විඤ්ඤාණය
අතීත දීර්ඝ භව ගමනේ පටිච්චසමුප්පන්නව ‘උපාදාන පච්චයා භවෝ ‘ කියන ධර්මතාව තුළ සකස්‌වුණා වූ සෑම චුති චිත්තයක්‌ම, සෑම ප්‍රතිසන්ධි චිත්තයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස් වී ගියා. විකෘති වී ගියා. පිංවත් ඔබ දෑස් පියාගෙන අතීතයේ සත්ත්වයෙක් ලෙස ඔබ තුළ සකස් වූ සෑම චුති චිත්තයක්‌ම, සෑම ප්‍රතිසන්ධි චිත්තයක්‌ම වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. සංස්‌කාරයන් අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම සංස්‌කාර හේතුවෙන් සකස්‌වෙන විඤ්ඤාණය වෙනස් වී යනවා. පටිච්චසමුප්පන්නව භවය සකස්‌කොට දෙන විඤ්ඤාණය නමැති මැජික්‌කරුවාගේ අනිත්‍යභාවය, වෙනස් වන ස්‌වභාවය නුවණින් දකිමින් අතීත, වර්තමාන, අනාගත විඤ්ඤාණය කෙරෙහි කලකිරීම ඇතිකොටගන්න.
පිංවත් ඔබ පටිච්චසමුප්පන්නව හේතුඵල ධර්මයන්ට අනුව භවයෙන් භවය සකස්‌කොට දෙන විඤ්ඤාණයේ සියුම්, උපක්‍රමශීලී ක්‍රියාකාරිත්වය නුවණින් දකින්න. විඤ්ඤාණයේ සියුම් උපක්‍රමශීලී ක්‍රියාකාරිත්වය නුවණින් නොදකින නිසාම විඤ්ඤාණය හේතුවෙන් සකස්‌වෙන නාමරූපයන්ට පුද්ගලයා බැඳී යනවා.
භික්‍ෂුව මුණගැසීමට පැමිණි පිංවතුන් කණ්‌ඩායමක සිටි වයස අවුරුදු තුනක පමණ දැරියක් වැඩිහිටියන්ගේ පෙළඹවීමකින් තොරව භික්‍ෂුවට පසඟ පිහිටුවලා වන්දනා කළා. ඒ වෙලාවේ භික්‍ෂුව ප්‍රකාශ කළා මේ දරුවා නම් පෙර ජීවිතයේ හොඳ, වයසක උපාසකම්මා කෙනෙක් වගේය කියලා. භික්‍ෂුව මෙම කාරණය කියනකොටම එම දැරියගේ පිංවත් අම්මා ගැටුණ ස්‌වභාවයක් ප්‍රකාශ වුණා, ‘මගේ දරුවා වයසක උපාසකම්මා කෙනෙක් නොවේ’ ය කියලා. විඤ්ඤාණය මගේකොට ගත් තැනදී විඤ්ඤාණය හේතුවෙන් සකස්‌වෙන නාම රූප ධර්මයන් මගේ කොට තෘෂ්aණාවෙන් ගන්නවා. නාම රූප ධර්මයන් ආත්මය කර ගන්නවා. එවිට ආත්මය තුළ මම සිටිනවාය කියලා ගන්නවා. නාම රූප ධර්මයන් මගේ කොට ගැනීමේදී සලායතන මගේ කොට ගන්නවා. ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් එකම අවයවයක් කර දකිනවා. අම්මාත් දරුවාත් එකම ආත්මයක කොටසක් බව අයෝනිසෝ මනසිකාරයෙන් දකිනවා. දරුවාගේ ජීවිතය අම්මාගේ ජීවිතය කොට දකිනවා. පටිච්චසමුප්පාද ධර්මය තුළ ජීවිතය විසිරුවා දකින්න දක්‍ෂ නැහැ.
පිංවත් ඔබේ හෘද සාක්‍ෂියෙන් ප්‍රශ්න කරන්න. ඔබ මේ මගේ කොටගෙන සුරතල් කරන දරුවා කව්ද කියලා. කව්ද මේ දරුවා…? තෘෂ්ණා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති… මෙන්න හමුවෙනවා දරුවා කවුද කියලා. දරුවා කියන්නේ තෘෂ්ණාවේ, ලෝභකමේ, මසුරුකමේ, කෑදරකමේ ඵලයක්. මෙය සටහන් තබන භික්‍ෂුවට නම් ලෝභකම, තෘෂ්ණාව එපාම එපා. එහෙත් පිංවත් ඔබ තුරුල් කරගෙන නලවනවා….
තෘෂ්ණාව හේතුවෙන් උපන් බබාලා නිසා අම්මලා තාත්තලා තව තවත් තෘෂ්ණාව වැඩිකොට ගන්නේ, පටිච්චසමුප්පාද ධර්මය තුළ ජීවිතය විසුරුවා දකින්න අපි තුළ ඇති අදක්‍ෂභාවය නිසාමයි. මෙය සටහන් තබන භික්‍ෂුවට තමන්ගේ මියගිය දෙමාපියන් සිහිපත්වෙන කොට, එම ජීවිත පටිච්චසමුප්පාද ධර්මයේ අර්ථයන් පමණක්‌මයි. අපේ අම්මලා, තාත්තලා, දරුවා නමැති බාහිර රූපයන් නිසා මොනතරම් අනාගත දැනීම් ඇතිකරගෙන , සිහින මාලිගාවල ජීවත්වෙනවා ද. මගේ දරුවා අනාගතයේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයෙක්….. දෙමාපියන් මෙසේ ඇතිකොට ගන්නා අනාගත දැනීම්, එසේත් නැති නම් විඤ්ඤාණයන් අනිත්‍ය වී යනකොට, වෙනස් වී යනකොට, දුකම ජීවිතයකොට ගන්නවා. හදිසි අනතුරකින් පාසල් දරුවෙක් මියගිය අවස්‌ථාවකදී, එම දරුවාගේ දේහය බදාගෙන මවත් වැළපෙනවා, පුතේ උඹ මගේ අනාගත සිහින මාලිගා සේරම බිඳදැම්මාය කියලා. අම්මා ඇතිකොටගත් අනාගත විඤ්ඤාණයන් ගැන ඇයගේ වර්තමාන විඤ්ඤාණය කතාකරනවා.
දැන් පිංවත් ඔබට හොඳින්ම වැටහෙනවා ඇති, විඤ්ඤාණය කියන ධර්මථාවයේ අර්ථය කුමක්‌ද කියලා. ඉහතින් භික්‍ෂුව සටහන් කරන ලද පංචඋපාදනස්‌කන්ධ ධර්මයේ සරලම අර්ථය වෙන්නේ, ඔබ ඇසෙන් රූපයන් දකිනවා, කනෙන් ශබ්දයන් අසනවා, දිවෙන් රසයන් දැනගන්නවා- ‘ඵස්‌සය’ . ඔබ දැක්‌ක දෙයට, ඇසුණ දෙයට, දැනුන දෙයට, ඇලෙනවා, ගැටෙනවා, උපේක්‍ෂාසහගත වෙනවා- ‘වේදනාව’. ඇලුණු, ගැටුණු, උපේක්‍ෂාසහගත වෙච්ච දෙය ඔබ හඳුනාගන්නවා- ‘සංඥාව’ . හඳුනාගන්නා දෙය ගැන ඔබ සිතනවා – ‘සංස්‌කාර’. සිතන දෙය ඔබ දැනගන්නවා. එසෙත් නැති නම් විශේෂ වූ දැනීමක් ඇතිකොට ගන්නවා. ‘විඤ්ඤාණය’ හේතුඵල ධර්මයන් නිසා හටගෙන නිරතුරුව වෙනස්‌වන, අනිත්‍යභාවයට පත්වන ධර්මතාවය පහක් සත්ත්වයා නිත්‍යභාවයෙන් ගැනීම නිසාම දුක කියන කාරණය සකස්‌කොට ගන්නවා.