වනවාසී භික්ෂූනට, තාක්ෂණය මාර ධර්මයක්මයි

පංච උපාදානස්කන්ධ ලෝකය කෙරෙහි තෘෂ්ණාවෙන්, ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට, අරමුණු සොයන, නොසෑහීම.., මොකක්ද ඔබේ ඉලක්කය? මොකක්ද ඔබේ සීමාව? මොකක්ද ඔබේ අවසානය? කල්ප සියක්කෝටි ප්‍රකෝටි කොච්චරක් නම්, නොසෑහීම. ඔබ මාව පටිච්ච සමුප්පන්නව වෙහෙසට පත් කළාද? ඔබ මාව සතර අපායන්හි දුකට පත් කළාද? කාම ලෝකවල ප්‍රමාදි භාවයට පත් කළා ද? නොසෑහීම, ඇයි ඔබ අසීමාන්තිකව මාව පෙලන්නේ?

නොසෑහීම, අතීතයේ මම, පටිච්ච සමුප්පන්නව, සක්විති රජ වෙලා, ලෝකයම පාලනය කරපු වෙලාවෙත් ඔබ සෑහීමට පත් වුණේ නැහැ. එදා මට, මහපොළොව යට තිබෙන ඕනෑම සම්පතක්, නිධානයක්. දිවැසින් දකින්න පුළුවන් ශක්තිය තිබෙන, පුරෝහිත බමුණෙක් ලැබුණත්, එදා මහපොළොව හාර හාර ධන නිධාන අයිති කොට ගත්තත් නොසෑහීම, ඔබ සෑහීමකට පත් වුණේ නැහැ.

නොසෑහීම, අතීතයේ මම දිව්‍ය තලයකින් නික්මුණු, පංච කල්‍යාණියක් වූ ස්තී‍්‍ර රත්නයක්, සුජම්පතියක්, ලැබුවත් ඔබ සෑහීමකට පත්වුණේ නැහැ. එක අන්තඃපුරයේ බිසෝ වරු දහ දෙනෙක්, පරිහරණය කළත්, නොසෑහීම, ඔබ සෑහීමකට පත් වුණේ නැහැ. නොසෑහීම, ඔබ අදත් මට කියනවා, ඔබ අදත් මට බල කරනවා, ජීවත් වෙන්න ආදායම මදි, සැප සම්පත් මදි, දරුවන්ට ලැබෙන අධ්‍යාපනය මදි, පිනට උපන් මවුබිමේ ආරක්ෂාව මදි, මෙහෙම මැසිවිලි නඟමින්, නොසෑහීම, ඇයි ඔබ මාව, මේ ජීවිතයේදීත්, ඔස්ටේ‍්‍රලියාවට, කැනඩාවට,රට පටවන්න හදන්නේ?

පසුගිය දිනක, මහත්මයෙක්, භික්ෂුවට වන්දනා කරන්න පැමිණ, මෙහෙම ප්‍රකාශ කළා. ”ස්වාමීන් වහන්ස, අපේ රටේ ජීවත් වෙලා වැඩක් නැහැ. මම ලබන මාසයේ බිරිඳ, දරුවා සමඟ, පදිංචියට විදේශ ගත වෙනවා”යි කියලා. තෘෂ්ණාවේ අපද්‍රව්‍යයන් ගෙන් උපන් නොසෑහීම, ඔබ මනුෂ්‍යයන්ට බොරු කළාට, භික්ෂුවට කරන්න දෙයක් නැහැ. ඒත් මෙවන් පූජනීය මාතෘ භූමියක්, වැඩක් නැහැයි කියලා. ඔබ ප්‍රකාශ කරන කොට, ඔබේ අවිද්‍යාවේ නිරුවත, දහස් ගණනක් වටිනා ඔබේ, යුරෝපීය ඇඳුම, විනිවිද භික්ෂුවට පෙනෙනවා.

පිනට ඉපදුණත්, උපන් බිමට ආදරයක්, ගෞරවයක් නැති මනුෂ්‍යයෝ, නැවත මනුෂ්‍ය ජීවිතයක් ලැබුවොත්, ඉපදෙන්නේ උපන් බිමක අයිතියක් නැති සරණාගතයන් වෙලා.

පාසල් ජීවිතයේදී මට, අකුරු කියලා දීපු පින්වත් ගෞරවණීය ගුරුතුමියක් පංති කාමරයේදී අපිට කියලා දුන්නා, ”දරුවනි, උපන් රටත්, ඔබව බිහි කළ අම්මාවත්, එකක් වශයෙන් දකින්න”ය කියලා. මෙය සටහන් තබන භික්ෂුව, මාව ලෝකයට බිහි කොට මාව හදාවඩා ගත් අම්මාට දක්වන ගෞරවය, ඒ හා සමානව උපන් මව්බිමටත් දක්වනවා.

භික්ෂුන් වහන්සේලා වැඩ සිටින වනවාසී කුටිවලට අදාළ සංස්කෘතියක් තිබෙනවා. ඒ සංස්කෘතිය බිහි කළේ අතීත රහතන් වහන්සේලා. ඒ සංස්කෘතිය පෝෂණය කළේ, උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයෙන්. වනවාසී කුටිවල සංස්කෘතික ලක්ෂණ තමයි, උසින් අඩු, මෙට්ටයක් රහිත ලෑලි ඇඳ, ලන්තෑරුම, ඇඳි දෙක සහිත උසින් අඩු ලෑලි පුටුව, දර ලිප, දර මැස්ස, කුඩා ගල් ළිඳ හෝ දිය පිහිල්ල. මොකක්දෝ අවාසනාවකට මේ කුටි සංස්කෘතිය දැන්, දවසින් දවස පිරිහෙනවා.

මෙය සටහන් තබන භික්ෂුව, පසුගිය මාසයේ වස් පවාරණය සිදු කරලා, දැන් වැඩ සිටින්නේ වෙනත් ප්‍රදේශයක කුටියක. භික්ෂුව මෙම කුටියට වැඩ ම කරලා, කුටියේ තිබූ අනවශ්‍ය බඩු ඉවත් කරලා, කුටිය සුද්ද කරගන්න, භික්ෂුවට පැය තුනක පමණ කාලයක් ගත වුණා. ඒ තරමට ම කුටි සංස්කෘතිය ආගන්තුක පළිබෝධයන්ගෙන් කිළිටි වෙලා. මීට වසර අටකට පෙර, භික්ෂුව මෙම කුටියට වැඩම කරද්දි එකම එක ජල කරාමයයි තිබුණේ. එය භික්ෂුවගේ අවශ්‍යතාවන්ට හොඳටම ප්‍රමාණවත් වුණා. මෙය සටහන් තබද්දී, භික්ෂුවගේ මුවගට සිනහවකුත් නැෙඟනවා. වර්තමානයේ මෙම කුටියේ තැන් තැන්වල ජල කරාම, හයක්ම තිබෙනවා.

නොසෑහීම, වනවාසී කුටි සංස්කෘතික ලක්ෂණ, ටිකෙන් ටික විනාශ කරනවා. දැන් සමහර කුටි වල ලන්තෑරුම් පත්තු කරන්නේ නැහැ. ලන්තෑරුම් දැල්ලට පිච්චිලා කෘමීන් මැරෙනවාය කියලා. ඉහත අදහස බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළ නැහැ. භික්ෂුවක් ලන්තෑරුම පත්තු කරන්නේ, රාති‍්‍රයට කෘමීන් පුළුස්සන චේතනාවකින් නොවේ. ආලෝකය බලාපොරොත්තුවෙන්. චේතනාවටයි බුදුරජාණන් වහන්සේගේ කර්මය පනවන්නේ.

ආත්මීය නිඝණ්ඨ දෘෂ්ඨීන්ට යට වෙලා. වනවාසී කුටියෙන් ලන්තෑරුම ඉවත් කරලා. සූර්යකෝෂ ආලෝකයන් කුටිය ආලෝකවත් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තාක්ෂණය, මාරයාය කියලා. මේ සූර්යකෝෂ නමැති තාක්ෂණ මාරයා සමඟ, සූර්ය ආලෝකයෙන් බල ගැන්වෙන බැටරි උපයෝගී කොට ගෙන, සෙලියුලර් දුරකථන භාවිතය, වනවාසී කුටි ආක්‍රමණය කරනවා.

ගිහි වේවා, පැවිදි වේවා, නවීන තාක්ෂණය ස්පර්ශ කළ යුත්තේ, අපේ අනන්‍යතාවයන් රැුක ගෙනයි. අපි මල නොතලා රොන් ගන්න දක්ෂ වෙන්න ඕනේ. මල නොතලා, රොන් ගන්නවාය කියන්නේ, අතීතයෙන් අපිට උරුම, අපේ සංස්කෘතිය ආරක්ෂා කොට ගෙන, නවීන තාක්ෂණය, ප්‍රයෝජනයට ගන්නවාය කියන කාරණයයි. ඒත් වනවාසී භික්ෂූනට, තාක්ෂණය මාර ධර්මයක්මයි. මාර ධර්මයක් භික්ෂූන් වන අපි, පසමිතුරු භාවයෙන් ගත්තොත්, එය අධර්ම මාර්ගයක, අතරමං වීමක් වෙනවා. භික්ෂූන් වන අපේ තාක්ෂණය, යකඩ, වයර්, බැටරි, විදුලි උපකරණ නොවේ.

මහා සංඝරත්නයේ තාක්ෂණය, උතුම් ඤායපටිපන්න ගුණයයි. ඒ කියන්නේ මහා සංඝරත්නයේ තාක්ෂණයේ දියුණුව යනු, දිවැස් නුවණින් ලෝකය දකින, වුතුපපාන ඤානය, පූර්වේනිවාසනුස්නති ඤාණය, දිව්‍ය චක්ඛු, දිව්‍ය ශ්‍රෝත ඤාණය යනු භික්ෂූන්ගේ උතුම් තාක්ෂණික දියුණුවයි. සංඝරත්නයේ තාක්ෂණය යනු විදර්ශනාමය ප්‍රඥාව, දුකෙන් මිදෙන උතුම් සෝවාන් සකෘදාගමී, අනාගමී, අරහත් ඤාණයන්මයි.

නොපනෙන ලෝකය දකින, පෙනෙන, නොපෙනෙන, ලෝකය නිරෝධය කරන මහා සංඝරත්නයේ තාක්ෂණය පෝෂණය කොට දෙන්නේ, උතුම් සුපටිපන්න ගුණයෙන්. උතුම් උජුපටිපන්න ගුණයෙන්. බුදුරජාණන් වහන්සේ පින්වත් ඔබටත්, මටත් කියලා දුන්න සැබෑ කල්‍යාණමිත්‍ර තාක්ෂණයේ ප්‍රතිඵලයයි, උතුම් සාමීචිපටිපන්න ගුණයයි, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථවත් භාවයෙන් පෝෂණයවූ, සාමීචිපටිපන්න ගුණයයි. සංකීර්ණ වූ පංචඋපාදානස්කන්ධ ලෝකය සරල කරන, සරල කොට ගන්නා ලෝකය නිවා දමන, මග ලොවට කියන උතුම් සාමීචිපටිපන්න ගුණයයි. මහා සංඝරත්නයට පිය උරුමයෙන්, උරුම වූ, දුක නිවන සත්පුරුෂ තාක්ෂණයත්, සෙලියුලර් දුරකථනය කනේ තබා ගෙන, පරිගණකයේ ඇඟිලි තුඩු තබා ගෙන, කෙළෙස් වඩන, ඇති කුසල් දුර්වල කරන, නැති අකුසල් සිදු කොට දෙන, ඇති බැඳීම් ශක්තිමත් කොට දෙන, නැති බැඳීම් ඇති කොට දෙන, අසත්පුරුෂ නවීන තාක්ෂණයන් අතර ඇති වෙනස, පින්වත් ඔබ සිහිනුවණින් දකින්න.

ගස් වල මල් පිපෙන්නේ, අත්තක් මත පර වෙලා යන්න නොවේ. බුදු සමිඳුන් අභියස, සත්‍යයේ පූජාසනයක් මත පූජාවෙන්න මයි. මලක ලස්සන, තවත් සිතක, ලස්සන පිනක් බවට පත් කොට දෙන්න මයි. අද උදෑසන පිණ්ඩපාත මඩුවේදී පාසල් ගැහැනු දරුවෙක් සුදුම සුදු මල්වට්ටියක් මැද්දේ රතුම රතු රෝස මලක් තියලා භික්ෂුවට පූජා කළා. සුදුමල් වට්ටිය මැද්දෙ, ලස්සනට සකස් කොට තිබුණ රෝස මල දකින කොට, මේ රෝස මල අස්සේ අතීත පටිච්ච සමුප්පන්න බැඳීම් සැඟවිලා තිබෙනවා ද කියලා, භික්ෂුවට සිතුණා.

පංච උපදානස්කන්ධ ලෝකය, සංස්කාර හේතුවෙන් සකස් කොට දෙන දැනීම් ඔස්සේ, සාංසාරික ඥාතිත්වයක් පසුපස හඹා යනවා. කෙනෙක් අටපිරිකරක් පූජා කරද්දී, තවත් කෙනෙක් සිවුරක් පූජා කරද්දී, තවත් කෙනේක රෝස මලක්, චොකලට් එකක්, ලේන්සුවක් පූජා කරන්නේ, සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මානුකූල හේතුවක් පටිච්ච සමුප්පන්නව එම පූජාවන් පූජා කිරීමට සකස් වුණ දැනීම් තුළ බැස ගෙන තිබෙන නිසා මයි. පංච උපාදානස්කන්ධ ලෝකය, කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින්, අතීත සංස්කාරයන්ගේ ඉව ඔස්සේ පටිච්ච සමුප්පන්නව ගමන් කරනවා. අතීත සංසාරයේ පටිච්ච සමුප්පන්නව, භව නවාතැන් පලවල් මොන තරම් නම්, මුණගැසිලා ඇතිද?

බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජතුමාගේ මාළිගාවට වැඩම කළ මොහොතේ, තමන්ගේ සිරිපතුල් අභියස, කඳුළු වගුරුවමින් හඬා වැටෙන යශෝධරාව ගේ හැඬීම දැකලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”ඔය හඬන්නේ යශෝධරාව නොව, සාරා සංඛ කල්ප ලක්ෂ ගණනක, සාංසාරික ඥාතිත්වයයි” කියලා.

තමන්ගේ සිරිපතුල් අභියස කඳුළු වගුරුවමින්, හඬා වැටුණු, නවයොවුන් වියේ සිටි නකුල පියා, නකුල මාතා, අරභයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අතීත සංසාර භව ගමනේදී ඔය නකුල පියා පන්සිය වතාවක් මගේ පියාවෙලා තිබෙනවා. ඔය නකුළ මාතා පන්සිය වතාවක් මගේ මව වෙලා තිබෙනවාය කියලා. අපගේ අතීත පටිච්ච සමුප්පන්න සාංසාරික ඥාතිත්වයන්, තෘෂ්ණාවෙන් ඔද්දල් වුණ, පංච උපාදාස්කන්ධ ලෝකය තුළ අපේ කැමැත්ත, අකැමැත්ත, සකස් කොට දෙනවා.

පසුගිය දිනක භික්ෂුවට ආරංචි වුණා. වස් පහළොවක් වූ උපසම්පදා ස්වාමින්වහන්සේ නමක්, වයස අවුරුදු හතළිස් පහක උපාසකම්මා කෙනකුගේ ආදරය වෙනුවෙන්, සිවුරු හැර ගියාය කියලා. තෘෂ්ණාවෙන් අන්ධ වූ ආදරය, සිත බැඳුණ, බැඳුන, තැන්වල නවාතැන් ගන්නවා. ඒ නිසාම, පරවෙලා යන රෝස කුසුමකට පුළුවන්, වස් පහළොවක භික්ෂුවක් උපැවිදි කොට දමන්නට. මෙය සටහන් තබන භික්ෂුව, සමාජයෙන් ඈත්වෙලා ජීවත් වෙන්න උත්සාහ ගන්නේ, ඒ අතීත සාංසාරික ඥාතිත්වයන්ගේ රුව, ගුණ, ධර්මානුකූලව, හදුනන නිසා මයි.

අපි දක්ෂ විය යුතුයි. අපි දකින දෙය ඇසෙන දෙය, දැනුණු දෙය විදර්ශනාත්මකව දකින්න. නමුත් අපි දකින දෙය, ඇසෙන දෙය, දැනෙන දෙය, නිරතුරුවම කෙළෙස් වැඩෙන සංස්කාරයන් හැටියට මයි, ජීවිතයට එකතුකොට ගන්නේ, බුදුරජාණන් වහන්සේ අපිට දෑස් පියා ගෙන. දෙකන්, වසා ගෙන ඉන්න කියලා නැහැ. දකින දෙය විදර්ශනාත්මකව දකින්න කියලයි තිබෙන්නේ.

තමන් ඉදිරියට, ධර්ම කරුණු අසා දැනගන්න පැමිණි උපාසකම්මා, විදර්ශනාවෙන් නොදැක්ක නිසාම, ඒ ඇසුණු කාන්තා කටහඬ, විදර්ශනාවෙන් නොඇසූ නිසාම, ඒ දැනුණු සිතුවිලි, විදර්ශනාත්මකව නොසිතූ නිසාම, ඉහත සඳහන් කළ ස්වාමින්වහන්සේ අසිහියෙන්, උපැවදි වෙනවා. මොහොතකත ප්‍රමාදයක්, දීර්ඝ අප්‍රමාදී භාවයක ගුණයන්, විනාශ කොට දමනවා.

භික්ෂුව දැන් වැඩ සිටින කුටියට, වැඩියේ පෞද්ගලික බස් රථයක, එම බස් රථයේ කොන්දොස්තර මහතා භික්ෂුව ගෙන් ප්‍රවේශ පත්‍ර ගාස්තුව අය කළේ නැහැ. තම ආයතනයේ අයිතිකාර මහත්මයා කියලා තිබෙනවාලූ ස්වාමින් වහන්සේලා ගෙන් ටිකට් කඩන්න එපාය කියලා. භික්ෂුවට මතක් වෙනවා. භික්ෂුව සාමණේර කාලයේදී, බස් රථයක් බලාපොරොත්තුවෙන් බස් නැවතුමක සිටියා. පැමිණියේ පෞද්ගලික බස් රථයක්, භික්ෂුව බස් රථයට ගොඩ වීමට පෙරාතුව, කොන්දොස්තර මහත්මයාගෙ න් විමසුවා, ”මහත්තයෝ, මගේ ළඟ මුදල් නැහැ. මාව අදාළ ස්ථානයෙන් බස්සන්න පුළුවන්ද” කියලා. කොන්දොස්තර මහත්මයා ප්‍රකාශ කළා, ”සාදු ඊළඟ බස් එකේ එන්න” කියලා. පංච උපාදානස්කන්ධ ලෝකය, අතීත සංස්කාරයන්ට අදාළව එකිනෙකට වෙනස්, දැනීම් සකස්කොට දෙනවා.

ගමන් ගාස්තු, අය නොකරම, මේ කුටියට වැඩිය බස් රථයේ, භික්ෂුව වාඩි වෙලා වැඩම කරන කොට, බස් රථයේ රූපවාහිනි යන්ත්‍රයෙන් සුන්දර කාන්තා කට හඬකින් ගැයෙන ගීතයක් භික්ෂුවට ඇසුණා. භික්ෂුවට කන් දෙක වසා ගන්න බැහැ. භික්ෂුව එම සිංදුව විදර්ශනාත්මකව ඇසුවා. භික්ෂුවට, එම සිංදුව ඇසුණේ මෙහෙමයි. ඔබ ඇසිපිය නොහෙලා බැලූවා, ඔබ ඇසිපිය නොහෙලා බැලූවා, කබ ගලන, කඳුළු ගලන, කවදාහරි පණුවන් නලියන මගේ දෑස් දිහා භික්ෂුවකට අහම්බෙන් ඇසෙන ගීතයක්, විදර්ශනාත්මකව ඇසුණු ස්වභාවයයි, ඉහතින් සටහන් තැබුවේ.

අතීතයේ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තව්තිසාවේ සංගීතයට අධිපති පන්සිළු දෙවියා, තම සුන්දර දිව්‍ය ප්‍රේමවන්තිය, තමන්ව හැර යෑම නිසා ම, ඇති වූ විරහ වේදනාවෙන්, බුදුරජාණන් වහන්සේට තම දිව්‍ය වීණාව වාදනය කරමින් විරහ ගීතයක් ගායනා කළා. එම විරහ ගීතයේ එක පද වැලක මෙහෙම සඳහන් වෙනවා. ”සුභා, ඔබ හිරු සේ ප්‍රභාෂ්වරය, සුභා, ඔබ සඳු සේ ප්‍රභාෂ්වරය, රහතුන්ට ධර්මය යම් සේ පි‍්‍රයද, සුභා දිව්‍ය කුමරිය මට එසේම පි‍්‍රයය.” තමන් ඉදිරියේ ගායනා කළ මේ පන්සිළු දෙවියාගේ විරහ ගීතය, බුදුරජාණන් වහන්සේ විදර්ශනාත්මකව ශ්‍රවණය කරලා, ගීතයේ සෞන්දර්යය ගැන පන්සිළු දෙවියාට ඇගයීමක්ද කළ බව සූත්‍ර ධර්මයන්ගේ සඳහන් වෙනවා.

අතීත පටිච්ච සමුපන්න, සාංසාරික ආදරයට සහ අනාදරයට අදාළ සාංසාරික ඥාතීත්වයන් අප පසුපස හඹා එන නිසාම පින්වත් ඔබ දක්ෂ වෙන්න ඔබට ඇසෙන දකින දැනෙන දෙය නිරතුරුව ම විදර්ශනාවෙන් ම දකින්න. විදර්ශනාව කියන්නේ, රූපය විනිවිද දකිනවාය කියන අර්ථයයි. අනෙකුත් පංච උපාදානස්කන්ධ ධර්මයන්, විනිවිද දකිනවාය කියන අර්ථයයි.

පසුගිය දිනක රාති‍්‍රයේ ගම්මානය දෙසින්, ගොඩාක් රතිඤ්ඤා පත්තු වෙන හඬ භික්ෂුවට ඇසුණා. භික්ෂුව සිතුවේ ගමට අලි ඇවිල්ලා කියලා. නමුත් පසුදා, භික්ෂුවට ආරංචි වුණා, රටේ දේශපාලන වෙනසක් සිදුවෙලාය කියලා. කුමන ක්ෂේත්‍රයක සිදු වුණත් වෙනසක්. කියන අර්ථය සකස් කොට දෙන්නේ සංස්කාර විසින්, ධර්මානුකූලව ජයග්‍රාහී කණ්ඩායම කියන්නේ, කුසල් සංස්කාරයන්ගේ ඵලයක්, පරාජිත කණ්ඩායම කියන්නේ, අකුසල් සංස්කාරයන්ගේ ඵලයක්.

සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණය නමැති මැජික් කරුවා මීට වසර හතරකට පෙරාතුව එකම මහ ගෙදර, සහෝදරත්වයෙන් ජීවත් වූ පවුලක්, අසත්පුරුෂ ධර්මයන් ගෙන්, බේදභින්න වෙලා, අසමගි වෙලා, අවුරුදු හතරක් ලෝභ, ද්වේශ, මෝහ, අධිවේගී මාර්ගයේ ගමන් කරලා, ආයෙමත් හිටපු මහගෙ දරට ම, හිටපු තැනටම, ඇවිත් තිබෙනවා. අත් පොළසන්, පී‍්‍රතිඝෝෂා, සුබපැතුම්, මැද සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණය නමැති මැජික් කරුවා අලූ‍ත් මැජික් සංදර්ශනයක් ඉදිරිපත් කොට තිබෙනවා.

අවුරුදු හතරක්, ලෝභ, ද්වේශ, මෝහ, අධිවේගී මාර්ගයේ, දීර්ඝ ගමනක් ගිහිල්ලා, අපි ආපසු හිටපු තැනටම පැමිණියත් ගෙවී ගිය වසර හතර පුරාවට රටේ ආර්ථිකයට, ආරක්ෂාවට, ඒකීයභාවට, සදාචාරයට, වෙච්ච හානියට කවුද වගකියන්නේ. අපේ දුර්වලතාවන් නිසාම, රටට මහා විනාශයක් සිදු කරගෙන, හිටපු තැනටම නැවත ඇවිල්ලා, මහා ජයග්‍රහණයක් කොට අපි එය සමරනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝවාන් ඵලයට පත් නොවූ සෑම පින්වතෙක් ම, වැරදි කරන ස්වභාවයෙන් යුක්තය කියලා. එම නිසා වැරදි සිදුවීම, මනුෂ්‍ය ගතියක්, නමුත් අපි දක්ෂ විය යුතුයි. එක වරක් කරපු වරදක්, අනාගතයේදී නැවත නොකරන්න, අපි වැඩිම වුණොත් අවුරුදු හැත්තෑපහක් ජීවත් වේවි. අපිට ජීවත් වෙන්න ඉතිරිවෙලා තිබෙන පුංචි කාලයේදී අපට පුළුවන් වෙන්න ඕනේ. අප කෙරෙහි අනුකම්පාවෙන්, අපේ ජීවිත තුළින් නොසෑහීමෙන් බැහැරවී, සෑහීමක් ඇති කොට ගන්න. ලද දෙයින් සතුටු වීමක්, මධ්‍යස්ථ භාවයක්, අල්පේච්ඡභාවයක් ජීවිත තුළින් ඇති කොට ගන්න.

මේ උතුම් මවුබිම, පූජනීය බිම්කඩක්. සම්මා දිට්ඨියේ අර්ථයන් පෝෂණය වෙන බිම් කඩක්. උතුම් ධර්ම විනය ජීවමානව වැඩ සිටින බිම්කඩක්. ජීවමාන බුදුරජාණන් වහන්සේ වශයෙන් වැඳුම් පිදුම් ලබන, රුවන්වැලි මහා සමිඳුන්, ජයශී‍්‍ර මහා බෝ සමිඳුන්, ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ, ශී‍්‍රපාද පද්ම වහන්සේ වැඩ සිටින, බිම්කඩක්. සම්මා දිට්ඨියට පත් දෙවියන්. බ්‍රහ්මයන් දස දහස් ගණනක්, නිතිපතා වන්දනා කරන බිම්කඩක්. මේ පුණ්‍යවන්ත භූමියේ අපි හැමෝම ඉපදුණේ අතීත පිනේ ඵලයන් නිසා මයි.

පින්වත් ඔබේ පින්වත් භාවය නිසා ම, අතීතයේදී මෙන් ම, වර්තමානයේදීත්, රටට සිදු වන මහා විනාශයන් පෙනි පෙනී තිබියදී, එම විනාශයන් ගෙන් රට ආරක්ෂා කොට දීමට, පින්වත් ඔබලාගේ පිනේ ශක්තියත්, සම්‍යක්-දෘෂ්ඨික දෙවියන්ගේ ආශිර්වාදයත්, මේ පූජනීය බිම්කඩට වර්තමානයේදීත් ලැබෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට දේශනා කොට තිබෙනවා, ”උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්ට අභියෝග එල්ලවෙනවා නම්, ධර්මානුකූලව, සතර අගතියෙන් තොරව, පින්වතුන්ලා දැනුවත් කරන්න” කියලා. ”අධර්මයේ ශක්තිය ධර්මයේ ශක්තියෙන් පිළිසරණ වෙන්න”ය කියලා.

මුළු ලෝකය ඉදිරියේ, බලවත් ම අභියෝගයන්ට ලක්වූ රට බවට, මේ පින්වත් අහිංසක රට පත්වී තිබෙනවා. පින්වත් ඔබ, මම, කාටවත්ම කිසිම වරදක් කරලා නැහැ. මනුෂ්‍යයාගේ අවිද්‍යාව ශක්තිමත් වෙනකොට, මුලින්ම අභියෝගයට ලක්වෙන්නේ, උතුම් ශී‍්‍ර සද්ධර්මය ලෝකයට බෙදා දෙන,මේ සිංහල බෞද්ධ රටයි. මේවා ධර්මානුකූල හේතුඵල ධර්මයන්.

ඒත් මේ ධර්මානුකූල අනතුර දකින්න නම්, අපි තුළ සිහිය තිබෙන්නට ඕනේ. සිල්පද දුර්වල කොට ගෙන, ඉන්ද්‍රිය අසංවර භාවයෙන්, අවිද්‍යාවේ අසිහියෙන් පෙළෙන අධර්මවාදී මනුෂ්‍යයෝ, මේ ඇත්ත දකින්නේ නැහැ. එවන් මනුෂ්‍යයෝ සොයන්නේ උපන් රට කාබාසිනියා කොට හරි, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, පිනවීමට තෘෂ්ණාවේ ආහාර මයි.

උපන් රටට, ආදරය කරන පින්වත් ඔබ, මේ අනතුර නුවණින් දකින්න ඕනේ, වර්තමානයේ පින්වත් ඔබලා, මේ අවිද්‍යාවාදී අසත්පුරුෂ ධර්මයන්ට විරුද්ධව, එක පියවරක් හෝ ඉදිරියට තබා තිබෙනවා නම්, ඒ පියවර පින්වත් ඔබ ආරක්ෂා කොට ගත යුත්තේ, උතුම් ශී‍්‍ර සද්ධර්මයේ විශ්වාසය තුළින් මය.

සියලූ‍ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය ලොවට කියන, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, ඊළඟ පරම්පරාවට ආරක්ෂා කොට දීම පින්වත් ඔබගේ පූජනීය වගකිමක් වෙනවා. ඒ පූජනීය ආධ්‍යාත්මික අරගලයේ ජයග්‍රහණයේ මග, පින්වත් ඔබ, තරණය කළ යුත්තේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තළින් පමණක් මය.

අලෝභ, අද්වේශ, අමෝහ, කුසල් මූලයන්ගෙන් පෝෂණය වූ තෙරුවන් කෙරෙහි සද්ධාව, ශීලය, මෛති‍්‍රය, ත්‍යාගය කෙරෙහි පමණක්ම, පින්වත් ඔබ විශ්වාසය තබන්න. ධර්මයේ අර්ථවත්ව හැසිරෙන්නා, ධර්මය විසින්ම ආරක්ෂා කරාවි.

මෙය සටහන් තබන භික්ෂුව, කොහේ වැඩ සිටියත්, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ, මේ උතුම් මාතෘ භූමියේ, ආරක්ෂාව උදෙසා, ධර්මානුකූලව පෙනී සිටින පින්වත් ඔබලාට, තෙරුවන් සරණ සම්‍යක්දෘෂ්ඨික දෙවියන්ගේ ආශිර්වාදය සෑම මොහොතකම ප්‍රාර්ථනා කරනවා.