ශාසනයේ ආරක්ෂාවට රජකු අත්‍යවශ්‍යමය

තවත් සුන්දර චීවර මාසයක් ගෙවී යනවා. භික්ෂුව සුන්දර චීවර මාසයක්ය කියලා සටහන් කළේ, යම් වස්ත්‍රයකට, චීවරයකට, චේතනාත්මකව වැඩිම ගෞරවයක්, වැඩිම පූජනීයභාවයක්, වැඩිම වටිනාකමක්, ජනතාවගෙන් ලැබෙන වන්දනීය මාසය, චීවර මාසය නිසායි. චීවර මාසය තුළ බෞද්ධ සැදැහැවත් පින්වතුන්ලා, කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පිනක් ජීවිතවලට එකතු කොට ගන්නවා වගේම, පිනට කැමැති සම්‍යක්දෘෂ්ටික දෙවිවරු, පිනෙන් සතුටුවෙන මාසයත්, මේ උතුම් චීවර මාසයයි.

මේ ලෝක ධාතුවේ ජීවත් වෙන මනුෂ්‍යයන් දෙවියන්, වැඩිම පිනක් ජීවිතවලට එකතුකොට ගන්නා මාසය මේ ගෙවී ගිය චීවර මාසයයි, නමුත් ඒ උතුම් පිනෙන් බර වූ, චීවර මාසය, වර්තමානයේ අපි සැමදෙනාට ම, අතීත පංච උපාදානස්කන්ධයක මතකයක් පමණක් මයි.

අද උදෑසන, පිණ්ඩපාතය බෙදීමට පැමිණි දායක මහත්මයෙක්, භික්ෂුවගෙන් ඇසුවා, අපේ රටට මොකක්ද මේ වෙලා තිබෙන්නේ කියලා. ඇත්තටම අපේ රටට වෙලා තිබෙන්නේ කරුමයක්. මනුෂ්‍යයෝ දෙසිය විසිපස්දෙනෙක් ලෝකයම හිනස්සන කරුමයක්. පිනෙන් පිරී ගිය, මෙවැනි සුන්දර චීවර මාසයකදී, සමස්ත ජාතියටම අසන්නට දකින්නට ලැබෙන අවාසනාවන්ත දේශපාලන සිදුවීම්, අපි වගා කළා වූ බීජයන් ගෙන් අපි ලබන්නා වූ අස්වැන්නමයි. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා කහවණු වැස්සක් වැස්සත් මේ ඇසෙන්, කනෙන් නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් තෘෂ්ණාවේ සැඩපහර දෝරේ ගලාගෙන යන මනුෂ්‍යයා, සෑහීමකට පත්වෙන්නේ නැහැයි කියලා.

‘නොසෑහීම’ ඇයි ඔබ ජාතියට මේ තරම් අනතුරක් කරන්නේ, ඇයි ඔබ ලෝකයා ඉදිරියේ මේ රට මේ තරම් හිනස්සන්නේ, පින්වත් නායකයන් තුළ නායකත්වයේ ගුණයන් තිබෙනවාද, පින්වත් මහත්වරුන් තුළ මහත්මා ගතියක් තිබෙනවාද, පින්වත් ඔබලාට විවේකයක් නැතිද ඔබලා ගැන ස්වයං පරීක්ෂණයක යෙදෙන්න.

මෙය සටහන් තබන භික්ෂුව, සෑම නිමේෂයකදීම ස්වයං පර්යේෂණයක යෙදෙනවා. තමා තමාට අවංකවෙමින්, තමා තෙරුවන්ට අවංකවෙමින්. උතුම් සංඝරත්නය සතු, සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඤායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණය, මා තුළින් කි‍්‍රයාත්මක වෙනවාද කියලා. සංඝරත්නය සතු ගුණයන් කෙරෙහි, භික්ෂුව, නිරතුරුවම සිහිනුවණින් සතිය සිහිය පවත්වනවා.

භික්ෂුව හොඳාකාරවම දන්නවා මගේ භික්ෂු ජීවිතයේ යම් අඩුපාඩුවක් සිද්ධ වුණොත් අප්‍රමාණ බෞද්ධ පින්වතුන්ලා, අකුසල් සිද්ධකොට ගන්නවාය කියලා. අපිට කිසිම අයිතියක් නැහැ. අපි නිසා, අනුන්ව අකුසල්වලට කොටු කරන්න. පින්වත් ඔබලාව කුසල් ධර්මයන්ගෙන් ආරක්ෂා කරන්න, පින්වත් ඔබලාව පිනෙන් ආරක්ෂා කරන්න. භික්ෂුන් වන අපි ඔබලාට නොපෙනෙන්න මොන තරම් නම් පරිත්‍යාගයන්, කැපවීම් සිදු කරනවාද?

අපිට ලැබෙන වගකීම් අපි වගකීමකින් තොරව නම් සිදු කරන්නේ, සංසාරයේ අපිට නැවත වගකීම් දරන්න ලැබෙන්නේ නැහැ. එම නිසා ශාශනික වගකීම් වේවා, දේශපාලනික වගකීම් වේවා, එම වගකීම්, අදාළ ගුණධර්මයන්ට යටත්ව දරන්න පුහුණු වෙන්න. මොකක්ද මේ අසීමිත තෘෂ්ණාව, මොකක්ද මේ අසීමිත කෑදරකම, ඇයි තවම අපිට බැරි සමගියෙන් රැස්වෙලා. සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසිරිලා යන්න?

ප්‍රේත ලෝකයේ ජීවත් වෙන, ප්‍රේත දේශපාලනඥයන්ගේ, ප්‍රේත දේශපාලන රැස්වීම් තිබෙනවා. මේ ප්‍රේත දේශපාලන රැස්වීම් කවදාකවත් සමගියෙන් අහවර වෙන්නේ නැහැ. ප්‍රේත දේශපාලන රැස්වීම් හැමදාමත් අවසන් වෙන්නේ, දේශපාලන ප්‍රේතයන් එකිනෙකා ඔළු පලා ගෙන, තුවාල කර ගෙන. සුන්දර කාම ලෝකයේ උපන් අපි, අසුන්දර ප්‍රේත හැසිරීම්, අපේ ජීවිතවලට එකතු කොට ගත යුතු නැහැ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නොවටිනා දේවල්, ජීවිතයෙන් බැහැර කරලා, වටිනා දේවල් ජීවිතයට එකතු කොට ගන්නය කියලා. බුදුරජාණන් වහන්සේ නොවටිනා දේවල් කියලා දේශනා කරන්නේ මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයට, පින්වත් ඔබ ජීවිතයට එකතු කොට ගත යුත්තේ සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබා නොදිය යුතු පුද්ගලයන් හතර දෙනෙක් ගැන දේශනා කරනවා.

භික්ෂු ඝාතකයාට පැවිද්ද දෙන්න එපා කියනවා. 2. භික්ෂුධෑන් දූෂණය කළ කෙනාට පැවිද්ද දෙන්න එපා කියනවා. 3. දෙමාපියන් ඝාතනය කළ කෙනාට පැවිද්ද දෙන්න එපාය කියනවා. 4. නපුංසක පුද්ගලයාට පැවිද්ද දෙන්න එපාය කියනවා.

රටක දේශපාලන වගකීම් පැවරීමේදී රටේ ආරක්ෂාව උදෙසා, රටේ ආත්මගරුත්වය උදෙසා, රටේ සදාචාරාත්මක විනය උදෙසා, ඉහත අවවාදයන් උපයෝගී කොට ගන්න පින්වත් ජනතාව දක්ෂ විය යුතුයි. මෙය සටහන් තබන භික්ෂුව, නපුංසක පුද්ගලයෙක් වුණොත්, කිසිම සදාචාරාත්මක විනය ධර්මයකට ගරු කරන්නේ නැහැ. මම ගරු කරන්නේ, මගේ සේවාදායකයාට පමණක් මයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී, නපුංසක පැවිද්දන්, රජතුමාගේ ඇත්ගාලට ගොස්, ඇත්ගොව්වන් ලවා, බලෙන් තමන්ව දූෂණය කොට ගත් අවස්ථාවන්, විනයේ සඳහන් වෙනවා.

භික්ෂුවගේ පැවිදි ජීවිතයේදී භික්ෂුවට නපුංසක පැවිද්දන් දෙදෙනෙක් මුණගැසී තිබෙනවා. මින් එක් නපුංසක පැවිද්දෙක්, උදෑසන දානයට, ආරණ්‍යයේ දාන ශාලාවට පැමිණියේ, හොඳට පැන් පහසුවෙලා. පවුඩර් සුවඳ විලවුන් තවරාගෙන චීවරය වෙනුවට අඳනයක් පොරවාගෙනයි. හොඳ වෙලාවට, එම ආරණ්‍යයේ එදා උදෑසන දානේ දායක පිරිසක් සිටියේ නැහැ. මේ නපුංසක පැවිදි භික්ෂුව ඊට පෙරදා රාති‍්‍රයේ, ආගන්තුකව ආරණ්‍යයට වැඩම කොට තිබෙන්නේ. ආරණ්‍යයේ වැඩහිටි ස්වාමින් වහන්සේලාගේ විරෝධය නිසාම එම භික්ෂුව කාටවත් නොකියාම ආරණ්‍යයෙන් පිටවී ගොස් තිබුණා.

තවත් අවස්ථාවක රාති‍්‍රයේ ආගන්තුකව පැමිණි භික්ෂුවක්, තමන්ට ලබාදුන් කුටියේ හොල්මන් තිබෙනවා යැයි කියමින්, රාති‍්‍ර නමයට පමණ. නායක ස්වාමින්වහන්සේගේ කුටියේ සැතපෙන්න අවසර ඉල්ලා තිබුණා. එම භික්ෂුවගේ ඉරියව් හඳුනාගත් නායක ස්වාමින් වහන්සේ කුටියේ වැඩ සිටීමට බැරිනම් වහාම ආරණ්‍යයෙන් පිටවී යන ලෙස එම භික්ෂුවට දැනුම්දී තිබුණා.

මෙවැනි සිදුවීම් තව කිහිපයක් ම භික්ෂුව අසා තිබෙනවා. කිසිදු සදාචාර ධර්මයකට, ගරු නොකරන, තම සේවාදායකයාට පමණක් ගරු කරන, නපුංසක පුද්ගලයන් පැවිදි කිරීම බලවත් ශාසනික අනතුරක් වෙනවා. භික්ෂුව නපුංසක කියන වචනය භාවිතා කළේ කිසිම පින්වතෙකුට අගෞරවයක් සිදු කරන්න නොවේ.

මනුෂ්‍ය සමාජයේ ජීවත් වන පුද්ගලයන් තුන්දෙනෙක් සිටිනවා. එම තුන්දෙනා තමයි, ස්ති‍්‍රය, පුරුෂයා සහ නපුංසකයා. යම් පින්වතෙකුට, ස්ති‍්‍රයක්, පුරුෂයෙක් වශයෙන් හැඳින්වීම, අගෞරවයක් නොවනවා වගේම අදාළ ගතිගුණ සහිත පුද්ගලයාට, නපුංසකයා කියලා හැඳින්වීම අගෞරවයක් වෙන්නේ නැහැ. යම් පින්වතෙක් ලබන ස්තී‍්‍ර, පුරුෂ භාවය ධර්මානුකූල හේතුඵල ධර්මයක් වෙනවා සේම, යම් පින්වතෙක් නපුංසක භාවයනට පත් වෙන්නේ ධර්මානුකූලව පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරීමේ බලවත් අකුසල් හේතුවෙන් මයි.

අතීත බලවත් අකුසල් හේතුවෙන් ම, මේ ජීවිතයේදී නපුංසක ජීවිතයක් ලබලා, පින්වත් ඔබලා තවදුරටත් විකෘති කාමයේ වරදවා හැසිරීම් වල යෙදුණොත්. ඒවායේ විපාකයන් හේතුවෙන්. ඔබලාගේ, ඊළඟ පටිච්ච සමුප්පන්න උපත, අනිවාර්ය සතර අපායේ උපතක් වීමට හොඳටම ඉඩ තිබෙනවා. භික්ෂුව මේ අදහස් සටහන් තබන්නේ, පින්වත් ඔබලා කෙරෙහි කරුණවෙන් මයි.

නපුංසක පින්වතා කළ යුත්තේ, තම අයිතිවාසිකම් ඉල්ලා සටන් කිරීම නොවේ. වුවමනාවෙන් ම ස්ති‍්‍රයක් කියන තැනට වැටී කාමයේ වරදවා හැසිරීමද නොවේ. පින්වත් ඔබලා, ඔබලා කෙරෙහි අනුකම්පාවෙන්, පංච සීලය තුළ ශක්තිමත් භාවයට පත්වී, පටිච්ච සමුප්පන්නව ඊළඟ ජීවිතයේදී ශක්තිමත් ස්ති‍්‍ර පුරුෂ ජීවිතයක් ලබාගැනී මයි. එසේ නොවී පින්වත් ඔබ කර්මය කර්මඵල විශ්වාසයන් ගෙන් බැහැරව ගොස්, මිනිස් අයිතිවාසිකම කියන මාර සටන්පාඨය අතට ගත්තොත්, එය පින්වත් ඔබලාට අනතුරක්ම වෙනු ඇත.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ශක්තිය උදෙසා, ආරක්ෂාව උදෙසා, ශක්තිමත්, ගුණ ගරුක, රජ කෙනකුගේ, ඇමැති මණ්ඩලයක, අවශ්‍යතාවය නිරතුරවම දැක්කා. රටක රාජ්‍ය ආරක්ෂාව, රටක සාමය, සම්මා සම්බුද්ධ ශාසනයේ ශක්තියට ජවයක් මයි ලබා දෙන්නේ. භික්ෂුව පින්වත් ඔබට දේශපාලනය ගැන සටහන් තබනවා නොවේ, යහපත් දේශපාලනයක් උදෙසා, ධර්මය සටහන් තබනවා පමණක් මය.

බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාට, කොසොල් රජතුමාට, අජාසත්ත රජතුමාට, උදේනි රජතුමාට, නිරතුරුව ම ධර්මයෙන් අනුශාසනාවක් පැවැත්වූවේ, එම රජවරුන්ට ශක්තිමත් දානමය පින්කම් සිදු කොට ගැනීමට උපකාරක ධර්මයන් ලබා දුන්නේ සද්ධර්මයේ අර්ථයන්ගෙන් පෝෂණය වූණ ගුණගරුක පාලක පිරිසක ගෙන් සම්මා සම්බුද්ධ ශාසනයට ලැබෙන ශක්තිය නිසා මය. බුදුරජාණන් වහන්සේ රජවරුන්ගේ අන්තඃපුර බිසෝවරුන්ට පවා ධර්මය දේශනා කිරීමට ආනන්ද ස්වාමින් වහන්සේට පවරා දී තිබුණා. ගුණගරුක රජවරුන්ගේ ශක්තිය සම්මා සම්බුද්ධ ශාසනයකට ආරක්ෂාවක් මයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත සංස්කාර නමැති මාර සේනාව, අපිව ලූ‍හුබඳිමින් සිටිනවාය කියලා. එක්දහස් නවසිය හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ල, එක්දහස් නවසිය අසූ තුනේ කළු ජූලිය, එක්දහස් නවසිය අසූ නවයේ භීෂණය, වගේම වසර තිහකට වැඩි කොටි ත්‍රස්තවාදයේ මිනිස් ඝාතනයන්, මනුෂ්‍ය හිංසනයන්ට අදාළව, අතීත සංස්කාර නමැති මාර සේනාව, අපිව ලූ‍හුබඳිමිනුයි සිටින්නේ. මෙවැනි පිනෙන් පිරුණු සුන්දර චීවර මාසයකදීත්, මෙවැනි අසුන්දර දේවල් රටේ අසන්නට දකින්නට ලැබෙන්නේ, අතීත සංස්කාර නමැති මාර සේනාව අපිව ලූ‍හුබඳින නිසාම විය හැකිය. අපිව ලූ‍හුබඳින සංස්කාර නමැති සේනා සහිත මාරයාගෙන් අපිට කුමන ගැලවිල්ලක්ද, හෙට මරණය, හෙට විනාශය, නොපැමිණේ යයි, කාට නම්, කිව හැකිද? වහ වහා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ දිවා රාති‍්‍ර වීර්ය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

රට ඉදිරියේ දිගහැරෙන සෑම අර්බුදයකදීම. අපිව ලූ‍හුබඳින අතීත සංස්කාර නමැති මාර සේනාව ගැන වැටහීමක් අපට තිබෙන්න ඕනේ. ඒ වැටහීම තිබුණොත් තමයි, ඉවසීමෙන්, සමගියෙන්, සාකච්ඡාවෙන්, අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව සකස් කොට දෙන්නේ. අපි නොඉවසීමෙන්, අසමගියෙන්, අභියෝගයන් ඉදිරියට ගියොත් අපිව ලූහුබඳින අතීත සේනා සහිත මාර සේනාවට අපිම උපකාරක ධර්මයෙන් සකස් කොට දුන්නා වෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරතුරුව ම මරණානුස්සතිය සිහිපත් කරන්න. නිරතුරුවම සතර ඍර්ධිපාද ධර්මයන් ජීවිතයට එකතු කොට ගන්න කියලා. නමුත් මරණානුස්සතිය තබා, පටිච්ච සමුප්පන්නව නැවත උපදිනවාය කියන විශ්වාසය පවා දිනෙන් දින අප තුළින් බැහැරව යනවා. නොමැරෙන මනුෂ්‍යයන් හැටියට බොරුව, වංචාව, මුල් තැනට ගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කොයි හැටි වෙතත් සම්මාදිට්ඨියේ අර්ථයවත් අපේ ජීවිතවලට එකතුකොට නොගත් නිසා මයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගංගා නම් නදිය පෙරදිගට බරවයි ගලා ගෙන යන්නේ. පෙරදිගට බරව ගලා ගෙන යන ගංගා නම් නදිය යම් පුද්ගලයෙක් උදැල්ලක් අරගෙන මම මේ ගංගා නම් නදිය බටහිරට යොමු කරමියි, උත්සාහ ගන්නේ නම් එය කවදාකවත් සිදුකළ නොහැක්කක් සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් නිවැරදිව පුහුණු කරන භික්ෂුවකට රජ කෙනෙක්, ඇමැතිවරයෙක්, සිටුවරයෙක්, රාජ කන්‍යාවක් ඇවිටිලි කළොත් ඔය පැවිද්ද කුමකට ද ඔය මුඩුහිස, ඔය චීවරය කුමකට ද කම් සැප උදෙසා ගිහි බවට පත්වෙන්නය කියලා. එය කවදාකවත් සිදු නොවන දෙයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

දීර්ඝ කාලයක් සතර සතිපට්ඨාන ධර්මයන් පුහුණු කිරීම හේතුවෙන් එම භික්ෂුව කෙළෙස් වලට අභියෝග කරමිනුයි සිටින්නේ. එම නිසාම කාමඡන්දයන් ප්‍රියකරන ගිහි පින්වතුන්ගේ වෙනස්වීම් ඉදිරියේ කාය, වේදනා, චිත්ත, ධම්ම ධර්මතාවයන් දෙස සිහියෙන් දකින භික්ෂුව චංචල නොවන බව සිවුරු හැර නොයන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයෙන් පෝෂණය වුණ සතර සතිපට්ඨාන ධර්මයන් තුළ අල්ප හෝ පුහුණුවක් ලද පින්වතෙක් කවදාකවත් අනුනගේ පංච උපාදානස්කන්ධයන් ඉදිරියේ තමන්ගේ පංච උපාදානස්කන්ධය අසංවර කොට ගන්නේ නැහැ.

ඉහත කාරණාවත් සමඟ අපගේ ජීවිත ගලපා දකිද්දි අපි මොන තරම් ධර්මයේ අර්ථයන්ගෙන් ඈත්වෙලා ද සිටින්නේ? පින්වත් ඔබ ධර්ම මාර්ගයෙන් ඈත් වුණොත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට කාගේ ආරක්ෂාවක් ද? සිංහලකම නමැති පොත්තෙන් ආරක්ෂාව ලබන සම්මා සම්බුද්ධ ශාසනය නමැති අරටුවට කාගේ ආරක්ෂාවක්ද? සිංහලකම නමැති පොත්ත විනාශ කළ තැන අරටුව අනිවාර්යයෙන්ම අභියෝගයට ලක්වෙනවා.

ගැලවුම් කාර වේශයෙන් පෙනී සිටින මිථ්‍යාදෘෂ්ඨික අධර්ම වාදී කණ්ඩායම් ඉදිරියේ ආශ්වාදය මොහොතක් පැත්තකින් තබා සිහි නුවණින් කටයුතු කරන්නය කියලා, වර්තමානයේ සිදුවන සිදුවීම් පින්වත් ඔබට බලකරනවා. පුංචි තැනක් වැරදුණොත් මහා විනාශයක් වෙන්න පුළුවන්. ජාත්‍යන්තරයට මුල් ඇදපු මේ අනතුර පින්වත් ඔබ ජයගන්න ඕනේ, උපක්‍‍්‍රමශීලීව අකුසලය, කුසලයෙන් යටපත් කරලා මයි.

ගෞරවධෑය දේශපාලක පින්වතුන්ලාගේ ඇසෙන්, කණෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් ගලා බසින තෘෂ්ණාවේ සැඩ පහර නිසාම සමාජය තුළ සකස් කොට දී තිබෙන දේශපාලන විකෘතීන් කෙරෙහි තෘෂ්ණාවේ බියකරු භාවය දකිමින් කලකිරීම ඇති කොට ගන්න. නමුත් එය අන්තවාදී කලකිරීමක් බවට පත් කොට ගන්න එපා!

පින්වත් ඔබට ඊළඟ පරපුරට මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් දායාදකොට දීමට අවශ්‍ය නම් කරුණාකර මෙම දේශපාලන විකෘතීන් දෙස හේතුඵල ධර්මයන්ට අදාළව ධර්මයේ උපේක්ෂාවෙන්ම දකින්න.

එසේ නොවී සමාජය තුළ සිදුවන දේශපාලන විකෘතීන් හේතුවෙන් පින්වත් ඔබ අන්තවාදීව කලකිරීමකට ගියොත් ”ඔබ ඔබව පාලනය කිරීම ඔබ විසින්ම සතුරෙකුට භාරදුන්නා” වෙනවා.