යනවා, සෙවීමේ ඉවරයකුත් නැති, මෙතෙක් සොයා ගත්ත දෙයකුත් නැති, ජීවිතය, තෘෂ්ණාවේ සැඩ පහරට හසුවී, පැද්දි, පැද්දී දුක දෙසටම ගලා ගෙන යනවා, ඵස්සය අසල සැඟවී, අකුසලයට එබිකම් කරන තෘෂ්ණාව, පින්වත් ඔබේ අසිහියෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන, විඤ්ඤාණය නමැති මැජික්කරුවාට පෝෂණය වීමට ඇති තරම් සංස්කාර නැවත නැවත එකතු කොට දෙනවා.