එකිනෙක ඈඳුණු ගුණයන්ගෙන් ඒ ආර්ය සංඝරත්නය බබළන සේක

සංඝානුස්සතිය – 10

සෝවාන් ඵලය, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඵල ඤාණයන් සකස්‌කර ගත් මහා සංඝරත්නය ඤායපටිපන්න ගුණයෙන් යුක්‌තවෙනවා. මහා සංඝරත්නයේ ඤායපටිපන්න ගුණය නිසාම උතුම් සංඝරත්නය සාමීචිපටිපන්න ගුණයට හිමිකම් කියනවා. මේවා හේතුඵල ධර්මයන්. යම් භික්‍ෂුවක්‌ තුළ සාමීචිපටිපන්න ගුණය නැතිනම්, ඒ කියන්නේ සංසාර බිය නැතිනම් අකුසලය දුරුකර කුසලය මතු කරගැනීමට වුවමනාවක්‌ නැතිනම්, එම භික්‍ෂුව තුළ උජුපටිපන්න ගුණය ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට එම භික්‍ෂුව බැස ගන්නේ නැහැ. එම භික්‍ෂුව තුළ සම්මා දිට්‌ඨියේ අර්ථයන් දුර්වලයි. ඒ නිසාම ආර්ය මාර්ගය වැඩෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට නොපිළිපන් භික්‍ෂුව තුළ ඤායපටිපන්න ගුණය වැඩෙන්නේ නැහැ. කුසලය යටපත් කර අකුසලය නැඟීසිටීම නිසාම සම්මා ඤාණය සකස්‌ වෙන්නේ නැහැ. මිච්ඡා ඤාණයයි සකස්‌ වෙන්නේ. මිච්ඡා ඤාණ කියන්නේ රූපය සැපයි, නිත්‍යයයි. වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණය සැපයි, නිත්‍යයයි කියන මෝහයට. මේ ජීවිතයේදී උතුම් අවබෝධ ඥාණයන් ලබන්න බැහැය කියන මිච්ඡා දැක්‌මට ඤායපටිපන්න ගුණය සකස්‌නොවු භික්‍ෂුව තුළ සාමිචිපටිපන්න ගුණය සකස්‌වෙන්නේ නැහැ. මේවා එකිනෙකට බැදී පවතින හේතුඵල ධර්මයන්.

සංඝරත්නයේ උතුම් ගුණයන් තුළින් පිංවත් ඔබට ධම්මානුපස්‌සනාව මතු කරගන්න පුළුවන්. ධම්මානුපස්‌සනාවේ අනිත්‍ය භාවය මතුකරගන්න පුළුවන්. එයත් සංඝරත්නය සතු ඤායපටිපන්න ගුණයක්‌ වෙනවා. මහා සංඝරත්නයේ ඤායපටිපන්න ගුණය නිසා සකස්‌වෙන ඵලය තමයි සාමීචිපටිපන්න ගුණය. සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණය කියල කියන්නේ සංඝරත්නයේ සද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන් තුළ ශක්‌තිමත් වෙමින් ලෝකයාට එම ධර්මතාවන්ගේ වටිනාකම කියල දීමයි. එම ධර්මතාවයන් වඩවා ගන්නා මාර්ගය දේශනා කිරීමයි. සංඝරත්නය තමන් උතුම් ප්‍රාතිමෝක්‌ෂ ශීලයෙන් ශක්‌තිමත් වෙමින් ශීලයේ වටිනාකම ලෝකයට කියලා දෙනවා. තමන් සමාධිය තුළ ශක්‌තිමත් වෙමින් සමාධිමත් භාවයේ වටිනාකම ලෝකයට කියලා, තමන් ආර්ය ශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව තුළ ජීවත් වෙමින් එහි වටිනාකම ලෝකයට කියලා දෙනවා. තමන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ශක්‌තිමත් වෙමින් ලෝකයට ආර්යය අශ්ඨාංගික මාර්ගය විස්‌තර වශයෙන් කියල දෙනවා. සාමීචිපටිපන්න ගුණයේ ඇති ප්‍රධානම ලක්‍ෂණය තමයි, මුලින්ම තමන් අදාළ ධර්මයන් තුළින් පරිපූර්ණ වෙලයි, අවබෝධය ලබලයි, අවම වශයෙන් අවබෝධය ලබන මාර්ගය තුළ උත්සාහ කරමිනුයි එම ධර්මයන් අන්‍යයන්ට දේශනා කළ යුත්තේ.

බුදුරජාණන් වහන්සේ කියන අර්ථයෙනුයි ධර්මරත්නය ලෝකයට බිහිවෙන්නේ. ධර්මරත්නය කියන අර්ථයෙනුයි ලෝකයට සංඝරත්නය බිහිවෙන්නේ. සංඝරත්නය කියන උතුම් අර්ථයේ තිබෙන සාමීච්පටිපන්න ගුණයෙනුයි, මෙය සටහන් තබන භික්‍ෂුවත් උතුම් සංඝරත්නය නමැති පිරිසට එකතු වුණේ. මහා සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණයයි අනාගතයේදී ලෝකයට තව තවත් අධිගමලාභීන් සහ සුගතිය තරණය කරන්නන් බිහිකරන්නේ. සංඝරත්නය කියන අර්ථයේ තිබෙන නොපිරිහෙන ගුණය ආශ්චර්යමත් හේතුඵල ධර්මයක්‌.

සංඝරත්නය සුපටිපන්න ගුණයෙන් ජවය ලබලයි තිබෙන්නේ. උජුපටිපන්න ගුණයෙන් පෝෂණය වෙලයි තියෙන්නේ. ඤායපටිපන්න ගුණයෙන් සන්නද්ධ වෙලයි තිබෙන්නේ. සාමීචිපටිපන්න ගුණයෙන් ලෝකයට නොතැවරෙන ස්‌වභාවයට විවෘතකොට ගෙනයි සිටින්නේ. සංඝරත්නය කියන මේ ශක්‌තිමත් යකඩ පවුරු හතර බිඳගෙන, සිදුරුකරගෙන කෙළෙස්‌ දිය නැවත වෑහෙන්නේ නැහැ. කෙළෙස්‌ උල්පත් සිඳලාමයි තිබෙන්නේ. ඒ නිසාම මහා සංඝරත්නය ගිහි පිංවතුන්ලාට ධර්මයන් දේශනා කරන්නේ, සිව්පසය පිළිගන්නේ, තැවැරෙන්නේ නැති නොතැවැරෙන ස්‌වභාවයෙන් සිටිමින්මයි. කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ පායාසි කියන රජතුමාට දේශනා කරනවා ‘රජතුමනි ඔබ සේනාව පිරිවරාගෙන නියම්ගම් සැරිසරන වේලාවක ඔබට පෙනෙනවා මනුෂ්‍යයෙක්‌ වැසිකිළි වළක වැටිල සිටිනවා. ඔහුගේ මුළු ශරීරයම අශූචි තැවරිලයි තිබෙන්නේ. මේ අසරණ මනුෂ්‍යයා දැකලා රජතුමා රාජ පුරුෂයන්ට නියෝග කරනවා මේ මනුෂ්‍යයාව අශූචි වළෙන් ගොඩට අරගෙන ජලයෙන් නහවන්න’ය කියල. දෙවැනිව මේ මනුෂ්‍යයාගේ ශරීරයේ තැවරී ඇති අශූචි ගඳ යැමට ශරීරයේ මඩ තවරන්නය කියල. තුන්වැනුව නැවතත් මේ මනුෂ්‍යයා ජලයෙන් නානවා. සුවඳ පැනින්ද නාවන්නය කියල. ඊළඟට මේ මනුෂ්‍යයාට පිරිසිදු ඇඳුම් අන්දවලා සුවඳ විලවුන් තවරලා, රජමැඳුරේ ඉහළ මාලයේ ආසනයක්‌ පනවලා වාඩිකරන්නය කියල. කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ පායාසි රජුගෙන් අහනවා පිරිසිදු වී රජමැඳුරේ වාඩිවී සිටින මනුෂ්‍යයාට නැවත ඒ අශූචිවලට බහින්නය කියලා කිව්වොත් ඔහු අශූචිවලට බසීද කියලා. රජතුමා කියනව එය කවදාවත් නොවන දෙයක්‌ය කියලා. මහා සංඝරත්නය තමන් පිළිසිඳ දැනගත් සුපටිපන්න නමැති අර්ථයේ නිදහස, සැහැල්ලුව, එපාය කියලා ගිහිජීවිතය නමැති අශූචිවලට නැවත බසින්නේ නැහැ. එය ධර්මතාවක්‌ය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

සාමීචිපටිපන්න ගුණයෙන් යුක්‌ත වූ සංඝරත්නය නිරතුරුවම ගිහි පිංවතුන්ලාට කාමයන්ගේ නිසරු බවත්, උතුම් පැවිදි ජීවිතයේ අර්ථවත් බවත්, කුසල් ධර්මයන්ගේ අර්ථවත් බවත් දේශනා කරමින් ගිහි පිංවතුන්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමුකරනවා. එය සංඝරත්නයේ උතුම් සාමීචිපටිපන්න ගුණය වෙනවා. සංඝරත්නය සතු සාමීචිපටිපන්න ගුණය සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව උදෙසා අත්‍යවශ්‍ය ධර්මතාවක්‌ වෙනවා.