බුද්ධෝත්පත්ති කාලයක විකෘති මෙසේ නම් අබුද්ධෝත්පත්ති කාල කෙසේ වෙයිද?

උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කොට ගැනීමේ මූලිකම අදියර වන නිවැරැදි කල්‍යාණමිත්‍ර ආශ්‍රය, උතුම් සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම තුළින් එම වීර්යවන්ත පින්වතා, පින්වතිය, තමා තුළින් තමා දකිනවා, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමේ සැබෑම අර්ථය, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ලෝකයාට දේශනා කිරීමය කියලා. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්, දැක්ම සහ අවබෝධය තුළ උතුම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අරිහත් ධර්මතාවන් ජීවිතයට ලැබිය හැකිය කියන විශ්වාසය එම පින්වතා තුළ ඇති වෙනවා.

තමාගේ උතුම් සෝවාන් ඵලය අවබෝධය උදෙසා සතිය සිහිය ශක්තිමත් වෙනවා. සති සම්බොජ්ඣංගය වැඩෙන තැනදී, ධර්මයට අදාළව ජීවිතය දැකීමේ ධම්ම විචය සම්බොජ්ඣංගය ශක්තිමත් වෙනවා. ඔහු අතීත, වර්තමාන, අනාගත පටිච්ච සමුප්පන්න සංසාර ගමන, සංසාර බිය, සංසාර ගැඹුර නුවණින් විමසා බලනවා. වීර්ය සම්බොජ්ඣංගය ඔහුට අවශ්‍ය ජවය ලබා දෙනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ උතුම් ධර්මය තමා තුළින් මයි තමා දැකිය යුත්තේ කියලා. යම් පින්වතෙකුට බලෙන් අල්ලලා සෝවාන් ඵල අවබෝධය ලබා දෙන්න අපිට බැහැ. අපට කළ හැක්කේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව, මාර්ගය කියා දීම පමණයි. බුදුරජාණන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් තුළින් නිවැරැදි මාර්ගය අපට කියලා දෙනවා.

චතුරාර්ය සත්‍ය ධර්මයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ දුක කියන කාරණයයි. දුක කියලා බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වන්නේ, ජාති, ජරා, ව්‍යාධි, මරණ. ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, ප්‍රියයන් ගෙන් වෙන් වීම, අප්‍රියයන් හා එක් වීම සහ පංච උපාදානස්කන්ධය නිත්‍ය වශයෙන් ගැනීම නිසා සකස් වෙන දුකයි. මාර්ගය වඩන පින්වතා දුක තමා තුළින් දකිනවා. අපි සෑම කෙනෙක්ම මේ දුක තුළ ජීවත් වෙනවා.

චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව දුක තමා තුළින් මතු කොට දකින, මාර්ගය වඩන, වීර්ය වන්ත පින්වතා දෙවැනිව දකිනවා, චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව දුකට හේතුව කුමක්ද කියලා. පින්වත් ඔබ අත්දකින දුකට හේතු දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. දුකට ධර්මානුකූලව එක හේතුවයි තිබෙන්නේ. දුකට එකම හේතුව, තෘෂ්ණාවයි.

දෙවැනි ආර්ය සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමක් කෙරෙහි තෘෂ්ණාවද? රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි ඇති කොට ගන්නා තෘෂ්ණාවයි. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව තමා තුළින් ම දුක මතුකොට දැක්ක, මාර්ගය වඩන පින්වතා, දුකට හේතුව තෘෂ්ණාවත් තමා තුළින් ම මතු කොට දකිනවා.

චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාලව දුක තිබෙන්නේත්, තමා තුළ නම්, දුකට හේතුව තෘෂ්ණාව තිබෙන්නේත් තමා තුළම නම්, දුකෙන් මිදීම සඳහා තෘෂ්ණාව නිරෝධය කළ යුත්තේත්, තෘෂ්ණාව සියුම් කොට ගත යුත්තේත් තමා තුළින් ම බව ධර්මානුකූලව දකිනවා.

චතුරාර්ය සත්‍යය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යයන් තුන, තමා තුළින්ම මතුකොට දකින මාර්ගය වඩන වීර්යවන්ත පින්වතා, දුකින් මිදීම උදෙසා, තෘෂ්ණාව සියුම් කිරීම උදෙසා තමා විසින් ම ගමන් කළ යුතු ධර්මානුකූල එකම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය බව ධර්මානුකූලව දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්, තමා තුළින් ම විවේකීව දැකිය යුතුව තිබියදී, අපේ පින්වත් ගිහි පැවිදි පින්වතුන්ලා රට වටේ, ලෝකෙ වටේ, ධර්මය සොයමින් ඇවිදිනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයන්ට අදාළව පමණක් සිතන්නට පින්වත් ඔබට, මාර්ගය විවර කොට දෙන්නේ උතුම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් ලබන්නා වූ, සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ ධර්මතාව තුළින් පමණක් මයි.

මේ ජීවිතයේදී ම උතුම් අධිගමයන් කරා යන ගමන, උතුම් සෝවාන් ඵලය අවබෝධය කරා යන ගමන, සතියකින් මාසයකින්, අවුරුද්දකින් එසේත් නැත්නම් මේ ජීවිතයේදී පමණක් පින්වත් ඔබ ලැබූ ව්‍යායාමයක ප්‍රතිඵලයක් නොවේ. සාංසාරික පුරුදු, පුහුණු, පටිච්ච සමුප්පන්නව මතු කොට ගන්න ඕනේ. අපි සෑම කෙනෙක් පසුපස ම, මේ උතුම් ශක්තිය සැඟවිලා තිබෙනවා.

චුල්ලපන්ථක පොඩි හාමුදුරුවෝ, කොළ අතු වලින් විලි වසා ගෙන සිටි බාහිය දාරුචීරිය, පෙර දින බීමතින් සිටි සන්තිස ඇමතිවරයා, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නේ බුදුරජාණන් වහන්සේ විසින් එම පින්වතුන් පටිච්ච සමුප්පන්නව පුහුණු කළ අතීත ශක්තිමත් විදර්ශනාත්මක ධර්මතාවන් මතු කොට දීම තුළින් මය.

මෙය සටහන් තබන භික්ෂුවගේ මතකයට නැගෙනවා මගේ ගිහි ජීවිතයේදී එක්තරා දවසකදී මම විවාහය සඳහා සුදුසු ද, නැතිද කියලා බලන්න, මනමාලියකගේ පොරොන්දම් පත්‍රයක් අරගෙන, ජ්‍යොතිෂවේදී මහත්මයෙක් ළඟට ගියා. එවකට එම ජ්‍යොතිෂවේදී මහත්මයා රටේ ප්‍රසිද්ධ ජ්‍යොතිෂ පත්‍රයක කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෙක්. මේ මහත්මයා තවමත් නිරෝගීව ජීවතුන් අතර සිටිනවා. මේ මහත්මයා මාව හඳුනන කෙනෙක්. එම මහත්මයා මුණ ගැහෙන්න කාර්යාලයට ගොඩ වෙලා මා පැමිණි කාරණය ප්‍රකාශ කළා.

ඔහු පොරොන්දම් පත්‍ර දෙක අතට ගත්තෙත් නැහැ. ඒ ජ්‍යොතිෂවේදී මහත්මයා ගත් කටටම ප්‍රකාශ කළේ ඔබ ඇවිල්ල තිබෙන්නේ විවාහ වෙන්න නොවේ, පැවිදි වෙන්නය කියලා. ඒ වෙලාවේ මම ඔහුගෙන් ප්‍රශ්න කළා, මහත්මයා මගේ හඳහන බලන්නෙත් නැතිව, අතේ හස්ත රේඛා බලන්නෙත් නැතිව, කොහොමද එහෙම අනාවැකියක් කියන්නේ කියලා. ඒ මහත්මයා ප්‍රකාශ කළේ ඔබ පැවිදි වෙනවාය කියලා මම කියන්නේ, ඔබේ දේහ ලක්ෂණ බලලාය කියලා.

මෙය සටහන් තබන භික්ෂුව ගිහි ජීවිතයේදී වයස අවුරුදු දහඅටේ දී පටන්, අනාගතය ගැන දැන ගන්න, ජ්‍යොතිෂවේදී මහත්වරුන් ළඟට ගිහින් තිබෙනවා. නමුත් මම පැවිදි වෙනවාය කියලා ස්ථිරවම කියපු එකම ජ්‍යොතිෂවේදි මහත්මයා ඔහුයි. ඔහු එය ප්‍රකාශ කළෙත්, මගේ හඳහන හෝ හස්ත රේඛා බලලා නොවේ.

භික්ෂුව පින්වත් ඔබට අන්‍යශීලව්‍රතයක් ගැන පාඩමක් කියලා දෙන්න හදනවා නොවේ. මේ ජීවිතයේ දී උතුම් අධිගමයන් අවබෝධය උදෙසා පටිච්චසමුප්පන්න අතීත ධර්මානුකූල, පුහුණු, පුරුදුත් මතු කොට ගන්න අවශ්‍ය බව, මතු කොට දීමට උදාහරණයක් දැක්වූවා පමණක් මය.

වර්තමාන අවබෝධය උදෙසා අතීත පුරුදු පුහුණු මතු කොට දෙන තීරණාත්මක සාධකය වෙන්නේ උතුම් ශ්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම මය.

මෙය සටහන් තබන භික්ෂුව, පින්වත් ඔබට සෝවාන් ඵල අවබෝධය උදෙසා අවශ්‍ය මුල් ම ධර්මානුකූල ශක්තිය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රවණය කළා වූ සද්ධර්මය ධර්මානුකූලව නුවණින් මෙනෙහි කිරීම වශයෙන් සඳහන් කළා.

දෙවැනි අදියර වශයෙන් භික්ෂුව දැක්වූවේ තමා තුළින් චතුරාර්ය සත්‍ය ධර්මයන් මතුකොට ගැනීමයි. අතීත, වර්තමාන, අනාගත පටිච්චසමුප්පන්න දුක, ඔහු තමා තුළින් නුවණින් දකිනවා. අතීතයේ පටිච්චසමුප්පන්නව, සතර අපායන්ට වැටිලා, පෙත් ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය, නිරය මහගෙදර කොට ගෙන වින්දා වූ දුක, නුවණින් දකිනවා. බුදුරජාණන් වහන්සේ ඔබේත්, මගේත් මහගෙ දර කියලා කියන්නේ ඔබේ අම්මා තාත්තාගෙන් ඔබට ලැබුණ නිවසට නොවේ. ඔබත්, මමත්, මගේ කොට ගෙන පැළපදියම් වූ මහගෙදර සතර අපාය මයි.

මෙය සටහන් තබන භික්ෂුව දෑස් පියාගෙන, මොහොතක් නුවණින් දකිනවා, සතර අපායේ සෑම බිම් අඟලක ම මම පටිච්ච සමුපන්නව කරක්ගහලා තිබෙනවා. බල්ලෝ, බළල්ලු වෙලා, මම මොන තරම් සංසාරේ ගුටි කන්න ඇතිද? හරක්, ඌරො, එළුවො, කුකුල්ලු වෙලා, මම මොන තරම් මැරුම් කන්න ඇතිද? මුවන්, හාවුන් වෙලා මොන තරම් පණ පිටින්ම ලොකු සතුන්ට ගොදුරක් වෙන්න ඇතිද?

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “මේ පැමිණියා වූ දීර්ඝ භව ගමනේදී, මම තිරිසන් ආත්ම භව වල ඉපදෙන අවස්ථා වලදී, මිනිසුන් මගේ බෙල්ල කපා ගෙන, මරා ගෙන කාපු වෙලාවේ ගලාගිය රුධිරය, මහා සාගරයේ ජලයට වැඩිය” කියලා. මට මහා සාගරය පෙනෙන්නේ ජල කඳක් හැටියට නොවේ, පටිච්ච සමුප්පන්නව මගෙන් ම ගලාගිය රුධිර සාගරයක් හැටියටයි. රජවරුන්ට, සොරුන්ට, මං පහරන්නන්ට, යුද්ධ වලට, භීෂණයන්ට මැදි වෙලා සංසාරයේ මොන තරම් නම් කඳුළු සාගරයක්, රුධිර සාගරයක් බාහිර, ආපෝ ධාතුවට මුසු කරන්නට ඇතිද? අකීකරු බිරින්දෑවරු නිසා, අකීකරු ස්වාමිපුරුෂයන් නිසා, චපල පෙම්වතුන් නිසා, චපල පෙම්වතියන් නිසා, සංසාරයේ මොන තරම් මම මැරුම් කන්න ඇතිද? සද්ධර්මයේ නාමයෙන් මිථ්‍යා ධර්මයන්ට රැවටිලා මොන තරම් නම්, අපාගත වෙන්න ඇතිද?

වර්තමානය දෙස බලන්න. මොන තරම් මිථ්‍යා ධර්මයන් සමාජ ගත වෙනවාද? කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉපදුන තැන සොයනවා, තව කෙනෙක් වචන වල අර්ථ නිරුක්ති සොයනවා, තව කෙනෙක් ශීලයෙන් තොරව සෝවාන් වෙන හැටි සොයනවා. තව කෙනෙක් කවුද හරි, කවුද වැරදි කියලා සොයනවා. තව කෙනෙක් අධිගම ලාභීන් සොයනවා.

සුන්දර චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවමානව තිබියදී, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේ දුර්වලතාවයන් නිසා ම, තෘෂ්ණාවත්, දුකත් කියන දෙක ම ශක්තිමත් කොට ගන්නවා. සුන්දර බුද්ධෝත්පාද කාලයක, අපේ ධර්ම මාර්ගය, වර්තමානයේ මෙහෙම විකෘතියක් නම්, අබුද්ධෝත්පාද කාල වලදී කුමන කතාද? චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව, ධර්මානුකූලව දුක නුවණින් දකින පින්වතා මෙතෙක් නොදැක්ක දුකේ හැඩ තල ඔහු මතු කොට දකිනවා. අතීත පටිච්ච සමුප්පන්න භව ගමනේ මෙවන් වියරු දුකක්, මම අත් වින්දේ තෘෂ්ණාව කියන එකම කාරණය නිසාම බව ඔහු මතු කොට ගන්නවා. මේ සෑම තැනකදීම ඔහු අතීත, වර්තමාන, අනාගත පටිච්ච සමුප්පන්න දුක නුවණින් දකිනවා. එරමිණියා ගොතා ගෙන නොසිටියත්, ඉහත අර්ථය ඔහු තුළ වැඩෙන්නා වූ භාවනාවක්; අනාගත සෝවාන් ඵල අවබෝධය උදෙසා ඔහු තුළ වැඩෙන භාවනාවක්. සතර අපාය දැන් ඔහුට කමටහනක්.

වර්තමානයේ සමහරක් බෞද්ධ පින්වතුන්ලාට සතර අපාය විනෝදාංශයක් බවට, ආදායම් මාර්ගයක් බවට, සුරතලෙක් බවට පත්වෙලා තිබෙනවා. කෙනෙක් ගෙන් ඇසුවොත් ඔබේ විනෝදාංශය කුමක්ද කියලා, බල්ලො ඇතිකිරීම, කුරුල්ලො ඇතිකිරීම, මාළු ඇති කිරීම කියනවා. ඇතිකරන සතුන් විකිණීම නිසා ආදායම් මාර්ගය ම මිච්ඡා ආජීවයක් බවට පත් වෙලා.

තවත් සමහරු දේවාල හදා ගෙන, ප්‍රේතයන්, භූතයන්, යක්ෂයන් සමග ආදායම් මාර්ග උදෙසා ම ඥාති සම්බන්ධතා ඇති කොට ගන්නවා. තවත් සමහර පින්වතුන් සති අන්තයේ, මහා සාගරයේ පිහිනීම, නෑම, කිමිදීම විනෝදාංශයන් කර ගෙන, අසුර ලෝකයේ සඤ්ඤාවන් ජීවිතයට එකතු කොට ගන්නවා.

ධර්මයේ අර්ථයන් ගෙන් ඈත්වෙන සමාජයක පින්වත් ඔබත්, මමත් අධර්මය තුළින් ම ධර්මය සොයනවා. නමුත් දුකත්, දුකට හේතුව තෘෂ්ණාවත්, තමා තුළින් ම දුක නැති කිරීමේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයත්, ස්වක්ඛාත ධර්මයේ සරල ගුණයන්, ඒහිපස්සිකව බබළමින්, තමා තුළ ම තිබෙනවා. භික්ෂුව නැවතත්, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේත්, සද්ධර්ම ශ්‍රවණයේත්, උතුම් සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේත් ඇති උත්තරීතර වටිනාකම පින්වත් ඔබට මතක් කොට දෙනවා.

වර්තමාන සමාජයේ පින්වතුන් හුඟ දෙනෙක්, තම අධ්‍යාපනය උදෙසා, නිවසක් හැදීම උදෙසා, වාහනයක් ගැනීම උදෙසා, විවාහය උදෙසා හිතන තරම් කාලයෙන් එක දශමයක් වත් තමා තුළම සැඟවී තිබෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන සිතන්නේ නැහැ. උතුම් සෝවාන් ඵලයට පත් වීම ගැන සිතුවොත්, අධි වීර්යයෙන් අනුකරණයන් මයි සොයා ගෙන යන්නේ.

අධි වීර්යය සකස් වෙන තැනදී, සති සම්බොජ්ඣංගයන්, ධම්ම විචය බොජ්ඣංගයන්, අන්තවාදීව මයි වැඩෙන්නේ. ඒ නිසා ම සෝවාන් ඵලයත්, තෘෂ්ණාවෙන් ම ගන්නවා. සෝවාන් ඵලය මගේ කොට ගන්නවා. මා තුළ සෝවාන් ඵලය තිබෙනවා ය කියලා ගන්නවා. සෝවාන් ඵලය මගේ ආත්මය කොට ගන්නවා. එම ආත්මය තුළ මම සිටිනවා ය කියලා දකිනවා. සෝවාන් ඵලයෙන් චුත වෙන වෙලාවේ සෝවාන් ආත්මය සකෘදාගාමී ඵලයට පත් වෙන බව දකිනවා. ආත්මීය දෘෂ්ටියෙන් සෝවාන් ඵලය ගන්නවා. හේතුඵල ධර්මයන්ට අදාළව දකින්නේ නැහැ.

තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, විදර්ශනාත්මක ශීලය හෙවත් ආර්යකාන්ත ශීලය, පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය නමැති හේතුව නිසා සකස් වෙන ධර්මානුකූල ඵලය වශයෙන් සෝවාන් ඵල අවබෝධය දකින්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය විදර්ශනාත්මකව ශක්තිමත් වීම හේතුවෙන් නිරෝධය වෙන සක්කායදිට්ඨිය, විචිකිච්ඡාව සහ අන්‍යශීල කෙරෙහි විශ්වාසයෙන් බැහැර වීම තුළින් සකස් වෙන ඵලය වශයෙන් සෝවාන් ඵල අවබෝධය දකින්නේ නැහැ.

කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේ දුර්වල භාවය නිසාම, අධිමාන්නය නිසාම, ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල භාවය නිසාම, ඉහත අර්ථයන් පෝෂණය කරන පින්වත් ගුරුවරුන් අපේ සමාජයේ ඕනෑවට වඩා සිටිනවා. ඒ නිසාම සෝවාන් වැඩමුළු, සෝවාන් පන්ති, සෝවාන් පාඨමාලා අවසානයේ කරවටක් එරෙමින් අපි දුකසේ විඳීමට තෘෂ්ණාව ම සොයනවා.

නිවැරැදි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, උතුම් සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම තුළින් විවේකී මධ්‍යස්ථ වීර්යය තුළින්, තමා තුළින් ම දුකත්, දුකට හේතුව තෘෂ්ණාවත් මතු කොට ගන්න දක්ෂයා, දුකෙන් මිදීමේ එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙනවා. ඔහු තමන් ගමන් කරන සෝවාන් ඵල මාර්ගය ගැන ලෝකයට අඬබෙර ගහන කෙනෙක් නොවේ. ඔහු රට වටේ දිවීම නතර කරලා අධර්මය පසුපස, මිච්ඡා ධර්මයන් පසුපස අවිචාරවත්ව දුවන තම සිතුවිලි, උතුම් ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණයේ සරල භාවයෙන්, සන්දිට්ඨික ගුණයේ විශ්වාසයෙන්, අකාලික ගුණයේ කලබලකාරී බවෙන් තොර, මධ්‍යස්ථ වීර්යයෙන්, ඒහිපස්සික ගුණයේ විවෘත දැක්මෙන්, ඕපනයික ගුණයේ තමා තුළින්ම ප්‍රගුණ කිරීමේ නිවැරැදි ධර්ම මාර්ගය මතුකොට ගන්නවා.

මේ නිවැරැදි ධර්ම මාර්ගය පින්වත් ඔබ මතු කොට ගත හොත්, පින්වත් ඔබේ වයස, ජාතිය, කුලය, දුප්පත් පොහොසත් බව, උගත් නූගත් බව කුමක් වුවද, ඔබ ධර්මයේ ‘පච්චත්තං වේදිතබ්බෝ’ ගුණය තමා තුළින්ම සුන්දරව අත්දකිනවා. ධර්ම මාර්ගය තුළ නිවැරැදිව ගමන් කරලා, යම් පින්වතෙක් ලබන්නා වූ අත්දැකීම හරිම සුන්දරයි. කෙළෙස් තුනී කොට ගත්, නිවෙන සිතුවිලි බියෙන් තොරව, හරිම නිදහස්. එය පොතක් කටපාඩම් කරලා, දේශනා කරන, සටහන් තබන දෙයක් වගේ නොවේ. උතුම් ශ්‍රී සද්ධර්මයේ සෑම ගුණයක් ම එම අත්දැකීම් තුළ කිඳා බැස තිබෙන්නේ.

විවේකයෙන් සිත නිවන, නිවෙන සිතෙන් විදර්ශනාව වැඩෙන, සුන්දර වස් කාලයෙන් සතියක් ම ගෙවී ගියා. අද ඉරිදා දවසක්. උදෑසන පිණ්ඩපාත මඩුවට හතළිහකට වැඩිපිරිසක් දානය රැගෙන පැමිණ සිටියා. ඒ සෑම කෙනෙක් ම ගමේ සහ අවට ගම්වල පින්වතුන්, එම පින්වතුන්ලා ගේ උතුම් තෙරුවන් කියන අර්ථය කෙරෙහි, දානය කියන අර්ථය කෙරෙහි, තිබෙන අහිංසක පිනේ ආශ්වාදයෙන්, පෝෂණය වුණා වූ උද්‍යෝගය දකින කොට, භික්ෂුවට එම පින්වතුන් කෙරෙහි, ගෞරවණීය කරුණාවක් ඇති වෙනවා.

ඒ නිසා ම අද උදෑසන චතුරාර්ය සත්‍යය ගැන කෙටි හැඳින්වීමක් සිදුකළා. බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගොස් වසර දෙදහස් හයසියයක් ගිය තැනකදී, ධර්ම මාර්ගයේ උතුම් පූර්වාදර්ශයන්, පරමාදර්ශයන් ඉඩෝරයට හසුවුණ, කල්‍යාණ මිත්‍රයන් අසත්පුරුෂයෙක් හැටියටම දකින්න උත්සාහ කරන සමාජයක බුදුරජාණන් වහන්සේගේ සුන්දර ශ්‍රාවකයෙක් හැටියට භික්ෂුවගේ යුතුකම ජීවිත පරිත්‍යාගයෙන් ම ඉටු කරනවා.