මුලු ලෝකයම එරෙහි වුවද භික්ෂුවකට බියක් ඇතිවන්නේ නැත

මෙය සටහන් තබන භික්ෂුවට මතකයි, මගේ අම්මා, ළමා කාලයේදී මට කියලා දුන්නා, මේ ලෝකයේ උතුම්ම රට ශ්‍රී ලංකාවයි කියලා. එදා අද වගේ චතුරාර්ය සත්‍ය ධර්මයන්, සතර සතිපට්ඨාන ධර්මයන්, පංච උපාදානස්කන්ධ ධර්මයන්, උතුම් අධිගමයන්, ගැන සමාජයේ කතාබහ වුණේ නැහැ. ඒ නිසාමදෝ මගේ අම්මා, ශී‍්‍ර ලංකාව ලෝකයේ උතුම්ම රට වෙන්නේ, ඇයි කියලා මට පැහැදිලි කොට කිව්වේ නැහැ.

නමුත් භික්ෂුව පසුකාලීනව හොඳින් ම දැනගත්තා, ”අපේ රට ලෝකයේ උතුම්ම රට වෙන්නේ, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයත්, එම ශාසන ධර්මයන් ගෙන් පෝෂණය වෙන, සියලූ‍ ජාතීන් සහෝදරත්වයෙන් ජීවත් වෙන, මේ සිංහල බෞද්ධ සංස්කෘතිය නිසාය” කියලා.

භික්ෂුව මුණ ගැසෙන්නට පැමිණි මහත්මයෙක්, ප්‍රකාශ කළා, තමන්ගේ සහෝදරයා ඔස්ටේ‍්‍රලියාවේ නීත්‍යනුකූල පුරවැසි භාවය ලැබිලා ස්ථිර පදිංචියට ඔස්ටේ‍්‍රලියාවට ගියාය කියලා. ඒ මහත්මයා භික්ෂුවට, කියනවා, ඔස්ටේ‍්‍රලියානු රජය, විදේශීය ජනතාවට පුරවැසි භාවය ලබා දෙන කොට, පුරවැසි භාවය ඉල්ලූ‍ම් කරන ඉල්ලූ‍ම් පත්‍රයේ සිංහල බෞද්ධ කියලා සඳහන් වී තිබුණොත්, අදාළ ඔස්ටේ‍්‍රලියානු බලධාරීන් කැමැත්තෙන් එම ඉල්ලූ‍ම් පත්‍රය ගැන සොයා බලනවලූ‍, එම ඔස්ටේ‍්‍රලියානු බලධාරීන් සිංහල බෞද්ධයන් හඳුන්වන්නේ සාමකාමී මනුෂ්‍යයන් හැටියටලූ‍.

අපේ රටේ බලලෝභී අකාරුණික, දේශපාලන පින්වතුන්, තම පිරිහී යන බලය රැක ගැනීම උදෙසා, රට තුළ වරින් වර ජාතිවාදී මතවාදයක් ඇති කළත්, අප රටේ ජීවත්වෙන සිංහල බෞද්ධ ජනතාවගේ, මනුෂ්‍යත්වයෙන් පෝෂණය වූ සියලූ‍ ජාතීන්ට, ආගමිකයින්ට, දක්වන, සාමකාමී භාවය, වර්තමානයේත්, අවංක භාවයෙන් කටයුතු කරන ලෝකයාට පිළිගන්නට සිද්ධ වෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම ධනය, ශ්‍රද්ධාවයි කියලා. ශ්‍රද්ධාවට වඩා ගේ‍්‍රෂ්ඨ ධනයක් මේ ලෝක ධාතුව තුළ නැහැ. ශ්‍රද්ධාව නමැති ශ්‍රේෂ්ඨ ධනයයි, පින්වත් සිංහල බෞද්ධ ඔබට, අවංක ලෝකයා ඉදිරියේ, ”සාමකාමී මිනිස්සු” කියන ගෞරවණීය නාමය අදටත් ඔබට ලබා දෙන්නේ.

අතීතයේ මේ ලෝකයේ, උතුම්ම රට ශ්‍රී ලංකාව කියලා. මගේ අම්මා මට කියලා දුන්නත්, වර්තමානයේ අවිද්‍යා වාදී අධර්ම බලවේග විසින්, මංකොල්ල කන්න හදන, අරාජික කොට දමන්නට හදන, ලෝකයේ එකම රට බවටත්, මේ උතුම් රට පත් වෙලා තිබෙනවා. මේ උතුම් සාමකාමී සිංහල බෞද්ධ සංස්කෘතියෙන්, සදාචාරයෙන් පෝෂණය වූ රටේ ජාතික, ආගමික, සමගිය දකින්නට, අසන්නට, හිතන්නට, අකැමැති මිථ්‍යාදෘෂ්ටික අධර්මවාදී බලවේග මේ උතුම් ශ්‍රී ලංකාව විනාශ කොට දමන්නට පුදුමාකාර වියරුවකින් පසු වෙන්නේ.

ශ්‍රද්ධාව කියන ධනයත්, ඩොලර් නෝට්ටු වලත් වෙනස නොහඳුනන, අසත්පුරුෂ දුශ්ශීල කණ්ඩායම් වල කි‍්‍රයාකාරකම් ඉදිරියේ පින්වත් ඔබ ශ්‍රද්ධාවේ ශක්තිය මයි ජීවිතයට එකතු කොට ගත යුත්තේ. පින්වත් ඔබ ද්වේශයෙන්, උද්වේගකාරීව, විස`දුම් සොයන්නට යොමු විය යුතු නැහැ. මාර බලවේගයන්ගේ උත්සාහයන් කි‍්‍රියාත්මක වෙන්නේ, බොරුවෙන්, වංචාවෙන්, ඝෝෂාකාරීව, ජනතාව මානසික වශයෙන් ප්‍රකෝපකාරී කොට, ඇති වන විකෘතීන් ඉදිරියේ, බොර දියේ මාළු බෑමටයි.

අවිද්‍යාවෙන් දෑස් අන්ධ වූ මනුෂ්‍යයෝ, විද්‍යාව දකින්නේ, අවිද්‍යාව තමන්ගෙන් උදුරාගන්න උත්සාහ ගන්න සතුරෙක් වශයෙන් මයි. කාමයන්ගේ, රූපයන්ගේ, ආශ්වාදයේ අඳුරටම භාර දුන්, එවැනි පින්වතුන්ගේ, ජීවිත වලට, විද්‍යාවේ ආලෝකයක් ගැන, සිතන්න ඒ අයට අවශ්‍යතාවක් නැහැ.

මෙවැනි අවිද්‍යා වාදී බලවේගයන් ඉදිරියේ, මිථ්‍යාදෘෂ්ටිය සම්මාදිට්ඨියෙනුත්, අකුසලය කුසලයෙනුත්, බොරුව සත්‍යයෙනුත්, කුලප්පුව සංසිඳීමෙනුත් ජයගන්න පින්වතුන්ලා සූදානම් විය යුතුයි. කාමච්ඡන්ද ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණු සිත්, විචිකිච්ඡාවන් ජීවිතය කොට ගන්න, අවිද්‍යාවාදී මනුෂ්‍යයෝ, සප්ත බොජ්ඣංග ධර්මයන් දකින්නේ විනාශ කොට දැමිය යුතු අධර්මයක් වශයෙන් මයි. අසත්පුරුෂ ආශ්‍රය, මිච්ඡා ධර්මයන් ශ්‍රවණය, අනුවණින් මෙනෙහි කිරීම, හේතුවෙන් සකස් වෙන ඉන්ද්‍රීය ධර්මයන්ගේ බිංදුවට බැසීම, මෙවැනි මනුෂ්‍ය ජීවිතවල, ධර්මානුකූල හේතුඵල ධර්මය වෙනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කොට ගත්තාට පසුව, බුදුරජාණන් වහන්සේට, වසවර්ති මාරයාගේ, මැර තර්ජනයන්ට මුහුණ දෙන්නට සිද්ධ වුණා. මේවා වසවර්ති මාරයාගේ ඉන්ද්‍රීය ධර්මයන් බිංදුවට බැසීමේ ධර්මානුකූල හේතුඵල ධර්මයන්.

මාරයා නමැති පංචනීවරණ ධර්මයන්ට, බුදුරජාණන් වහන්සේලාගේ, සප්ත බොජ්ඣංග ධර්මයන්ට, මේවා සුන්දර ධර්මයේ අර්ථයන් මිස, ඇලීමට, ගැටීමට අවශ්‍ය සාධකයන් නොවේ.

වසවර්ති මාරයා, බුදුරජාණන් වහන්සේට තර්ජනය කරනවා, ”දැන් ඔබ වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට ගත්තා, දැන් ඉතින් ඔබ වහන්සේ වහාම පිරිනිවන් පාන්නටය” කියලා. වසවර්ති මාරයාගේ පංචනීවරණ තීව්ර අසිහිය නිසාම, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක, අතීත පාරමී ශක්තියකටයි ධර්මයේ ශක්තිය නොදන්නා මාරයා ”දැන් ඉතිං පිරිනිවන් පාන්නට” කියලා අභියෝග කළේ.

අතීතයේ, සිංහල බෞද්ධ ජනතාවගේ, අනිත්‍ය වන, සිත නමැති සංස්කාර ධර්මයන්ගේ ශක්තිය නොදන්න, පංචනීවරණ තීව්ර, අසිහිය නිසාම, සමහරක් අවිද්‍යාවාදී කණ්ඩායම්, මේ උතුම් සිංහල බෞද්ධකම, මරාගෙන උපදින, ඊළාම් රාජ්‍යයක සිහින ලෝකයන් තුළ ජීවත් වුණා.

ජයශ්‍රීමහා බෝධි මූලයේදී මාර තර්ජනයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ මාරයාට දේශනා කරනවා, ”මාරය, ඔබගේ පංචනීවරණයන් ගෙන් වියරු වැටුණ තර්ජනයන්, බුදුරජාණන් වහන්සේගේ පයට පෑගෙන දුහුවිල්ලක් තරම් වත් තකන්නේ නැහැ. ඔබගේ අකුසලයෙන්, වියරු වැටුණ ඔබේ තර්ජනයන්, අයිති ඔබේ අනාගත අකුසල් ගිණුමටයි. ඒ අනාගත පටිච්චසමුප්පන්න අකුසල් හා මේ සතර අපායේ දුක අයිතිත් ඔබට මයි. මාරය, බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට ගත්, මේ උතුම් ධර්මය, ලෝකයාට දේශනා කරන තුරු මාගේ ශාසනයේ, භික්ෂු, භික්ෂුධෑ, උපාසක, උපාසිකා, සිව්වනක් පිරිස, සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන් ඤායපටිපන්න ගුණයෙන්, ධර්මධර, විනයධර, සිල්වත් පිරිසක් වෙන තුරු, උතුම් මහා සංඝරත්නය තම සාමීචිපටිපන්න ගුණයෙන් මේ උතුම් ධර්මය ලෝකයාට දේශනා කරන තුරු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ නැහැ”ය කියලා.

බුදුරජාණන් වහන්සේ සතු වූ, අයෝමය ආර්ය විමුක්තියේ ශක්තියෙන්, දශ පාරමී කුසල් බලයේ ශක්තිය හමුවේ, වසවර්ති මාරයාට ඉතිරිව තිබුණේ, බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් අතුරුදන්වී පලා යෑම පමණක් මයි.

වර්තමානයේ අවිද්‍යා වාදී කණ්ඩායම් වල, බොරු කාර, මංකොල්ල කාර, හැසිරීම් වලට මැදිවී, ජීවත් වෙන පින්වත් රටවාසී ඔබ තේරුම් ගන්න ඕනේ, මේ ලෝකයේ ආර්ය ප්‍රඥාවට, ආර්ය ඤාණ දර්ශනයන්ට, ආර්ය විමුක්තියට අධිපති වෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. නමුත් මේ ලෝක ධාතුවේ බලයට, කාමයන්ට, අධිපති වෙන්නේ වසවර්ති මාරයායි. මේ ලෝක ධාතුවේ බලයට අධිපති වසවර්ති මාරයාව, මානසිකව පරාජයට පත් කොට පලවා හරින්නේ, බුදුරජාණන් වහන්සේ සතුවූ ආර්ය විමුක්තියේ ශක්තියෙන් මයි.

මෙය සටහන් තබන භික්ෂුව, පින්වත් ඔබට කියනවා. මුළු ලෝකයම එක ගොඩකට ගිහිල්ලා, මෙය සටහන් තබන භික්ෂුවට එරෙහිව ආවත්, භික්ෂුවට බියක් ඇති වෙන්නේ නැහැ. එම තත්ත්වය සුන්දර සංස්කාරයන්ගේ ධර්මානුකූල අත්දැකීමක් පමණක් මයි. එවැනි තත්ත්වයක් තුළ භික්ෂුව සමාජය මග හැරලා යනවා. නමුත් පළායන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා, වසර දෙදහස් හයසියයක් ගෙවී ගියත්, මෙය සටහන් තබන භික්ෂුව, මේ නිමේෂයේ දීත්, බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන, අල්ලා ගෙන, බුදුරජාණන් වහන්සේ තබන පියවරට, පසු පියවර තබමින්, බුදුරජාණන් වහන්සේ පසුපසින් වඩින භික්ෂුවක්. බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලා ගෙන, වඩින කොට, බුදුරජාණන් වහන්සේ ගේ පූර්වාදර්ශය, මහා කරුණා ගුණයත්, මහා ඤාණයන්ගේ අසිරිමත් භාවයත් මේ නිමේෂයේදීත් භික්ෂුවට දැනෙනවා. මේ නිමේෂයේදීත් බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ලේ ඡායාවේ සීමාව තුළ ජීවත් වෙන, භික්ෂුවක්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව, උතුම් ධර්ම විනයයි ශාස්තෲන් වහන්සේ වෙන්නේ කියලා. යම් භික්ෂුවක් උතුම් ධර්ම විනය තුළ ශක්තිමත්ව ජීවත් වෙනවා නම්, උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ගේ සිවුරු කොන අල්ලා ගෙන වඩින සුන්දර භික්ෂුවක් ම වෙනවා. බුදුරජාණන් වහන්සේ ගේ සිවුරු කොන අල්ලා ගෙන, බුදුරජාණන් වහන්සේ තබන පියවරට පසු පියවර තබමින්, වඩින ස්වාමින් වහන්සේලා මේ උතුම් දේශයේ අප්‍රමාණව වැඩ සිටිනවා.

ඒ උතුම් ධර්ම විනයේ ශක්තියයි, වර්තමානයේ මේ දේශයට එල්ල වෙන කුමන අභියෝගයක් වුවද, අනතුරක් වුවද, පෙනෙන මානයට පැමිණි විට, සෘද්ධියෙන් පැමිණෙන ආරක්ෂාවක් සේ, රටට ගරු කරන, ආදරය කරන, කණ්ඩායම්, ශක්තිමත් භාවයට පත් වෙන්නේ.

මේ උතුම් රට අරාජික කොට දැමීමට, කුමන බලවේග යන් පැමිණියද, පින්වත් ඔබ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෙවණැල්ල මත සමාධි ගත වෙන්න. නිරතුරුව බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”බුදුරජාණන් වහන්සේ ගේ සරණගිය ආර්ය ශ්‍රාවකයා, බහුල වශයෙන් වැඩිය යුත්තේ බුදුරජාණන් වහන්සේ ගේ ගුණයන්” කියලා. උතුම් බුදු ගුණයක් වැඩීම ඔස්සේ, පින්වත් ඔබ තුළින් බිය පහව යනවා. පින්වත් ඔබ තුළ වැඩෙන බුද්ධානුස්සතියේ කුසල් ශක්තියෙන් අවිද්‍යාවාදී කණ්ඩායම් පසු බැස යනවා.

පින්වත් ඔබ නිරතුරුව ම, ලෝකයාගේ අසද්ධාව ඉදිරියේ, මෙසේ සිත තැන්පත් කොට ගන්න. ”බුදුරජාණන් වහන්සේ, අවබෝධ කොට වදාළා වූ ධර්මයන්ට අදාළව හැසිරෙන නිසා, ‘විජ්ජාචරණ සම්පන්න’ නම් වන සේක. බුදුරජාණන් වහන්සේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ගමන් ඇති නිසා, නිවන් අවබෝධය සාක්ෂාත් කොට ගෙන වාසය කරන නිසා, ‘සුගත’ නම් වන සේක. බුදුරජාණන් වහන්සේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන තුන් ලෝකය ම දත් නිසා ‘ලෝකවිදූ’ නම් වන සේක. බුදුරජාණන් වහන්සේ විෂම, නපුරු, අවිද්‍යා වාදී දෙවියන්, මනුෂ්‍යයින්, බ්‍රහ්මයින්, අමනුෂ්‍යයින් දමනය කොට වදාළ නිසා ‘අනුත්තරෝ පුරිසධම්ම සාරථි’ නම් වන සේක. ”මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් නිරතුරුව ම සිහිපත් වෙන කොට, එම ආර්ය ශ්‍රාවකයාගේ, ගිහි පින්වතාගේ, සිත ද්වේශයෙන් යටපත් වෙන්නේ නැහැ. රාගයෙන් යටපත් වෙන්නේ නැහැ. මෝහයෙන් යටපත් වෙන්නෙ නැහැ”ය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ඒ වගේමයි, බුදුරජාණන් වහන්සේගේ ගුණයන් නිතර සිහිපත් කරන පින්වතා, තුළ බිය, තැති ගැනීම ඇති වෙන්නේ නැහැ. එම සිත, බුදුරජාණන් වහන්සේ කෙරෙහි සෘජුව පිහිටනවා. එම සෘජුව පිහිටන සිත, ප්‍රීතියට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සතු අයෝමය ඤාණ ශක්තිය, මහා කරුණා ගුණය, නුවණින් දකින පින්වතා, බුදුරජාණන් වහන්සේගෙන් තොර ධර්මයක්, ගුණයක්, සම්මාදිට්ඨියක්, ඤාණ ශක්තියක්, විමුක්තියක්, මාර්ග යක් දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ නමැති අර්ථය තුළ සිත සෘජුව පිහිටනවා. එම සෘජුව පිහිටන සිත, බුදුරජාණන් වහන්සේ වැනි, උතුම් ශාස්තෘන් වහන්සේ නමක් සරණ යෑමේ, ප්‍රමෝදයෙන්, සිත තුළ ප්‍රීතිය ඇති කොට ගන්නවා. ඇත්ත ඇති සැටියෙන් දැකීමේ ප්‍රීතිය, බොරුව, බොරුව හැටියට දැකීමේ ප්‍රිතීය ඇති කොට ගන්නවා. එම ප්‍රීතිය නිසාම සිත සංසිඳෙනවා.

බියෙන්, විචිකිච්ඡාවෙන්, විසිරුණා වූ සිත, සමාධිමත් භාවයට පත් වෙනවා. එම සමාධිමත් සිතයි, ඕනෑම ප්‍රශ්නයක් ඉදිරියේ ඕනෑම අභියෝගයක් ඉදිරියේ, පින්වත් ඔබට, ඇලීම්, ගැටීම් වලට යට නොවී, හේතුඵල ධර්මයන්ට අදාළව ජීවිතය දැකීමේ, ධර්මයේ උපේක්ෂාව, පින්වත් ඔබ තුළ ඇති වෙන්නේ. හේතුඵල ධර්මයන්ට අදාළව, තමන් ඉදිරියට පැමිණෙන, ඕනෑම ප්‍රශ්නයක් ඇලීම්, ගැටීම් වලට යා නොදී, විසඳා දෙන්නෙ උපේක්ෂාවයි.

එම නිසා ගෞරවනීය සාමකාමී පින්වතුනි, අවිද්‍යාවේ දාස භාවයට පත් වී, ලෝකයේ උතුම්ම රට මංකොල්ල කන්න හදන ගිනිගන්න පංච උපාදානස්කන්ධ ලෝකයක් ඉදිරියේ, ඔබ ධර්මයේ උපේක්ෂාවයි, ජීවිතයට එකතු කොට ගත යුත්තේ.

වර්තමානයේ, තෘෂ්ණාවේ ලැව්ගිනි පංච උපාදානස්කන්ධ ලෝකය හරහා වේගයෙන් ඇවිළී ගෙන යනවා. වර්තමානයේ සමහර පංච උපාදානස්කන්ධ තිබෙනවා. සිංහල බෞද්ධ, කිව්වොත් ඇවිළෙනවා. නිකමට හරි ෆෙඩරල් කිව්වොත් නිවෙනවා. මේ කුමන හෝ අනුන්ගේ වියරුවටත් තිබෙන එකම ධර්මයේ විසඳුම, සුන්දර ධර්මයේ උපේක්ෂාවයි.

වරක්, මගධ රාජ්‍යයේ, අජාසත්ත රජතුමාගේ, ප්‍රධාන අමාත්‍යවරයා, බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ඇවිල්ලා අජාසත්ත රජතුමාගේ, පණිවිඩයක් බුදුරජාණන් වහන්සේට දැනුම් දෙනවා. ”භාග්‍යවතුන් වහන්ස, අජාසත්ත රජතුමා වජ්ජින්ගේ රාජ්‍යය, ආක්‍රමණය කරන්නයි සූදානම් වෙන්නේ, වජ්ජින්ව වනසා දමලා එම රාජ්‍යය, සියතට ගන්නවා”ය කියලා අජාසත්ත රජතුමාගේ පණිවිඩය බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා.

එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

  • ”ආනන්ද, ඔය වජ්ජින් දිනකට තුන් වතාවක්, රැස් වෙලා සාකච්ඡා කරනවා.
  • දෙවැනිව, ඔය වජ්ජින් සමගියෙන් රැස් වෙලා, සමගියෙන් ම විසිරී යනවා.
  • තුන්වැනිව, ඔය වජ්ජින් අතීතයේ තම රජවරු නොපනවන ලද නීති පනවන්නේ නැහැ. පනවන ලද නීති වෙනස් කරන්නෙත් නැහැ.
  • හතරවැනිව ඔය වජ්ජින්, වැඩිහිටියන්ට ගරු කරනවා. උපස්ථාන කරනවා.
  • පස්වැනිව ඔය වජ්ජින්, ළදැරියගේ පටන් වැඩිහිටි කාන්තාව දක්වා, ස්ත්‍රිත්වයේ ආත්මගරුත්වය, ආරක්ෂාව, සහතික කොට තිබෙනවා.
  • සයවෙනුව ඔය වජ්ජින්, තම රාජ්‍යයේ විහාර, දේවාල, නඩත්තු කරනවා. ආරක්ෂා කරනවා.
  • සත්වෙනුව ඔය වජ්ජින්, මහා සංඝරත්නයට, අන්‍ය ආගමික පූජකතුමන්ලාට, අවශ්‍ය සිව්පසය නිදහසේ ජීවත් වීමේ සුරක්ෂිත භාවය ලබාදී තිබෙනවා.

වජ්ජින් සතු මේ සප්ත අපරිහානි ධර්මයන් හේතුවෙන්, ඔය බලගතු මගධ රාජ්‍යයේ, අජාසත්ත රජතුමාට, වජ්ජි රාජ්‍යය ආක්‍රමණය කොට ජය ගන්න බැහැය කියලා බුදුරජාණන් වහන්සේ මගධයේ මහඇමතිට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මානුකූල හේතුඵල ධර්මයන්ට අදාළව, කරුණු දැක්විම නිසා අජාසත්ත රජතුමා, වජ්ජින්ගේ රාජ්‍යය ආක්‍රමණය කිරීමෙන් වළකිනවා.

වජ්ජින්ගේ රාජ්‍ය ප්‍රතිපත්තිය, තම රාජ්‍යයයත්, ජනතාවත් ආරක්ෂා කරනවා වගේම, රටේ ජනතාවගේ කුසල් ශක්තියත් ශක්තිමත් කොට දෙන සප්ත අපරිහානි ධර්මයට හිමි වුණා.

මේ උතුම් රටේ, ගෞරවණීය, පාලක පින්වතුන් ලා දක්ෂ වෙන්න ඕනේ, තෘෂ්ණාවේ කරවටක් ගිළුණු වියරු පංච උපාදානස්කන්ධ ලෝකයක් ඉදිරියේ, වියරු පංච උපාදානස්කන්ධ මාරයින්ගෙන්, රාජ්‍යයට අනතුරු එල්ල වෙන කොට, ප්‍රශ්න අවුලෙන් අවුලට යා නොදී ධර්මානුකූල විසඳුම්, උපක්‍රම ශීලීව, තම රාජ්‍ය ප්‍රතිපත්ති වලට එකතු කොට ගන්න.

අතීතයේ බුදුරජාණන් වහන්සේට තර්ජනයක් සිද්ධ කළේ ජීවමාන බලයට.. අධිපති වසවර්ති මාරයායි. නමුත් වර්තමානයේ, මේ ලෝකයේ උතුම්ම රට අරාජික කොට දමන්නට හදන්නේ මනුෂ්‍යයා තුළ, ඵස්සය හේතුවෙන් සකස්වෙන පංච උපාදානස්කන්ධ මාරයායි.

වියරු තෘෂ්ණාවෙන් උපන් පංච උපාදානස්කන්ධ මාරයාව, ඔබ ජය ගත යුත්තේ, තෘෂ්ණාව සියුම් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තුළින් මයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, සෘජුව පවතින සිත, පින්වත් ඔබව යොමු කරන්නේ ඒ සුන්දර, තෘෂ්ණාව සියුම් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළට මය.

සියලූම ජාතීන් සාමයෙන් ජීවත්වෙන මේ උතුම් දේශයට ඉදිරියේදී ධර්මානුකූලව ම නොකඩවා අභියෝගයක් එල්ල වේවි. මාරාන්තික අභියෝගයක් එල්ල වේවි. අවිද්‍යාවාදී කණ්ඩායම්වල, තෘෂ්ණාවේ වියරුව මතයි භික්ෂුව ඉහත කාරණය සටහන් තැබුවේ.

එම නිසා, රටේ පින්වත් පාලක පින්වතුන් දක්ෂ විය යුතුයි තම රාජ්‍ය ප්‍රතිපත්ති වලට, කවදාක්වත්, කල් ඉකුත් නොවන, සප්ත අපරිහානි ධර්මයන් එකතු කොට ගන්න. බලගතු අජාසත්ත රජතුමාට පරාජය කිරීමට නොහැකි කුසලයේ බලයත්, සිතේ බලයත්, තුළින් තම රාජ්‍යය වජ්ජින් ශක්තිමත් කොට ගන්නේ, සප්ත අපරිහානි ධර්මයන්ගේ කුසලයෙන් පෝෂණය වූ පිනේ ශක්තියයි.

බුදුරජාණන් වහන්සේ වර්ණනා කළාවූ රාජ්‍ය ප්‍රතිපත්තිය වූ සප්ත අපරිහානි ධර්මයන්, පාලක පින්වතුන්ලා තුළත්, එහි රැ කවරණය ලබන ජනතාව තුළත්, පිනට අදාළ, ශීලයට අදාළ, සම්මා දිට්ඨියට අදාළ ශක්තිය මයි එකතුකොට දෙන්නේ.

සියල්ල වේගයෙන් වෙනස්වී යනවා. ඊළග නිමේෂයේදී ඇතිවෙන වෙනස, අපිට හිතා ගන්න වත් බැහැ. මනුෂ්‍යයාගේ තෘෂ්ණාව වේගවත් වෙද්දී, මනුෂ්‍යයා තුළින් රැස් වෙන සංස්කාර වල ශක්තිය ද වේගවත් වෙනවා. වේගවත්ව වර්ධනය වෙන, සංස්කාරයන් නිරතුරුව ම, අනිත්‍ය වෙන නිසා, සිතා ගන්න බැරි සිදුවීම්, සමාජගත වෙනවා. පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවේ වේගවත් භාවය නිසාම, ලෝකය විකෘති ආකාරයෙන් වෙනස් වෙද්දී, බලවත්ව අභියෝගයට ලක් වෙන්නේ, මේ වෙනස්වීම ගැන, අනිත්‍ය, දුඛ්‍ය, අනාත්ම, ධර්මයන් ගැන ලෝකයට දේශනා කරන, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයයි. ඒ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අර්ථවත්ව ස්ථාන ගත වෙලා තිබෙන මේ උතුම් දේශයයි. මේ සියල්ල ඉදිරියේ, ඔබේ නොසැලෙන මාර්ගය විය යුත්තේ, ආර්ය අෂ්ටාංගික මාර්ග යේ කුසලයෙන් පෝෂණය වූ, සිතේ ශක්තියයි.

කොසොල් රජතුමා, අනාථයෙක් වශයෙන් අම්බලමක මිය යන්නේත්, විඩූඩභ කුමාරයා, මහා සාගරයට ගසා ගෙන යන්නේත්, බිම්බිසාර රජතුමා තම පුත්, අජාසත්ත, රජු අතින් මැරුම් කන්නේත්, ශාක්‍ය වංශය, බුදුරජාණන් වහන්සේ ජිවමානව වැඩසිටියදී ම සමූල ඝාතනය වෙන්නේත්, අතීත අකුසල් සංස්කාර හේතුවෙන් සකස් වුණ විඤ්ඤාණය නමැති මැජික් කරුවාගේ අකුසල කාරී, දැනීම් වල හේතුඵල ධර්මයන් නිසා මය.

වර්තමානයේ මෙම පින්වත් දේශයේ පාලක පින්වතුන්ලා, සහ පින්වත් ජනතාව තුළ සකස්වෙන දැනීම්, අකුසලයට බර නම්, බොරුවට, වංචාවට, අල්ලසට බර නම්, එම අධර්මයන් ගෙන්, විනාශ වෙන්නේ, පින්වත් ඔබ පමණක් ම නොවේ; සම්මා දිට්ඨියෙන්, මිථ්‍යාදෘෂ්ටියෙන් අයෝමය වෙනස, මනුෂ්‍ය ප්‍රජාවට මතුකොට පෙන්වන, මේ උතුම් සිංහල බෞද්ධකමයි.

එම නිසාම පින්වත් පාලක පින්වතුන්ලා ඉදිරියේ, ගෞරවනීය වගකීමක් තිබෙනවා. එම වගකීම තමයි, අසාධාරණ, අධර්මිෂ්ඨ, බලපෑම් ඉදිරියේ, පින්වත් ඔබ කාටවත්ම දණ ගසන්නට අවශ්‍ය නැහැ.

මේ උතුම් ධර්මයේ ශක්තියෙන්, සිංහල කම නමැති පොත්තත්, එම ශක්තිමත් පොත්තෙන්, ආරක්ෂාව ලබන, බෞද්ධකම නමැති අරටුවත්, සම්මා සැපයට කැමැති, ලෝකයාගේ හිත සුව පිණිස, හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කොට තැබීම අත්‍යවශ්‍ය කරුණක්. සියලූ‍ සංස්කාරයන්ගේ අනිත්‍ය බව සත්‍යයි. ඒ සත්‍යය නිසා මයි, අනිත්‍ය වෙන දෙය, හෙට දවසට ආරක්ෂා කොට දීමට ධර්මානුකූලව ඉදිරිපත් විය යුත්තේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බලය කියන්නෙ සර්පයෙක්ය කියලා. මේ සර්පයා ගැරඬියෙක් වගේ අහිංසක සර්පයෙක් නොවේ. සැප දුක් වේදනාවන් ඉදිරියේ පැන පැන, දෂ්ඨකරන සර්පයෙක්. අපි හැමෝම බලය ලබාගන්නා තෙක් හරිම කීකරුයි. හැමෝටම සවන් දෙනවා. ජනතාව සමගම හැසිරෙනවා. නමුත් බලය ලබාගත්තට පසුව මේ දේවල් වෙනස් විය යුතු නැහැ. ජනතාව ස්වාමියා හැටියට දැක්ක නායකයින්, පසුව ජනතාව සේවකයින් හැටියට දැකිය යුතු නැහැ.

පින්වත් ගෞරවනීය ඔබලාගේ මෙවැනි වැරදි හැසිරීම් හේතුවෙන් විනාශ වී යන්නේ, පින්වත් ඔබලා පමණක් ම නොවේ. ඔබලා නිසාම රට ලබන, ජාතික ආරක්ෂාවත් විනාශ වෙලා යනවා.

අතීතයේ සිදු වූ මෙවැනි වැරදි ගැන, අලූ‍තින් සිතන්න, කාලයක් දැන් ඉතිරි වෙලා නැහැ. පින්වත් ඔබලාගේ ම අතීත ප්‍රමාදයන් හේතුවෙන්, අනතුරු ගෙදර වැට මායිමට ම පැමිණ තිබෙනවා.

පින්වත් ඔබලා ලබන්නා වූ ජනතා බලය, ඔබ උදෙසා නොව, ඔබලාගේ ආශ්වාදය උදෙසා නොව, පින්වත් ඔබ ඉපදුණ, ලෝකයෙන්, උතුම් ම රටේ ආත්ම ගරුත්වය, ආරක්ෂාව, උදෙසා ම යොමු කොට, උතුම් ශාසන දායාදයන් ඊළ`ග පරපුරට ආරක්ෂා කොට, එම සුන්දර පිනෙන්, පටිච්ච සමුප්පන්නව සුන්දර දිව්‍ය උපතක් භව නිරෝධය දෙසට යොමුවූ, විදර්ශනාමය ප්‍රඥාවෙන් යුත් උපතක්, පින්වත් ඔබලාගේ උරුමය බවටත් පත් කොට ගන්න. ධර්මවිචය බොජ්ඣංගයෙන් පෝෂණය වූ, වීර්යය බොජ්ඣංගයම ශක්තිමත් වේවා!