ශීලය කියන්නේ බොහෝම සුන්දර අර්ථයක් ශීලය ජීවිතයට එකතු වුණ තැනදි ජීවිතය සැහැල්ලු වෙනවා. ජීවිතය සරල වෙනවා. ශීලයයි මනුෂ්‍යයා තුළ ඉන්ද්රිය සංවරය ඇති කරල දෙන්නේ. මේ ඉන්ද්රිය සංවරයයි මනුෂ්‍යයා තුළ තම යුතුකම් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඒවා නිවැරැදිව ඉටුකිරීම සම්බන්ධයෙන් සතිය සිහිය ඇති කර දෙන්නේ. ශීලයෙන් දුර්වල වෙන ප්‍රමාණයට සමාජයේ ජීවත්වන පින්වතුන්ලා ගේ සතිය සිහිය දුර්වල වෙලා යනවා. මෙම අනතුරේ පැතිකඩක් සමාජය තුළ නිර්මාණය වෙලා තිබෙනවා.
පංචශීලයෙන් පටන් ගෙන උතුම් ප්රාතිමෝක්ෂ ශීලය දක්වා ශීලයේ සුන්දර අර්ථයන් ජීවිතයට එකතු කර ගැනීමට අදාළව බුදුරජාණන් වහන්සේ පින්වතුන්ලාට ධර්මය දේශනා කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව සිල්පද සමාදන් වෙන්න, සමාදන් වූ ශීලය ආරක්ෂා කර ගන්න, ආරක්ෂා කරගත් ශීලය ආවර්ජනය කරන්න, ආවර්ජනය කළා වූ ශීලය විදර්ශනා නුවණින් දකිමින් උතුම් ශීලයේ අර්ථය තුළින් ප්‍රඥාව මතු කර ගන්නය කියල. නමුත් වර්තමාන සමාජයේ බහුතරයක් පින්වතුන් ශීලය ප්‍රඥාව උදෙසා මෙහෙයවීම පසෙක තිබියදී ශීලය මමත්වයේ දැඩිභාවය උදෙසා යොමු කර ගන්නා බවත් පෙනෙන්නට තිබෙනවා.
ශීලය සැපය උදෙසා යහපත උදෙසා ජීවිතයට එකතුකර ගත යුතු අර්ථයක් කියන තැනින් බැහැර වී ශීලය සමාජය තුළ අනුන්ව රවට්ටන තවත් මෝස්තරයක් බවට පත්වීමේ අනතුරක් සමාජය තුළ පෙනෙන්නට තිබෙනවා. භික්ෂුව මෙසේ සඳහන් කළේ ප්‍රසිද්ධියේ සිල්පද සමාදන් වෙන බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ සහ අප්රසිද්ධියේ සිල්පද දුර්වල කර ගන්නා නිසයි. ශීලය හාස්‍යයක් වුණ සමාජයක සම්මා දිට්ඨියේ සහ සම්මා සංකප්පයන්ගේ අර්ථයන් දුර්වලවෙලා යනවා. එහි ප්‍රතිඵලය වන්නේ බෞද්ධ ලේබලය යටතේ අබෞද්ධ සමාජයක් බිහිවීමයි. මේ අනතුර වර්තමානයේ සමාජය තුළ ක්‍රමානුකූලව සිදුවෙමින් පවතිනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්පද පහේ ආරක්ෂාව තුළ ජීවත් වන පින්වතා සෑමවිටම පෞරුෂත්වයෙන් යුත් පින්වතෙක්ය කියල. පෞරුෂත්වය කියන වචනය වර්තමාන සමාජය තුළ වැරදි විදිහට විග්රහ වෙනවා. වර්තමාන සමාජයේ පෞරුෂත්වය කියන්නේ යම් පුද්ගලයෙකුගේ ශරීරයේ උස මහත කඩවසම් භාවයයි. එහෙම හඳුන්වන කඩවසම් භාවයකුත්, පෞරුෂත්වයකුත් ලෝකය තුළ තිබෙනවා තමයි. නමුත් ඒ පෞරුෂත්වය ධර්මයේ පෞරුෂත්වය නොවෙයි. ධර්මානුකූල පෞරුෂත්වයෙන් යුත් භික්ෂුවක්ය කියල කියන්නේ යම් භික්ෂුවක් උතුම් පැවිදි භාවයට පත් වීමට පෙරාතුව “මම බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතය කැපකරමි, බුදුරජාණන් වහන්සේ මතු කර පෙන්වූ චතුරාර්ය සත්‍ය ධර්මය ජීවිතයට එකතු කර ගනිමි”යි චිත්තයක් ඇති කර ගෙන උතුම් පැවිදි උපසම්පදා ලබාගත්ත ද ඉහත උතුම් අරමුණ උදෙසා කුමන මාර බලවේග පැමිණිය ද ජීවිත පරිත්‍යාගයෙන් යුතුව තම වන්දනීය අරමුණු කරා ගමන් කරන්නාවූ භික්ෂුවටයි, පෞරුෂත්වයෙන් යුත් භික්ෂුවක් කියල කියන්නේ.
යම් භික්ෂුවක් උතුම් ආර්ය ශීලය උදෙසා ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය ඥාන දර්ශන, ආර්ය විමුක්තිය උදෙසා වීර්යය වඩනවා නම් එම භික්ෂුවයි පෞරුෂත්වයෙන් යුතු භික්ෂුව කියල ධර්මයේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වරක් වර්ණනා කරනවා අඩි හතරක් වත් උස නොමැති පෙනුමෙන් දුර්වල ලකුන්ඨකභද්දිය ස්වාමීන් වහන්සේ මගේ ශාසනය තුළ වැඩ සිටින ආර්ය ඥාන දර්ශනයෙන් පරිපූර්ණ වූ පෞරුෂයෙන් යුත් භික්ෂුවක්ය කියල. ගිහි කල කසළ ශෝධකයෙක් වශයෙන් රැකියාව කළ සුනීත ස්වාමීන් වහන්සේ උතුම් සංඝ සමාජයේ පෞරුෂයෙන් යුත් භික්ෂුවක් කියලා. භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි දක්ෂ විය යුතුයි, අතීතයේ යම් දවසක අපි යම් උතුම් අරමුණක් සාක්ෂාත් කර ගනිමියි පැවිදි භාවයට පත්වුණා ද එම උතුම් අරමුණ තුළ වර්තමානයේ ජීවත්වෙනවාද කියන කාරණය නිරතුරුවම ආවර්ජනය කර බැලීමට; වැරදි ඇතොත් සැබෑ අරමුණ කෙරෙහි සතිය සිහිය වහ වහා ඇතිකර ගැනීමට. එවිටයි අපි සංඝ සමාජයේ පෞරුෂත්වයෙන් යුත් භික්ෂුවක් වීමේ සුදුසුකම ලබන්නේ.
සංඝ සමාජයේ සාමාජිකයින් වන අපි ප්රාතිමෝක්ෂ ශීලය තුළ ශක්තිමත් වෙමු. අදට වඩා වැඩිපුර ශිල්පදයක් හෙට දවසේ රකිමු. හෙටට වඩා වැඩිපුර ශිල්පදයක් පසුවදාට රැකගනිමු. ශීලයට අපේ භික්ෂු ජීවිතය තුළින් වැඩි වටිනාකමක් ලබාදෙමු. ශීලයේ ආනිශංස තුළින් මයි, ජනතාව තුළ භික්ෂු සමාජය කෙරෙහි ප්‍රියභාවය අභියෝගයන් ඉදිරියේදී ශක්තිමත් වෙන්නේ.