විඤ්ඤාණය
පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි ඇති නොදැනුවත්භාවය නිසාම, බුදුරජාණන් වහන්සේ කාරණා පහකට ගොනුකොට පෙන්වූ ලෝක ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය, අපි ඇසට පෙනෙන, කනට ඇසෙන, මනසට දැනෙන සංකීර්ණ වූ සම්මුති ලෝකය බවට පත්කොටගෙන පංච උපාදානස්කන්ධ ලෝකය තුළ සිටිමින් පංච උපාදානස්කන්ධ ධර්මයන් ගැන සොයනවා. එය හරියට ඇල්වතුර බොමින්, ඇල්වතුර කියන්නේ මොනවද කියලා සොයනවා වගේ වැඩක්. ඒ නිසාම පින්වතුන්ලා ප්‍රකාශ කරනවා, ධර්මය හරිම ගැඹුරුයි, සංකීර්ණයි කියලා. අසූහාරදහසක් ධර්මස්කන්ධය, සත්තිස් බෝධි පාක්‍ෂික ධර්මයන්…. මේවා කෙසේ පුහුණු කරන්නද කියලා. ධර්මය කෙරෙහි උකටලීභාවයට පත්වෙනවා. උතුම් ධර්ම මාර්ගය කෙරෙහි එම උකටලීභාවය ඇතිකොට දෙන්නේ කල්‍යාන මිත්‍රභාවයේ ඇති දුර්වලතාවය නිසාමයි.
පින්වත් ඔබ දෑස් පියාගෙන මේ සියලූම දෙවියන්, බ්‍රහ්මයන්, මනුෂ්‍යයන්, සතර අපායේ සත්ත්වයන් යනු අතීත සංස්කාරයන්ගේ ඵලයක්, මේ සමග අත්විඳින සැප, දුක්, උපේක්‍ෂාවන් යනු අතීත සංස්කාරයන්ගේ ඵලයක්, මේ හැම සංස්කාරයක්ම අනිත්‍යභාවයට පත්වෙනවා, වෙනස්වෙනවාය කියලා දකින මොහොතේම පින්වත් ඔබ තුළ, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල අසූහාරදහසක් ධර්මස්කන්ධය ඔබතුළ වැඩුනා වෙනවා. ඔබේ ජීවිතයට එකතුවුණා වෙනවා. සත්තිස් බෝධි පාක්‍ෂික ධර්මයන්ගෙන් බල ධර්මයන් හැර ඉතිරි සියළුම ධර්මයන් ඔබ තුළ වැඩුනා වෙනවා.
පින්වත් ඔබ නුවණින් කල්පනාකොට බලන්න, එක විනාඩියක් තුළ ඔබ සිතන ධර්මානුකූල මනසිකාරයක අසූහාරදහසක් වූ ධර්මස්කන්ධයම මතුවෙලා තිබෙනවා. සමාජයේ ඇති දෘෂ්ඨි මතවාද, තර්ක විතර්ක, හොඳ නරක, සැප දුක්…. මේ සා අවුල් ජාලාවක වෙලී ගිය ලෝකයක් පංච උපාදානස්කන්ධ ධර්මය තුළින් දැකලා, හේතුඵල ධර්මයන් නිසා සකස් වූ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින එකම අර්ථයෙන්, මේ මුලූ අවුල් වියවුල් ලෝකයම නිරෝධය කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. නමුත් පින්වත් ඔබට මේ අවුල් වූ ලෝකය තවම නිරවුල්කොට ගැනීමට නොහැකිවී ඇත්තේ, පින්වත් ඔබ තුළ ක්‍රියාත්මක වන්නේත්, අනුන් තුළ ක්‍රියාත්මක වන්නේත් පංච උපාදානස්කන්ධ මාරයා කියන කාරණය තේරුම් නොගැනීමය.
එමනිසා පින්වත් ඔබ, අනුන් මාරයා ලෙස දකිමින් තමන් දෙවියෙක් හැටියට නොදකිමින්, දෙපාර්ශ්වය තුළින්ම ක්‍රියාත්මකවෙන්නේ පංච උපාදානස්කන්ධ මාරයා බවම තේරුම් බේරුම්කොට ගන්න. එසේ නොවනතාක් කල් ධර්මයේ නාමයෙනුත්, භාවනාවේ නාමයෙනුත් පින්කම්වල නාමයෙනුත් පින්වත් ඔබ තව තවත් සංස්කාරයන්ම රැස්කොටගනිමින් විඤ්ඤාණය පෝෂණයකොට ගනිමින්, නැවත නැවත ලෝකය සකස්කොට ගැනීම ඒකාන්තයෙන්ම සිදුවනු ඇත. පින්වත් ඔබ පංච උපාදානස්කන්ධය නිත්‍ය වශයෙන් ගන්න මොහොතක් පාසා ලෝකය තුළ සංචාරකයකු බවටත්, පින්වත් ඔබ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් ගන්නා මොහොතක් පාසා ලෝකයෙන් නිවීම දෙසටත් ගමන් කරනු ඇත. පංච උපාදානස්කන්ධ ධර්මයට අදාළ මේ සටහන අවසන් කරන මොහොතේ භික්‍ෂුවට ගෞතම බෝධිසත්වයාණන්වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී ‘මගේ ලේ, මස්, සම්, නහර වියලේවා. මා උතුම් සම්මා සම්බෝධිය අවබෝධයෙන් තොරව නොනැගිටිමි’ යි යනුවෙන් අධිෂ්ඨානයක් ඇතිකරගත් මොහොත මතකයට නැගෙනවා. මෙතැනදී බෝධිසත්වයන් ජීවිතය මරණයට දැමීමයි සිද්ධ කරන්නේ. ජීවිතය මරණයට දැම්මා යනු රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණය කෙරෙහි ඇති තෘෂ්ණාව අතහැරීමයි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අතහැරීමයි.
බුදුරජාණන් වහන්සේගේ ඉහත ආදර්ශය ඔස්සේ භික්‍ෂුව, භික්‍ෂු ජීවිතය තුළ අත්දැකීමක් කෙටියෙන් මෙහි සටහන් තබනවා.
‘සංස්කාර මාරයා ඔබේ ජීවිතය උදුරාගැනීමට පෙරාතුව පින්වත් ඔබ ඔබේ ජීවිතය කෙරෙහි ඇති තෘෂ්ණාව අතහරින්න. පින්වත් ඔබ නිවීමේ අවබෝධය ලබා මාරයාව හිස් අතින් ගෙදර යවන්න’
ඉහතින් භික්‍ෂුව සටහන් කළේ පංච උපාදානස්කන්ධ ධර්මයෙන් කවදාහරි ඔබ ලබන අර්ථවත්ම ජීවමාන අත්දැකීමයි. චෝදනා කරන ලෝකයට, විවේචන කරන ලෝකයට, අඩුපාඩු සොයන ලෝකයට, විකෘතීන් කරන ලෝකයට නිදහසේ තව තව වැජඹෙන්නට ඉඩ හැර පින්වත් ඔබ ලෝකයට හොරෙන් ලෝකයෙන් නිවී යන උතුම් වූ කල්‍යාන මිත්‍ර ධර්මය යනු, පංච උපාදානස්කන්ධ ධර්මය අනිත්‍යවශයෙන් දැකීමේ සහ අවබෝධකොට ගැනීමේ ධර්මතාවයයි.
වස් සමය ගෙවී යන්න තව සති දෙකක් තිබෙනවා. අද උදෑසන භික්‍ෂුව පිණ්ඩපාතයට ගමට වැඩමකොට පිණ්ඩපාතය කරමින් සිටියදී කුඩා දරු සිඟිත්තෙක් වඩාගත්ත කාන්තාවක් ඇතුළු කාන්තාවන් දෙදෙනෙක් නිවසක් ඉදිරිපිටදී පිණ්ඩපාතය බෙදුවා. පිණ්ඩපාතය බෙදලා කුඩා දරුවා වඩාගත් තරුණ අම්මා ප්‍රකාශ කළා ‘ස්වාමීන් වහන්ස අද මගේ දරුවාගේ පළවෙනි උපන් දිනයයි’ කියලා. භික්‍ෂුව එම පුතනුවන්ට නිදුක් නීරෝගී සුවපත්භාවය, දීර්ඝායුෂ ලැබේවා කියලා පින් අනුමෝදන්කොට ඉවතට වැඩම කරනකොට එම අම්මා තම සිඟිති පුතු සිප ගනිමින් සතුටින් කියනවා ‘ස්වාමීන් වහන්සේ පුතාට දීර්ඝායුෂ ලැබේවා කියලා කිව්වා’ ය කියලා. අම්මාගේත් දරුවාගේත් සෙනෙහස භික්‍ෂුවට ඇසුණ මොහොතේ භික්‍ෂුව තුළ ඇතිවුණ සිතිවිල්ල පහත සටහන් තබමින් පංච උපාදානස්කන්ධ ධර්මය ගැන සටහන මෙලෙස අවසන් කරනවා.
තෘෂ්ණාවෙන් උපන් බබා…
තෘෂ්ණාවේ මව් කිරි අම්මාට පොවන බබා…
සංස්කාරයන්ට කණවැල අල්ලන බබා..
අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයේ අපි දෙදෙනාම දුක් නැමති දුක රජ කිරුළ දරමු බබා….
සෑම අම්මා තාත්තා කෙනෙක්ම පින්වත් ඔබේ දරුවන්ටත් මේ අදහස ගලපා බලන්න දක්‍ෂ වෙන්න!