අපි මේ මුළු රටම ශීලයේ යාග භූමියක් බවට පත් කර ගනිමු

ගිහි බෞද්ධ පින්වතුන්ලාත් ශීලය නමැති යාග භූමියේ කොටස්කරුවන් වෙන්න. නිතිපතා පංචශීලය සමාදන් වෙලා එම සිල්පද ආරක්ෂා කර ගන්න. නායක පින්වතුන්ලා බොරු කීවාට, ඔබලා බොරු කියන්න එපා. නායක පින්වතුන්ලා සොරකම් කළාට ඔබලා සොරකම් කරන්න එපා. තම බිරිඳගෙන් සැමියාගෙන් පමණක් සතුටු වන සිල්වතෙක් වෙන්න. සවසට අරක්කු කඩ ඉදිරියේ පෝළිම් ගැසෙන්න යන්න එපා. පින්වත් ගිහි ඔබ ශීලය නමැති යාග භූමියේ ශක්තිමත් අවංක සටන්කරුවෙක් වෙන්න. ආගමික සමගියට, ජාතික සමගියට ගරු කරන ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් පූජකතුමන්ලා වගේම එම ආගම් වල ගිහි පින්වතුන්ලාත් මෙම ශීල යාගයේ කොටස්කරුවන් වෙන්න අවශ්‍යමයි. එහෙයින් අනෙකුත් ආගම් වල පින්වතුන්ලාත් නිතිපතා පංචශීලය ආරක්ෂා කර ගන්න. සතුන් මැරීමෙන් හැකිතාක් වළකින්න. තම තමන්ගේ ආගමික ශාස්තෘන් වහන්සේලාගේ ඉගැන්වීම් වලට අදාළව යහපතෙහි යෙදෙන්න.

අතිගෞරවණීය, උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේලා හතරදෙනාගේ නායකත්වයෙන් මහා සංඝරත්නය, බෞද්ධ ගිහි පින්වතුන්ලා ශීල යාගය තුළ ශක්තිමත් වන විට අනෙකුක් ආගම් වල පූජක තුමන්ලා තම ගිහි පින්වතුන්ලා සමග ශීල යාගය තුළ ශක්තිමත් වන විට මහා සංඝරත්නයේත් ජනතාවගේත් පින කුසලය ශක්තිමත් වෙනවා. ජනප්‍රිය භාවය ඇති වෙනවා.

එවිට හේතුඵල ධර්මයන් විසින්ම දුස්ශීල බලවේගයන් නොසිතූ ආකාරයට පරාජය කරා ගමන් කරාවි. එම නරක උදවියට කුමක් සිදුවේද කියල ඔබ සිතන්න අවශ්‍ය නැහැ. දේවදත්ත හාමුදුරුවන්ට කුමක් සිදුවේද කියල බුදුරජාණන් වහන්සේ සිතුවේ නැහැ. කෝකාලික හාමුදුරුවන්ට කුමක් සිදුවේද කියල සාරිපුත්ත මහරහතන් වහන්සේ සිතුවේ නැහැ. උන්වහන්සේලා අභියෝගයන් හමුවේ ආර්ය ශීලය තුළ ශක්තිමත් වීම පමණක් මයි, සිදු කළේ. එම නිසා පින්වත් ඔබ මීළඟට වෙන දෙය ගැන නොසිතා ශීල යාග භූමියේ ශක්තිමත් සටන් කරුවන් වෙන්න. ඔබ තුළ රැස් වෙන කුසල් සංස්කාර විසින් අකුසලය පරාජය කර දමාවි. නමුත් ඉතින් කුමන සංස්කාරයත් අනිත්‍ය භාවයට පත් වෙන සංස්කාරයක් මයි. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා අප අපවත් වන තුරාවටම කළහැකි යමක් වේද ධර්මානුකූලව එය ඉටු කිරීම අපගේ යුතුකමක් වෙනවා. පින්වත් ඔබ ශීල යාගයේ ශක්තිමත් වෙන විට ඔබගේ ඉන්ද්‍රිය සංවර භාවය ශක්තිමත් වෙනවා. අභියෝගයන් ඉදිරියේ සිල්පද ආරක්ෂා කර ගෙන ඒවාට මුහුණදීමේ සතිය, සිහිය ඔබ තුළ ඇති වෙනවා. ශීල යාගයේ යෙදෙන පින්වතා අභියෝගයන් ඉදිරියේ පලායන පින්වතෙක් වෙන්නේ නැහැ. ධර්මානුකූලව මෙත් සිත උපයෝගි කර ගෙන අභියෝගයන් ජය ගන්නා කෙනෙක් බවටයි, පත් වෙන්නේ.

පින්වත් ඔබට මෙම සටහන් ලියන භික්ෂුව උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයේ අර්ථයෙන් හුඟාක් ප්‍රතිඵල ලබාගන්න භික්ෂුවක්. එම අත්දැකීම් තුළ හිඳිමිනුයි පින්වත් ඔබට ශීල යාගයේ ශක්තිමත්භාවය ගැන ඉහත සටහන තැබුවේ. ලිපිය අවසන් කරන මොහොතේ නැවතත් ගෞරවයෙන් මතක්කර සිටිනවා අති ගෞරවණීය උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේලා හතරදෙනා වහන්සේලාගේ නායකත්වයෙන් පින්වත් ගිහි පැවිදි අපි සියල්ලෝම, මේ මුළු රටම ශීලයේ යාග භූමියක් බවට පත් කර ගනිමු. එම ශීල යාගයේ ශක්තිය මුළු රටටම යහපතක් වේවි. ඔබ අප සියලු දෙනාටම මෙලොව පරලොව සැපය උදෙසාම හේතු වේවි. දුස්ශීල බලවේගයන්ගේ පරාජය තාවකාලිකව හෝ සිදුවේවි.

මෙය සටහන් තබන භික්ෂුවට සමාජය තුළ පුංචි හෝ ගෞරවයක් තිබෙනවා නම් එම ගෞරවය භික්ෂුව අපවත් වෙන තුරාවටම අඩුවෙන්න ඉඩ තබන්නේ නැහැ. භික්ෂුව එම තත්ත්වය ඇති කර ගන්නේ වංචාවකින්, ප්‍රෝඩාවකින්, අස්බැන්දුමකින් නොවේ. උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයේ අර්ථය තුළින් මයි. ශීලය ඔබට ලබා දෙන මුල්ම ප්‍රතිලාභයන් දෙක තමයි තමාගේ කීර්ති රාවය පැතිර යැම සහ බියෙන් තොරව හැසිරීම කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එම නිසාම ගිහි පැවිදි අපි ශීලයෙන් ශක්තිමත් නම් පින ගින්දරක් බවට පත් කර ගෙන සිල් පද බිඳින පාලක පින්වතුන්ලාට සද්ධර්මයේ අර්ථය මතු කර දෙන්න, ශීලයේ ශක්තිය මතු කර දෙන්න, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙත් සිතින් කටයුතු කරමු. භික්ෂු සමාජයේ දේශපාලනය විය යුත්තේ එම වගකීමයි.