ඔබ ඇසුණ, දුටුව, දැනුණ තැන නැවතුණු බුදුන්ගේ දරුවෙක්‌මය

ඵස්සය

අතීතයේ, වර්තමානයේ, ඔබ දැක්‌කා වූ, ඇසුණා වූ, දැනුණා වූ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍යනම්, අනිත්‍ය වී ගියා නම්, පිංවත් ඔබ ඔබේ ඇසෙන්, ඔබේ කනෙන්, ඔබේ දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්, මනසින් ‘මට අනාගතයේදී මෙවැනි දේ දකින්නට ලැබේවා, අසන්නට ලැබේවා, මට අනාගතයේ මෙවැනි මටසිලුටු දැනීම් ලැබේවා’ කියලා ඔබ යම් බලාපොරොත්තුවක්‌ ඇතිකර ගතහොත්, එම බලාපොරොත්තුව නිත්‍ය වේද, අනිත්‍ය වෙයිද? අතීතයේ, වර්තමානයේ ඔබ දැක්‌කා වූ, ඇසුණා වූ, දැනුණා වූ සෑම ධර්මතාවක්‌ම වෙනස්‌වී ගියා නම්, විකෘති වී ගියා නම්, ජරා ව්‍යාධි මරණ බවට පත්වී ගියානම්, අනාගතයේ ඔබ දකින්නට, අසන්නට, දැනෙන්නට බලාපොරොත්තු වන සෑම ඵස්‌සයක්‌ම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි…. වශයෙන් දකිමින් අතීත, වර්තමාන, අනාගත ඵස්‌සය කෙරෙහි අවබෝධයෙන් යුතුවම කලකිරීම ඇතිකොට ගන්න. ඵස්‌සය කියන ධර්මතාව නිත්‍යභාවයෙන් ගැනීම නිසාම, ඵස්‌සය මගේ කොටගැනීම නිසාම, සංසාරයක්‌ පුරාවට ඔබ වින්දාවූ දුක්‌ කන්දරාව නුවණින් දකින්න.

ඵස්‌සයේ අනිත්‍යභාවය පුහුණු නොකිරීම නිසාම, අතීතයේ ඔබ මියගිය සෑම ජීවිතයකදීම, කුසලය නිසා හෝ අකුසලය නිසා, ඔබට අරමුණු වන චුති සිතට ඔබ බැඳී යනවා. කුසලය නිසා ඔබට ඵස්‌සය වන දිව්‍ය රූප, දිව්‍ය ආලෝක, දිව්‍ය මල්ගොමුවලට බැඳී යනවා. දිව්‍ය ශබ්ද, දිව්‍ය තූර්යවාදන හඬට, දිව්‍ය පිරිත් සඡ්ඡායනයට, අවසාන චුති සිතේදී බැඳී යනවා. දැක්‌ක දෙය, ඇසුණු දෙය, දැනුණු දෙය, අනිත්‍ය වූ ඵස්‌සයක්‌ය කියලා දකින්න දක්‍ෂ නැහැ. මැරෙන වෙලාවේ අවසාන චුති සිතට, ඔබේ ගේ දොර, ඉඩකඩම්, බිරිඳ, දරුවන්, මුණුපුරන් දැක්‌කොත්, ඔබ එම රූපයන්ට බැඳී නිවසේම, ඉඩමේම ප්‍රේත ජීවිතයක්‌ ලබනවා.

ඔබේ චුති සිතට අරමුණු වූ රූපය දැක්‌කාය කියන තැන නවතින්න ඔබ දක්‍ෂ වුණේ නැහැ. ඇයි අතීතයේ මෙහෙම වුණේ. ඵස්‌සයේ අනිත්‍යභාවය පුහුණු නොවීම නිසාමයි. ඵස්‌සයට සකස්‌ වීමට හේතු වන, රූපයේ අනිත්‍යභාවය නොවැඩුව නිසාමයි. පිංවත් ඔබ මේ ලැබුණා වූ ජීවිතයේදී අකුසල් අවම කොටගෙන, කුසලය ශක්‌තිමත් කොට ගන්නත්, කුසලයන් අකුසලයන් තුළින් සකස්‌ වෙන අවසාන චුති සිත, අනිත්‍ය වශයෙන් දකින්නත්, වර්තමානයේ දකින, ඇසෙන, දැනෙන, සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය වශයෙන් දකින්න පුහුණු වෙන්න. අතීත, වර්තමාන ඵස්‌සය අනිත්‍ය නම්, අනාගත ඵස්‌සයන් කෙරෙහි කලකිරීම ඇතිකොටගන්න.

පංචඋපාදානස්‌කන්ධ ධර්මයේ තීරණාත්මක ධර්මතාව තමයි, ඵස්‌සය. ඵස්‌සය කියන ධර්මතාව සකස්‌ වෙන්නේ මාර බලවේග තුනක එකතුවෙන්. ආධ්‍යාත්මික රූපය කියන්නේ මාරයා. බාහිර රූපය කියන්නෙත් මාරයා. විඤ්ඤාණය කියන්තෙත් මාරයා. මේ තියුණු මාර බලවේග තුන එකතුවයි, ඵස්‌සය කියන ධර්මතාව සකස්‌ කොට දෙන්නේ. ඵස්‌සය කියන ධර්මතාව සකස්‌ වීමේදී විඤ්ඤාණයේ ක්‍රියාකාරිත්වය අප්‍රකටව බලවත් වෙනවා. මේ අප්‍රකට ක්‍රියාකාරිත්වය නිසයි, බුදුරජාණන්වහන්සේ විඤ්ඤාණය මැජික්‌කරුවෙක්‌ වශයෙන් දේශනා කරන්නේ. ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීමෙන් භව නිරෝධය දෙසටත්, ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීමෙන් භවයටත් සත්ත්වයා බැඳ තබන නිසා, සත්ත්වයා භවයට ගාල්කිරීම උදෙසාම මාර බලවේග තුනක්‌ම, ඵස්‌සය ඉදිරියේ ශක්‌තිමත්ව සිටිනවා. පිංවත් ඔබ ඵස්‌සය නමැති මේ මාර බලවේග තුනවන ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් යන ධර්මතාවන් තුනෙන් සකස්‌වෙන දැක්‌කා, ඇසුණා, දැනුණා, සිතුණා කියන ධර්මතාවන් විවේකී මනසකින් යුතුව නිවැරදිව හඳුනාගෙන ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීමට පුහුණු වීම පංච උපාදානස්‌කන්ධය අනිත්‍ය වශයෙන් දැකීමටත්, ඒ දැකීම තුළින්ම උතුම් අධිගමයන් සාක්‍ෂාත් කොට ගැනීමටත් එකම මාර්ගය වෙනවා.

පිංවත් ඔබ ඵස්‌සය නමැති ධර්මතාවයේ අනිත්‍යභාවය ශක්‌තිමත්ව දැකීමට නම්, රූපයේ අනිත්‍යභාවය දැකීම පුහුණු කරන්නටම වෙනවා. රූපයේ අනිත්‍යභාවය දකින්නේ නැතිව, ඵස්‌සයේ අනිත්‍ය භාවය දකින්නට අපහසු වෙනවා. රූපයේ අනිත්‍යභාවය පිංවත් ඔබ මුලින්ම දකින්න. පිංවත් ඔබ රූපය කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනකොට විඤ්ඤාණයේ ක්‍රියාකාරිත්වයට ඔබ අභියෝග කළා වෙනවා. මේ හේතුඵල ධර්මයයි, පිංවත් ඔබට ඵස්‌සයේ අනිත්‍යභාවය දැකීම සහතික කොට දෙන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනාකර ඇති, ස්‌වාක්‌ඛාත ඥානය කියන්නේ මේ සෑම ධර්මතාවක්‌ම අනුපිළිවෙළට, එක පියවරක්‌ වැඩෙනකොට අනිත් පියවර වැඩෙන ආකාරය, එක පියවරක්‌ නිරෝධය වන විට අනිත් පියවර නිරෝධය වන ආකාරය හේතුඵල ධර්මතාවන්ට යටත්වයි ධර්මය දේශනාකොට තිබෙන්නේ. එමනිසා පිංවත් ඔබ රූපයේ අනිත්‍යභාවය පුහුණු කිරීමෙන් ලබන ඵලයන් තුළින්මයි, ඵස්‌සයේ අනිත්‍යභාවය දකින්න ශක්‌තිය සකස්‌කොට දෙන්නේ.

පිංවත් ඔබ පටාචාරාව පිස්‌සියක්‌ සේ නිරුවතින් බුදුරජාණන්වහන්සේ හමුවට පැමිණි අවස්‌ථාවේදී, මේ දර්ශනය දැක දායක පිරිස කලබලකාරී වෙද්දී ‘දැක්‌කාය’ කියන තැන නැවතී සිට බුදුරජාණන්වහන්සේ සිහිපත්කොට ගන්න. අන්‍ය ශාස්‌තෘවරු බුදුරජාණන්වහන්සේට අභූත චෝදනා එල්ලකොට චරිත ඝාතනයක්‌ සිදු කරද්දී මේ සෑම අභූත චෝදනාවක්‌ ඉදිරියේම ඇසුණා කියන තැන නතර වී සිටි බුදුරජාණන්වහන්සේව සිහිපත් කොටගන්න. දේවදත්ත හිමි, ගල්පරයක්‌ පෙරළා බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී ශරීරය තුවාල කිරීමේදී දැනුණු ඒ කටුක වූ වේදනාව ඉදිරියේ දැනුණාය කියන තැන නැවතී සිටි බුදුරජාණන්වහන්සේ සිහිපත් කොට ගන්න.

රූපය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළ තැන, විඤ්ණයේ ක්‍රියාකාරිත්වය අහිමි වෙලා යනවා. ඒ නිසාම එවැනි උතුමන්ට දැක්‌කා, ඇසුණා, දැනුණා යන ධර්මතාවන් හුදු අනිත්‍ය වූ ඵස්‌සයක්‌ පමණක්‌ම වෙනවා.

ඵස්සයට අදාළ කොටස මෙතැනින් නිමවේ.