ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර අර්ථය වන විදර්ශනාමය ප්‍රඥාව මෝදු කොට ගන්න

විවේකී වස්සානය ගෙවී ගිහින් මේ ගත වෙන්නේ චීවර මාසයයි. නොසැලෙන කුසල් ශක්තියකින්, පුණ්‍ය ශක්තියකින් පින්වත් ඔබේ, ලෞකික සැපයන් ශක්තිමත් කොට දෙන, දක්ෂයා තුළ ලෝකෝත්තර ඵලයන් ශක්තිමත් කොට දෙන කඨින චීවර මාසයයි. දෙවියන්, බඹුන්, රජ, සිටු, ඇමැතිවරුන්, වන්දනාමාන කරන, කඨින චීවර මාසයයි.

බුදු රජාණන් වහන්සේ භික්ෂූන් වන අපිට චීවර ප්‍රත්‍යවේක්ෂාවක් දේශනා කොට තිබෙනවා. ”මේ චීවරය මා පරිහරණය කරන්නේ මාගේ ශරීරයේ ලස්සන, හැඩය, වර්ණය මතු කොට පෙන්වන්න නොවේ. අව් වැසි පින්නෙන් ආරක්ෂා වී මැසි මදුරු පීඩාවන් ගෙන් ආරක්ෂා වී, ලැජ්ජා භය ඇති තැන් වසා ගැනීම උදෙසා පමණක් මයි” කියලා. මේ උතුම් චීවර මාසයේදී කඨින වස්ත්‍රය අපේ දෝතට ලැබෙන්නට ඕනේ. කිසිදු සැලසුමකින් තොරව අප ඉදිරියටම අහසින් වැටුණු දෙයක් හැටියටයි.

බුදුරජාණන් වහන්සේ මෙවන් අනුශාසනාවන් අපට කරලා තිබෙන්නේ, දුක ඇති වීමට එකම හේතුව වන තෘෂ්ණාව අපෙන් දුරස් කිරීම සඳහා මයි. වර්තමාන සමාජයට තෘෂ්ණාව කියන කාරණයේ අර්ථය අමතක වෙලා. තෘෂ්ණාව සැපයක් කොටයි දකින්නේ. ලෞකික ප්‍රඥාවේ ආලෝකයට කැමැත්තෙන් ම පිටු පාන අපි අවිද්‍යාවේ අඳුරට කැමැත්තෙන් ම මුහුණ පෙන්වනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනාගතයේ යම් දවසක කාසාවකණ්ඨක කියලා කෙනෙක් පහළ වෙනවා කියලා. මේ කාසාවකණ්ඨකයි, එදාට සංඝ සමාජය නියෝජනය කරන්නේ. සිවුර, අඳනය, පාත්‍රය, අතුරුදන් වුණ කාසාවකණ්ඨක සමාජයට අහම්බයෙන් පහළ වූ අර්ථයක් නොවේ. හේතු ඵල ධර්මයක්. වර්තමානයේ අපි චීවර ප්‍රත්‍යවේක්ෂාවෙන් බැහැර වීම නිසාම උතුම් චීවරය ලෞකික අරමුණු උදෙසා යොදා ගැනීම නිසාම ශක්තිමත් වෙන තෘෂ්ණාව විසින් උතුම් චීවරය මේ ලෝක ධාතුවෙන් අතුරුදන් වීමේ දුක අපට සකස් කොට දෙනවා.

වර්තමානයේ අපි අනාගතයේ පහළ වන කාසාවකණ්ඨකලා ගේ ලෝකයට දොස් කියනවා, පටිච්ච සමුප්පන්නව ඒ කාසාවකණ්ඨකලා ගේ ලෝකයේ අබිසෙස් ලබන්නේ වර්තමානයේ චීවර තෘෂ්ණාවෙන් පෙළෙන අපිම කියලා අපි දකින්නෙ නැහැ. සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණය නමැති මැජික් කරුවා සංස්කාරයන් ගේ ප්‍රතිකි‍්‍රයා හේතුවෙන් ම පංච උපාදානස්කන්ධ ලෝකය උඩු යටිකුරු කරනවා.

වර්තමානයේ දහස්කඩ චීවරයක් ප්‍රත්‍යවේක්ෂාවෙන් තොරව පරිහරණය කරන භික්ෂුවත්, වර්තමානයේ චීවරය මිල කරන භික්ෂුවත්, පටිච්ච සමුප්පන්නව චීවර අතුරුදන් වූ කාසාවකණ්ඨකලාගේ ලෝකයේ කහ පැහැති නූලක් අත දරා ගෙන සැප ලබන්න නම් රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි තෘෂ්ණාව ශක්තිමත් කොට ගන්න ඕනේය කියන මාර පාක්ෂික ධර්මයක් දේශනා කරන්න පුළුවන්. ඇයි අපිට මෙහෙම සිතෙන්නේ නැත්තේ? ඊටත් වග කියන්න ඕනේ ‘සංඛාර පච්චයා විඤ්ඤාණ’ කියන ධර්මතාවය මයි. අපි තුළ සකස් වෙන්නා වූ ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් වැඩි වෙන්න, වැඩි වෙන්න විඤ්ඤාණය හෙවත් දැනීම් සකස් වෙන්නේ අකුසලයට අදාළවයි.

ධුතාංගධාරී භික්ෂුධෑන් අතර අග්‍රස්ථානයට පත් වෙච්ච කිසාගෝතමී උත්තමාවිය දිනක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න වැඩම කරලා, ආකාසයේ වැඩ සිටිමින් ම බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා, පෙරළා වඩිනවා. ඒ අවස්ථාවේ කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ සමඟ ධර්ම සාකච්ඡාවක යෙදිලයි සිටියේ. කොසොල් රජතුමා දකිනවා කිසාගෝතමී උත්තමාවිය ආකාසයේ සිට බුදුරජාණන් වහන්සේට වන්දනා කොට පෙරළා වඩිනවා. කොසොල් රජතුමා මේ සිද්ධිය දැකලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, ”භාග්‍යවතුන් වහන්ස, කේඬෑරවී ගිය, නහර ඉපිල්ලූන, ශරීරයක් ඇති, දුර්වර්ණ සිවුරක් දරාගත් භික්ෂුණියක් ආකාසේ සිටිමින් ම භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට වැඩියා”ය කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”රජතුමනි, ඒ භික්ෂුණිය ගැන අගෞරවයෙන් දකින්න එපා. ඒ මගේ භික්ෂුධෑ ශාසනයේ ධුතාංගධාරි භික්ෂුධෑන් අතර අග්‍රස්ථානය හොබවන මාගේ කිසාගෝතමී දියණියයි” කියලා.

උතුම් චීවරයක සැබෑ අර්ථය, ශරීරය අලංකාර කිරීම, හැඩ කිරීම, වර්ණවත් කිරීම නොව ලැජ්ජා භය ඇති තැන් වසාගෙන, මැසි මදුරුවන්ගෙන්, අව් වැසි පින්නෙන් ආරක්ෂා වී මේ උතුම් අර්ය මාර්ගය නිකෙලෙස් සිතෙන් තරණය කිරීම පමණක් ම බවයි කිසාගෝතමී උත්තමාවිය අපිට පූර්වාදර්ශයක් කොට දෙන්නේ. ඒ උතුම් නිහතමානී පූර්වාදර්ශය නිසා මයි බුදුරජාණන් වහන්සේ කිසාගෝතමී උත්තමාවියට ”ඇය මගේ දියණියක්ය” කියන අර්ථය ලබා දෙන්නේ.

වැසි සමය විනයානුකූලව ගත කළත් මෙය සටහන් තබන භික්ෂුව කඨින චීවරයක් පිළිගන්නේ නැහැ. අද උදෑසන භික්ෂුව පරණ දෙපට සිවුරත්, තනිපට සිවුරත් පඬු පෙව්වා. වැසි අඳුර වරින්වර වැටෙන මේ දවස්වල අව්ව හොඳින් පායාලා චීවර දෙක වේළලා දුන්නා. පාංශුකූල චීවර පරිහරණයේදී චීවරය නිසා බියක්, සැකයක් ඇති වෙන්නේ නැහැ. පාංශුකූල චීවරය නිසාම වැඩෙන්නේ සප්ත බොජ්ඣංග ධර්මයන්. තමන් විනයානුකූලව පොරවන චීවරය තුළිනුත් සප්ත බොජ්ඣංග ධර්මයන් වැඩෙද්දී නිවීමේ මාර්ගය මොන තරම් නම් පහසුවක් වෙයිද?

කිසාගෝතමී උත්තමාවිය අත් වින්දේත්, ඒ පහසුව ම නේද? පඬු කහට තැවරුණ භික්ෂුවගේ දෑත් තවමත් රතු පාටයි. ඒ පඬු පැහැය තැවරුණු දෑතින් මයි පින්වත් ඔබට මේ සටහන ලියන්නේ. මේ නිමේෂයේදීත් භික්ෂුවගේ සිත විදර්ශනාමය සප්ත බොජ්ඣංග ධර්මයන් ගෙන් පිරිලා.

භික්ෂුවගේ සිත මොහොතක් අතීත පංච උපාදානස්කන්ධය දෙසට දිව යනවා. පටිච්ච සමුප්පන්නව අතීත සම්මා සම්බුද්ධ ශාසන වල ඉපදිලා පැවිදි උපසම්පදාවන් ලබා ජීවත් වෙච්ච වෙලාවේ, පෙරවූ චීවර, අබුද්ධෝත්පාද කාලවල ඉපදී මිච්ඡා ශාස්තෲවරුන්ගේ ඇසුර ලබමින්, පෙරවූ කසාවත් රෙදි එක ගොඩක් ගැසුවොත්, ඒ අතීත චීවර ගොඩ ගිජ්ජකූඨ පර්වතයට වඩා විශාලයි. ඒ විශාල චීවර ගොඩ තුළ වැඩියෙන්ම තිබෙන්නේ දිලිසෙන, මිල අධික, දහස් කඩ, පන්සිය කඩ, සියක් කඩ සිවුරු.

චීවර ප්‍රත්‍යවේක්ෂාවේ දුර්වල භාවයන්, පටිච්ච සමුප්පන්නව නිර්වස්ත්‍ර ප්‍රේතයින් බවට, නිර්වස්ත්‍ර වනචාරී මනුෂ්‍යයන් බවට, නිර්වස්ත්‍ර තිරිසන් සතුන් බවට, මාව මොන තරම් නම් පත් කරන්නට ඇද්ද? රෙදි අල්මාරිවල, කාවුන් බවට, මාව පත් කරන්න ඇද්ද? වර්තමානයේ මම චීවරය ප්‍රත්‍යවේක්ෂාවෙන් පරිහරණය කරමි. චීවර තෘෂ්ණාව නිසා උපන් චීවර ප්‍රත්‍යවේක්ෂාවෙන් තොර භාවය නිසා උපන් අතීත පංච උපාදානස්කන්ධ දුක, මෙය සටහන් තබන භික්ෂුව නම් නැවත සකස් කොට ගන්නේ නැහැ.

ඵස්සය හේතුවෙන් සකස් වෙන තෘෂ්ණාව, ඔබ කඨින චීවරයට වගේ ම, දහස්කඩ සිවුරට වගේම, පාංශුකූල චීවරයටත්, අකුසලයේ කැත කුණු තවරන්න පුළුවන්. තමන් පරිහරණය කරන්නා වූ පාංශුකූල චීවරය, මමත්වයේ දැඩි භාවයෙන් ගන්නා වූ ස්වාමීන් වහන්සේලා භික්ෂුවට මුණගැහිලා තිබෙනවා.

මේ උදා වී තිබෙන සුන්දර චීවර මාසයේ පින්වත් ඔබේ කඨින පින්කම මහත්ඵල මහානිශංස පින්කමක් බවට පත් කොට ගන්න පින්වත් ඔබ දක්ෂ විය යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”යමෙක් චීවර පූජාවක් සිදු කරනවා මෙලොවදී ලබමි”යි කියලා, මෙලොවදී ලබමියි කියලා කියන්නේ මේ ජීවිතයේදී ව්‍යාපාර, රැුකි රක්ෂා, අධ්‍යාපනය, දරු සම්පත්, නිරෝගී භාවය ලැබේවා කියලා බලාපොරොත්තු ඇති කොට ගෙන කඨින චීවර පින්කම සිදු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ”යම් පින්වතෙක් මෙලොවදී ලබමියි කියලා බලාපොරොත්තුවෙන් කරන පින්කම්, මහත්ඵල මහානිශංස නැහැ”යි කියලා. නමුත් ආනිශංස තිබෙනවා.

පින්වත් ඔබ අර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාරයෙන් පින්කම් සිදු කළොත් ලෞකික අරමුණු ඉටු වෙනවා. නමුත් ඒ ඉටු වෙන සෑම අරමුණක් ම අනිත්‍ය වූ ධර්මතාවන් මයි. මොන තරම් ව්‍යාපාර දියුණු වේවා කියලා පින්කම් සිදු කළත් කවදා හරි දවසක අපි ඒ ව්‍යාපාර අතහැරලා යනවා. ඒ නිසා ම මෙලොවදී ලබමියි කියලා බලාපොරොත්තුවෙන් කරන පින්කම් මහත්ඵල මහානිශංස වෙන්නේ නැහැ.

තවත් පින්වතෙක් කඨින චීවර පින්කමක් සිදු කරනවා ‘පරලොවදී ලබමි’යි කියලා. ඒ කියන්නේ පරලොව ජීවිතයේදී කල්ප ගණන් දීර්ඝ සුන්දර දිව්‍ය ජීවිත ලැබේවා. ඊළඟ ජීවිතයේදී රජ, සිටු, සම්පත් ලැබේවා කියලා පරලොව ජීවිතයේදී ලබමියි කියලා පින්කම සිදු කරනවා. වර්තමානයේ පරලොවදි ලබමියි කියලා බලාපොරොත්තුවෙන් කරන පින්කම් බහුලව සිද්ධ වෙනවා. පරලොවදී සැප සම්පත් ලබමියි කියලා සිදු කරන්නා වූ කඨින චීවර පින්කමත් මහත්ඵල මහානිශංස නොමැති බව, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාරයෙන් කඨින චීවර පින්කමක් සිදු කළොත්, ඊළඟ ජීවිතයේ බලාපොරොත්තු වූ ආකාරයට සුන්දර දිව්‍ය, මනුෂ්‍ය ජීවිත ලැබෙනවා. නමුත් මේ සෑම සංස්කාරයක් ම වෙනස් වෙලා යනවා. එම නිසා පරලොවදී ලබමියි කියන බලාපොරොත්තුවෙන් සිදු කරන පින්කමත් මහත්ඵල මහානිශංස නැති පින්කමක් වෙනවා.

මෙලොවදී ලබමියි කියලත්, පරලොවදී ලබමියි කියලත්, කරන කඨින චීවර පින්කම්, මහත්ඵල මහානිශංස නැති නම් කුමක්ද මහත්ඵල මහානිශංස පින්කම වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”සිතේ අලංකාරය උදෙසා, සිතට පරිෂ්කාරයක් උදෙසා කරන පින්කමයි, මහත්ඵල මහානිශංස පින්කම වෙන්නේ” කියලා. කුමන සිතේ අලංකාරය උදෙසා ද? සමථ, විදර්ශනා, සිතේ අලංකාරය උදෙසා. එම සමථ විදර්ශනා සිතට අලංකාරයක් උදෙසා කරන කඨින චීවර පින්කමයි මහත්ඵල මහානිශංස වෙන්නේ කියලා.

බුදුරජාණන් වහන්සේ සමථ, විදර්ශනා සිත කියලා දේශනා කරන්නේ මේ වස් තුන් මාසය පුරාවට පින්වත් ඔබ රැුස් කොට ගත්තා වූ දානමය, ශීලමය, මෛතී‍්‍රමය සෑම කුසල් සංස්කාරයක් ම අනිත්‍යයි කියලා දැක්කා වූ සමථ විදර්ශනා සිතට මේ කඨීන චීවර පූජාව තුළින් ලබන මෙලොව පරලොව සියලූම ලෞකික සැපයන් අනිත්‍යයි කියල දැක්කා වූ සමථ විදර්ශනා සිතට. මේ කඨින චීවරය පූජා කරන්නාවූත්, මේ කඨීන චීවරය ලබන්නාවූත් දෙපාර්ශ්වයම අනිත්‍ය වූ සංස්කාරයන්ය කියලා දැක්කා වූ සමථ, විදර්ශනා සිතට ශක්තියක් උදෙසා වර්ධනයක් උදෙසා සිදු කොට ගන්නා වූ කඨින චීවර පූජා පින්කමයි මහත්ඵල මහානිශංස පින්කම වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.

එම නිසා පින්වත් ඔබ දක්ෂ විය යුතුයි. ඔබට ලැබුණු මේ දුර්ලභ කඨින චීවර පූජාවෙන් විදර්ශනාමය ප්‍රඥාවෙන් පරිපූර්ණ මහත්ඵල මහානිශංස පින්කමක් බවට පත් කොට ගන්න.

හොඳින් වැඩුණු ගසක් ගත්තොත් එම ගසේ කොළ, අතු, ද`ඵ, රිකිලි, පොත්ත, එලය, අරටුව ආදී සියල්ලම එම ගසේ තිබෙනවා. ගසේ අරටුවෙන් ප්‍රයෝජනය ඇති පින්වතා දක්ෂ විය යුතුයි, කොළ, අතු, දලූ, පොත්ත, ඵලය විනිවිද අරටුව මතුකොට ගන්න. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දී පින්වත් ඔබ, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය, මෛති‍්‍රය, සමාධිය, තමා තුළින් මතු කොට ගෙන, ඒ සම්මා සමාධිමත් සිතෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර අර්ථය වන විදර්ශනා මය ප්‍රඥාව මෝදු කොට ගන්න. එතැනදී පින්වත් ඔබ ශ්‍රද්ධාව, සීලය, දානය, මෛති‍්‍රය, සමාධිය තුළින් මයි මේ ධර්මතාවන්ගේ අනිත්‍ය භාවය මතු කොට දකින්නේ.

හොඳින් වැඩුණු ගසක දළු, කොළ, රිකිලි, පොත්ත, එලය, ගසේ අරටුව පෝෂණය කරනවා වගේම ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය මයි ලෝකෝත්තර මාර්ගය පෝෂණය කොට දෙන්නේ. ඒ වගේ මයි පින්වතුන්ලා පින්කමක් සිද්ධ කිරීමේදී තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගරුත්වය, කර්මය කර්මඵල විශ්වාසය, සියතින් සාදා ගත් දෙයින් පූජා කිරීම, ප්‍රනීතව විසිතුරු ආකාරයෙන් පූජා කිරීම, පින්වතුන්ලා ගේ සැපය උදෙසා යහපත් වෙනවා. නමුත් මේ සෑම සුන්දර සංස්කාරයක්ම අනිත්‍ය වී යන සංස්කාරයන් බව දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. පින්කමේ මහත්ඵල මහානිශංසභාවය ශක්තිමත් කොට ගන්න.

පින්කමක් සිදු කිරීමත්, සෙල්ලමක් සිදු කිරීමත් අහසයි, පොළොවයි වගේ වෙනස් දෙයක්. මේ වෙනස පින්වත් ඔබ නිහතමානීව හඳුනාගන්න ඕනේ. ඔබේම යහපත උදෙසා පින්කමක් තුළින් ඔබ තුළ වැඩෙන්නේ සප්ත බොජ්ඣංග ධර්මයන්. සෙල්ලමක් තුළින් ඔබ තුළ වැඩෙන්නේ පංචනීවරණ ධර්මයන්. මේ දෙක අතර වෙනස, සුගතිය සහ දුගතිය තරම් ම පරතරයක් තිබෙනවා. එම නිසාම පින්කමක් සිදු කිරීමේදී තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගරුත්වය, කර්මඵල විශ්වාසය මුල් වෙන්න ඕනේ.

පින්වත් ඔබ පින්කම් පලකට යා යුත්තේ ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් එකතු කොට ගැනීමට නොවේ. අලෝභ, අද්වේශ, අමෝහ ධර්මයන් ජීවිතයට එකතු කොට ගැනීමටයි. නමුත් වර්තමානයේ හුඟක් පින්කම් වලදී පින්වතුන්ලා ආශ්වාදය නිසාම එකතුකොට ගන්නේ පංච උපාදානස්කන්ද ධර්මයක් කෙරෙහි ලෝභ සංස්කාරයන් මයි.

පින්කම් අවස්ථාවේදී සිතේ ආශ්වාදය නිසා ද්වේෂය, මෝහය යටපත් වී තිබුණ ද ඒ ධර්මතාවන් අප්‍රකටව අප තුළ ශක්තිමත් වෙනවා. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ධර්මතාවයන් කෙරෙහි සකස් වෙන ලෝභ සිතත්, අලෝභ සිතත් යන දෙයාකාරයේ සිත්ම අපි ධර්මයේ උපේක්ෂාව කියන අර්ථයට ගන්න දක්ෂ වෙන්න ඕනේ. මෙතැනයි විදර්ශනා මය ප්‍රඥාව බවට පත් වෙන්නේ.

කුසල්, අකුසල්, සංස්කාරයන්ගේ, ධර්මානුකූල යථාර්ථය අපි විදර්ශනා නුවණින් නොදැක්කොත්, අපි නතර වී සිටින්නේ භවය තුළ මයි. අපි පෝෂණය කරන්නෙත් භවය මයි. කුසල්, අකුසල් සංස්කාර පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. මේ වෙනස් වීම ඇති කරන්නෙත් සංස්කාර විසින් මයි. සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණය නමැති මැජික් කරුවා ප්‍රතිඵලය සමාජ ගත කරනවා.

මේ වස් තුන් මාසයේදීම මෙය සටහන් තබන භික්ෂුව කුටියට වෙලා මගේ පාඩුවේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට කිකරු භාවයෙන් වැඩ සිටින්නේ. නමුත් මේ දිනවල භික්ෂුවගේ ජනපි‍්‍රය භාවය පොඞ්ඩක් වැඩි වෙලා. යම් පින්වතෙක් ගේ විදර්ශනාත්මක ශීලයට, මෛති‍්‍රයට, ත්‍යාගයට අදාළ කුසල් සංස්කාරයන් ශක්තිමත් වෙන කොට, නොසිතු මොහොතක කොහෙන් හෝ ගිහි පැවිදි පින්වතෙක් මතු වෙලා එම කුසල් සංස්කාර ශක්තිමත් පින්වතාව විවේචනය කරල, අප්‍රසාදයට පත් කරලා, ඔහුගේ ජනපි‍්‍රය භාවය වැඩි කරලා දෙනවා. මේ දෙපාර්ශවයන්ම අත්දකින අත්දැකීම්, සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණය නමැති මැජික් කරුවාගේ මැජික් සංදර්ශනයන්.

මේ දවස්වල භික්ෂුව මේ විඤ්ඤාණය නමැති මැජික් කරුවන්ගේ සංදර්ශන දෙස ධර්මයේ උපේක්ෂාවෙන් බලා සිටිනවා. කවුරුන් හෝ ගෞරවනීය පැවිදි උත්තමයෙක් මෙය සටහන් තබන භික්ෂුව විවේචනයට ලක් කරලා ඒ දුර්වල කි‍්‍රයාව හේතුවෙන් භික්ෂුවට ජනපි‍්‍රය භාවයක් ලැබුණොත් ඒ ජනපි‍්‍රය භාවයෙන් එක දශමයක්වත් භික්ෂුව ජීවිතයට එකතු කොට ගන්නේ නැහැ. සංඝ සමාජයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් නොදැනුවත් භාවය නිසා හෝ අනුන්ගේ පෙළඹවීම නිසා හෝ මෙය සටහන් තබන භික්ෂුව විවේචනය කරලා ඒ තුළින් ජනතාව ගෙන් භික්ෂුවට ලැබෙන ජනපි‍්‍රය භාවයක් වේ නම් එම ජනපි‍්‍රය භාවය භික්ෂුවට එපාමයි.

භික්ෂුව තම භික්ෂු ජීවිතයේදී හැමදාමත් සිතුවේ ”සංඝ සමාජයේ මම කියලා නොවේ සංඝ සමාජයේ අපි” කියලයි. මේ උතුම් සංඝ සමාජයේ යම් සාමාජික ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමකට යම් අපහසුතාවක් ඇති වුණොත් භික්ෂුව එය දකින්නේ සංඝ සමාජයේ අපිට සිදු වූ අපහසුතාවක් වශයෙන් මයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයේ සමගිය උදෙසා ශ්‍රාවක අපෙන් බලාපොරොත්තු වූ පරිත්‍යාගය ඔය අර්ථය තුළයි ස්ථාන ගත වෙලා තිබෙන්නේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයේ ම සත්ත්වයාගේ යහපත උදෙසා බිහි කළ මේ උතුම් සංඝ සමාජයේ සමගිය උදෙසා මෙය සටහන් තබන භික්ෂුව, භික්ෂුවට එල්ල වෙන ඕනෑම කර්කෂ විවේචනයක්, ධර්මයේ උපේක්ෂාවෙන් දකින්න, ජීවිත පරිත්‍යාගයෙන් භික්ෂුව සැදී පැහැදී වැඩ සිටිනවා. මේ සටහන කියවන පින්වත් ඔබත් තේරුම්ගත යුතුයි, යම් පින්වතෙකුගේ ජනපි‍්‍රය භාවයක් යනු ඔහුට වත් අනුන්ට වත් අයිති දෙයක් නොවන බව. එය අනිත්‍ය වූ සංස්කාරයක් පමණක් මයි. එම නිසා අපි සීමාව ඉක්මවා ජනපි‍්‍රය භාවයන් ජීවිතයට ගත යුතු නැහැ.

මෙය සටහන් තබන භික්ෂුවට තම පටිච්ච සමුප්පන්න කුසල් සංස්කාර හේතුවෙන් දශමයක හෝ ජනපි‍්‍රය භාවයක් ලැබුණොත් ඒ ජනපි‍්‍රය භාවය භික්ෂුව කාරණා දෙකක් උදෙසා පමණක් මයි ප්‍රයෝජනයට ගන්නේ. පළමුවැනි කාරණය තමයි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ශක්තිය උදෙසා. දෙවැනි කාරණය තමයි ජනපි‍්‍රය භාවයන් නිසා සිල් පද බිඳිමින් අකුසල් වඩමින් පිස්සු නටන පින්වත් මනුෂ්‍ය සමාජයට ජනපි‍්‍රය භාවය යනු අනිත්‍ය වූ සංස්කාරයක ඵලයක් බව කියා දීම සඳහායි.

අද උදෑසන පිණ්ඩපාත මඩුවට පින්වතුන් සිය දෙනෙක් පමණ දන් පූජා කරන්න පැමිණ සිටියා. මේ පිරිස අතර වස් දහයක් පමණ වූ තරුණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකුත් වැඩ සිටියා. උන්වහන්සේ භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. තරුණ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නය වුණේ ”ඔබ වහන්සේට රුවන්වැලි මහා සෑය සිහිපත් වුණොත් ඔබ වහන්සේ කොහොමද රුවන්වැලි මහා සෑය දකින්නේ” කියලා. භික්ෂුව පිළිතුරු දුන්නා මට රුවන්වැලි මහා සෑ සමිඳුන් සිහිපත් වුණොත් භික්ෂුව රුවන්වැලි මහා සෑ සමිඳුන් තුළින් සතර සතිපට්ඨානය ම දකිනවා කියලා. ඒ අවස්ථාවේදී එම ස්වාමීන් වහන්සේ විමසුවා ”රුවන්වැලි සෑ සමිඳුන් තුළින් සතර සතිපට්ඨානය දකින්නේ කොහොමද” කියලා.

රුවන්වැලි මහා සෑය සිහිපත් වෙද්දී මහා සෑය සතර මහා ධාතුවක් වශයෙන් දකිනවා. අට්ඨික සඤ්ඤාවෙන් දකිනවා ඔබ ඒ දකින්නේ මහා සෑය තුළින් කායානුපස්සනාවයි. රුවන්වැලි මහා සෑය දැක්කා වූ සිත, ඔබ අනිත්‍ය වශයෙන් දකිනවා. ඒ ඔබ දකින්නේ චිත්තානුපස්සනාවයි. මීළඟට ඔබ මහා සෑය මතකයට නැඟීමෙන් ඔබ තුළ සකස් වුණ සැප වේදනා, උපේක්ෂා වේදනාව, අනිත්‍ය වශයෙන් දකිනවා. ඒ ඔබ දකින්නේ වේදනානුපස්සනාවයි. මහා සෑය සිහිපත් වෙද්දී ඔබ තුළ සකස් වෙන්නේ සප්ත බොජ්ඣංග ධර්මයන්. එම සප්ත බොජ්ඣංග ධර්මයන් අනිත්‍ය බව දකිද්දි ඔබ ඉන්නේ ධම්මානුපස්සනාව තුළයි. රුවන්වැලි මහා සෑය සිහිපත් වූ එක සිතෙන් ඔබ සතර සතිපට්ඨානය ම මතුකොට දැක්කා.” භික්ෂුව ප්‍රකාශ කළ පිළිතුරෙන් එම තරුණ ස්වාමීන් වහන්සේ තෘප්තිමත් වුණා.

භික්ෂුව පින්වත් ඔබට ධර්මයෙන් කුසලයෙන්, පිනෙන්, උදව් කරනවා පමණක් මයි. පෙරළා පින්වත් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ජීවත් වීමට අවශ්‍ය අවම සිවුපසය පමණක් මයි. භික්ෂුව ගේ කටයුතු, භික්ෂුවම කර ගන්න කොට ජීවිතයට විදර්ශනාත්මක තෘප්තියක් ලැබෙනවා. අනාගතයේ යම් දවසක භික්ෂුවට අනුන්ගේ අත්වාරුවෙන් යැපෙන්නට සිද්ධ වුණොත් එදාට ජීවිතය ගැන තීරණයක් ගන්නවා. භික්ෂුවට තිබෙන්නේ සංස්කාරයන්ට අතහැරපු ජීවිතයක්. ඔබ ඒ දෙස ධර්මයේ උපේක්ෂාවෙන් බලා සිටිනවා පමණක් මයි.

භික්ෂුව මේ තබන සටහන් තුළින් පින්වත් ඔබගේ හදවතටයි කතා කරන්නේ. අවශ්‍ය නම් භික්ෂුවට පුළුවන් ගැඹුරු වචන, පාලි වචන යොදලා, කෙළින්ම ඔබගේ, බුද්ධියට කතා කරන්න. එහෙම කළොත් හදවත් නැති බුද්ධිමතුන් පිරිසකුයි බිහි වෙන්නේ. වර්තමාන සමාජයේ ඇති වෙලා තිබෙන විකෘතිය, හදවත් නැති බුද්ධිමතුන් ගේ වැඩිවීමක ඵලයක්. භික්ෂුව මේ සටහන් තුළින් පින්වත් ඔබේ හදවතට කතා කරද්දී භික්ෂුවට හොඳටම විශ්වාසයි, පින්වත් ඔබ කවදාක හරි හදවතක් ඇති බුද්ධිමතෙක්, ප්‍රඥාවන්තයෙක් වෙනවාය කියලා.

පින්වත් ඔබ, භික්ෂුවගේ ඒ අහිංසක බලාපොරොත්තුව කඩකරන්න නම් එපා. අද වෙනකම් පින්වත් ඔබේ බලාපොරොත්තු භික්ෂුව කඩකරලා නැහැ. අප දෙපාර්ශ්වයේම බලාපොරොත්තු කඩ වුණොත් එයත් ධර්මානුකූල හේතුඵල ධර්මයක් මයි. ධර්මයේ උපේක්ෂාවෙන් ඉවසීම පමණක් මයි අපි විසින් කළ යුත්තේ.