සමාජ විකෘතිය තම අවබෝධය උදෙසා යොදාගන්න සැබෑම ජයග්‍රහනය ලබයි

දිවයින පුවත්පත විසින් යොමු කරලා තිබෙන ප්‍රශ්නය, ගිහි පින්වතුන්ලාට උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කොට ගැනීම උදෙසා සුදුසු භාවනාවක් සටහන් තබන්නය කියලා.

උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කොට ගැනීමට භාවනා කිරීමට පෙරාතුව තව හු`ගාක් දේවල් ජීවිතයට එකතු කොට ගත යුතුව තිබෙනවා. උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කොට ගැනීමට අවංකව වීර්යය වඩන පින්වතා, අනිවාර්යයෙන් ම ශ්‍රද්ධානුසාරි හෝ ධම්මානුසාරි කියන සෝවාන් මාර්ගය තුළ ස්ථාන ගත වෙච්ච පින්වතෙක් මයි.

සෝවාන් මාර්ගය තුළ ගමන් කරන පින්වතා මුලින්ම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ජීවිතයට එකතුකොට ගන්න ඕනේ, මෙතැනදී කල්‍යාණ මිත්‍රයා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ, සූත්‍ර, විනය, අභිධර්ම, ධර්මයන් නිවැරැදිව, විකෘති කිරීම්වලින් තොරව දේශනා කරන මහා සංඝරත්නයයි. උතුම් සූත්‍රගත ධර්මයන් විකෘති කරන්නේ නම් සූත්‍රගත ධර්මයන්ට වැරදි අර්ථකථනයන් දෙන්නේ නම්, වහාම එවැනි පින්වත්, ගිහි පැවිදි පාර්ශ්වයන් ගෙන් බැහැර වීම, අත්‍යවශ්‍ය ධර්මතාවක් වෙනවා.

යම් පැවිදි පින්වතෙක්, ධර්මයක් දේශනා කරන්නේ තම තමන් තුළ වැඩී තිබෙන ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩීම සහ නොවැඩීම මුල් කොට ගෙනයි. විකෘති භාවයෙන් දේශනා කරන ධර්මයක් කියන්නේ, ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වල භාවයේ කැඩපතයි. උතුම් සෝවාන් ඵලයට පත් වීමට බලාපොරොත්තු වන පින්වතා, ඉහත අසද්ධාවේ ඵලයන්, තම මාර්ගයට කමටහනක් කොටගන්න දක්ෂ වෙන්න ඕනේ.

වර්තමානයේ මෙවැනි විකෘතීන් සිදුවෙනවා නම් අනාගතය කෙරෙහි බිය ඇති කොට ගෙන වර්තමානය තුළ තම අරමුණ කෙරෙහි ශක්තිමත් වෙන්න ඕනේ. පින්වත් ඔබේ අරමුණ ලෝකය හැදීම නොවේ. අතීත බුදුරජාණන් වහන්සේ ලා ලක්ෂ ගණනක් පහළ වෙලාත්, නොසෑදුණු ලෝකය, දුකක් ම බව දැකලා, ලෝකයෙන් මිදීම දෙසට ගමන් කිරීමයි.

පින්වත් ඔබ ලෝකයේ දුක දැකලා ධර්මයට කරන්නා වූ විකෘතීන් දැකලා, ලෝකයෙන් මිදීම දෙසට ගමන් කළ යුත්තේ, ලෝකයට ශාප කරමින් නොවේ. ලෝකයට බනිමින් නොවේ, ලෝකයට ද්වේශ කරමින් නොවේ, මම හරි, අනිත් සියල්ලන්ම වැරදියි කියලා, දකිමින් නොවේ, ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවයෙන් සකස් වෙන, සමාජ ඵලයන් දෙස, ධර්මයේ උපේක්ෂාව තුළ හිඳිමින්ය.

ඔහු සටන් කරන්නෙක් නොවේ, ඔහු සමාජ විකෘතිය, තම අවබෝධය උදෙසා යොමුකොට ගන්නෙකි. ඔහු වෙනස් වෙන ලෝකය තුළ හිඳිමින්, නොවෙනස් වෙන ප්‍රඥාවේ අවබෝධය උදෙසා ධර්මයේ උපේක්ෂාවෙන්, ලෝකය දකින, නිහඬ විප්ලවවාදියෙකි. ඔහු මේ කරන්නට යන, නිහඬ විප්ලවය, ජයක් හෝ පරාජයක් ලබන්නට යන විප්ලවයක් නොවේ, ජයත්, පරාජයත් දෙකම අනිත්‍ය වශයෙන් දැකලා ජයත් පරාජයත් දෙකින්ම මිදීම උදෙසා කරන නිහඬ විප්ලවයකි.

පින්වත් ඔබ නිවැරැදි මාර්ගයේ ගමන් කොට අර්ථවත්ව, උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කොට ගත්තාය කියන්නේ පින්වත් ඔබ ජයග්‍රහණයක් ලැබූවා නොවේ. පින්වත් ඔබ ඇත්ත ඇති සැටියෙන් දැක්කා පමණක් මය. මෙතෙක් ඔබ දකිමින් සිටින්නේ බොරුව, ඇත්තක් වශයෙන්ය. බොරුව ඇත්තක් වශයෙන් දකිමින් ජීවත් වන, බෞද්ධ පින්වතුන් ලාට ඇත්ත ඇති සැටියෙන් දකින්නට, අවබෝධඤාණය සකස්කොට දෙන ධර්ම මාර්ගයේ පළමු වැනි අවබෝධාත්මක පියවර, උතුම් සෝවාන් ඵල අවබෝධයයි.

ධර්ම මාර්ගයේ පළමුවැනි අවබෝධාත්මක පියවර වන, උතුම් සෝවාන් ඵල අවබෝධය කරා, අර්ථවත්ව ගමන් කරන පින්වතාට, පින්වතියට, මුල්ම උපකාරක ධර්මය බවට පත්කොට දෙන්නේ කල්‍යාණමිත්‍ර ආශ්‍රයයි. නිවැරැදි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් පින්වත් ඔබට ලැබෙන්නේ, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිවැරැදි ශ්‍රී සද්ධර්මයයි.

උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය නොකරන පුද්ගලයා බුද්ධෝත්පාද කාලයක ජීවත් වන ඇස්, කන්, නාසය ඇති අන්ධ, ගොළු, බිහිරි, පුද්ගලයෙක් හා සමානය. පින්වත් ඔබ කොතෙක් දන් පූජා කළත්, සිල් සමාදන් වුවත්, පින්කම් සිදු කළත්, ඔබ සද්ධර්ම ශ්‍රවණය කිරීම දුර්වලනම්, ඔබ සිදුකරන පින්කම් වලින් අර්ථවත්ව පින කුසලය වත් ජීවිතයට එකතු කොට ගැනීමට නොහැකිය.

අපේ සමාජයේ ගොඩාක් පිරිමි පක්ෂයට, ඉහත දුර්වලකම ඇති බව, කරුණාවෙන් සඳහන් කළ යුතුය. වාහනය අංග සම්පූර්ණව තිබුණත් වාහනයේ සුක්කානම නැතිනම් ඔබ කෙසේ වාහනය නිවැරැදි ඉලක්කය කරා රැගෙන යන්නද? සද්ධර්ම ශ්‍රවණයත් ශ්‍රවණය කරන්නා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමත්, ඔබ සිදු කොට ගන්නා වූ පින, කුසලය නිවැරැදි ධර්මානුකූල ඉලක්කයන්ට ඔබව පටිච්ච සමුප්පන්නව යොමු කරන සුක්කාන මයි.

අර්ථවත්ව උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කොට ගැනීමට වීර්ය වඩන පින්වතා, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින්, සද්ධර්ම ශ්‍රවණය කරමින් ශ්‍රවණය කළාවූ සද්ධර්මය නුවණින් විමසා බලනවා. අනුවණින් නොවේ. උතුම් ශ්‍රී සද්ධර්මය නුවණින් විමසා බලන පින්වතා, සංසාර බිය දකිනවා, සංසාර ගැඹුර දකිනවා, සංසාර දුක දකිනවා, තව පටිච්ච සමුප්පන්නව සංසාරයේ දුර දකිනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමේ අර්ථය දකිනවා.

මේ උතුම් සම්මා සම්බුද්ධ ඤාණය අවබෝධය උදෙසා සංසාරයක් පුරා පුරන ලද දස පාරමී ධර්මයන්ගේ ශක්තිය දකිනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, අයෝමය දස පාරමී කැපවීමේදී මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නේ මහා පොළොවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දුන්නේ සක්විති රජ පදවි, අඹුදරුවන් දන් දුන්නේ මම උදෙසා මයි කියලා දකිනවා. මාව සාංසාරික භව දුකෙන් එතෙර කිරීම උදෙසා මයි කියලා දකිනවා. මා උදෙසා ම මා කෙරෙහි කරුණාවෙන් ම මේ සා අයෝමය කැපවීමක් සිදු කළ බුදුරජාණන් වහන්සේට තමා ගෙවීමට ඇති ණයකාරිත්වය නුවණින් දකිනවා. අවම වශයෙන් මේ උතුම් අවස්ථාවේදී සතර අපා දුකෙන් මිදී, උතුම් සෝවාන් ඵලයවත් සාක්ෂාත් කර නොගත්තොත් බුදුරජාණන් වහන්සේට තමා ණයකාරයෙක් වෙන බව නුවණින් දකිනවා.

උතුම් බුද්ධෝත්පාද කාලයක පිනැති බෞද්ධයෙක්ව ඉපදුණු ඔබට, ඔබේ සැබෑම සද්ධර්මයේ යුතුකම මතු කොට දෙන්නේ උතුම් කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය සහ ශ්‍රවණය කළාවූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමයි. ඉහත ධර්මතාවන් තුන දුර්වල පින්වතා, අතීතයේ බුදුරජාණන් වහන්සේ ලා දස දහස් ගණනක් පහළ වූ ලෝකය තුළ, තවමත්, පර වෙන මලකින් නිවී යන පහන කින්, පිළුණුවී යන ආහාරය කින්, ලොව්තුරා බුදුරජාණන් වහන්සේට තම යුතුකම් ඉටු කරලා සාදු සාදු කියලා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨ අර්ථයෙන් යොදුන් ගණනාවක් ඈතට යනවා.

පින්වත් ඔහුත් මේ ශාසනයේ ම කොටස් කරුවෙක්, නමුත් ඔහු ධර්මයේ අරටුව ජීවමානව තිබියදී ම, කොළ, අතු, ද`ඵ ප්‍රයෝජනයට ගන්න පින්වතෙක් වෙනවා. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව බවට පත් වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. යම් පින්වතෙක් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් මතු කොට ගන්නේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය සහ නුවණින් මෙනෙහි කිරීම තුළින්මය.

ඉහත අර්ථයන් තුනට පුළුවන්, යම් පින්වතෙක්ව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා ම මෙහෙය වන්න.

මෙය සටහන් තබන භික්ෂුවට, මේ මොහොතේ මතකයට නැෙ`ගනවා, මම තරුණ ගිහි කාලයේදී ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ විකාශනය වෙන ඉරිදා උදෑසන සහ බදාදා රාත්‍රි ධර්ම දේශනා දෙක ශ්‍රවණය කරනවා. ගොඩාක් මාධ්‍ය එදා තිබුණේ නැහැ. එදා මම ශ්‍රවණය කළේ සතියකට ධර්ම දේශනා දෙකයි. නමුත් වර්තමානයේ අපේ පින්වත් අම්මා, තාත්තලා දිනකට මාධ්‍ය ඔස්සේ ධර්ම දේශනා පැයෙන් පැයට ශ්‍රවණය කරනවා. මෙම කාරණය සුබ වාදී දෙයක් ද අසුබ වාදී දෙයක් ද කියලා භික්ෂුව අර්ථ දක්වන්න යන්නේ නැහැ. නමුත් බුද්ධාගම සෑම විටම අඩුයි කියන අන්තයටත්, නොයා වැඩියි කියන අන්තයටත් නොයා මධ්‍යස්ථභාවය තුළ පමණක් අර්ථාන්විතව පෝෂණය වන ධර්මයක්.

භික්ෂුවට මුණගැසිලා තිබෙනවා, දිනය පුරාම විවිධ ධර්මයන් ශ්‍රවණය කරලා ධර්මයේ සක්කායදිට්ඨියෙන්, හොඳටම පදං වෙච්ච ගිහි පින්වතුන්ලා. ඒ වගේමයි තර්ක විතර්ක, දෘෂ්ඨි, මතවාද සමග හෙම්බත් වෙලා සිටින ගිහි පින්වතුන්ලා.

පින්වත් ඔබ, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබීමට පෙරාතුව ඔබ ඔබට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. ඔබ ඔබට කල්‍යාණ මිත්‍රයෙක් වෙනවා ය කියන්නේ ඔබ නිහතමානී වෙනවා ය කියන කාරණයයි. ඔබ කෘතවේදී වෙනවා ය කියන කාරණයයි. පින්වත් ඔබ තුළ නිහතමානී භාවය නැති නම් ඔබ කල්‍යාණ මිත්‍රයා තුළිනුත්, සද්ධර්මය ශ්‍රවණය කිරීම තුළිනුත් නුවණින් මෙනෙහි කිරීම තුළිනුත් ඔබ ඇතිකොට ගන්නේ මමත්වයේ දැඩිභාවය මයි. සමාජයත් සම`ග කටයුතු කරනකොට, මේ දුර්වලතාවය හොඳටම ප්‍රකට වෙනවා.

යම් පින්වතෙක් ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කරන කොට තමන් ස්වාමීන් වහන්සේව ඇසුරු කරනවා වගේ ම, කුමන තරාතිරමක වේවා, අන්‍ය පින්වතුනුත් ස්වාමීන් වහන්සේව ඇසුරු කරනවා දකින්න කැමැති වෙන්න ඕනේ. තමන් සිව්පසය පූජා කරනවා වගේ ම, කුමන තරාතිරමක වේවා අන්‍ය පින්වතුනුත් සිව්පසය පූජා කරනවා දකින්න කැමැති වෙන්න ඕනේ. තමන් ධර්මයක් අසා දැන ගන්නවා වගේම අන්‍ය පින්වතුන්ලාත් ධර්මයක් අසා දැන ගන්නවාට කැමැති වෙන්න ඕනේ. තමන් ධර්මාවබෝධය දෙසට ගමන් කරනවා වගේම, අන්‍ය පින්වතුන්ලාත් ධර්මාවබෝධය දෙසට ගමන් කරනවා, දකින්න කැමැති වෙන්න ඕනේ.

තමා අතින් වරදක් සිදුවුණ තැනදී, සංඝයා ඉක්මවා නොගොස්, සංඝයා කියන අර්ථයේ ගුණයන් දකිමින් වරද දකින්න දක්ෂ වෙන්න ඕනේ. මහා සංඝරත්නය යනු සමස්ත සත්පුරුෂ දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම, සත්ත්ව ප්‍රජාවගේ ම සම අයිතියක් බව දැනගන්නට ඕනේ. උතුම් සෝවාන් ඵල අවබෝධය සාක්ෂාත් කොට යන ගමනේදී නිහතමානී භාවය ඔබ තුළ ඇති කොට ගත යුත්තේ ඉහත ධර්මතාවය ශක්තිමත් කොට ගැනීමටයි. ඉහත ධර්මතාවන් ගෙන් තොරව, සෝවාන් ඵලය යනු කිසිදා හමු නොවන මිරි`ගුවකි.

නිහතමානී භාවය වගේම, කෘතවේදී භාවය, අවබෝධාත්මක ධර්ම මාර්ගයට ලොකු ජවයක් වෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම, උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම, ශ්‍රවණය කළාවූ සද්ධර්මයට අදාළ මාර්ගය නිවැරැදිව පුහුණුකොට විදර්ශනාත්මක අවබෝධයක් සාක්ෂාත් කොට ගැනීම, මේ ලෝකධාතුවේ ඇති දුර්ලභම කාරණා තුනය කියලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉහත දුර්ලභ කාරණා තුන වගේම තවත් දුර්ලභ අර්ථයක් මේ ලෝක ධාතුව තුළ තිබෙනවාය කියලා. එම දුර්ලභම අර්ථය තමයි, කෘතවේදී භාවය. කෘතවේදී භාවය කියන්නේ කෙළෙහිගුණ සැලකීම.

මුලින්ම පින්වත් ඔබ කෘතවේදී භාවය ඇති කොට ගත යුත්තේ ඔබ තුළින් ඔබට මයි. අතීත කුසල් සංස්කාර හේතුවෙන් ම මා තුළ ඇතිවුණා වූ උතුම් නිහතමානී භාවයට කෘතවේදී භාවයට පෙරළා මට දියහැකි උතුම්ම තෑග්ග වන සතර අපායෙන් මිදුණු ජීවිතයක් බවට මගේ ජීවිතය පත්කොට ගන්නවා ය කියන අධිෂ්ඨානය ඇති කොට ගන්නවා. තමා තමාට කෘතවේදී වෙනවා.

පින්වත් ඔබ තවම සතර අපායෙන් මිදී නැතිනම් ඔබ ඔබේ ජීවිතයට තවම කෘතවේදී භාවය දක්වා ගෙන නැහැ. ඔබ ඔබට අසත්පුරුෂයෙක්. දැන දැන පටිච්ච සමුප්පන්නව, ඔබම සතර අපා දුකට යනවා. දෙවැනිව පින්වත් ඔබ කෘතවේදී වෙන්න ඕනේ, බුද්ධරත්නයට, ධර්මරත්නයට, උතුම් සංඝරත්නයට මේ දුර්ලභ තුන් සරණ ලෝකයට පහළ වීම උදෙසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනක පාරමී ගමනට ඒ අයෝමය යුග මෙහෙවරට, ඔබ කෘතවේදී වෙන්න ඕනේ.

පින්වත් ගිහි පින්වතකුට, බුදුරජාණන් වහන්සේට දැක්විය හැකි උතුම් ම කෘතවේදී භාවය මේ ජීවිතයේදී ම උතුම් සෝවාන් ඵල අවබෝධයයි. බුදුරජාණන් වහන්සේගේ ඇකයේ උපන් දරුවෙක් බවට පත්වීමයි. අපි මොන තරම් සද්ධර්මය ශ්‍රවණය කළත්, ධර්මය ධර්මානුකූලව නුවණින් දකින්නෙ නැති නම්, අපිට ඉහත ධර්මතාවන් ගැන සතිය සිහිය ඇති වෙන්නේ නැහැ. පණ්ඩිතකම්, මාන්නය, ලොකුකම්වලින්, වෙළා ගන්නවා. එහි ඵලය සක්කායදිට්ඨියයි. ගමන සතර අපාය දෙසටයි. පින්වත් ඔබෙන් ඔබ ප්‍රශ්න කරන්න, කවදාද මම, මට කෘතවේදී භාවය ඇතිකොට ගන්නේ කියලා.

භික්ෂුව ගිහි කාලයේදී ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ධර්ම දේශනා දෙක ශ්‍රවණය කරලා ගෙදර කවුරුවත් නැති වෙලාවට, ඇසුවා වූ සද්ධර්මය ශබ්ද න`ගලා දේශනා කරනවා. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නැවත ශබ්ද න`ගලා දේශනා කරන්න. මම හරිම ආසයි. නමුත් එදා මටම නිකමට වත් හිතුණේ නැහැ, ‘කවදාක හරි මම පැවිදි වෙලා සද්ධර්මය දේශනා කළොත් දහස් ගණනින් පින්වතුන්, එම සද්ධර්මය ශ්‍රවණය කරාවි’ය කියලා.

මම අතීතයේ ගුවන් විදුලියෙන් ශ්‍රවණය කළ සද්ධර්මය නැවත හඬ න`ගා දේශනා කළේ, මගේ ජීවිතයට ධර්මය සමීපකොට ගන්න. ධර්මය මගේ ජීවිතයේ කොටසක් බවට පත්කොට ගන්න. එසේ නැතිව අනාගතයේදී ආගම ධර්මය දේශනා කරන්න නොවේ. එදා තරුණ ගිහි මම, ලෝකයට හොරා තනිවම ශබ්ද න`ගලා ධර්මය සජ්ඣායනය කරන කොට, අතීතයේ ඒ කටහඬ හරිම මිහිරියි. වර්තමානයේ වයෝවෘද්ධ භාවයත් සමග භික්ෂුවගේ කටහඬ ගොරෝසු භාවයට පත්වෙලා.

භික්ෂුව වර්තමානයේදීත් දේශනා කරන මේ ‘ඝෝර කටුක භයානක සංසාරය’ කියන ධර්ම පාඨය, අපවත්වී වදාළ අති ගෞරවණීය කුඩාවැල්ලේ වංගිස නායක ස්වාමීන් වහන්සේගේ මුවින්, නිරතුරුවම ගලාගිය ධර්මයේ සුන්දර ධර්ම පාඨයක්.

කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධර්මය, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන් ශ්‍රවණය කරලා එම සද්ධර්මය මම නැවත ශබ්ද න`ගලා දේශනා කරන කොට, සද්ධර්මය ජීවිතයේම කොටසක් වෙනවා. භික්ෂුව ගිහි ජීවිතයේදී එම ආශ්වාද ජනක අත්දැකීම විඳලා තිබෙනවා.

මෙතැනදී භික්ෂුව පින්වත් ඔබට මේ දෙයත් මතක් කරනවා, මෙය සටහන් තබන භික්ෂුව ගිහි ජීවිතයේදී උපාසක මහත්මයෙක් නම් නොවේ. උපාසක මහත්මයෙක් වූයේ පසළොස්වක පොහොය දිනයක සිල් සමාදන් වුණ අවස්ථාවකදී පමණයි. දුර්වල වෙන අවස්ථාවන්හි දී සිල්පද දුර්වල කොට ගත්ත, අකුසල්, ජීවිතයට එකතුකොට ගත්ත සුදු සහ කළු චරිතයක්.

අතීතයේ තරුණ ගිහි කාලයේදී ශ්‍රවණය කළාවූ සද්ධර්මය මිහිරි හඬින් සජ්ඣායනය කරනකොට මට හොඳින්ම වැටහී ගියා. මම පෙර ජීවිතවල අනිවාර්යයෙන් ම පැවිදි වෙලා සිටින්නට ඇතිය කියලා. නමුත් කොතනක හෝ පටිච්ච සමුප්පන්නව සිදුවී ඇති දුර්වල තාවන් නිසා මේ ජීවිතයේදී මා තුළ කාමච්ඡන්දයන්, ව්‍යාපාදය, බහුලව කි‍්‍රයාත්මක වුණා. මේ දුර්වල තාවන් පටිච්ච සමුප්පන්නව මම පුහුණු කළාවූ කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන්, නුවණින් මෙනෙහි කිරීමේත් දුර්වලතාවක ඵලයක් බව මා විසින්ම හඳුනා ගත්තා.

මගේ ජීවිතය තුළ පටිච්ච සමුප්පන්නව පින ශක්තිමත් ව තිබුණත්, කායානුපස්සනාව සාංසාරිකව පුහුණු නොකිරීම මා තුළ ඇති ලොකුම දුර්වලතාවය බව මම දැක්කා. මෙතෙක් භව ගමනේ මගේ පරාජයට හේතුවූ සැබෑම ධර්මානුකූල අභියෝගය මා මතු කොට ගත්තේ උතුම් ශ්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ අර්ථය තුළින් මයි. භික්ෂුව පින්වත් ඔබට මේ සටහන් තබන්නේ ශ්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ ඇති වටිනාකමයි, උතුම් සෝවාන්ඵල අවබෝධය උදෙසා.

පින්වත් ඔබ සද්ධර්මයන් ශ්‍රවණය කළ යුත්තේ වැරදි සොයන අදහසින් නම් නොවේ, ධර්මයක් ජීවිතයට එකතුකොට ගැනීමේ අදහසින් මයි. උතුම් සෝවාන් ඵලයට පත් වුණ පින්වතකුගේ ලක්ෂණයක් තමයි තමන් යම් ධර්මයක් ශ්‍රවණය කරන්නේ, ජීවිතයට, ධර්මයක් එකතු කොට ගැනීමට පමණක් වීම. කවදාකවත් විවේචනාත්මකව සද්ධර්මය ශ්‍රවණය කරන්න එපා, දුර්වල ධර්මයක් තුළින් අපි ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වල භාවය කියන, ධර්මයක් ම දකින්න දක්ෂ වෙන්න ඕනේ. අනුන්ගේ හරි වැරදි සොයන්න යන තාක්කල්, අපි පංචනීවරණයන් ගේ ගොදුරක් වෙනවා.

පින්වත් ඔබ භික්ෂුව මේ තබන සටහන් කියවිය යුත්තේ හරි, වැරදි සෙවීමට නොවේ. මේ සටහන් තුළින් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කොට ගැනීම උදෙසා යම් අර්ථයක් ඔබේ ජීවිතයට ලබාගත හැකිනම් එම අර්ථය ලබාගැනීමට පමණක් මයි. භික්ෂුව සටහන් තබන අර්ථයන්ට පින්වත් පාඨක ඔබ ගැටිලා එසේත් නැතිනම් ඇලිලා ඇයි ඔබ සංස්කාරයන්, රැස්කොට ගන්නේ?

භික්ෂුව සටහන් තබන අර්ථයන් වැරදි නම්, බොරු නම්, පින්වත් ශ්‍රද්ධාවන්ත ඔබට බොරු කිරීමට අදාළව බලවත් අකුසල් භික්ෂුවගේ ජීවිතයට එකතු වේවි. උතුම් ශ්‍රී සද්ධර්මයට බොරු කරන්නා, සතර අපා දුක මයි උරුම කොට ගන්නේ. භික්ෂුව සටහන් තබන මේ ධර්ම කාරණා නිවැරැදි නම්, සත්‍ය ගරුක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ය කියන ජනප්‍රිය භාවය දශ දිශාවට පැතිර යාවි, සෝවාන් ඵල අවබෝධය උදෙසා ධර්ම මාර්ගයේ පෙරට ගමන් කරන පින්වතා ඉහත හේතු ඵල ධර්මයන්, උතුම් සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම තුළින් මයි ජීවිතයට එකතු කොට ගත යුත්තේ.

යම් පින්වතෙක් උතුම් සෝවාන් ඵල අවබෝධය සාක්ෂාත් කොට ගත්තාය කියන්නේ, පටිච්ච සමුප්පන්නව වින්දා වූ මහමෙරක් වන් සතර අපා දුකෙන් සදහටම මිදීමත්, ඒ වගේමයි උපරිම ආත්ම භාව හතකට අනාගත පටිච්ච සමුප්පන්න භාවය සීමාකොට ගත්තා ද වෙනවා.

මෙවන් උත්තරීතර දුර්ලභ අවබෝධාත්මක ඵලයක්, ගෞරවාන්විතව දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. කිසිදු ගරුත්වයකින් තොරව, සෝවාන් කියන වචනය පමණක් යොදා ගෙන උතුම් අවබෝධාත්මක අර්ථයක් හෑල්ලූ‍වට පත් කිරීම බරපතළ පාප කර්මයක් වෙනවා. අධිගමයන් සාක්ෂාත් කොට ගැනීමට පෙර එම අවබෝධාත්මක අර්ථයන් කෙරෙහි පූජනීයත්වයක්, ගරුත්වයක්, වන්දනීය භාවයක් ඇතිකොට ගත යුතුයි.

ධර්ම ගරුත්වය කියන්නේ එකත්පස්ව හිඳගෙන සද්ධර්මය ශ්‍රවණය කරනවා පමණක් නොවේ. ඉන් එහා ගිය පුළුල් අර්ථයක් ධර්ම ගරුත්වය කියන වචනය තුළ තිබෙනවා. ධර්ම ගරුත්වය නිවැරැදි ආකාරයෙන් ජීවිතයට එකතු කොට ගන්නේ නම් ඔහු අනිවාර්යයෙන් ම, උතුම් සෝවාන් ඵල අවබෝධය සාක්ෂාත් කොටගත් පින්වතෙක් විය යුතුයි.

එම පින්වතා කුසල් අකුසල් සංස්කාර හේතුවෙන් සකස් වෙන දුප්පත් භාවය පොහොසත් භාවය, උගත් භාවය, නූගත් භාවය, කුලවත් භාවය, කුලහීන භාවය, රූමත් භාවය, විරූපී භාවය, මහේශාක්‍ය භාවය, අල්පේශාක්‍ය භාවය සම සිතින්, උපේක්ෂා සහගත සිතින් දැකීමේ දක්ෂයෙක් වෙනවා. එයයි උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ පින්වතාගේ උතුම් ධර්ම ගරුත්වයේ එක් අංගයක් බවට පත් වන්නේ.

අනාගතයේදී අපිට එතැනට එන්නට අවශ්‍ය නම් වර්තමානයේ අපි ධර්මයක් දේශනා කරන කොට, සටහන් තබන කොට, සාකච්ඡා කරන කොට ධර්ම ගරුත්වයෙන් අපි එය කරන්නට ඕනේ. එවිටයි ධර්මය, ධර්මාවබෝධය උදෙසා හේතු වෙන්නේ. භික්ෂුව දැකලා තිබෙනවා ධර්ම දේශනා පවත්වන අතරතුර ගිහි පින්වතුන් වතුර බෝතල්, බිස්කට්, ධර්ම පුස්තක බෙදනවා. මෙවැනි කි‍්‍රයාවන් ධර්ම ගරුත්වයට හානියක් මයි කරන්නේ.

උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහි, ධර්ම මාර්ගය කෙරෙහි, ඇති විචිකිච්ඡාව නිරෝධය කිරීම තුළින් ඔබ ලබන තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, අන්‍ය ශීලව්‍රතයන් කෙරෙහි ඇති විශ්වාසය, නිරෝධය කිරීම තුළින් ඔබ ලබන ආර්ය කාන්ත ශීලය, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර විඤ්ඤාණ ධර්මයෙන් කෙරෙහි ඇති මමත්වයේ දැඩි භාවය නිරෝධය කිරීම තුළින් පින්වත් ඔබ ලබන පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය දැක්ම, උතුම් සෝවාන් ඵල අවබෝධය ලබන පින්වතා ගේ, ජීවිතයට එකතු වෙන, උතුම් අවබෝධාත්මක ධර්මතාවයන් තුන වෙනවා.

උතුම් සෝවාන් ඵල අවබෝධය සාක්ෂාත් කොට ගැනීමට බලාපොරොත්තු වන පින්වතා, ඉහත ධර්මතාවන් නිවැරැදි කල්‍යාණමිත්‍ර ආශ්‍රය, උතුම් සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රවණය කළා වූ සද්ධර්මය, ධර්මානුකූලව නුවණින් මෙනෙහි කිරීම තුළින් පමණක්ම, නුවණ වැඩෙන භාවනාවක් වශයෙන් ජීවිතයට එකතු කොට ගත යුතු වෙනවා.