අනිත්‍යය නොදැක අනාගතය රැස්‌කරන අදක්‍ෂයෙක්‌ නොවන්න

ඵස්සය

පංචඋපාදානස්‌කන්ධ ක්‍රියාවලියට අදාළව මීළඟ ධර්මතාව තමයි ඵස්‌සය. ඵස්‌සය කියලා කියන්නේ කාරණා තුනක එකතුවට. එම කාරණා තුන තමයි, ආධ්‍යාත්මික රූපය, බාහිර රූපය සහ විඤ්ඤාණය ඉහත කාරණා තුනේ එකතුවෙනුයි ඵස්‌සය කියන ධර්මතාව සකස්‌ වෙන්නේ.

ඵස්‌සය කියලා කියන්නේ දැක්‌කා, ඇසුණා, දැනුණා… කියන අර්ථයයි. බුදුරජාණන්වහන්සේ භාහියදාරුචීරියට දේශනා කරනවා ‘ඇසෙන් දැක්‌ක දේ දැක්‌කාය කියන තැන නවතින්න. කනට ඇසුණ තැන ‘ඇසුණා’ය කියන තැන නවතින්න. සිතට දැනුණු දෙය ‘දැනුණා’ය කියලා නවතින්න. දකින දෙය, ඇසුණු දෙය, දැනෙන දෙය නිරතුරුවම අනිත්‍යභාවයට පත්වෙනවා නම්, මේ ධර්මතාවන්ට බැඳෙන්න එපා කියලා බුදුරජාණන්වහන්සේ භාහියට කෙටි කමටහනක්‌ වශයෙන් දේශනා කරන්නේ.

පිංවත් ඔබ, ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඔබේ ආධ්‍යාත්මික රූපයන්ට බාහිර රූපයන් ඵස්‌සය වන මොහොතේම, එම ඵස්‌සය අනිත්‍ය වශයෙන් දකින්න. මේ ඵස්‌සය කියන ධර්මතාවන් අතීත, වර්තමාන, අනාගත වශයෙන් ඔබ අනිත්‍යය දකින්න දක්‍ෂවෙන්න ඕනේ.

ඔබ වර්තමානයේ ඇසෙන් යම් රූපයක්‌ දැක්‌කා නම්, එම රූපය නිත්‍යද? අනිත්‍යද?

පිංවත් ඔබ වර්තමානයේ, කනෙන් යම් ශබ්දයක්‌ ඇසුවා නම්, නාසයට යම් ගඳ සුවඳක්‌ දැනුණා නම්, එම දැනීම නිත්‍යද? අනිත්‍යද? වර්තමානයේ පිංවත් ඔබ මේ කුමක්‌ද කරමින් ඉන්නේ. අනිත්‍ය වන, වෙනස්‌ වන, ඵස්‌සය නිත්‍ය වශයෙන් ගන්නා. වර්තමාන ඵස්‌සය නිත්‍ය වශයෙන් ගැනීම නිසාම, සෑම නිමේෂයකදීම වර්තමානය අතීතය වෙත ගලාගෙන යන්නේ, අනාගතයට සංස්‌කාරයන් රැස්‌කරදීලා. ඒ අනාගතයත්, යම් දවසක වර්තමානයක්‌ බවට පත්වෙලා, නැවත අනාගතයට සංස්‌කාරයන් රැස්‌කොටදී අතීතයට එකතුවෙනවා. වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් නොදකින පිංවතා නිරතුරුවම අනාගතය රැස්‌කරගන්නා අදක්‍ෂයෙක්‌ වෙනවා. පිංවත් ඔබ වර්තමානයේ ඇසෙන් රූපයක්‌ දැක්‌කොත්, ක්‍ෂණයෙන්ම රූපය අනිත්‍යයි කියලා දකින්න දක්‍ෂවෙන්න. රූපය ගැන හැඩතල මවන්න යන්න එපා. ඔබ කැමැති, අකැමැති ශබ්දයක්‌ ඇසෙනකොට, අනිත්‍යයි කියලා දකින්න. පංචඋපාදානස්‌කන්ධ ධර්මයේ ඵස්‌සය කියන ධර්මතාව අනිත්‍ය වශයෙන් දකින සෑම මොහොතකම පිංවත් ඔබ අනාගත භවයට රැස්‌කරගන්නෙක්‌ වෙනවා.

පිංවත් ඔබ වර්තමානයේ දකින දෙය, ඇසෙන දෙය, දැනෙන දෙය, සිතෙන දෙය අනිත්‍ය වශයෙන් දකින මොහොතක්‌ පාසා, ඔබ වර්තමාන ඵස්‌සයේ අනිත්‍යභාවය දකින පිංවතෙක්‌ වෙනවා. පිංවත් ඔබ දෑස්‌ පියාගෙන ඵස්‌සයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න. වර්තමාන ඵස්‌සය කෙරෙහි කලකිරීම් ඇතිකොටගන්න.

භික්‍ෂුව වරක්‌ පෞද්ගලික බස්‌ රථයකින් දුර බැහැර පළාතකට වැඩමකරනකොට අතරමගදී අතරමගදී තවත් පිංවත් ස්‌වාමීන්වහන්සේනමක්‌ බස්‌ රථයට ගොඩවී භික්‍ෂුව අසලින්ම වැඩසිටියා. උන්වහන්සේත් ආරණ්‍යයකට වඩින ස්‌වාමීන්වහන්සේ නමක්‌. බස්‌ රථයේ සිටි තරුණ කොන්දොස්‌තර මහත්මයා කැසට්‌ රේඩියෝව ටිකක්‌ ශබ්දයෙනුයි දමා තිබුණේ. ඒ වෙලාවේ වාදනය වෙමින් පැවතියේ වේගරිද්ම සිංදුවක්‌. භික්‍ෂුව ගිහි කාලයේ එම සිංදුවට ගොඩාක්‌ ආසයි. මඟුල්ගෙවල්වලදී මම ඒ සිංදුවට ගොඩක්‌ නටලා තිබෙනවා. භික්‍ෂුව පෞද්ගලික බස්‌ රථයේ මේ වේගරිද්ම සිංදුව ඇසෙනකොට, භික්‍ෂුවට අතීත පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවයයි සිහිපත් වුණේ. සිංදුවට කන් යොමාගෙන නිහඬව අතීතයේ නැටුම්, ගැයුම්, වැයුම් අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකිමින් සිටියදී එක පාරටම භික්‍ෂුව අසල වැඩසිටි අනෙක්‌ ස්‌වාමීන්වහන්සේ ආසනයෙන් නැගිට කේන්තිගිය ස්‌වභාවයෙන් කොන්දොස්‌තර මහත්තයාටත්, රියැදුරු මහත්මයාටත් බැණවැදුණා, වහාම කැසට්‌ රේඩියෝව වසාදමන්නයි කියලා. එම ස්‌වාමීන්වහන්සේගේ ආවේගශීලී ක්‍රියාව දැක භික්‍ෂුව දැක්‌ක දෙය, ඇසුණ දෙය, අනිත්‍ය වශයෙන්මයි දකිමින් සිටියේ. මේ මොහොතේත් භික්‍ෂුවට එම සිද්ධිය අනිත්‍ය වූ ඵස්‌සයක්‌ පමණක්‌මයි. එම සිද්ධිය සිද්ධවෙන අවස්‌ථාවේදී එම ස්‌වාමීන්වහන්සේ ඒ ආවේගශීලී සිද්ධියට භික්‍ෂුවවත් හවුල්කරගන්න උත්සාහ කළා. භික්‍ෂුව උන්වහන්සේට ප්‍රකාශ කළේ ‘ස්‌වාමීන්වහන්ස, අපට ලෝකය හදන්නට බැහැ. අකීකරු ලෝකය දෙස බලලා, ඔබ වහන්සේ හැදෙන්න’ය කියන කාරණයි. අකීකරු ලෝකය දෙස බලලා, ඔබ හැදෙන්නයි කියලා කියන්නේ ඵස්‌සය අනිත්‍ය වශයෙන් දකින්න කියන කාරණයයි.

පිංවත් ඔබ වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් නොදකින තාත්කල්, ඔබට වර්තමාන අකීකරු ලෝකයෙන් ගැලවීමක්‌ නම් ලැබෙන්නේ නැහැ.