දුක නමැති රෝගයට එකවර ඔසු දෙකක්

පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවෙහි, අපි සිදු කරන, වැරදි ඇවතුම් පැවතුම් ද රෝගී භාවයේ දුක්, වේගයෙන් සමාජගත කරනවා. පින්වත් ඔබ රෝගී භාවය නිසා දුක් විඳින පින්වතෙක් නම් රෝගී භාවයට එකම හේතුව තෘෂ්ණාවයි. ඔබට රෝගී භාවයේ දුක අඩු කොට ගැනීමට අවශ්‍ය නම් ඔබ තෘෂ්ණාවයි අඩු කොට ගත යුත්තේ. තෘෂ්ණාව අඩු කරන, එකම ධර්මානුකූල මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. රෝගී භාවයෙන් දුක් විඳින පින්වත් ඔබට ධර්මානුකූලව ගත යුතු එකම බෙහෙත උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියයි.

රෝගී පින්වතා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ශක්තිමත් වීමෙන් තම දුක නමැති රෝගයට ඖෂධ වර්ග දෙකක් එකවර ජීවිතයට එකතු කොට ගන්නවා. වර්තමානයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ශක්තිමත් වීමෙන් තෙරුවන් කෙරෙහි කීකරු භාවයෙන් ඔබ තුළ වැඩෙන ශීලයේ, මෛත්‍රියේ, ශක්තියෙන් ඔබ ජීවිතයට එකතු කොට ගන්නා අනවශ්‍ය ආහාර සහ වැරදි ඇවතුම් පැවතුම් කෙරෙහිත්, ඒවායින් වැළකීම කෙරෙහිත්, සතිය සිහිය ඇති කොට ගන්නවා. දෙවැනිව වර්තමානයේ රෝගී ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කොට ගැනීමේදී ජීවිතයට එකතු වෙන කුසල් ශක්තිය නිසා, රෝගී භාවයට අදාළව විපාකයට පැමිණෙන අතීත අකුසල් සංස්කාර වලට අදාළ වැරදි, දැනීම් මැඬ පවත්වා ගැනීමේ ශක්තිය ඔබට ලැබෙනවා.

පින්වත් ඔබට ශරීරයට නුසුදුසු කෘත්‍රිම ආහාර, රසකාරක වසවිස සහිත ආහාර, අධික පෝෂණයෙන් යුත් ආහාර සීමාව ඉක්මවා අපථ්‍ය ආහාර අනුභව කිරීමට දැනීම් සකස් වෙන්නේ අනාගතයේ රෝගී භාවයට අදාළ විපාකයට පැමිණීමට ඇති සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන දැනීම් නිසා මය. ආර්ය අෂ්ටාංගික මාර්ගය දුර්වල පින්වතාට, ඉන්ද්‍රිය අසංවර භාවය නිසාම සිතෙන සිතෙන දෙය, දකින දකින දෙය ආහාරයට ගැනීමට දැනීම් සකස් වෙනවා. වර්තමානයේ නිරෝගී ඔබ ඇති කොට ගන්නා වූ ආහාරය සහ වැරදි ඇවතුම් පැවතුම් කෙරෙහි තෘෂ්ණාව අනාගතයේදී ඔබ අත්දකින රෝගී දුකේ පෙර නිමිත්තකි. ඉහත සටහනෙන්, පින්වත් ඔබට තේරුම් යන්න ඕනේ, ඔබ අත්විඳින රෝගී දුකට සුදුසුකම් ලත් වෛද්‍ය ප්‍රතිකාර ලබන ගමන් ම ඔබ ශක්තිමත් කොට ගන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුසල් ධර්මයන් ගෙන් පෝෂණය වූ සිතේ ශක්තියයි ධර්මානුකූලව ඔබේ නිරෝගී භාවයට මාර්ගය කියන කාරණය.

පිණ්ඩපාතය බෙදන්න පැමිණි වයස අවුරුදු හැත්තෑපහක් පමණ වූ අම්මා කෙනෙක් දණහිසේ අමාරුවක් නිසා වාඩි වී සිටීමට නොහැකිව හිටගෙනයි පින් අනුමෝදන් වුණේ. භික්ෂුව එම වයෝවෘද්ධ අම්මාගෙන් විමසුවා මැණියෝ ශරීරය දෙස බලන කොට දුක කියන කාරණය තේරෙනවා නේද කියලා. එවිට එම අම්මා කියනවා මට නම් කිසිම දුකක් නැහැ. මට තිබෙන එකම ප්‍රශ්නය දණහිස් දෙකේ වේදනාව පමණක් මය කියලා. එම අසරණ අම්මා සෑම නිමේෂයකදී ම පංචඋපාදානස්කන්ධ දුක තුළ ජීවත් වුණත් ඒ අම්මා දුක හඳුනන්නේ නැහැ. ධර්මානුකූලව දුක යනු කුමක්දැයි නොහඳුනන බෞද්ධ පින්වතෙක් වේ නම් ඔහු කෙලෙසක දුක ඇති වීමට හේතුව, දුකේ නිරෝධය සහ දුක නිරෝධය කිරීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනා ගන්නද?

බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මරත්නය තුළින් දුක කියන කාරණයත්, දුක ඇති වීමට එකම හේතුව තෘෂ්ණාව කියන කාරණයත්, දුක නැති කිරීමට අවශ්‍ය නම් තෘෂ්ණාව නිරෝධය කළ යුතු යැයි කියන කාරණයත්, තෘෂ්ණාව නිරෝධය කිරීමේ එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි තමා තුළින් ම දුකෙන් මිදීමේ ක්‍රියාන්විතය සරලව දේශනා කොට තිබෙනවා. එය චතුරාර්ය සත්‍ය ධර්මයන් සතු ස්වාක්ඛාත ගුණයයි.

උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවමානව වැඩසිටින තාක්කල්, අතීතයේ වගේ ම වර්තමානයේදී ද, අනාගතයේදී ද මේ ස්වාක්ඛාත වූද, සන්දිට්ඨික වූද, උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධකොටගත හැකිය කියන කාරණය සද්ධර්මයේ අකාලික ගුණයයි.

බුදුරජාණන් වහන්සේ ස්වාක්ඛාත ගුණයෙන් යුක්තව දේශනා කොට ඇති චතුරාර්ය සත්‍ය ධර්මයන් මේ ජීවිතේදී ම තමා තුළින් දකිමින් උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන්. උතුම් රහත් ඵල අවබෝධයට පත් වෙන්න පුළුවන්. එය චතුරාර්ය සත්‍ය ධර්මයන් සතු උතුම් සන්දිට්ඨික ගුණයයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක කාටවත්ම සඟවන්න බැහැ. දුක තිබෙන ජීවිත තුළ අනිවාර්යයෙන්ම පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව තිබෙනවා. තෘෂ්ණාව ඉදිරියේ කවදාකවත් දුක සඟවන්න බැහැ. පින්වත් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතය තුළින් ශක්තිමත් කොට ගන්නා ප්‍රමාණයට තෘෂ්ණාවත් දුකත් සියුම් වෙනවා. ඉහත ධර්මතාවන් සඟවන්න බැහැ. විවෘතව බබළනවා ප්‍රකටව මතු වී පෙනෙනවා. භව නිරෝධය සාක්ෂාත් කොට ගත් රහතන් වහන්සේගේ ජීවිතය තුළින් තෘෂ්ණාවේ නිරෝධය ප්‍රකටයි. තෘෂ්ණාවේ නිරෝධය විවෘතයි. සඟවන්න බැහැ. එය චතුරාර්ය සත්‍යය ධර්මයන් සතු උතුම් එහිපස්සික ගුණයයි.

පින්වත් ඔබ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබමින් උතුම් ශ්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහි කරමින් චතුරාර්ය සත්‍ය ධර්මයන් සතු ස්වාක්ඛාත ගුණය, සන්දිට්ඨික ගුණය, අකාලික ගුණය, එහිපස්සික ගුණය, ඕපනයික ගුණය නිවැරදිව ජීවිතයට එකතු කොට ගැනීමට දක්ෂනම්, පින්වත් ඔබට ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව දුප්පත් පොහොසත් බේදයකින් තොරව කුලවත් කුලහීන බේදයකින් තොරව ලොකු කුඩා බේදයකින් තොරව ලස්සන, අවලස්සන බේදයකින් තොරව ධර්මාවබෝධයක් කරා ගමන් කරන්න පුළුවන්. එය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් සතු පච්චත්තං චේතිතබ්බෝ ගුණයයි.

යම් පින්වතෙක් මොන තරම් පින්කම් සිදු කළත් චතුරාර්ය සත්‍ය ධර්මයන් සතු ඉහත ගුණයන් තමා තුළින් මතු කොට දකින්නට අදක්ෂ නම් එම පින්වතා තවම ශ්‍රී සද්ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කොට ගත් පින්වතෙක් නෙවෙයි. යම් පින්වතෙක් ගේ ධර්මරත්නය කෙරෙහි ශ්‍රද්ධාව දුර්වල නම් එම පින්වතා ගේ බුද්ධරත්නය, සංඝරත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඉදිරියේ ද ප්‍රශ්නාර්ථයක් මයි තබන්නට වෙන්නෙ.

උතුම් ධර්මරත්නයේ ගුණයන්, චතුරාර්ය සත්‍ය ධර්මයන් තුළින් මතු කොට නොදැකීමේ අනතුර බෞද්ධ සමාජය තුළ වේගයෙන් වර්ධනය වෙනවා. දුක ඉදිරියේ දුකට හේතුව වන තෘෂ්ණාව ම වර්ධනය කොට ගැනීමේ දිශාවටයි සමාජය ගමන් කරන්නේ. ඉහත අනතුර ඉදිරියේ පින්වත් ඔබ දක්ෂ වෙන්න. ඔබ යම් දානමය, ශීලමය, භාවනාමය පින්කමක් සිදු කරන කොට තමන් සිදු කරන පින්කම සිහිනුවණින් චතුරාර්ය සත්‍ය ධර්මයන් තුළ විසුරුවා දකින්න.

සෝවාන් ඵල අවබෝධය ලැබීමට පෙරාතුව ශක්‍ර දෙවියන් තම සුජම්පති දේවියත් සමඟ ඉතා දුප්පත් වේශයකින් වෙස්වලා ගෙන මනුෂ්‍ය ලෝකයට පැමිණ නිරෝධ සමාපත්තියෙන් නැගීසිට පිණ්ඩපාතයේ වැඩිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේට වංචාකාරීව දානයක් පූජා කරනවා. ශක්‍ර දෙවියන් පූජා කළා වූ එම දානයේ පින ආනිශංස සහිත වුණත් තෘෂ්ණාව සියුම් වීම උදෙසා දුකේ නිරෝධය උදෙසා එම දානය උපකාර වුණේ නැහැ.

මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ශේෂ්ඨම දානය බවට පත් වෙන්නේ පින්කම් සිදු කිරීමේදී සකස් වෙන ලෝභ සිත් දන් දීමයි. පින්කම් කිරීමේදී සකස් වෙන ද්වේශ සිත්, මෝහ සිත් දන් දීමයි. පින්කම් සිදු කිරීමේදී සකස් වෙන කාමයේ ආශ්වාදයෙන් රූපයේ ආශ්වාදයෙන් සකස් වෙන සිත් දන් දීමයි. වර්තමාන සමාජය කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේ සහ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වල භාවය නිසා ම පින්කම් වලදී අනිත්‍ය වූ පිනක් වෙනුවෙන් අවබෝධාත්මක ගොඩක් ධර්මයන් අහිමි කොට ගන්නවා.

සිහිය දුර්වල වූ තැනදී දුක අමතක වෙනවා. දුකට හේතුව තෘෂ්ණාව අමතක වෙනවා. එවිට අපේ මතකය දිග හැරෙන්නේ සැපය කෙරෙහි තෘෂ්ණාව කියන මිථ්‍යාව දෙසට මයි.

භික්ෂුව මේ සටහන තබන නිහඬ රාත්‍රියේදී මොහොතක් දෑස් පියාගෙන දකිනවා, භික්ෂුව ගිහි ජීවිතය පුරාවට පූජා කළා වූ සියලුම දානයන් තුළින් රැස් කොට ගත්තා වූ සෑම කුසල් සහ අකුසල් සංස්කාරයක් ම අනිත්‍යයි කියලා.

භික්ෂුවගේ භික්ෂු ජීවිතය තුළ මුල් ම කැඳ කෝප්පය සහ පිණ්ඩපාත දානය භික්ෂුවට පූජා කළේ කතරගම ප්‍රදේශයේ පින්වතුන් පිරිසක්. ඒ මුල් ම දානයේ පටන් අද උදෑසන භික්ෂුව ලැබූ පිණ්ඩපාත දානය දක්වා පින්වත් ඔබ පූජා කළා වූ දානයන් තුළින් පින්වත් ඔබලා රැස් කොට ගත්තා වූ සියලුම කුසල් සහ අකුසල් සංස්කාරයක් ම අනිත්‍ය වූ සංස්කාරයක් මයි. දානයට අදාළව පින්කම් වලට අදාළව මතු කොට දකිනා, අතීත පංචඋපාදානස්කන්ධයන්ට අදාළ අනිත්‍ය දැක්ම, ආර්ය ප්‍රඥාව උදෙසා භික්ෂුව තමා තමාට පූජා කරන ශ්‍රේෂ්ඨ ම දානයක් වෙනවා.

පින්වත් ඔබ මහා සංඝරත්නය අරමුණ කොට ගෙන දන් පූජා කළ යුත්තේ ඔබගේ ප්‍රඥාවටයි; ඔබගේ විමුක්තියටයි. එසේ නැතිව මෝහයට නම් නොවේ. මෝහය කියන්නේ කුමකටද? ධර්මානුකූලව මෝහය කියල කියන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීමටයි. දුකට හේතුව වන තෘෂ්ණාව නිරෝධය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය අමෝහය ශක්තිමත් කොට දෙන මාර්ගයයි.

තවත් මහත්මයෙක් ප්‍රශ්නයක් විමසුවා, යම් පින්වතෙක් තුළ මෝහය තිබෙනවා නම් ඔහු තුළ අනිවාර්යයෙන් ම ලෝභය සහ ද්වේශය තිබෙනවාද කියලා. මෝහය ඇති, එහෙත් ද්වේශය නැති එක පුද්ගලයෙක් සිටිනවා. උතුම් අනාගාමි ඵලයට පත් වූ පින්වතා තුළ පංචඋපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි අනුෂය ලෝභය තිබුණත් ඔහු තුළ ධර්මානුකූලව ද්වේශය නිරෝධය වෙලයි තිබෙන්නෙ. උතුම් රහතන් වහන්සේ නමක් පමණක් මයි ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් පරිපූර්ණ වශයෙන් නිරෝධය කොට වැඩ සිටින්නේ.