ප්‍රශ්නය බරපතල වුණත් හේතුඵල ගැලපීමේදී මතුවන දේ සුන්දරයි

ඇසට දකින්න ප්‍රිය කරන, කනට අසන්නට ප්‍රිය කරන, මනසින් විඳින්න ප්‍රිය කරන, මොන තරම් සුන්දර දේවල් ලෝකයේ තිබෙනවාද? සමහරක් පින්වත් මනුෂ්‍යයෝ මොන තරම්, සුන්දර සැපයක් අත්විඳිනවද? අපි අත්විඳින හැම සැපයක් පසුපස ම, සැඟවුණ සුන්දර ධර්මයේ අර්ථයක් තිබෙනවා. අපි පින කියලා කියන්නේ එම සුන්දර ධර්මයේ අර්ථයට. පින අනිත්‍ය වූ සංස්කාරයක් වුණත්, පින විපාක දෙන කොට, පින මයි සැපයට අග්‍ර වෙන්නේ.

පින, සැපයට කියන තවත් නමක් වුවත්. පින ලෝභ, ද්වේෂ, මෝහ, අකුසල් මූලයන් ගෙන් පෝෂණය වුණොත් සැපයට හේතු වෙන පින ම, දුකට හේතු වෙන ගින්දරක් ම වෙන්න පුළුවන් බව, ධර්මයේ සඳහන් වෙනවා.

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගරුත්වයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, සකසා, විසිතුරුව, ප්‍රනීත භාවයෙන් සිදු කරන පින්කම්, පෙරලා විපාකයට පැමිණෙන්නේ, සුගතියට අදාළව කාම ලෝකයේ, ආයුෂය, වර්ණය, සැපය, බලයට අදාළව මයි. බෞද්ධ සමාජයේ ජීවත් වෙන සත්පුරුෂ පින්වතුන්, පින්කම් සිදු කරනවා දකින කොට භික්ෂූන් වන අපිට සතුටක් ඇති වෙනවා. සත්පුරුෂ පින්වතුන්ලා, ආයුෂය, වර්ණය, සැපය, බලය, වැඩි වැඩියෙන් ලබන කොට, එය සමාජයට, රටට සම්මා සම්බුද්ධ ශාසනයට ආරක්ෂාවක් මයි, යහපතක් මයි.

බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයා වශයෙන් දේශනා කරන්නේ, යම් පින්වතෙක් සම්මාදිට්ඨියෙන් පෝෂණය වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩයිද ඔහු සත්පුරුෂයායි. බුදුරජාණන් වහන්සේ, සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂයා වශයෙන් හඳුන්වන්නේ, සම්මාදිට්ඨියෙන් පෝෂණය වූ, සම්මා ඤාණ, සම්මා විමුක්තීන් සාක්ෂාත් කොට ගත්ත පින්වතාටයි.

බුදුරජාණන් වහන්සේ අසත්පුරුෂයා වශයෙන් හඳුන්වන්නේ යමෙක් මිච්ඡා අෂ්ටාංගික මාර්ගය වඩයිද, ඔහු අසත්පුරුෂයායි. බුදුරජාණන් වහන්සේ, අසත්පුරුෂයාටත් වඩා අසත්පුරුෂයා වශයෙන් දේශනා කරන්නේ, යමෙක් මිථ්‍යාදෘෂ්ඨි ඇත්තේ, මිච්ඡා ඤාණ, මිච්ඡා විමුක්ති වඩයිද, ඔහු අසත්පුරුෂයාටත් වඩා අසත්පුරුෂයායි. ආර්ය ධර්මය තුළ නිවැරදිව ස්ථානගත වෙච්ච සත්පුරුෂයා, පින තුළින් තමා ලබන ආයුෂ, වර්ණය, සැපය, බලය, පෙරලා යොමු කරන්නේ, සත්පුරුෂ ධර්මයන්ගේ ආරක්ෂාව උදෙසා මය.

නමුත් ආර්ය ධර්මයන් සරණ නොගිය, අසත්පුරුෂ පුද්ගලයන්, පින්කම් සිදුකිරීමට පටන් ගත්තොත්, එම අසත්පුරුෂ පින්වතුන් ලබන්නා වූ ආයුෂය, වර්ණය, සැපය, බලය, පෙරලා යොමු කරන්නේ, අසත්පුරුෂ ධර්මයන්ගේ පෝෂණය උදෙසා මය. එය හරියට, වසවර්ති මාරයා සහ මාර පිරිස, පින්කම් සිදු කිරීමට පටන් ගන්නා වගේ භයානක ක්‍රියාවකි.

ධර්මානුකූල හේතුඵල ධර්මයන්ට යටත්ව, සකස් වෙන ඉහත ධර්මතාවන් සම්බන්ධයෙන්, භික්ෂුව ඇඟිල්ල දිගුකරලා කාටවත් චෝදනා කරන්නේ නැහැ. සමාජය තුළ ක්‍රියාත්මක වෙන සත්පුරුෂ ධර්මයන්ගේත්. අසත්පුරුෂ ධර්මයන්ගේත්. සැබෑ රුව ගුණ, පින්වත් ඔබට නිවැරදිව හඳුනාගෙන, නිවැරදිවීම උදෙසාමයි, ඉහත සටහන තැබුවේ. මිථ්‍යා දිට්ඨියෙන් පෝෂණය වූ, මිච්ඡා හැසිරීම් වලින් යුත් පුද්ගලයා, සමාජයට ලොකු අනතුරක් මයි. මෙවැනි මිච්ඡා හැසිරීම් වලින් යුත් අසත්පුරුෂ පුද්ගලයා සිතනවා, “මම කුලවත්, මම ප්‍රසිද්ධයි, මම විනයගරුකයි, මම බහුශ්‍රැතයි, මාව හැමෝම පිළිගත යුතුයි, මම නිවැරදියි” කියල. මෙම ගතිගුණ අසත්පුරුෂ භාවයේ ලක්ෂණයන්ය කියලා, ධර්මයේ සඳහන් වෙනවා.

අද උදෑසන භික්ෂුව පිණ්ඩපාතය පිළිගැනීමෙන් අනතුරුව පැමිණ සිටි, පනහකට වැඩි පින්වතුන්ලාට, පුණ්‍යානුමෝදනාවන් සිදු කොට, අවසානයේ ප්‍රාර්ථනා කළේ, “නිවන් අවබෝධය ලබන තුරාවට, අසත්පුරුෂ ආශ්‍රයන්, පාපමිත්‍ර ආශ්‍රයන් නොලැබේවා” යැයි කියලා. මහා ගින්නකට, මහා ගංවතුරකට කරන්න පුළුවන් විනාශයකට වඩා, විනාශයක්, අසත්පුරුෂ පුද්ගලයකුට සමාජයට, රටට සිදු කරන්න පුළුවන් බව පින්වත් ඔබ තේරුම් ගත යුතුයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආර්ය ධර්මයේ නොහැසිරෙන, ආර්යයන් වහන්සේලා ඇසුරු නොකරන, අසත්පුරුෂ පුද්ගලයා, රූපය ආත්මය වශයෙන් දකිනවාය කියලා; වේදනාව, සඤ්ඤාව, සංස්කාර, විඤ්ඤාණ ධර්මතාවන්. ආත්මීය වශයෙන් දකිනවාය කියලා. පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි ඇති කොට ගන්නා, කෙල හලන තෘෂ්ණාව, සමාජ ආරක්ෂාව කෙරෙහි, සමාජ යහපත කෙරෙහි ඇති සියලුම ගුණාත්මක ධර්මතාවන් විනාශ කොට දමනවා. වරක් ස්වාමින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ගෙන් විමසනවා, පංචඋපාදානස්කන්ධය කුමක් මුල් කොට ගෙන ඇති වෙනවාද කියලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාව මුල් කොට ගෙනයි, පංචඋපාදානස්කන්ධය සකස් වෙන්නේ කියලා; පංචඋපාදානස්කන්ධය කෙරෙහි යම් ඡන්දරාගයක් වෙත් ද, එයයි එහි උපාදානය කියලා. බුදුරජාණන් වහන්සේ උපාදානය වශයෙන් දේශනා කරන්නේ බැඳී යාමයි. කුමකටද අපි තෘෂ්ණාවෙන් බැඳී යන්නේ, එයයි උපාදානය. සත්ත්වයා, කාමයන් කෙරෙහි බැඳී යනවා; දෘෂ්ඨින් කෙරෙහි බැඳී යනවා; මතවාදයන් කෙරෙහි බැඳී යනවා; වැරදි ශීලව්‍රතයන් කෙරෙහි සත්ත්වයා බැඳී යනවා, බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය පැනවීමට හේතුව, සතර මහා ධාතුව වශයෙන් දකින්නේ නැහැ. වේදනාස්කන්ධය, සඤ්ඤාස්කන්ධය, සංස්කාරස්කන්ධය, පැනවීමට හේතුව, ස්පර්ශය බව දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණස්කන්ධය පැනවීමට හේතුව, නාමරූප ධර්මයන් බව දකින්නේ නැහැ. ධර්මය කෙරෙහි නිවැරදි දැක්ම හෙවත්, දිට්ඨි විශුද්ධිය පිරිසිදු නොවීම නිසාම, ආත්මීය දිට්ඨියේ මමත්වයේ දැඩි භාවය අසිහියෙන් පෝෂණය කොට ගන්නවා.

අසත්පුරුෂ භාවයට පත් වූ පුද්ගලයකු ගේ, ආත්මීය දිට්ඨියෙන් පෝෂණය වූ මමත්වයේ දැඩි භාවය, ශක්තිමත් වෙන ප්‍රමාණයට, , එම අසත්පුරුෂ පුද්ගලයා, සමාජයට ප්‍රකට කරන්නේ, තමන්ගේ චිත්ත විශුද්ධියේ, ශීල විශුද්ධියේ බිඳවැටීමයි. මේ සියල්ලට ම හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ලෞකික ප්‍රඥාවට අදාළව දේශනා කොට තිබෙන සම්මාදිට්ඨියේ සහ සම්මා සංකප්පයන්ගේ දුර්වලතාවයන් මයි.

තමා තමාට කෘතවේදී වෙන, තමා තමාට අනුකම්පාව දක්වන පින්වතුන්, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් සකස් කොට දෙන, සම්මාදිට්ඨි සහ සම්මා සංකප්පයන් ගේ තීරණාත්මක භාවය, ධර්ම මාර්ගය පුහුණුවීමේ දී නුවනින් තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ. මේ දක්ෂ භාවය දුර්වල වූ තැන, රූපය ඇසුරින් සකස් වෙන ආයුෂයත් මගේ කොට ගන්නවා. වර්ණයත් මගේ කොට ගන්නවා. සැපයන් මගේ කොට ගන්නවා. බලයත් මගේ කොට ගන්නවා. ජනප්‍රිය භාවයනුත් මගේ කොට ගන්නවා. මේවා මගේ ආත්මය කොට ගන්නවා. මේවා තුළ මම සිටිනවාය කියලා ගන්නවා. මේවා ස්ථිර, සැප, සුභ, දේවල් හැටියට ම ගන්නවා. මෙවැනි පුද්ගලයන් ඉහත අධාර්මික, ධර්මයන් ගුරුකොට ගෙන, තමා තමාවත්. තමා අනුන්වත් අසත්පුරුෂ භාවයන්ට ම යොමු කොට ගන්නවා. සත්ත්වයා පුහුණු කොට ගන්නාවූ, මේ විකෘති ධර්මයන් නිසා ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් සෝවාන් ඵලයට පත් නොවූ සෑම පින්වතෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියලා.

රටක් පාලනය කරන පින්වතුන්ලාගේ බඹසර හැසිරීම කියන්නේ, එම පාලක පින්වතුන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත්ව හැසිරීමයි. බඹසර හැසිරීම කියන වචනයේ සැබෑ අර්ථයට අනුව දැකීමේදී අපේ රටේ, රට කඩාගෙනම දුවන්නට හදන සමහරක් පාලක පින්වතුන්ලා තුළ බඹසර කියන අර්ථය ගෑවිලාවත් නොමැති බවක් පෙනෙන්නට තිබෙනවා. භික්ෂුව මේ සටහන් තබන්නේ වැරදි ඇතොත් නිවැරදි කොට ගැනීම උදෙසා මයි.

ඕනෑම අසත්පුරුෂ ධර්මයන් වඩන පින්වතෙකුට, කල්‍යාණමිත්‍ර ආශ්‍රය ඔස්සේ සත්පුරුෂයෙක් වීමේ නිදහස, ධර්මය තුළ විවෘතව තිබෙනවා. අපේ මනුෂ්‍ය ජීවිත කියලා කියන්නේ අතීත පටිච්චසමුප්පන්න සංස්කාර ගොඩක එකතුවක් පමණක් මයි. අතීත සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීම් හෙවත්, විඤ්ඤාණයන් ඔස්සේ, අපි නැවත නැවත භවය සකස් කොට දෙන, සංස්කාරයන් ම රැස් කොට ගන්නවා. විඤ්ඤාණය, සළායතනයන් ගෙන් යම් ආයතනයක බැසගෙන තිබෙනවාද, එම පටිච්චසමුප්පන්න විඤ්ඤාණය පසුපස, අප්‍රකටව සංස්කාරයන් ද බැසගෙන තිබෙනවා. ඵස්සය සකස් වෙන්නේ, අධ්‍යාත්මික රූපයන්, බාහිර රූපයන් විඤ්ඤාණයන් එකතු වීමෙන් වුවත් මේ ඵස්සය තුළත් සංස්කාරයන් බැසගෙන තිබෙනවා මයි. මොකද සංස්කාර හේතුවෙන් මයි. විඤ්ඤාණය සකස් වෙන්නේ. ඒ වගේ මයි, විඤ්ඤාණය හේතුවෙන් මයි නාම රූප ධර්මයන් සකස් වෙන්නේත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ඉහත ධර්මතාවයන්ට අදාළව අපි තේරුම් ගත යුතුයි අපේ සෑම මනුෂ්‍ය ක්‍රියාකාරකමක් පසුපස ම අතීත සංස්කාරයන් හේතුවෙන් සකස් වුණ දැනීම් බැසගෙන තිබෙනවාය කියන කාරණය. ඒ නිසාම අපි දක්ෂ විය යුතුයි. අපි පටිච්චසමුප්පන්නව ප්‍රගුණ කළ, වර්තමානයේ අපි තුළ තිබෙන, උපන් රටට, අහිතකර වැරදි දෘෂ්ටියෙන් මිදෙන්න.

අපේ ජීවිත ඉදිරියට පැමිණෙන සමහරක් ප්‍රශ්න අනුන් ඇති කළා වූ ප්‍රශ්නයන් වුවද, එම ප්‍රශ්න හේතුවෙන්, ඔබ අත් විඳින්නා වූ දුක් වේදනාවන් ඔබේම. පටිච්චසමුප්පන්න අකුසල් විපාකයන් ගේ ඵලයන් මය. නමුත් ඕනෑම ප්‍රශ්නයක්, මොන තරම් ව්‍යාකූල වුවද, එම ප්‍රශ්නය ධර්මානුකූලව හේතුඵල ධර්මයන්ට අදාළව, විග්‍රහ කොට ගන්නා කළ ඕනෑම ව්‍යාකූල ප්‍රශ්නයක් හරිම සුන්දර ධර්මයේ අර්ථයක් ම වෙනවා. සමාජය නිරතුරුව මතු කොට දෙන ප්‍රශ්න තුළින්, පින්වත් ඔබ ඇලීම් ගැටීම් දිශාවට නොයා ඔබට පුළුවන් නම් එම ප්‍රශ්න, ධර්මයේ උපේක්ෂාවෙන් දකින්න, එම දක්ෂ භාවයන් සුන්දර සත්පුරුෂ ධර්මයක් ම වෙනවා.

අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙන මොහොත දක්වා, අපායගාමී වැරදි කරන ස්වභාවයෙන් මිදිලා නැහැ. ඒ නිසාම අපි. උතුම් සද්ධර්මය අපගේ නිවැරදි වීම උදෙසා මයි ප්‍රයෝජනයට ගත යුත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේලා චීවර, පිණ්ඩපාත, සේනාසන, ඖෂධ යන සිව්පසය උදෙසා භවයේ සැප වර්ණනා කිරීම උදෙසා ධර්මය දේශනා කරන්නේ නැහැය කියලා.

බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාට කරුණාවෙන් මයි අනුකම්පාවෙන් මයි, හිතෛෂීභාවයෙන් මයි දහම් දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සත්තිස්බෝධිපාක්ෂික ධර්මයන් වඩමින්, වාද විවාද නොකර, සමාජයට පූර්වාදර්ශී ජීවිත ගත කරන්න කියලයි බුදුරජාණන් වන්සේ අපිට අවවාද කොට තිබෙන්නේ.