ගෙයි ගින්දර පිටටත් එපා! පිටරටටත් එපා!

බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි ආයුෂ්මතුන්ගේ භාරකාරත්වය පවරන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේව හඳුන්වන්නේ සංඝ සමාජයේ කිරි මව කියලයි. නිහතමානිභාවයේ පරතෙරට ගිය අයිතිවාසිකම් මඟහැර තම යුතුකම් පමණක් ම පූර්වාදර්ශයන් ගෙන්ම සංඝ සමාජයට ඉටුකළ සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේගේ අයෝමය සංඝ ගුණයන් භික්ෂුවට මේ හිමිදිරි උදෑසන සිහියට නැඟෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ, මහා ප්‍රඥාවන්තය කියලා. “උන්වහන්සේ රූපාවචර ධ්‍යාන සම්පත්, අරූපාවචර ධ්‍යාන සම්පත් අත්විඳීමේ පරතෙරට පැමිණි උත්තමයෙක්. උන්වහන්සේ රූප සඤ්ඤාවන් ඉක්මවා ගොස්, අකාසානඤ්චායතනයට සමවැදී වාසය කරනවා; ආකාසානඤ්චායතනය ඉක්මවා ගොස් විඤ්ඤාණඤ්චායතනයට සමවැදී වාසය කරනවා; විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ගොස් ආකිඤ්චඤ්ඤායතනයට සමවැදී වාසය කරනවා; ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා ගොස් නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට සමවැදී වාසය කරනවා; නේවසඤ්ඤා නාසඤ්ඤායතනය ඉක්මවා ගොස් නිරෝධ සමාපත්තියට සමවැදී වාසය කරනවා. මේ සියලු ම ධර්මයෝ හටගෙන අනිත්‍ය වන බව දැනගන්නා ආර්ය ශීලයෙන්, ආර්ය සමාධියෙන්, ආර්ය ප්‍රඥාවෙන්, ආර්යඤාණ දර්ශනයෙන් සහ ආර්ය විමුක්තියෙන් සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ පරිපූර්ණවයි, අවසාන සිරුර දරාගෙනයි, වැඩ සිටින්නේ” කියලා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේගේ මහා ගුණයන් දේශනා කොට තිබෙනවා.

මේ උතුම් ගෞරවණීය සංඝ සමාජයේ එක සාමාජිකයෙක් තුළ නිධන්ගතව තිබෙන ඉහත උතුම් ගුණයන් මේ ලැබුවා වූ නව වසරේ උදාවත් සමග ඔබ මොහොතක් නුවණින් මෙනෙහි කළොත් එය පින්වත් ඔබට මොන තරම් නම් සැනසිල්ලක් වේවිද? උතුම් සංඝ සමාජය කෙරෙහි මොන තරම් නම් ප්‍රසාදයක් ඇති වෙයිද? සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ සිටියේ කොතැනද? අපි සිටින්නේ කොතැනද කියලා, අපේ ජීවිත වලට අප්‍රමාදීභාවය උදා කොට ගන්න මොන තරම් නම් පිටිවහලක් වේවිද?

සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ ගේ නිහතමානී සත්පුරුෂ භාවය, වර්තමාන මාන්නයේ අසත්පුරුෂ භාවයන්ට මොනතරම් නම් ගුරු උපදේශයක් වෙනවාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අසත්පුරුෂ පුද්ගලයාට මෙහෙම සිතෙනවාය කියලා. “මම කුලවත්, මම ධනවත්, මම ප්‍රසිද්ධයි, මම ජනප්‍රියයි, මම හොඳින් සිවුපසය ලබනවා, මම බහුශ්‍රැතයි, මම විනයධරයි, මම ධර්මකථිකයි, මම පාංශුකූලිකයි, මම පිණ්ඩපාතිකයි, මම ධ්‍යාන සම්පත් තිබෙන කෙනෙක්, තමා තමාවම වර්ණනා කොට ගන්නවා, අනුන්ව හෙළා දකිනවා. මේවා අසත්පුරුෂ ධර්මයන්ය” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භික්ෂුව පින්වත් ඔබට මේවා සටහන් තබන්නේ, ඔබටත් වැරැදි ඇතොත් නිවැරැදි වීම සඳහා මයි. එසේ නැතිව කටපාඩම් කොට ගැනීම සඳහා නම් නොවේ.

දැන් වේලාව උදෑසන 4.20 යි. මේ වෙලාවේ පින්වත් ඔබ අලුත් අවුරුද්දට කිරිබතක් උයන්න ලක ලැහැස්ති වෙනවා වෙන්න පුළුවන්. එසේත් නැතිනම් පින්වත් ඔබ ආගමික කටයුතුවල යෙදී සිටිනවා වෙන්නත් පුළුවන්. එසේත් නැතිනම් මධ්‍යම රාත්‍රියේ අවිද්‍යාවේ රතිඤ්ඤා පත්තු කරලා පංචනීවරණ තුරුල් කරගෙන තද නින්දේ වෙන්නත් පුළුවන්. එසේත් නැතිනම් මත් වතුරෙන් මත්වී සව්දිය පිරූ ෂැම්පේන්වලින්, දහදියෙන් තෙමී ගිය ඇඳුම් වලින් යුතුව තවමත් බාල් නටනවා වෙන්නත් පුළුවන්. පංචඋපාදානස්කන්ධය නමැති එකම ලෝකය තුළ තෘෂ්ණාවේ විවිධත්වයට අදාළව ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධත්වයට අදාළව අපේ විඳීම් විවිධාකාරවයි ක්‍රියාත්මක වන්නේ. මේක තමයි ලෝකය, කිසිම සාධාරණයක්, කිසිම අසාධාරණයක් නැහැ. පින්වත් ඔබගේ ඇලීම් සහ ගැටීම්වලට අදාළව මදි නොකියන්න, තෘෂ්ණාව නමැති වධකයා සංස්කාර නමැති හැන්දෙන් විඤ්ඤාණය නමැති දැනීම්, කැමැත්ත, අකමැත්ත බෙදා දෙනවා.

අපි පුංචි කාලේ අපේ අම්මලා දර ළිප අවුලවල නැවුම් මැටි මුට්ටියේ පොල්කටු හැන්දෙන් කිරිබත් උයපු හැටි භික්ෂුවගේ මතකයට නැඟෙනවා. ඊට පෙරදා සවස කිරිබත තුනී කිරීමට අවශ්‍ය කෙසෙල් කොළය කපා තබන්නේ මම. ඒ කෙසෙල් පඳුරු තිබ්බ තැන දැන් සලකුණක් වත් නැහැ. දරළිප, පොල්කටු හැන්ද මේ සියල්ලම වෙනස් වෙලා. පහසුවේ නාමයෙන් පැන්ටිගත වූ තාක්ෂණයේ මාර ගෑස් ලිප, පින්වත් ඔබට පහසුවටත්, ලාභයටත්, ඉක්මනටත්, රසවත්වත්, පිරිසිදුවටත් කියන මාර ශබ්ද කෝෂයේ වචන වලට මුවා වෙලා දිවේ රස තෘෂ්ණාව, මාර වේශයෙන් වේගවත් කොට දී තිබෙනවා.

අනිත්‍යයි කියන අර්ථය සිහිපත් කරමින් සිටින විට පරිසරයේ නිහඬතාව අනිත්‍ය වී, ගසක ලැග සිටින මොණරෙකුගේ වේගවත් කෑගැසීමේ හඬ භික්ෂුවට ඇසෙනවා. මොණරු වේගයෙන් කෑගසන කොට එම හඬට ප්‍රතිචාර දක්වන්න ළඟපාත ගස්වල ලැග සිටින මොණරුන් හැමෝම කෑගසනවා. මොණරුන්ගේ මේ කෑගැසීම එම සතුන්ගේ සමගියද, එහෙමත් නැතිනම් බියට පත්වීමද කියන්න භික්ෂුව දන්නේ නැහැ. නමුත් එම සතුන් අතර අපේකම තිබෙනවා. අනතුරක සේයාවක් ඉදිරියේ එම සතුන් එක්ව ප්‍රතිචාර දක්වනවා.

තිරිසන් සතුන් අතර අපේකම තිබුණත්, අපේ රටේ පින්වත් ජනතාව අතර අපේකම වේගයෙන් දුර්වල වීගෙන යනවා. අපි අතර අපේකම දුර්වල වීම නිසා ම අපේ රට වර්තමානයේ, විදේශීය තානාපතිතුමන්ලාගේ අතේ නැටවෙන රූකඩයක් බවට පත් වෙලා තිබෙනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා. මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විවාහ ජීවිත ගතකරන අඹුසැමියන්ට. බුදුරජාණන් වහන්සේ ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා කියන්නේ ගෙදර නෝනා සහ මහත්මයා අතර තියෙන ප්‍රශ්න පිට අයට කියන්න එපාය කියන කාරණයයි.

අපි ජීවත් වන සමාජය තුළ දික්කසාද, අඹුසැමි සමගිය බිඳවැටීම, විනෝදාංශයක් බවට පත්වූ කාමයේ වරදවා හැසිරීම්, ඔඩුදුවමින් පවතින පරිසරයක් තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඉහත ධර්මය, සමාජයට ගොඩාක් වටිනවා. මොනම හේතුවක් නිසාවත්, බිරිඳ තමන්ගේ ස්වාමිපුරුෂයාගේ වැරැදි පිටස්තර අයට ප්‍රකාශ කිරීම සුදුසු නැහැ.

සිංහල බෞද්ධ කාන්තාවක් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයන්ට දිවි හිමියෙන් ගරුකරන කෙනෙක්. හේතුඵල ධර්මයන්ට අදාළව ලෝකය දකින්න උත්සාහ ගන්න කෙනෙක්. තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ ස්වාමි දියණිය යම් වරදක් කරනවා නම්, එම වරද නිසා ඔබ දුකට පත් වෙනවා නම් එය ඔබේත් අතීත අකුසල් සංස්කාරයක විපාකයක්. තනි අතකින් අපිට අත්පුඩි ගහන්න බැහැ. අත් දෙකක එකතුවයි, අත්පොළසන් හඬ කියන්නේ. ස්වාමිපුරුෂයෙකුට වැරැද්දක් කරන්න දැනීම් සකස් වෙන්නේ නෝනා මහත්මියගේත් අතීත අකුසල් සංස්කාරයන් නිසා මයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියන්නේ අඹුසැමියන් තමන්ගේ විවාහ ජීවිතයේ ප්‍රශ්න, තමන් විසින්ම, ඉවසීමෙන්, සමගියෙන්, හේතුඵල ධර්මයන් දකිමින් විසඳා ගන්න කියන කාරණයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඉහත ධර්මයට අපි අකීකරු වී පවුල් ජීවිතවල ප්‍රශ්න පිටස්තර පින්වතුන්ට ප්‍රකාශ කළොත්, ඒවායේ අතුරු විපාකයන් නිසා ඇති කොට ගන්නා අකුසල් සංස්කාරයන්, අනාගත භව ගමනේ, අනාගත විවාහ ජීවිත, මහා ගිනි ජාලාවන් බවටම පත්වේවි.

ධර්මානුකූලව අපේ ජීවිත කියන්නේ ප්‍රශ්න පත්‍රයක්. එම ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු ලියන්න තමයි, බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කොට තිබෙන්නේ. එම නිසා අඹුසැමි ප්‍රශ්න තිබෙන පින්වත් ඔබ ඉවසන්න. ඔබ ඉවසන තෙක් ධර්මය මඟ බලාගෙන සිටී. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි කීකරු වූ ඔබට අකුසලය යටපත් කොට කුසලය මතු කොට දීමටය.

ලැබුවා වූ නව වසරේ දී විවාහ ජීවිත ගතකරන පින්වතුන්ට ඇතිවන මත ගැටුම් හේතුවෙන් දෙදෙනා දෙදෙනාට ආඩම්බරකම් පෙන්වමින් අහක බලාගෙන ඉන්නේ නැතුව මමත්වයේ දැඩි භාවය මොහොතකට තුනී කොට ගෙන ගෑස් ළිපේ බත් හැළිය ඉදෙන්නත් ළඟයි, ඉක්මණට සමගි වෙන්න.

ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා බුදුරජාණන් වහන්සේ අඹුසැමියන්ට දේශනා කළත්, වර්තමානයේ අපේ රටේ පින්වත් පාලක පින්වතුන්ලාටද ඉහත ධර්මය ගොඩක් වටිනවා. අපේ සමහර පින්වත් පාලකතුමන්ලා තුළ අපේකම නැති නිසාම රටේ ගින්දර ජාත්‍යන්තරයට දෙනවා. ඒ කියන්නේ රටේ ප්‍රශ්න ලෝකයට කියනවා. ඒ නිසාමයි භික්ෂුව මුලින් සටහන් තැබුවේ වර්තමානයේ අපේ රට විදේශීය තානාපතිතුමන්ලාගේ අල්ලේ නැටවෙන රටක් බවට පත්වෙලා තිබෙනවාය කියල.

මෙවැනි ක්‍රියාවන්ට, අතීතයේ අපේ පැරැන්නෝ ප්‍රකාශ කළේ දෙවියන්ගේ හාල් කැවිලයි කියලයි. නමුත් වර්තමානයේ සමාජයට සද්ධර්මයේ අර්ථයන් නිවැරැදිව ගළපා ගැනීමට ඇති ශක්තිය නිසා ජනතාව දන්නවා, රටේ ගින්දර ජාත්‍යන්තරයට දෙන්නේ, අදාළ බලධාරින්ගේ අසිහියෙන් පෝෂණය වූ තෘෂ්ණාව නිසා මය කියලා.

වර්තමානයේ අපි, ජනප්‍රිය අනුකරණයන් ජීවිත වලට එකතු කොට ගෙන සෑම මොහොතක ම සතුටු කරන්නේ පංච නීවරණ වල බැස ගන්න තෘෂ්ණාවෙන් අසිහියට පත්වූ පින්වතුන් මයි. මේ ලැබුවාවූ නව වසරේදී පින්වත් ඔබ යහපුරුදු තුළින් යහපත් මනුෂ්‍යයන්ව යහපත් දෙවියන්ව සතුටු කරන්න. එය පින්වත් ඔබට සමස්ත යහපත ගරු කරන ලෝකයාට ම පූජා කරන ආයුෂ, වර්ණය, සැපය, බලය පිරි සතුටේ සංසිඳීමේ දානයක් ම වෙනවා.