තෘෂ්ණාව තෘෂ්ණාවෙන්ම නැති කරන කලාව

දුක අර්ථය කොටගත් පංචඋපාදානස්කන්ධ ලෝකයේදි අපි හැමෝම සැප වේදනාවන්ට කැමතියි. සැප වේදනාවන් ඇතිවුණ අවස්ථාවන්හි දී අපි ඒ සැප වේදනාව මගේ කොට ගන්නවා. ඒ සැප වේදනාවන් තුළ බැස ගන්නවා. ඒ සැප වේදනාවන් නොවෙනස් වන දෙයක් බව දකිනවා. නමුත් යම් මොහොතක දී ඒ සැප වේදනාවන් වෙනස් වී දුක් වේදනාවක් බවට පත්වෙද්දී අපිට ඉතිරි වන්නේ බලාපොරොත්තු බිඳවැටීමක් පමණක් මයි.

මෙය සටහන් තබන භික්ෂුවගේ භික්ෂු ජීවිතය තුළ කවදාකවත් බිඳවැටුණ බලාපොරොත්තු නැහැ. බලාපොරොත්තු බිඳවැටෙන්න නම් බලාපොරොත්තු ඇති කොට ගන්න ඕනේ. මමත්වයේ දැඩිභාවයෙන් තොරව සංස්කාරයන්ට අදාළව ජීවිතය දකින කොට සැප, දුක් වේදනාවන් ගෙන් බැහැර වූ ධර්මයේ උපේක්ෂාව තුළයි ජීවිතය පවතින්නේ. ආනන්ද මහෝත්තමයන් වහන්සේ දේශනා කරන ධර්මයේ බොහෝම සුන්දර අර්ථයක් තිබෙනවා. ආහාරය උපයෝගී කොට ගෙන, ආහාරයෙන් පෝෂණය වන මේ කය නිරෝධය කරන, තෘෂ්ණාව උපයෝගී කොට ගෙන, තෘෂ්ණාව නිරෝධය කරන, මාන්නය උපයෝගී කොට ගෙන, මාන්නය නිරෝධය කරන, ලිංගික ආශාව උපයෝගී කොට ගෙන, ලිංගික ආශාව නිරෝධය කරන සුන්දර ධර්මයක් ආනන්ද මහෝත්තමයන් වහන්සේ දේශනා කරනවා.

ආනන්ද මහෝත්තමයන් වහන්සේ දේශනා කරනවා මේ කය ආහාරයෙන් වැඩී තිබෙන්නේ. එම නිසා ආහාර උපයෝගී කොට ගෙන ආහාර කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරන්නය කියල. වර්තමාන සමාජයේ දිව පිනවීමට ඇති අධික තෘෂ්ණාව නිසා ම ආහාර උපයෝගී කොට ගෙන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දොම්නස්සයන් ගේ සිරකරුවන් බවට සමාජය පත් වෙලා තිබෙනවා. දිවේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් නොදකින නිසා ම, දිවේ ස්පර්ශය හේතුවෙන් ලබන කෙටි සැප වේදනාවන් අනිත්‍ය බව නොදකින නිසා ම, එකිනෙකට වෙනස් හඳුනා ගැනීම් පසුපස සංස්කාරයන් හඹාගෙන පිට්සා, කොත්තු රොටි, කෙටි කෑම සංස්කෘතිය වේගයෙන් ශක්තිමත් වෙනවා. අවිද්‍යාවේ අවන්හල්, හෝටල්, කඩ කෑම සංස්කෘතිය සමස්ත ජාතියම ජාති, ජරා, ව්‍යාධි, මරණයන් ගේ සුන්දර සද්ධර්මයේ ඒහිපස්සික ගුණය, සිහිබුද්ධිය ඇති හැමෝටම හොඳින් මතු කොට පෙන්වනවා.

ආනන්ද මහෝත්තමයන් වහන්සේ දේශනා කරනවා, ආහාරයෙන් පෝෂණය වන මේ කය ආහාරය උපයෝගී කොට ගෙන නිරෝධය කරන්නය කියලා. ආහාරය උපයෝගී කොට ගෙන ආහාරය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරන්නේ කොහොමද? ආහාර කෙරෙහිත්, ආහාරයෙන් පෝෂණය වන මේ කය කෙරෙහිත්, සතිය සිහිය ඇති කොට ගන්නවා. මේ කය ආහාරයෙන් ඉපදුණා වූ රූපයක්. පින්වත් ඔබේ ඔය සුන්දර රූපය හටගන්නේ ආහාරයෙන්. අතීතයේ යම් දවසක ඔබේ අම්මාගේ ශරීරයේ පැලෝපීය නාළය තුළ අම්මාගේ ඩිම්බයකුත්, තාත්තාගේ ශුක්‍රාණුවකුත් එකතු වීමෙනුයි ඔබේ රූපයේ මූල බීජය වන කලල රූපය ඇති වුණේ. අම්මාගේ ඩිම්බයක් කියන්නේ, තාත්තාගේ ශුක්‍රාණුවක් කියන්නේ තමන් අනුභව කළා වූ ආහාරයේ ඕජාවෙන් හටගන්නා වූ ධර්මතාවයන් දෙකක් මයි. ඒ නිසයි ඔබේ රූපය ආහාරයෙන් හටගත්තාය කියලා ධර්මානුකූලව අර්ථ දක්වන්නේ.

පින්වත් ඔබේ ඔය රූපය අයිති පිළී ගඳ ගහන ඔබේ මෑණියන්ගේ ශරීරයේ නිපදවෙන ඩිම්බයක, පිළී ගඳ ගහන ඔබේ පියාණන්ගේ ශුක්‍රාණුවකට. පින්වත් ඔබ දෑස් පියාගෙන දකින්න පිරිමියකුගේ ශරීරයෙන් පිටවී යන ශුක්‍රාණුවක ඇති පිළී ගඳ, දුගඳ, අපුල භාවය. දින විසි අටකට වරක් කාන්තාවකගේ ශරීරයෙන් පිටවී යන මළ ඩිම්බයක ඇති අපුලභාවය. දුගඳ, පිළිකුල්භාවය. පින්වත් ඔබේ මුල් අයිතිය ඒ පිළිකුල්භාවයටමයි. ඒ පිළිකුල්භාවය යටපත් කොට ගෙන පඨවි ධාතුවේ තද ස්වභාවයටත්, ආපෝ ධාතුවේ මෘදු මෙලෙක් ස්වභාවයටත්, තේජෝ ධාතුවේ උණුසුමටත්, වයෝ ධාතුවේ හැඩය, ලාලිත්‍යය, රිද්මයටත් පෙර සංස්කාරයන් හේතුවෙන් සකස් වන වර්ණය, සැපය, බලයටත් අපි ආශ්වාදයෙන් බැඳී යනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරය ලක්ෂ ගණන් වටිනා සයනයක සතපවන්න සුදුසු ශරීරයක් නොවේ. මේ ශරීරය සුන්දර මන්දිරයකට ගෙවද්දන්න සුදුසු ශරීරයක් නොවේ. මේ ශරීරය දහස් ගණන් වටිනා ඇඳුම්, ආභරණ අන්දවන්න සුදුසු ශරීරයක් නොවේ. මේ ශරීරය අයිති ජරාවට, ව්‍යාධියට, මරණයට මයි. “ඒ නිසා මහණෙනි, ආරණ්‍යයක්, ශුන්‍යාගාරයක්, රුක්ඛ මූලයක් ඔබේ නවාතැන බවට පත් කොට ගන්න, වටිනාකමක් නොමැති පාංශකූල චීවරයකින් ලැජ්ජා, භය ඇති තැන් වසා ගන්න, අනුන් පූජාකරන පිණ්ඩපාතයකින් යැපෙන්න” කියලා බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරනවා.

පින්වත් ඔබ ඔබේ මෑණියන්ගේ මවු කුසේ ගර්භාෂ කුටිය තුළ ස්වභාව ධර්මයත් සමග යම් සේ ඔබ වැඩුණා ද, ඒ උපත නිරෝධය කිරීමට නම් ඔබ ස්වභාව ධර්මය සමග මුහුවිය යුතු මයි. නව මාසයක් කිසිවකු ගේ පෞද්ගලික උපකාරයකින් තොරව ස්වභාව ධර්මය තුළින් ම වැඩුණ අපි මෙලොව එළිය දුටු මොහොතේ පටන් ම කෘත්‍රිම ලෝකයේ සාමාජිකයන් වෙනවා. ස්වභාව ධර්මය අවබෝධ කොට ගැනීමට නම් අපි අනිවාර්යයෙන් ම ස්වභාව ධර්මයේ ම කොටසක් වෙන්න ඕනෙ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අපිව රුක්ඛ මූලයකට, ශුන්‍යාගාරයකට, ආරණ්‍යයකට යොමු කරන්නේ.

වර්තමානයේ අපි සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැ. මෑණියන්ගේ ගර්භාෂ කුටියේ ලේ, සැරව ගොඬේ හැදෙන රූපය අපි සුවඳ විළවුන් සාප්පුවක් බවට පත් කොට ගෙන තිබෙනවා. ඒ නිසාම අපිට ධර්මානුකූලව සැඟවුණ දක්ෂභාවයක් මතු කොට ගන්න ප්‍රමාද වෙලා තිබෙනවා.

භික්ෂුව මේ මොහොතේ වැඩසිටින කුටිය අවුරුදු පනහකට වඩා පැරණි කුටියක්. භික්ෂුව දන්නා පරිදි කුටියේ තිබෙන ලෑලි ඇඳට අවුරුදු පනහකට වැඩි ඉතිහාසයක් තිබෙනවා. මේ කුටියේ මේ ලෑලි ඇඳ මත මීට වසර හතළිහකට පෙරාතුව විදේශීය සුදු ජාතික ස්වාමින් වහන්සේ නමක්, කර්ම රෝගයකින් පීඩා විඳීම නිසා ගෙල වැලලාගෙන අපවත් වෙලා තිබෙනවා. ඊට පසුව තවත් සුදු ජාතික ස්වාමින් වහන්සේ නමක් වැලි පොළගෙක් දෂ්ට කිරීම නිසා අපවත් වෙලා තිබෙනවා.

අස්ථිර වූ පංචඋපාදානස්කන්ධ ලෝකයක් තුළ ස්ථිර වූ සැප වේදනාවන් සොයා ගෙන අයාලේ යන අපිට එම විදේශීය ස්වාමින් වහන්සේලාගේ අපවත් වීම්, සංසාර බිය මතු කොට ගන්න සුන්දර පූර්වාදර්ශයන් වෙනවා.

පින්වත් ඔබට සතර මහා ධාතුවෙන් සෑදුන කයේ යථා ස්වභාවය ගැන ඉහත සටහන තැබුවේ ආනන්ද මහෝත්තමයන් වහන්සේ දේශනා කොට වදාළ “මේ කය ආහාරයෙන් වැඩුණ, එම නිසා ආහාරය උපයෝගී කොට ගෙන ආහාරය නිරෝධය කළ යුතුයි” කියන ධර්මය පහදා දෙන්නයි. ආනන්ද මහෝත්තමයන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ සැඟවුණ රාග සිත් ඇතිව සිටි භික්ෂුණින් වහන්සේ නමකටයි. එම භික්ෂුණිය රෝගී බවක් හඟවා උපක්‍රමශීලීව ආනන්ද ස්වාමින් වහන්සේව ආරාමයට වඩම්මවා ගන්නේ. ආනන්ද ස්වාමින් වහන්සේ භික්ෂුණියගේ උපක්‍රමය හඳුනාගෙන ඇයට දේශනා කරනවා, “ඔබ පිණ්ඩපාතය වළඳන කොට ආහාර මිස තෘෂ්ණාව වළඳන්න එපා”ය කියලා.

“පින්වත් ඔබ ආහාරය සමග තෘෂ්ණාවත් වැළඳුවොත් ආහාරය මොහොතකින් තේජෝ ධාතුවේ උණුසුමෙන් දිරවා රුධිරය, මළ, මුත්‍රා බවට පත් වුණත් ඔබ වළඳන තෘෂ්ණාව නම් ඔබව පටිච්චසමුප්පන්නව දුක කරා ම රැගෙන යනවා” ය කියලා.

වර්තමාන සමාජයේ පින්වතුන්ලා එක ආහාර පිඟානක් අනුභව කරන කොට තෘෂ්ණාව ලොකු බේසමක් පමණ අනුභව කරනවා. ආහාරය තුළින් ශරීරයේ නිරෝගී භාවය, වර්ණය, සැපය, බලය, හැඩය, මස්පිඩු වර්ධනය, කෙට්ටුවීම, මහත් වීම කියන අතුරුපස වලින් පිරුණු තෘෂ්ණාවේ ආහාරත් මදි නොකියන්න අනුභව කරනවා.

දිනක් මහත්වරු දෙදෙනෙක් උදෑසන පිණ්ඩපාත මඩුවට දානය රැගෙන ඇවිත් භික්ෂුවට මහත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා, “ස්වාමින් වහන්ස අපගේ කොම්පෝස්ට් එළවළු, පලතුරු, පළා වගාවේ මුල්ම කුළුඳුල් අස්වැන්න නෙළලා ඔබවහන්සේට නිරෝගී දානයක් හදා ගෙන ආවා”ය කියලා. ඒ අවස්ථාවේ මහත්වරු දෙදෙනා තමන්ගේ කොම්පෝස්ට් වගාවේ විශේෂත්වය සහ විෂ රහිත භාවය ගැන වර්ණනා කරමින් තමයි දානය බෙදුවේ. ඒ මහත්වරුන් ගේ කොම්පෝස්ට් වර්ණනාව ඇසෙද්දි භික්ෂුවට හදවතින් සිනාවක් ඇති වුණත් ඒ බව මුහුණෙන් හැඟෙව්වේ නැහැ.

රසායනික පොහොර, කෘමිනාශක යොදන වස විෂ ආහාරයන් අපි ප්‍රතික්ෂේප කරන්නේ ඒවායෙන් අපි ඈත් වෙන්නේ ඒවාට අපි ගැටෙන්නේ රූපය කෙරෙහි, නිරෝගී භාවය කෙරෙහි සක්කායදිට්ඨිය නිසා මයි. වර්තමානයේ අපි රසායනික පොහොර, කෘමිනාශක සමග ගැටිලා කොම්පෝස්ට් සොයාගෙන යන්නේත්, රූපයේ නිරෝගී භාවය කෙරෙහි ඇති කොට ගන්නා වූ සක්කායදිට්ඨිය නිසා මයි. පංචඋපාදානස්කන්ධ මාරයා රසායනික කෘමි නාශකයන්ට ගැටිලා අපිව කොම්පෝස්ට් වලට ඇලීමට සලස්වලා එකම කාසියේ දෙපැත්ත මාරු කරලා මුලා කරනවා.

පංචඋපාදානස්කන්ධ මාරයා වර්තමානයේ කොම්පෝස්ට් වගාවන් වර්ණනා කරලා අපිට ලබාදීලා තිබෙන සුන්දර ධර්මයේ ප්‍රතිඵලය රූපයේ නිරෝගී භාවය කෙරෙහි සක්කායදිට්ඨියයි. ගෞරවනීය පින්වතුනි රසායනික පොහොර බැහැර කරලා කොම්පෝස්ට්වලට මාරු වෙලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ආහාරය කෙරෙහි තෘෂ්ණාව බැහැර කරලයි ආහාරය නිරෝධය කරන්න පුළුවන්. තෘෂ්ණාවෙන් ඔද්දල් වුණ පංචඋපාදානස්කන්ධ මාරයා පින්වත් ඔබට අන්දන විකට ඇඳුම් ආශ්වාදයෙන් පළඳින්න එපා.

වර්තමාන සමාජය ආහාරය කෙරෙහි තෘෂ්ණාව සියුම් කොට ගැනීම පැත්තකින් තියලා තළු මර මරා වස විෂ රහිත ආහාරයන් කෙරෙහි ඇලීම් ඇති කොට ගෙන තිබෙනවා. ඇළෙන ප්‍රමාණයට ම රසායනික කෙරෙහි ගැටීම වැඩි වන බවත් සිතන්න දක්ෂ වෙන්න ඕනේ. ආහාරය නිසා පින්වත් ඔබ සිටින්නේ ඇළීම් සහ ගැටීම් අතර නම් ආහාරය උපයෝගී කොට ගෙන ඔබ ලබන්නේ අධර්ම යයි. පින්වත් ඔබ කොහොමද ආහාරය තුළින් ධර්මය එහෙමත් නැතිනම් උපේක්ෂාව මතු කොට ගන්නේ?.

පින්වත් ඔබ මෙම ලිපිය කියවන්නේ කැමැත්තෙන් ආශ්වාදයෙන් නම්, එසේත් නැතිනම් ඔබ මේ ලිපිය කියවන්නේ ගැටෙන සිතින් නම්, මේ දෙතැනදී ම ඔබ අනාගත භවය උදෙසා මේ නිමේෂයේදීත් ඇළීම් සහ ගැටීම් හේතුවෙන් සංස්කාරයන් රැස් කොට ගන්නවා. භික්ෂුව පින්වත් ඔබට අනිත්‍යය ගැන. විදර්ශනාව ගැන, සටහන් තබන කොට පින්වත් ඔබ එම සටහන කියවීමෙන් තෘෂ්ණාවයි ජීවිතයට එකතු කොට ගන්නේ.

එසේ නොවී පින්වත් ඔබ මේ සටහන කියවන්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකිමින් නම්, විදර්ශනාත්මක චේතනාවකින් නම්, මේ මොහොතේ ඔබ තුළ අනාගත භවයට සංස්කාර රැස්වීමක් නැහැ. නමුත් විදර්ශනාත්මක සිතුවිල්ලකුත්, සප්ත බොජ්ඣංගයන්ට මුවා වෙලා ආශ්වාදය බොහෝම සියුම් ආකාරයට බැස ගෙන සංස්කාරයන් රැස්වෙන්න පුළුවන්.

ආනන්ද මහෝත්තමයන් වහන්සේ අදාළ භික්ෂුණියට දේශනා කරනවා, කෙසේද තෘෂ්ණාව උපයෝගිකොට ගෙන තෘෂ්ණාව නිරෝධය කරන්නේ කියලා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබන සද්ධර්මය ශ්‍රවණය කරන ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරන පින්වතෙක් සිටිනවා. එම පින්වතා කල්පනා කරනවා කසළ ශෝධනය කරපු සුනීතත් උතුම් රහත් ඵලයට පත්වුණා; මනුෂ්‍ය ඝාතන කරපු අංගුලිමාලත් උතුම් රහත් ඵලයට පත්වුණා; අම්බපාලිය කියන ගණිකාවත් උතුම් රහත් ඵලයට පත්වුණා; පටාචාරා වැනි අසරණ භාවයේ පතුලට ම වැටුණ කාන්තාවකුත් උතුම් රහත් ඵලයට පත්වුණා. එම නිසා මමත් මේ ජීවිතයේදීම උතුම් රහත් ඵලයට පත් වෙනවාය කියලා, උතුම් රහත්ඵල අවබෝධය ලබා ගැනීම කෙරෙහි තෘෂ්ණාවක් ඇති කොට ගන්නවා.

තවත් ගිහි පින්වතෙක් කල්පනා කරනවා විශාඛා උපාසිකාව අවුරුදු හතක වයසේදී සෝවාන්ඵල අවබෝධය ලබනවා; ජේතඋයන රන්කාසි වලින් අතුරන්න තරම් ධනවතෙක් වූ අනේපිඬු සිටුතුමා උතුම් සෝවාන්ඵල අවබෝධය ලබනවා; උපතින්ම යාචක ජීවිතයක් ගත කළ ශරීරය දද කුෂ්ඨවලින් රෝගී වූ සුප්‍රබුද්ධ, උතුම් සෝවාන්ඵල අවබෝධය ලබනවා. එම නිසා මමත් මේ ජීවිතයේදීම උතුම් සෝවාන්ඵල අවබෝධය ලබනවාය කියලා තෘෂ්ණාවක් ඇති කොට ගන්නවා. ආනන්ද මහෝත්තමයන් වහන්සේ දේශනා කරනවා එම පින්වතුන් මේ කය තෘෂ්ණාවෙන් වැඩුණ නිසා ම තෘෂ්ණාව උපයෝගී කොට ගෙන තෘෂ්ණාව නිරෝධය කරනවාය කියලා.

පින්වත් ඔබ අනාගතයේ යම් දවසක තෘෂ්ණාව නිරෝධය කරනවා නම් වර්තමානයේ ඔබ තෘෂ්ණාව නිරෝධය කරනවාය කියන තෘෂ්ණාව ඔබ තුළින් ඇති කොට ගත යුතු මයි. භව නිරෝධය උදෙසා ඔබ ඇති කොට ගන්නා වූ තෘෂ්ණාව, තෘෂ්ණාවේ වර්ධනය උදෙසා නොව තෘෂ්ණාවේ නිරෝධය උදෙසා මයි හේතු වෙන්නේ.

පින්වත් ඔබ මෙම සටහන කියවන මොහොතේ මොහොතක් ඇස් දෙක පියාගෙන, මම මේ ජීවිතයේදී ම උතුම් සෝවාන්ඵල අවබෝධය සාක්ෂාත් කොට ගන්නවාය කියන තෘෂ්ණාව ඔබ තුළ ඇති කොට ගන්න. පින්වත් ඔබ ඇති කොට ගත් තෘෂ්ණාවට අදාළ සිතුවිල්ල ඊළඟ සිතුවිල්ලෙන් අනිත්‍ය වශයෙන් දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. එවිටයි ඔබ ධර්මානුකූලව තෘෂ්ණාව උපයෝගී කොට ගෙන තෘෂ්ණාව මරා දැමීමේ අර්ථවත් මාර්ගයට අවතීර්ණ වෙන්නේ.