භික්ෂූත්වයේ ආදර්ශය ‘ඩිමාන්ඩ්’ එකක රිමාන්ඩ් කළ හැකිද?

දැන් වෙලාව සවස පහට පමණ ඇති. එකපාරට ම පරිසරය අඳුරු වුණා. මහා වැස්සක් වැටෙන්න හොඳට ම ළඟයි වගේ. ඊයේ රාත්‍රියෙත් සුළඟ සමග මහා වැස්සක් ඇද හැළුණා. මේ වැසි වලට ගම්වාසීන් කියන්නේ මහියංගණ පෙරහැර වැස්ස කියලා. තද වියළි කාලගුණයක් මොහොතකට නවත්තලා, වැටෙන මේ වැස්සට ගම්වැසියන් හරිම සතුටුයි. මහියංගණ පෙරහැර ළංවෙලා වැටෙන මේ වැස්ස නිසාම, ගම්වාසී පින්වතුන්ලා මහියංගණ පෙරහැරත් සමග පුද පූජාවන් ලබන සමන් දෙවියන් කෙරෙහි විශ්වාසය වැඩි කොට ගන්නවා.

කැලයේ ජීවත්වෙන සතුන්ට නම් වියළි කාලගුණය කර්කෂ වුවත්, මහා වැසි එම සතුන්ට පීඩාවක් මයි. භික්ෂුව උදෑසන පිණ්ඩපාත මඩුවට වඩින විට අඩිපාරේ කුරුලු බිත්තර කිහිපයක් ම වැටී බිඳී තිබෙනවා භික්ෂුව දැක්කා. මෙවන් මහා වැසිවලට ගොඩක් කැමති සතෙක් කැලයේ සිටිනවා. ඒ තමයි අලියා. තමන්ගේ උෂ්ණාධික ශරීරය සිසිල් කොට ගන්න, එයාට නම් හොඳ අවස්ථාවක් අද ලැබිලා තිබෙනවා. වැස්ස තදින් වසිනවා. කුටියේ ලන්තෑරුම පත්තු කරලා බාල්කයේ එල්ලලා, පුටුව ඇන්ද මත පත්තු කරගන්න ලොකු ඉටිපන්දම් ආලෝකය, මේ සටහන් ලියන්න භික්ෂුවට උපකාරක ධර්මයන් සකස් කොට දෙනවා.

භික්ෂුවට සටහන ලියන්න සිත ඉඩ දෙන්නේම නැහැ. සිත පුදුමාකාර සතුටකින් ප්‍රීතියකින් පිරිලා. භික්ෂුව තනිව ම භික්ෂුවට ම කියා ගන්නවා සැපයි සැපයි හරිම නිදහසයි කියලා. හොඳ වෙලාවට ළඟපාතක කවුරුවත්ම නැහැ. සිටියා නම් සමහර විට භික්ෂුව පිස්සෙක්, කියලා කියන්නත් පුළුවන්. මේ ශීතලත් නොදැනෙන, මේ මහා වැස්සේ රට උළු සෙවිලි කළ මැටි කුටියේ භික්ෂුව ලබන මේ උතුම් ධර්මානුකූල විදර්ශනාමය සැපය ගැන පින්වත් ඔබට සටහන් තබන්නේ, ධර්මයේ උතුම් ගුණයන් තවමත් ජීවමානව තිබෙනවාය කියන ඇත්ත, කෙරෙහි පින්වත් ඔබේ විශ්වාසය ශක්තිමත් කොට දෙන්න.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවංක භාවයෙන් ධර්ම මාර්ගයේ ගමන් කරලා, ලබන්නා වූ සත්‍ය අත්දැකීම්, මෙලෙස පින්වත් ඔබේ වීර්යය උදෙසා සටහන් තබන කොට, සමහර පින්වතුන්ලා භික්ෂුවට චෝදනා කරන අවස්ථාත් තිබෙනවා.

පසුගිය දිනක පින්වත් මහත්මයෙක් භික්ෂුවට චෝදනාත්මකව කාරණයක් සඳහන් කළා. එම චෝදනාව එම පින්වත් මහත්මයාගේම වචනවලින් භික්ෂුව මෙහි සටහන් තබනවා. ඒ මහත්මයාගේ චෝදනාව ‘ඔබ වහන්සේ ඩිමාන්ඞ් කරනවා නේද?’ කියලා. ඩිමාන්ඞ් කරනවා කියන වචනයේ අදහස, ඔබ වහන්සේ අගේ කරනවා නේද කියලයි. භික්ෂුව එම මහත්මයා ගෙන් ඇසුවා, ඇයි මහත්තයෝ එහෙම කියන්නේ කියලා. එවිට එම මහත්මයා කියනවා, භික්ෂුව සමාජය තුළ සැඟවිලා ජීවත් වෙලා, ඉඳලා හිටලා ජනතාව අතරට පැමිණෙනවා ය කියලා. එම පින්වත් මහත්මයා ඉහත කාරණයට කියන්නේ භික්ෂුව ඩිමාන්ඞ් කරනවා කියලයි.

මෙය සටහන් තබන භික්ෂුව කවදාකවත්, සැඟවිලා ජීවත් වෙලා නැහැ. උපසම්පදා භික්ෂුවකට හැංගිලා තනිව ම ආහාර හදා ගෙන වළඳන්න බැහැ. භික්ෂුව සෑම උදෑසනකම, රටේ කොහේ හෝ ගම්මානයකට, නගරයකට පිණ්ඩපාතයට වඩිනවා. කොතැනක හෝ ආරණ්‍යයක, පන්සලක, කුටියක, ගිහි පින්වතුන්ගේ සිවුපසය ලබමින් වැඩ සිටිනවා.

බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට, ‘මහණෙනි, ජනතාව නොගැවසෙන, විවේකී රුක්ඛ මූලයකට, ශූන්‍යාගාරයකට, ආරණ්‍යයකට වැඩම කොට, ඔබලාගේ ධර්ම මාර්ගය ශක්තිමත් කොට ගන්න’ කියලා, තම ශ්‍රාවකයන්ට අනුශාසනා කර තිබෙන්නේ තම ශ්‍රාවකයන්ට අගේ කරන්නද?

‘මහණෙනි, වැසි තුන් මාසය එකම ස්ථානයක් අධිෂ්ඨානය කොට, ගිහි පින්වතුන්ලා ගේ පළිබෝධයන් ගෙන් හැකිතාක් බැහැර වී විවේකීව, නොලැබූ ධ්‍යානයන්, නොලැබූ විදර්ශනාමය අවබෝධයක් ලබන්න’ යැයි බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට විනය කාරණාවක් පනවා ඇත්තේ තම ශ්‍රාවකයන්ට අගේ කරවන්නද?

‘මහණෙනි, ඔබලා ගමට, නගරයට, උදෑසන පිණ්ඩපාතයට වඩින කොට, වටපිට නොබලා, බිමට හෙළුෑ දෑසින්, ඉර වගේ, සඳ වගේ, කොතැනක වත් නොරැඳී, නොඇලී නොගැටී පිණ්ඩපාතය අවසන් කොට, කුටියට වඩින්න’ කියලා බුදුරජාණන් වහන්සේ අපට අවවාද කොට තිබෙන්නේ, අපිව අගේ කරවන්නද?

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘මහණෙනි, ගැඹුරු ප්‍රපාතයක් දෙස බලන පින්වතා තම කය ප්‍රපාතයෙන් බැහැරට මෑත් කොට ගෙන, හිස පමණක් ප්‍රපාතය දෙසට යොමු කොට බලන්නේ යම් සේද, ඔබලා ගිහි සමාජය සමග කය මෑත් කොට ගෙන හැසිරෙන්න’ය කියලා.

පින්වත් මහත්තයෝ මේක අපේ උතුම් බුද්ධ වංශයේ භික්ෂු ප්‍රතිපදාව. වර්තමානයේ ඒ උතුම් බුද්ධ වංශයේ භික්ෂු ප්‍රතිපදාව යම් පමණකට දුර්වල වෙලා, ස්වාමීන් වහන්සේලා සීමාව ඉක්මවා සමාජගත වෙලා තිබෙන බව ඇත්ත. නමුත් භික්ෂුන් වන අප, අපගේ පිය උරුමයෙන් ලද භික්ෂු චර්යාවන්, පැවැත්විය යුත්තේ, උතුම් සංඝ සමාජයට පූර්වාදර්ශයක් උදෙසා මයි. ගිහි සමාජයට උතුම් සංඝ සමාජය කෙරෙහි ශ්‍රද්ධාව ගෞරවය ශක්තිමත් කොට දීම උදෙසා මයි.

බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයේ දී දේශනා කරනවා, ආර්ය මාර්ගය පුහුණු කරන ස්වාමීන් වහන්සේලාට, ‘මඟහැර යෑමෙන් ප්‍රහීනය කළ යුතු ආශ්‍රවයන්’ ගැන, ‘දුරු කිරීමෙන් ප්‍රහීනය කළ යුතු ආශ්‍රවයන්,’ වගේම ‘ගිහි සමාජයෙන් මෑත්ව සමථ විදර්ශනාවෙන් ප්‍රහීනය කළ යුතු ආශ්‍රවයන්’ ගැන, මේ සෑම ඉගැන්වීමක දීම, බුදුරජාණන් වහන්සේ ඉලක්ක කරන්නේ උතුම් සංඝ සමාජයේ ආදර්ශමත් භාවයයි. එසේ නොමැතිව ස්වාමීන් වහන්සේලාගේ අගය පෙන්වීම නොවේ.

පින්වතුනි, මෙය සටහන් තබන භික්ෂුව කුමක් අගය කරන්නද, එසේත් නැත්නම් ඩිමාන්ඞ් කරන්නද? මේ කබ, කඳුළු, ගලන, සුද වසා ගන්න, අන්ධ භාවයට පත් වෙන මේ ඇස අගය කරන්නද? කලාඳුරු සැරව ගලන කන, සොටු ගලන නාසය, කුණුකෙළ ගලන දිව, රෝගී බවින් ගහන, අපිරිසිදු කුණුවෙන, දුර්ගන්ධය හමන, දිවා රාත්‍රි අශුචි, මුත්‍රා, දහදිය වැගිරෙන මේ ශරීරය අගේ කරන්නද?

අතීතයේ වැඩ සිටියා වූ සැරියුත් මහෝත්තමයන් වහන්සේගේ සොහොයුරෙක් වූ කදිරවනේ රේවත මහෝත්තමයාණන් වහන්සේ තම මුළු භික්ෂු ජීවිතකාලය ම, කර්කෂ වනවාසී ජීවිතයක් ගත කළේ සමාජයට අගය පෙන්වන්නටද?

උතුම් භික්ෂු ප්‍රතිපදාවන් ගැන පුංචි හෝ අවබෝධයක් නැති පින්වතුන්ලාව, අධර්මයෙන් සතුටු කරන්න භික්ෂුන් වන අපට අවශ්‍ය නැහැ. මෙය සටහන් තබන භික්ෂුව. ගිහි ජීවිතයේදී ඇති තරම් සමාජ ආශ්‍රය කරපු කෙනෙක්. ඒ සමාජ ආශ්‍රය මයි, අසීමාන්තික අත්දැකීම් ගොන්නක් සමගයි, ගිහි සමාජයෙන් බැහැරට පැමිණියේ, භික්ෂුව යම් දවසක ගිහි සමාජයෙන් බැහැරව, භික්ෂු ජීවිතයට පැමිණියේ අතීතයේ කරපු දෙය නැවත කරන්න නොවේ. මෙතෙක් නොකරපු දෙයක් කරන්නත් නොවේ. කරපු දේවලුත් නොකරපු දේවලුත් කෙරෙහි තිබෙන තෘෂ්ණාව, නිරෝධය කිරීම සඳහා මයි.

ඊයේ ඉරිදා දිනයක්. උදෑසන පිණ්ඩපාත මඩුවට හැත්තෑ පහකට වැඩි පිරිසක්, පිණ්ඩපාතය බෙදීමට පැමිණ සිටියා. මෙම පිරිස අතර අනුරාධපුරය, ගල්ගමුව, නුවර, මහියංගණය වැනි ඉතා දුර බැහැර ප්‍රදේශවල පින්වතුන්ලා ද උදෑසන හත වෙනකොට පැමිණ සිටියා. ඉතා දුර බැහැර සිට පැමිණ සිටි මේ පින්වතුන්ලා ගේ, මහා සංඝරත්නය කෙරෙහි ශ්‍රද්ධාව, ගරුත්වය, කර්මය, කර්මඵල විශ්වාසය දකිද්දී, පිණ්ඩපාත දානය පූජා කොට අවසානයේ සිදු කරන පින් අනුමෝදන් කිරීමේදී භික්ෂුව මෙහෙම අනුශාසනාවක් සිදුකළා.

“භික්ෂුව මේ ඈත ගම්මානයක වස් සමාදන්ව වැඩ සිටින්නේ. නමුත් පින්වත් ඔබලා කෙසේ හෝ තොරතුරු සොයා ගෙන, ඈත දුර බැහැර සිට, උදේ පාන්දර එකට දෙකට, තුනට අවදි වෙලා, පිණ්ඩපාත දානය හදාගෙන, උදෑසන හතට පිණ්ඩපාත මඩුවට පැමිණිලා, දානය පූජා කරගනිද්දී, පසඟ පිහිටුවා වන්දනා කරද්දී, පින්වත් ඔබ තුළ වැඩෙන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගරුත්වය, වීර්යය, මහා සංඝරත්නය අරමුණු කොට ගෙන භික්ෂුව කෙරෙහි ඔබලා ඇති කොට ගෙන තිබෙන විශ්වාසය, දකිද්දී, භික්ෂුව ඔබේ පිණ්ඩපාත දානය, ඔබලාගේ ගෞරවණීය වන්දනාවන්, එක වචනයකින් හෝ ඔබලාට බොරුවක් කියලා, බොරුවක් කරලා, ගන්නවා නම්, වංචාවක් කරලා ගන්නවා නම්, ශීලයෙන් දුර්වලව සිට පිළිගන්නවා නම්, පින්වත් ඔබලාගේ විශ්වාසයේ අයෝමය ශක්තියට, භික්ෂුවගේ හිස සත්කඩකට පැළෙනවා මයි” කියලා.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, ගිහි ජීවිතයේදී පිප්පලි නමැති තරුණයා හැටියට, උතුම් පැවිදි උපසම්පදාව, බලාපොරොත්තුව, බුදුරජාණන් වහන්සේගේ හමුවට පැමිණි මුල්ම අවස්ථාවේ පිප්පලි තරුණයා බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඤාණය කෙරෙහි අචල විශ්වාසයෙන් සිදු කළා වූ, ගෞරවණීය වන්දනාව ලබලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “මම උතුම් සම්මා සම්බුද්ධත්වය අවබෝධ නොකර, මේ පිප්පලීගේ වන්දනාව පිළිගත්තා නම්, මගේ හිස සත්කඩකට පැළෙනවා” කියලා. අයෝමය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිදුකරන වන්දනාවත්, වන්දනාවන් සිදු කරන පින්වතුන්ගේ විශ්වාසයට බොරු කරලා, යමෙක් ලබනවා නම් ඔහුට සමාජයේ වැඩි දවසක් පවතින්න බැහැ පිස්සෙක් වෙනවා, ඉහත ධර්මයට අදාළව.

දැන් වේලාව සවස හයත් පසුවෙලා, වැස්ස ටිකක් තුරල් කරලා. පුටුවේ ඇන්ද මත දැල්වෙන ඉටිපන්දම අඩකටත් වැඩිය පිච්චිලා ගිහිල්ලා. නිහඬ බව පමණක් උරුම, විදර්ශනාමය සප්ත බොජ්ඣංග ධර්මයන් ගෙන් සිතුවිලි සන්නද්ධ වූ මේ සුන්දර රාත්‍රියේ දී පින්වත් ඔබට මෙය සටහන් තබන භික්ෂුව දිවුරා කියනවා, මගේ භික්ෂු ජීවිතයේදී භික්ෂුව කවදාක වත් බුදුරජාණන් වහන්සේට අකීකරු වෙලා, පින්වත් ඔබට බොරුවක්, වංචාවක් කරලා නැහැය කියලා.

රටපුරා ධර්ම දේශනාවන් පවත්වන කාලවලදී, ධර්ම ශ්‍රවණයට කැමැති සත්පුරුෂ පින්වතුන්ලා, පැය කිහිපයක්, නොසෙල්වී හිඳ ගෙන සද්ධර්මය ශ්‍රවණය කරලා, ධර්ම දේශනාව අවසානයේදී පැයක්, පැය දෙකක්, දිග පෝලිමේ ඇවිල්ලා, සමාජයේ ජීවත් වෙන සෑම තරාතිරමක පින්වතුන් පිරිකර පූජා කරලා පසඟ පිහිටුවා වන්දනා කරන්නේ සංඝරත්නය, කෙරෙහි මොන තරම් නම් ශ්‍රද්ධාවකින්ද, ගෞරවයකින්ද, භික්ෂුව කෙරෙහි විශ්වාසයකින් ද? සත්පුරුෂ ගිහි පින්වතුන්ලා ගේ මෙවැනි ශ්‍රද්ධාවෙන්, ගරුත්වයෙන්, විශ්වාසයෙන් සිදු කරන වන්දනාවක්, භික්ෂුව එම පින්වතුන්ලාට එක වචනයකින් හෝ බොරුවක්, වංචාවක්. කොට ගන්නවා නම්, මෙය සටහන් තබන භික්ෂුවගේ හිස සත්කඩකට පැලිලා, මේ වන විට අවසන්. භික්ෂුව විකෘතියක් වෙලා අවසන්.

භික්ෂුව ධර්ම දේශනාවකට වඩින කොට, සත්පුරුෂ ගිහි පින්වතුන්ලා, ගෞරවණීය ස්වාමීන් වහන්සේලා, කාලය, ශ්‍රමය, ධනය, වැය කොට, සිදු කොට තිබෙන, සුන්දර, විසිතුරු, මලින්, පාවඩ වලින්, උඩුවියනින්, කර තිබෙන පූජාවන් දකිද්දී, පින්වත් ඔබලාට භික්ෂුව එක වචනයකින් හෝ බොරුවක් රඟපෑමක් කරලා එම ගෞරවණීය පූජාවන් ලැබුවා නම්, මේ වන විට භික්ෂුව පිස්සෙක්, විකෘතියක් වෙලා අවසන්.

භික්ෂුවගේ ඇත්ත කථාව පිළිබඳව මීට වඩා ධර්මානුකූලව පින්වත් ඔබට දෙන්න සහතිකයක් භික්ෂුවට නැහැ. ගෞරවණීය පින්වත, ලෝකය චෝදනාවන්ටත්, පැසසුම්වලටත් එකසේ ම විවෘතයි. ලෝකයෙන් මිදීම කියන්නේ චෝදනාවනුත්, පැසසුමුත් අනිත්‍ය වූ සංස්කාරයන් බව අවබෝධ කොට ගැනීමයි.

මෙය සටහන් තබන භික්ෂුවගේ ඇත්ත කථාව, ලෝකයට, සත්පුරුෂ බෞද්ධ ජනතාවට, ගෞරවණීය අන්‍ය ආගමික පින්වතුන්ලාට, සන්නිවේදනය කරන්නට, දිවයින ඉරිදා සංග්‍රහය සද්භාවයෙන් යුතුව, ප්‍රති උපකාරයක් බලාපොරොත්තුවෙන් තොරව, ලොකු කැපවීමක් සිදු කළා. මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි පෙළ, මුලින්ම බුදුමඟ පත්‍රයේත්, පසුව ඉරිදා දිවයින සංග්‍රහයේත් පළවීමට පටන් අරගෙන දැනට අවුරුදු නවයක් පමණ වෙනවා.

මේ කාලය පුරාවට, භික්ෂුව සටහන් තැබූ එකම වචනයක් වත්, වෙනස් නොකර, සංස්කරණය නොකර, දිවයින ඉරිදා සංග්‍රහය සැකයක්, විචිකිච්ඡාවක්, බියක්, ඇති කොට නොගෙන මෙම මහරහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි පෙළ ජනතාව අතට පත් කළා. අද දක්වා භික්ෂුව කවදාකවත් දිවයින පත්‍ර කාර්යාලයට ගොඩ වෙලා නැහැ.

අද දක්වාම මේ සටහන ලියලා, පින්වත් ඔබ භික්ෂුවට පූජා කරන ලියුම් කවර, සහ මුද්දර වල පිහිටෙන්, ලිපිය අදාළ පිටුවේ සංස්කාරක මහත්මයාගේ නිවසේ ලිපිනයට තැපැල් කරනවා පමණක් මයි. මුල්ම අවස්ථා දෙකකදී පමණක් ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්මයාට ලිපි ලියූ තනිරූල් පොත් දෙක බැගින් ලබා දුන්නා.

මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පිබිදීමක් ඇති කොට දීම උදෙසා, ගෞරවණීය ගිහි, පැවිදි ජීවිත වල ශාසනික අර්ථයන් බල ගැන්වීම උදෙසා, විදර්ශනාමය සරණක් අහිමිව සිටි, බෞද්ධ ජනතාවට, සරණක් වීම උදෙසා දිවයින ඉරිදා සංග්‍රහය වසර හයක් වැනි කාලයක් සිදු කළ කෘතවේදී සත්පුරුෂ මාධ්‍ය මෙහෙවරට, උතුම් ධර්මදානය පින්කමට, භික්ෂුව වැසි සමය ගත කරමින්, ධර්මයේ උත්තරීතර සැපයත් අත්විඳින මේ නිසල රාත්‍රියේදී, ඉරිදා දිවයින සංග්‍රහයට කෘතවේදීව ගෞරවයෙන් පින් අනුමෝදන් කරනවා.

පින්වතුන්ලාට තවත් කාරණයක් ගෞරවයෙන් මතක් කර දෙනවා, උතුම් සද්ධර්මය, ධර්මානුකූලව තේරුම් ගන්න අදක්ෂ, ගිහි පැවිදි සමහරක් පින්වතුන්ලා ගේ අදහසක් තිබෙනවා, මාධ්‍යයකට යම් පුද්ගලයෙක්ව ජනප්‍රිය කරවන්න පුළුවන්ය කියලා. පින්වතුනි, ධර්මය ඉගෙන ගත්තාට පමණක් අපි අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉගෙන ගන්නා ධර්මය හේතුඵල ධර්මයන්ට අදාළව නුවණින් දකින්නත්, දක්ෂ වෙන්න ඕනේ. යම් පින්වතෙක් ප්‍රකාශ කරනවා නම් පුවත් පතකට, ගුවන් විදුලියට, රූපවාහිනියට යම් පුද්ගලයෙක්ව ජනප්‍රිය කරවන්න පුළුවන්ය කියලා, එම කතාව ධර්මානුකූලව ඇත්තක් වෙන්නේ නැහැ.

පින්වත් මහින්ද රාජපක්ෂ මහත්මයා, විධායක බලය අතේ තබා ගෙන, රාජ්‍ය ගුවන් විදුලිය, රූපවාහිනිය, ලේක්හවුස් ආයතනය තමා යටතේ තබාගෙනත්, පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වෙනවා. මාධ්‍ය තිබුණත් ඒ මහතාගේ ජනප්‍රිය භාවයට අදාළ ශීලයේ ශක්තිය ඒ මොහොතේ දුර්වල භාවයට පත්ව තිබීමයි ඊට ධර්මානුකූල හේතුව වෙන්නේ.

වර්තමානයේ එම තත්ත්වය සහමුලින් ම සංස්කාරයන්ට අදාළව ජනප්‍රිය භාවයට පක්ෂව වෙනස් වී තිබෙනවා.

යම් මාධ්‍යයකට පුද්ගලයෙක් ජනප්‍රිය කරවන්න පුළුවන් වන්නේ, අදාළ පුද්ගලයාට ජනප්‍රිය භාවයට අදාළ කුසල් සංස්කාරයන් ජීවිතය පසුපස තිබෙනවා නම් පමණක් මයි. ජනප්‍රිය භාවයට අදාළ ධර්මානුකූල සංස්කාර යම් පුද්ගලයෙක් සතුව නැතිනම්, ලක්ෂ ගණන් වියදම් කොට දැන්වීම් පළ කළත්, වැඩ සටහන් සිදු කළත්, ඔහුව ජනප්‍රිය කරවන්න බැහැ. එයයි ධර්මානුකූල සත්‍යය.

යම් පුද්ගලයෙක්ගේ ජනප්‍රිය භාවයට අදාළ ප්‍රධානම ධර්මතාවය තමයි ශීලයේ ශක්තිය. සිල්වත් භාවයේ පළමුවැනි ආනිශංසය තමයි ජනප්‍රිය භාවය. යම් පුද්ගලයෙක් සතු පටිච්ච සමුප්පන්න සිල්වත් භාවයේ ශක්තියට, දානයට අදාළ, වර්ණය, සැපය, බලයත්, මෛත්‍රියට අදාළව දෙවියන්ට, මනුෂ්‍යයන්ට, අමනුෂ්‍යයන්ට ප්‍රිය වීම, සතුරන් දමනය වීම. කීර්ති රාවය පැතිරීම වැනි සංස්කාරයන්ගේ ශක්තියත් යම් පුද්ගලයකුගේ ජීවිතය තුළින් පටිච්ච සමුප්පන්නව විපාකයට පැමිණිය හොත්, ඔහුගේ ජනප්‍රිය භාවය කිසිවෙකුට නැවැත්විය නොහැකි, දීර්ඝ කාලීන ජනප්‍රිය භාවයක් වෙනවා.

එම ජනප්‍රිය භාවය නැවැත්විය හැක්කේ එම පුද්ගලයා දුශ්සීල භාවයට, අකුසල් මූලයන්ට කොටු වුණොත් පමණක් මයි. ඒත් අතීත කුසල් සංස්කාර ශක්තිමත් නම්, ඔහුගේ ජනප්‍රිය භාවය තාවකාලිකව රැඳී තිබෙන්න අවස්ථාව ධර්මානුකූලව තිබෙනවා.

ඉහත සටහන තුළින් පින්වත් ඔබට ධර්මානුකූලව තේරුම් යන්න ඇති, “මාධ්‍යයකට පමණක් යම් පුද්ගලයෙක්ව ජනප්‍රිය කරවන්න බැහැ. යම් පුද්ගලයෙක් මාධ්‍ය තුළින් ජනප්‍රිය වෙන්නේ ඊට අදාළ කුසල් සංස්කාර ඔහු සතුව තිබෙනවා නම් පමණක්ය” කියලා. එම නිසා ගෞරවණීය පින්වත් ගිහිපැවිදි පින්වතුන්ලා නොදන්නා භාවයෙන් සමාජයේ කාටවත් චෝදනා කරන්න එපා, මාධ්‍ය තමයි ඔය මනුස්සයාව ජනප්‍රිය කළේ කියලා.

යම් ගෞරවණීය පින්වතෙක් එහෙම චෝදනා කළොත් එම පින්වතා චෝදනා කරන්නේ උතුම් ශීලයේ, දානයේ, මෛත්‍රියේ ආනිශංස ධර්මයන්ට මය.