තෙපාවක් මත රැඳුණු දිවියක් මහ මෙරක් වනු කෙලෙසදෝ

දැන් වේලාව රාත්‍රි අටට විතර ඇති. බිත්ති ඔරලෝසුවේ තත්පර කටුවේ හඬ වේගවත්ව ඇසෙනවා. පරිසරය ඒ තරමටම නිහඬයි. මේ නිහඬ රාත්‍රියේ, භික්ෂුවගේ සිත ළඟ කවුදෝ නැවතිලා සිටිනවා. නිහඬතාවයට පින් සිද්ධවෙන්නයි. භික්ෂුව මේ අමුත්තාව හැඳින ගන්නේ. රූපය තුළට බැස ගත්තාවූ රූපී නොවන, අරූපී මේ අමුත්තා කවුද?. මොහු ඥාතියෙක්ද, හිතවතෙක්ද, පෙම්වතෙක්ද, පෙම්වතියක්ද, වධකයෙක්ද?. මේ නිහඬතාවය විදර්ශනාත්මකව අත්විඳින නිහඬ රාත්‍රියෙදී, සිත ළඟ සැරිසරණ මේ අමුත්තා භික්ෂුවට හොඳට පැහැදිලියි. ඒ වෙන කවුරුත් ම නොවේ. එකිනෙකට අත්වැල් බැඳගත්තා වූ, පටිච්චසමුච්පන්න විඤ්ඤාණයත්, උණුසුමත්, ආයුෂයත්ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් පින්වතෙක් මිය ගියාය කියලා කියන්නේ, විඤ්ඤාණයත්, උණුසුමත්, ආයුෂත්, ජීවිතයෙන් බැහැර වීමයි කියලා. මේ නිහඬ රාත්‍රියේදී භික්ෂුව තවමත් අපවත් නොවී ජීවත් වෙන්නේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, උණුසුමත්, ආයුෂයත් සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියාවන් හේතුවෙන් බැහැර නොවී සිත ළඟ නැවතී සිටින නිසා මයි. පින්වත් ඔබ විවේකී සිතින් ඔබේ සිත ළඟ නතරවී සිටින, සංස්කාරයන්ට අදාළව ඔබට ජීවිතය කියලා දෙන, විඤ්ඤාණයත්, ආයුෂයත්, උණුසුමත්, ධර්මානුකූලව මතු කොට දකින්න. එවිට පින්වත් ඔබට දැනේවි ජීවිතය කියන්නේ මහ මෙරක් වැනි දෙයක් නොව, ඔබගේ අසිහිය නිසා ම, ජීවිතය මහමෙරක් බවට පත් කරන කාරණා තුනක මුහුණුවරක්ය කියලා.

සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය සකස් වුණත්, විඤ්ඤාණය ඉදිරියේ, සංස්කාර සැඟවිලයි සිටින්නේ. මේ සැඟවීම සිද්ධ කරන්නේ අවිද්‍යාව විසින්. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ගේ අර්ථය, නිවැරදිව ජීවිතයට එකතු කොට නොගත් නිසාම, පංචඋපද්‍රානස්කන්ධ ධර්මයන් කෙරෙහි ඇති කොට ගන්නා වූ අසීමිත තෘෂ්ණාව, සංස්කාරයන් අප්‍රකටව තබා, විඤ්ඤාණයේ ක්‍රියාකාරිත්වයෙන් නැවත සංස්කාරයන් ම රැස් කොට දෙනවා.

පින්වත් ඔබ භික්ෂුව ගෙන් විමසුවොත්, “ස්වාමීන් වහන්ස, විඤ්ඤාණය කියන්නේ කුමක්ද” කියලා, භික්ෂුව පිළිතුරු දෙන්නේ, සංස්කාර හේතුවෙන් සකස්වන ඵලය විඤ්ඤාණය කියලයි. විඤ්ඤාණය කියන්නේ දැනීමට. මෙය සටහන් තබන භික්ෂුවට, පැවිදි වෙන්න දැනීම සකස් වුණා. ඔබට වෛද්‍යවරයෙක් වෙන්න දැනීම සකස්වුණා, ඔබට ව්‍යාපාරිකයෙක් වෙන්න දැනීම සකස් වුණා. ඔබට දිවි නසාගන්න දැනීම සකස් වුණා. පින්වත් ඔබ තුළ සකස් වෙන දැනීම් කියලා කියන්නේ විඤ්ඤාණයට.

මේ නිහඬ රාත්‍රියෙදී, භික්ෂුවගේ දැනීම සකස් වුණේ මේ සටහන ලියන්න. නමුත් ගිහි පින්වත් ඔබට මේ රාත්‍රියේදී දැනීම සකස් වෙන්නට ඇත්තේ කාමච්ඡන්දයන් ගේ ආශ්වාදය ලබන්නට. එකිනෙකට වෙනස් දැනීම් නිරතුරුව ම අපි තුළ සකස් වෙන්නේ, අපි පුරුදු පුහුණු කළ කුසල්, අකුසල් සංස්කාරයන්ට අදාළවමයි.

අපි තුළ සකස් වෙන දැනීම් වලට හේතුව සංස්කාරයන් බව නොදන්නා නිසා ම, අපි දැනීම් හෙවත් විඤ්ඤාණය මම හැටියට දකිනවා. මගේ ආත්මය හැටියට දකිනවා. විඤ්ඤාණය කෙරෙහි මමත්වයේ දැඩි භාවය ඇති කොට ගන්නවා. යම් පුද්ගලයෙකුට හිතෙනවා තවත් පුද්ගලයකු මරා දමන්න. මේ සකස් වුණා වූ දැනීම, එම පුද්ගලයාගේ අතීත අකුසල් සංස්කාරයන්ගේ ඵලයක් හැටියට දකින්නේ නැහැ. ඔහු එම දැනීම මගේ කොට ගන්නවා. ඒ දැනීම තුළ මම සිටිනවාය කියලා දකිනවා. ඒ දැනීම මගේ ආත්මය කොට දකිනවා. සංස්කාර හේතුවෙන් සකස් වුණ දැනීම මමත්වයේ දැඩි භාවයෙන්ම ගැනීම නිසා, ඔහු මිනී මරනවා. සංස්කාර, විඤ්ඤාණය උපයෝගී කොට ගෙන නැවත නැවත සංස්කාර ම, භවය ම, විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය ම ජීවත් කොට දෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “සංස්කාර නිරෝධා, විඤ්ඤාණ නිරෝධො” කියලා. පංචඋපාදානස්කන්ධ ලෝකය තුළත්, පටිච්චසමුප්පාද ධර්මය තුළත් මුල සිට අග දක්වා ම බැස ගෙන සිටින, විඤ්ඤාණය නමැති අධිපති වාදී ධර්මතාවය, අවිද්‍යාව ඉදිරියේ මොන තරම් බලවත් වුවත්, සංකීර්ණ වුවත්, තෘෂ්ණාව ඉදිරියේ මොන තරම් සටකපට ලෙස හැසිරුණත් කුසල්, අකුසල් සංස්කාර කියන එකම කාරණය, නිරෝධයෙන්, අධිපති වාදී විඤ්ඤාණය නිරෝධය කිරීමේ ශක්තිය ධර්මානුකූලව ඔබට තිබෙනවා. සංස්කාර හේතුවෙන් සකස් වෙන, හුදු හේතුඵල ධර්මයක් වන විඤ්ඤාණයට අයෝමය කාර්ය භාරයක් පංචඋපාදානස්කන්ධ ලෝකය තුළදී ලැබී තිබෙන්නේ, තෘෂ්ණාව නිසා මිස, විඤ්ඤාණය නමැති අර්ථයේ ඇති ශක්තිමත් භාවය නිසා නම් නොවේ. විඤ්ඤාණය හුදු කාඞ්බෝඞ් වීරයෙක් පමණක් මයි.

පින්වතුන්ලා ගේ ඇසෙන්, කණෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින්, ගලා බසින තෘෂ්ණාවේ සැඩ පහර ශක්තිමත් වීම නිසා ම, විඤ්ඤාණය නමැති මැජික්කරුවා සමාජය ඉදිරියේ රඟදක්වන, සුදු, ක`ඵ, මැජික් සංදර්ශනයන් හේතුවෙන් පින්වත් ඔබ තුළ සකස් වන ඇලීම් සහ ගැටීම්, එම ඇලීම් ගැටීම් හේතුවෙන් සකස් වන මේ සංස්කාර නැවත තෘෂ්ණාවෙන් ඔද්දල් වුණ විඤ්ඤාණය මයි පිනවන්නේ. පින්වත් ඔබ සිතුවත් ඔබ නැවතීමක් කරා ය යන්නේ කියලා, ඔබ හිතුවත් ඔබ ආරක්ෂාවක් දෙසටයි යන්නේ කියලා, මේ දැනීම, මේ සිතීම අයිතිත්, තෘෂ්ණාවෙන් ඔද්දල් වුණු විඤ්ඤාණයට මයි කියන යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. විඤ්ඤාණය තුළ සිටිමින්, අපි විඤ්ඤාණය ගැන හොයනවා. අපි විඤ්ඤාණයේ දාස භාවයට පත් වෙමින් අපි විඤ්ඤාණයේ නිරෝධය ගැන කතා කරනවා. මේ සැම අදියරකදී ම අපි තුළ සකස් වන සංස්කාර, පෙරලා විඤ්ඤාණය ම ශක්තිමත් කරනවා.

විඤ්ඤාණය ගැන අපි හැදෑරීමට, සිතීමට පෙරාතුව අපි සංස්කාර ගැන සිතන්න ඕනේ. සංස්කාර ගැන සිතීමට පෙරාතුව අපි අවිද්‍යාව ගැන සිතන්න ඕනේ. මුලින් ම අවිද්‍යාව ගැන නොසිතා සංස්කාර සහ විඤ්ඤාණය ගැන සිතන්න ගියොත් පින්වත් ඔබ තුළ නොදන්නා භාවයෙන් ම අවිද්‍යාවයි තව තවත් ශක්තිමත් වෙන්නේ. සමාජයේ ජීවත්වන සමහර පින්වතුන් සිටිනවා ප්‍රශ්නයක් ඇසුවොත් අහන්නේ විඤ්ඤාණය ගැනමයි. නමුත් එම පින්වතුන් දන්නේ නැහැ විඤ්ඤාණය ගැන තමන් මෙතරම් පෙරල, පෙරළා අහන්නේ අවිද්‍යාව නිසා මයි කියලා.

නිහතමානී පින්වතා, ලෝකය ගැන සොයන්න යන්නේ නැහැ. මොකද ඔහු අන්තිමයටයි සිටින්නේ. ඔහු අන්තිමයට සිටින නිසා ඔහුට ඉදිරිය නිවැරැදිව හොඳින් පේනවා. ඔහුට පසුපස පිළිබඳ ගැටලුවක්, ප්‍රශ්නයක් නැහැ. මොකද ඔහු අන්තිමයා. නමුත් අපි පළවෙනියා වෙන්න ගියොත්, මාන්නය, මමත්වයේ දැඩිභාවය නිසාම, මාර්ගයේ ඉදිරියට පෙනුණත් ඔබට පසුපසින් සිදුවෙන කිසිම ධර්මයක් කෙරෙහි දක්මක් ඔබට නැහැ. මම පළමුවැනියා, මම නායකයා, මම දක්ෂයා, මම නුවණැත්තා. සම්පූර්ණයෙන් ම එය ඇත්තක්. නමුත් ඉදිරියෙන් ම සිටින ඔබව නිරීක්ෂණය කොට කමටහනක් කොට ගෙන, ඔබගේ දුර්වලතා, අඩුපාඩු දකිමින් නිවැරදිවන පුද්ගලයන් ඔබ පසු පස සිටිනවාය කියලා දකින්න ඔබට සිහියක් නැහැ. ඒ අතින් බලන කොට භික්ෂුව නම්, හරිම ධර්මානුකූල කපටියෙක්. ලොක්කන්, නායකයන්, ප්‍රධානීන්, අතර භික්ෂුව අදත් අන්තිමයා වෙලා ජීවත් වෙනවා.

සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ දේශනා කරනවා, මම උදෑසන ම පින්ඩපාතයේ වඩින්න පාත්‍රය අතට ගන්නේ, රොඩී රැහැක දරුවෙක් උදෑසන සිඟමනේ යන්න පොල්කටුව අතට ගන්නේ යම් සේද, එවැනි නිහතමානී හැඟීමකින් මයි කියලා. භික්ෂුවට සිහිපත් වෙනවා ධූතාංගධාරී භික්ෂුණීන්ගේ ප්‍රධානී, කිසාගෝතමී උත්තමාවියගේ කහට පැහැ පාංශුකූල චීවරය, එම උත්තමාවියගේ නහර වැල් ඉලිප්පුණු කේඬෑරිවී ගිය තෘෂ්ණාව මළ ශරීරය, නිහතමානීභාවය, ඔබට නමස්කාර වේවා, ඔබ මයි තෘෂ්ණාව නිරෝධයේ පළමුවැනි පියවර, ඔබ මයි මමත්වයේ නිවීමේ අවසානයත්. නමුත් සමහර පින්වතුන්ලා ප්‍රකාශ කරනවා අවුරුද්ද ඉක්මනට ගෙවී ගියාය කියලා. පින්වත් ඔබට එහෙම හිතෙනවා නම්, එය අහිංසක අවුරුද්දෙ වරද්දක් නම් නොවේ. එය අපේ පංචඋපස්දානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවේ වරදයි. අපි තුළ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණය කෙරෙහි තෘෂ්ණාව වැඩි වෙන කොට කාලය කෙරෙහි අසිහිය ඇති වෙනවා. තෘෂ්ණාවේ වේගයට කාලය අසිහියෙන් ගෙවී යද්දී අපිට දැනෙන්නේ අවුරුද්ද වේගයෙන් ගෙවී කියාය කියලයි.

මෙය සටහන් තබන භික්ෂුව, ඇස් දෙක පියාගෙන, ගෙවී ගිය වසරට සිත යොමු කරවනවා. භික්ෂුවට අරමුණු වෙන්නේ, මැකී ගිය සිතුවම් පෙළක් පමණක් මයි. ඒ සිතුවම් මැකී ගිහිල්ලා තිබෙන්නේ. එම සිතුවම් උපයෝගි කොට ගත් ඇලීම්, ගැලීම්, උපේක්ෂා, නමැති තීන්ත වල දුර්වලභාවයන් නිසා මයි. ඒ බොඳවී ගිය අතීත සිතුවම් නිසා වර්තමානයේ කිසිම සංස්කාරයක් මතු කොට දෙන්නේ නැහැ. සංස්කාර කියලා කියන්නේ සුන්දර වූ ලෝකය අසුන්දර කරන, අසුන්දර වූ ලෝකය සුන්දර කරන ධර්මතාවයක්. ඒ වගේමයි සංස්කාරයන් නිරෝධය කිරීමෙන් පංචඋපාදානයකට ලෝකය ම නිරෝධය කිරීමේ මාර්ගයන් බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා. භික්ෂුවගේ ජීවිතය කියන්නේ සංස්කාර නමැති කොක්කේ එල්ලෙන පටිච්චසමුච්පන්න විඤ්ඤාණයේ ක්‍රියාකාරකමක් පමණ මයි. සංස්කාර නමැති කොක්ක ප්‍රතික්‍රියා දක්වද්දී විඤ්ඤාණයට සිද්ධ වෙනවා. නැවත නැවත පංචඋපාදානයට ම ලෝකය බිහි කරන්න.

පින්වත් ඔබ, දෑස් දෙක පියාගෙන දකින්න. ඔබගේ ජීවිතය කියන්නේ, පටිච්චසමුප්පන්න සංස්කාර ගොඩක ඵලයන්ය කියලා. මේ සංස්කාර ගොඩ විඤ්ඤාණය උපයෝගී කොට ගෙන සිද්ධ කරන්නේ නැවත සංස්කාර රැස් කොට දීම පමණක් මයි. පින්වත් ඔබ පොතෙන් මොහොතක් සිත මෑත් කරලා දෑස් පියා ගන්න. ඔබ ලබන සෑම සැප වේදනාවක් ම, ඔබ ලබන සෑම දුක් වේදනාවක් ම, ඔබ ලබන සෑම උපේක්ෂා විඳීමක් ම, ඒ සංස්කාර ගොඬේ ඵලයක් ම බව දකින්න. සංස්කාරයෝ අනිත්‍යයයි, සංස්කාරයෝ අස්ථිරයි, සංස්කාරයෝ අනාත්මයි, වශයෙන් නුවණින් දකිමින්, සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඇතිකොට ගන්න. මේ අනිත්‍ය වූ සංස්කාරයන්ගේ වියරුව අතීතයේ කල්ප විනාශ කී දාහකට හසු වී අපිව පුච්ච, පුච්චා මරන්න ඇතිද?. වර්තමානයේ සංස්කාරයන් කෙරෙහි බියක් භික්ෂුවට ඇති වන්නේ නැහැ. එයයි භික්ෂුව ලබන ධර්මයේ සුන්දර රසය.

භික්ෂුව තබන සමහරක් සටහන් කියවා, පින්වත් ඔබ තුළ ගැටීමක්, විචිකිච්ඡාවක් ඇති වෙන්නත් පුළුවන්. භික්ෂුව පින්වත් ඔබට ගෞරවයෙන් දැනුම් දෙනවා, අනුන් ගේ සටහනක් නිසා අකුසල් සංස්කාර නම් රැස් කොට ගන්න එපාය කියලා. ඔබ භික්ෂුවට බැන්නත්, භික්ෂුව ඔබට බනින්නේ නැහැ. මොකද භික්ෂුව දන්නවා මම බැනුම් අහන්නේ මගේම අකුසල් සංස්කාරයක් නිසාය කියලා.

භික්ෂුව දැන් මේ සටහන අවසන් කරලා සැතපෙනවා. හෙට උදෑසන අවදි වුණොත් ඔබට නැවත ලියන්නම්. ඒ තරමට ම සංස්කාරයෝ අස්ථිරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ආශ්වාසය ඉහළට අරගෙන ප්‍රශ්වාසය කරන පුංචි නිමේෂයේදී මරණය සිදුවේ යැයි දකිමින් ජීවත් වෙන්න කියලා.

අපේ උපන් දිනය දවසේ අපිට පුළුවන් නම් මෝහයෙන් කරන සුභ පැතුම් වල ආශ්වාදයෙන්, මොහොතකට සිත මෑත්කොට ගෙන පුංචි නිමේෂයක් මරණානුස්සතියේ යෙදෙන්න, මරණානුස්සතිය තුළින් චන්දය, වීර්යය, චිත්තය, විමංසා කියන සතර ඍද්ධිපාද ධර්මයන් මතු කොට ගන්න, එය තමා විසින්ම, තමන්ට ලබාදෙන සුන්දරම දීර්ඝායුෂ ලබන උපන් දින සුබ පැතුමක් වෙනවා.