අසිහියෙන් යන මේ ගමනේ කෙළවර කොතනද?

වර්තමාන සමාජය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ, සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය පිහිටුවා නොගැනීම නිසාම, අසිහියෙන් යන මේ ගමන, මනුෂ්‍ය සමාජය, මෘග සඤ්ඤාව කරා ගමන් කිරීමේ, බීජයවම අවස්ථාව හැටියටයි ධර්මානුකූලව අර්ථ දක්වන්න පුළුවන්. අනාගත ලෝකයේ මනුෂ්‍යයා ශීලයෙන් බැහැරව, මිථ්‍යා දෘෂ්ටිය කරපින්නා ගෙන, තිරිසන් සතුන් සේ හැසිරෙන, මෘග සඤ්ඤාව කරා ගමන් කරන, මෘග සඤ්ඤා කෝච්චිය වර්තමානයේ ඉබි ගමනින් ගමන් ආරම්භ කොට තිබෙනවා. මේ මෘග සඤ්ඤා කෝච්චියේ ඉදිරිපස ගමනාන්තය දැක්වෙන පුවරුවක් සවිකොට තිබෙනවා, එහි සටහන්ව තිබෙන්නේ, ”අවුරුදු ලක්ෂ පනහකට වැඩි, දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් හරහා ගමන් කරනු ලැබේ” කියලා.

පින්වත් ඔබ, මේ ඉදි වෙන අස්වාභාවික කෘති‍්‍රම, ලෝකයේ, අධර්මයෙන් මොළය සෝදා ගත් අස්වාභාවික මනුෂ්‍යයෙක් වෙනවාය කියන්නේ, මේ අති දීර්ඝ, දුකම උරුම කරන ගමනාන්තයකට ගමන් කරන, මෘග සඤ්ඤා කෝච්චියට ගොඩ වුණාය කියන කාරණයයි. පින්වත් ඔබ මේ වන විටත්, අසිහියෙන්, මෘග සඤ්ඤා කෝච්චියට ගොඩ වී ඇති පින්වතෙක් නම්, වහ වහා, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ, සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය මනාව අවදි කොට ගෙන, මෘග සඤ්ඤා කෝච්චියෙන් බැස ගන්න, තවමත් ඔබට කාලය ඉතිරිව තිබෙනවා. මොකද වර්තමානයේ තවමත් ඉබි ගමනිනුයි මෘග සඤ්ඤා කෝච්චිය ගමන් කරන්නේ. සමාජයේ තව අධර්මය වැඩිවෙලා, මෘග සඤ්ඤා කෝච්චියේ වේගය වැඩි වුණොත්, පින්වත් ඔබට නැවත ගැලවීමක් නම් නැහැ.

වර්තමානයේ සමාජය තුළ සිදු වෙන මේ, ධර්මානුකූල ඇත්ත කතාව, පිළිනොගෙන, යම් පින්වතෙක්, මේ දෝරේ ගලා ගෙන යන, මනුෂ්‍යයාගේ ඇසෙන්, කණෙන්, ගලා බසිනා තෘෂ්ණාවේ සැඩ පහරට, අධර්මයෙන් ම වේලි බඳින්නට ගියොත්, එම අධර්මයේ වේලිත් සමතලා කොට ගෙන, මේ තෘෂ්ණාවේ සැඩ පහර ගලා ගෙන යනවා මයි, වර්තමාන සමාජයේ ඉහත කාරණය සනාථ කිරීමට ඕනෑ තරම් උදාහරණයන් තිබෙනවා.

මනුෂ්‍යයාගේ, ආයතන හයෙන් ගලා බසිනා, තෘෂ්ණාවේ සැඩ පහර, මොන තරම් විනාශකාරී ප්‍රතිඵලයන් සමාජයට අයිති කොට දුන්න ද, මේ තෘෂ්ණාවේ සැඩ පහර තුළ සැඟවුණ, සුන්දර ධර්මානුකූල හේතුඵල ධර්මයන් තිබෙනවා. ඒ හේතුඵල ධර්මය තමයි, පින කියන්නා වූ කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘පින කියන්නේ සැපයට කියන තවත් නමක්ය’ කියලා. විසිතුරු විසිතුරු දෙය, දන් දෙන පින්වතා, විසිතුරු විසිතුරු දෙයම ලබනවා කියනවා, ප්‍රනීත දෙය දන් දෙන පින්වතා, පෙරළා ප්‍රනීත, ප්‍රනීත දෙය ම ලබනවා කියනවා, ඉහත ධර්මයේ විවෘතව බබළන ඒහිපස්සික ගුණයයි වර්තමානයේ සමාජ අසිරිය, විසිතුරු භාවය, ප්‍රණීත භාවය තුළ අපි ධර්මානුකූලව දකින්න ඕනේ.

වර්තමාන සමාජයේ පින්වතුන්ලා, සිල්පද දුර්වල කොට ගෙන කැමති කැමති රූපයන්, වේදනාවන්, හඳුනා ගැනීම්, සංස්කාරයන්, දැනීම්, ජීවිත වලට එකතු කොට ගන්නවා. වර්තමාන සමාජයේ පින්වතුන්ලා මේ අයිති කොට ගන්න සුන්දර නිවාස, යාන වාහන, සැප සම්පත්, මිල අධික අධ්‍යාපනය, සෞඛ්‍යය, පහසුකම්, ප්‍රණීත භාවයන්, ජනතාවගේ ම පටිච්ච සමුප්පන්න පිනේ ඵලයයි. නමුත් ජනතාව මෙම පින, අත්විඳින්නේ දුශ්ශීල භාවය, අකුසල් මූලයන්, බරපතළ ආකාරයෙන් ජීවිත වලට එකතු කොට ගනිමිනි.

ඉහත සටහනින් පින්වතුන්ලාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, පින විපාක දෙන කොට මෙවැනි අසහනකාරී තත්ත්වයක් සමාජය තුළ ඇතිවෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින මොන තරම් සුන්දර වුවත්, සැපයට අග්‍ර වුවත්, පින ධර්මානුකූලව, සිහියෙන් කළමනාකරණය කොට නොගත්තොත්, පින ගින්දරක් වෙනවාය කියලා. වර්තමානයේ මේ සමාජය අත් විඳින, පංචනීවරණ බැස ගන්න, කාමච්ඡන්දයන් රැල්ල, පින ගින්දරක් බවට පත් කොට ගන්න, අහිංසක පින්වතුන් ගේ අනුවේදනීය, ධර්මයේ කතාවයි සමාජ ගත කරලා තිබෙන්නේ.

උතුම් බෞද්ධ ධර්ම මාර්ගයේ ශක්තියෙන්, ස්වභාව සෞන්දර්යය, ස්වාභාවික සම්පත්, වලින් පෝෂණය වූ අපේ රටට, අනෙක් රට වලට වඩා ශ්‍රේෂ්ඨ අවස්ථාවක් ලැබිලා තිබුණත්, ජනතාවගේ පිනේ ශක්තිය, ශක්තිමත්ව තිබුණත්, මේ උතුම් ධර්මතාවන්, රාජ්‍යයේ දියුණුවටත්, බලවත් භාවයටත්, ජනතාවගේ, මෙලොව පරලොව දියුණුව උදෙසා, යොමු කොට ගැනීමට, අපේ රටේ ගෞරවනීය දේශපාලන නායකත්වයන් අපොහොසත්ව තිබෙනවා.

බෞද්ධකම නොහඳුනන, ලෝකයේ ප්‍රධාන, බලවත් රටවල් පවා දක්ෂ වෙලා තිබෙනවා, තම රටවල් වල ජනතාව තුළින් විපාකයට, පැමිණෙන, පිනට අදාළ, සැපයට, බලවත් භාවයට, අදාළ අතීත සංස්කාර ධර්මානුකූලව නොව, තමන් උපන් රටට ආදරය කරන, විනය ගරුක දේශපාලන දර්ශනයන්ට අදාළව, රාජ්‍යයේ දියුණුව උදෙසා යොදා ගැනීමට.

ජනතාවගේ අතීත සිත, විසිතුරු, ප්‍රනීත ආකාරයෙන් විපාකයට පැමිණෙන කොට, රාජ්‍ය නායකත්වයන් දක්ෂ විය යුතුයි, රට තුළ ශක්තිමත් විනයක්, ශක්තිමත් නීති පද්ධතියක්, ස්වාධීන අධිකරණයක්, ශක්තිමත් මූල්‍ය විනයක්, ඇති කොට ගෙන, ජනතාවගේ පිනේ, ශක්තිය, විනයකින් තොරව, කාමච්ඡන්දයන් ම යොමු කොට, අයාලේ යෑමට ඉඩ නොදී, රාජ්‍යයේ දියුණුව උදෙසා යොමු කොට ගැනීමට.

ඉහත රටවල ජනතාවට, සම්මා දිට්ඨියට අදාළ ධර්මයක සරණක් නැහැ. නමුත් ඔවුන් තුළ යම් පමණකට හෝ, විනයානුකූල දේශපාලන දැක්මක් තිබෙනවා, තමන් උපන් රටට අදාළව, අපේ රටේ ගෞරවනීය, දේශපාලන නායකයන් දක්ෂ විය යුතුයි, වර්තමානයේ ජනතාව තුළින් විපාකයට පැමිණෙන අතීත සුන්දර සැපයට අදාළ පින, අවිචාරයෙන් කාලා, බීලා, විනෝදවෙලා, කාමච්ඡන්දයන් වඩලා, පින ගින්දරක් බවට පත්කොට ගැනීමට ඉඩ නොතබා, නායකත්වයක තිබිය යුතු, විනය, පෞරුෂත්වය, නොසැලෙන බව, සත්පුරුෂභාවය, රටට ජනතාවට දක්වන ආදරය, ගෞරවය තුළින් තමන් උපන් රටට, තමන් නායකත්වය දරන රටට, පූර්වාදර්ශයන්ගෙන් යුත්, ශක්තිමත් විනයක් ඇතිකොට ගැනීමට.

ඉහත ධර්මානුකූල ක්‍රමවේදයයි, ජනතාවගේ පින කාමච්ඡන්දයන් උදෙසා විනාශ නොකොට, ජනතාවගේ මෙලොව පරලොව දියුණුවත්, රාජ්‍යයේ බලවත් භාවයත් උදෙසා යොමු කොට ගැනීමේ මාර්ගය වෙන්නේ.

භික්ෂුව මේ තබන්නේ, දේශපාලන සටහනක් නොවේ, දේශපාලනය, කෙළෙස් සහිත පින්වතුන්ලාට හරියට කෙළෙස් වැඩෙන මාතෘකාවක්. භික්ෂුව මේ සටහන තබන කොටත්, භික්ෂුවට හරි වෙහෙසකාරියි. බිහිරි සතුන්ට වීණා වාදනය කිරීම නිෂ්ඵල කි‍්‍රයාවක් වුවත්, පින්වත් ඔබගේ, ලෞකික දියුණුවට අදාළ නිසා මයි, සටහන් තබන්නේ.

මේ රටේ ගෞරවණීය දේශපාලන පින්වතුන්ලා ගේත් සැබෑ නායකත්වයක පහස නොලබන පින්වත් ජනතාව ගේත්, ඇසෙන්, කයෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින්, ගලා බසින තෘෂ්ණාවේ සැඩ පහර, රටට, ජනතාවට, සිදු කොට ඇති විනාශයත්, ඊට ධර්මානුකූල හේතුවත්, ඊට ධර්මානුකූල විසඳුම් මාර්ගයන් සටහන් කිරීමත් පමණක්මයි භික්ෂුව මේ සිදුකරන්නෙ.

බොරු විසඳුම් සොයමින්, තමා, තමන්වම, රවටා ගන්නේ නැතිව, සමාජගතවී තිබෙන, මේ විනාශකාරී තත්ත්වය සියුම් කොට ගැනීමට, තෘෂ්ණාවේ සැඩ පහරේ වේගය සීමා කොට ගැනීමට අදාළව, ශක්තිමත් විනයක් සමාජය තුළ ඇති කොට ගැනීමට දක්ෂ වෙන්න.

විශේෂයෙන් ම රටේ දේශපාලන නායක පින්වතුන් වගේ ම රටේ ජනතාවත්, තම තමන්ගේ ආයතන හයෙන් ගලා බසින තෘෂ්ණාවේ සැඩ පහර ගැන විවේකීව සිතන්න දක්ෂ වෙන්න මොකක්ද මේ අසීමිත තෘෂ්ණාව නිසා අපේ කෙලෙස් පදංග කැඩෙන්නේ නැත්තේ, අසිහිය වර්ධනය වෙන්නේ, රූපය කෙරෙහි, වේදනාව, හඳුනා ගැනීම්, කෙරෙහි ඇති පෙරේත කම නිසාමයි.

අපි තුළ සකස්වෙන අසිහිය නිසාම, හිරි ඔතප් දෙක බැහැරවී අපි හැසිරෙන්නේ, පෙරේතයින් වගේ, අපි තාම පෙරේත ලෝකයේ ඉපදිලා නැහැ. අපි සුන්දර කාමලෝකයේ උපන් සුන්දර මනුෂ්‍යයෝ. ඒ නිසා අපි තුළ තිබෙන්න අවශ්‍ය, සුන්දර ලැජ්ජාව භය සහිත මනුෂ්‍ය ධර්මයන් සමාජය තුළ පවට ඇති ලැජ්ජාව, භය, හොරු අර ගෙන ගිහින් වගේයි පෙනෙන්නට තිබෙන්නේ. ඉහත කාරණා ගැන පින්වත් ඔබලාට සිතන්නට වේලාවක් නැති බව ඇත්ත. ඒත් මේ අවිවේකය තව තවත් තෘෂ්ණාවේ සැඩ පහර, වේගවත් වීමට ධර්මානුකූල හේතුවක් වෙනවා.

අපේ වියපත් නායක පින්වතුන්ලාට අවිවේකයි කියන කොට, අවංකව අපි බියට පත්විය යුතුයි. මොකද මේ අසිහියෙන් යුත් විනයෙන් තොර අවිවේකය තෘෂ්ණාවේ සැඩ පහරේ වේගය තව ප්‍රවේගකාරී බවට පත් කොට දෙනවා. ලෝක සම්මතයන්ට අදාළව නායක පින්වතුන්ලා ගේ පින්වත් ජනතාව ගේ අවිවේකී භාවය තුළින්, රාජ්‍යයක් දියුණුව කරා යා යුතුව තිබියදී, අවිවේකය තුළින් අසහනය, දුර්වල භාවය කරාම ගමන් කරන රාජ්‍යයක් බවට, අපි පත්වී තිබෙනවා.

කරුණාකර මොහොතක් නැවතී සිතන්න, පින්වත් ඔබට විවේකයක් අත්‍යවශ්‍යයි. අද රටට අඩුව ඇති එකම කාරණය, තෘෂ්ණාවේ සැඩ පහරේ වේගයට හසු නොවී, නැවතී විවේකීව සිතන්න පුළුවන් ගෞරවණීය නායකයෙකුයි. ඒ විවේකීභාවය තුළින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි, සියුම්ව සිහිය පිහිටුවා ගන්න උත්සාහ ගන්න මෙතෙක් අසිහියෙන් රැස් කොට ගත්ත, අයිති කොට ගත්ත, රූපයන්ගේ, සැප වේදනාවන්ගේ, හඳුනා ගැනීම් වල අනිත්‍ය භාවය, වෙනස් වෙන ස්වභාවය කසායට දමන අනුපානු සේ, පුංචියට, පුංචියට දකින්න පුරුදු වෙන්න. ගොඩාක් කලබල වෙන්න අවශ්‍ය නැහැ.

පින්වත් ඔබ මේ පැවිදි වෙන්න නොවේ උත්සාහ කරන්නේ. තෘෂ්ණාවේ සැඩ පහර සියුම් කොට ගත්ත විනය ගරුක ආදර්ශවත් නායකයෙක් වෙන්න. රටත්, ජාතියත්, ආගමත්, යම් පමණකට හෝ ඊළඟ පරම්පරාවට ආරක්ෂා කොට දී, පූජනීය වන්දනීය රටක උපන්, පින්වත් ඔබගේ පූජනීය වගකීම ඉටු කරන නායකයෙක් වෙන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”සමාජ වියරුවක් බවට පත්වී ඇති, මනුෂ්‍යයාගේ, ඇසෙන්, කණෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින්, ගලා බසින තෘෂ්ණාවේ සැඩ පහර, යම් පමණකට හෝ පාලනය කොට ගැනීමට නම්, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්, පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි, සිහිය යම් පමණකට හෝ පිහිටුවා ගත යුතුම යැයි” කියලා.

තමන් උපන් රටට, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ආදරය කරන පින්වත් ඔබ, කෝටි ගණන් සල්ලි වියදම් කරලා, අධිෂ්ඨාන පූජා, ප්‍රාර්ථනා පූජා, අසූහාරදාහක් මල් පහන් පූජා තිබ්බත්, සිදු වෙමින් පවතින තෘෂ්ණාවේ සැඩ පහර පාලනය කරන්න බැහැ. අපගේ සංස්කාර කෙරෙහි ලෝභ සිත් නිසා, තෘෂ්ණාවේ සැඩ පහර තවත් වේගවත් වෙන්න පුළුවන්. වර්තමාන විකෘතියට ධර්මානුකූල එකම විසඳුම, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි, අවම මට්ටමකින් හෝ සිහිය පිහිටුවා ගැනීම පමණක් මයි.

මෙය සටහන් තබන භික්ෂුව, සමාජයට කුඩාවට හෝ ධර්මානුකූල මෙහෙවරක් සිදු කරනවා. පින්වත් ඔබ ඉදිරියට වැඩම කොට ධර්ම දේශනාවන් පවත්වනවා. මාධ්‍ය සමග කටයුතු කරනවා, අන්තර් ජාලය සමග කටයුතු කරනවා. නමුත් මේ සෑම කටයුත්තක් ම සිද්ධ වෙන්නේ, ශක්තිමත් විනයක් තුළ සිටිමින් මයි.

භික්ෂුව සමාජය සමග ගනුදෙනු කිරීමේදී, පළමුවෙනි අර්ථය විනයයි. දෙවැනි අර්ථය දඬුවමයි. තුන්වැනි අර්ථය සමාව දීමයි. විනයෙන් දුර්වල පින්වතකුට, භික්ෂුව ලබාදෙන ලොකුම දඬුවම තමයි ඇසුරෙන් ඈත් වීම. එම දඬුවම ලබා දෙන්නේ නිවැරැදි භාවයට පත් කොට ගැනීම උදෙසා මයි. එම නිසායි තුන්වැනි අර්ථය සමාවදීම කියලා සටහන් තැබුවේ.

නමුත් වර්තමාන සමාජයේ දඬුවම කි‍්‍රයාත්මක වෙන්නේ පුද්ගලයෙක් විනාශ කොට දැමීම, පරාජය කොට දැමීම උදෙසා මයි. විශේෂයෙන් ම දේශපාලනයේදී පරාජිතයා ගෙන් එලව එලවා පළිගන්න ස්වභාවයන් අතීතයේ දීත්, වර්තමානයේ දීත් අපි දකිනවා. දඬුවම විනාශය උදෙසා, කි‍්‍රයාත්මක වෙන්නේ, විනය දුර්වල නිසාමයි.

ඒ නිසාම සිහිය දුර්වලයි. අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය ම මගේ කොට ගන්නවා. සැප රූපයන් තුළ බැස ගන්නවා. සැප වේදනාවන් තුළ බැස ගන්නවා, සැප හඳුනා ගැනීම් තුළ බැස ගන්නවා, වේදනානුපස්සනාව වල් වැදිලා, ඒ නිසාම චිත්තානුපස්සනාව මෝදු වෙන්න බැහැ. ධම්මානුපස්සනාව සැගවී බලා සිටිනවා. සතර සතිපට්ඨානයෙන් තොර මනුෂ්‍ය සන්තානය, අවිනය, අසිහිය, දඬුවම, විනාශය තුළින් සමාජයම තෘෂ්ණාවේ සැඩ පහරට තව තව ගොදුරු වෙනවා.

උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ, සතර සතිපට්ඨාන ධර්මයන් ගෙන්, රූප, වේදනා, හඳුනා ගැනීම්, සංස්කාර, දැනීම් වල වෙනස් වෙන ස්වභාවය, තම වස`ගයේ ස්ථිරව ම පවත්වා ගත නොහැකි ස්වභාවය, යම් පමණකට හෝ ජීවිතයට එකතු කොට ගත් නායකයෙක් රටට නොමැති නිසා ම, අශ්ව කුලප්පුවෙන් ගොඩ නැෙඟන, අධර්මයෙන් මොළය සෝදාගත්, කෘති‍්‍රම ලෝකයේ අස්වාභාවික මනුෂ්‍යයන්ගේ අසහනය සමාජය තුළ දිනෙන් දිනම වැඩි වෙනවා.

උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයත්, සතර සතිපට්ඨාන ධර්මයනුත්, ධර්මයේ එහිපස්සික ගුණයෙන් බබළමින්, තමා තුළින් ධර්මය දකින, ඕපනයික ගුණය ඉදිරියේ, ප්‍රශ්නාර්ථයක් තබාගෙන, පින්වත් නායකයෙක් එන මග බලා ගෙන සිටිනවා.

කරුණාකරලා නිවන් දැකීම උදෙසා නොව, දශ අකුසලයන් ගෙන් මිදීම උදෙසා වත්, උපන් රට, ජාතිය, සම්මා සම්බුද්ධ ශාසනයේ යම් හෝ ආරක්ෂාවක් උදෙසා වත්, පින්වත් ඔබ, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි යම් පමණකට හෝ සිහිය පිහිටුවා ගන්න.