හඳුනාගැනීම කාලයට අනුව වෙනස්‌වන හැටි දකින්න

සංඥාව

පිංවත් ඔබ පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළව ඇසෙන් රූපයක්‌ දකිනවා. කනෙන් ශබ්දයක්‌ අහනවා, නාසයට ගඳ සුවඳත් දැනෙනවා, දැක්‌ක දෙයට, ඇසුණ දෙයට, ඔබ ඇලෙනවා ගැටෙනවා උපේක්‍ෂා සහගත වෙනවා. ඇලුණ ගැටුණ උපේක්‍ෂා සහගත වුණ දෙයට ඔබ මොකද කරන්නේ. ඔබ හඳුනාගන්නවා. හඳුනා ගන්නවා කියල කියන්නේ සංඥාවට. වේදනාව නිසා සකස්‌ වූ ඵලයයි, සංඥාව හෙවත් හඳුනාගැනීම. ‘වේදනා නිරෝධා සංඥා නිරෝධෝ’

පිංවත් ඔබ දැන් බොහෝම සියුම්ව ඔබ තුළ සිදුවන පංච උපාදානස්‌කන්ධ ක්‍රියාවලියට අදාළ මුල් සිදුවීම් පෙළ නුවණින් දකින්න. මුලින්ම ඔබ ඇසෙන් රූපයක්‌ දකිනවා. දැක්‌ක රූපයට ඔබ ඇලෙනවා ගැටෙනවා. නැතිනම් උපේක්‍ෂා සහගත වෙනවා. තෙවැනිව ඔබ එම රූපය හඳුනාගන්නවා. මේ මගේ තාත්තා, අම්මා, නංගී මල්ලී කියල හඳුනාගන්නවා.

මනුෂ්‍යයෝ සියයක්‌ සිටින තැන ඔබේ අම්මා සිටියොත් එක ක්‍ෂණයෙන්ම ‘මේ මගේ අම්මා’ කියල හඳුනාගන්නවා. මේ සුදුපාට, රතුපාට, නිල්පාට වශයෙන් හඳුනාගන්නවා. මොහු ජපන් ජාතිකයෙක්‌, මොහු ඇමරිකානු ජාතිකයෙක්‌ වශයෙන් හඳුනාගන්නවා. දැන් පිංවත් ඔබ නුවණින් මෙනෙහි කර බලන්න. ඔබ වර්තමානයේ යම් රූපයක්‌ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් මනසින් හඳුනාගත්තා නම් ඒ සෑම හඳුනා ගැනීමක්‌ම අනිත්‍යයි නේද? මේ මොහොතේ මනුෂ්‍යයෙක්‌ වශයෙන් හඳුනාගත් රූපයක්‌ ඊළඟ මොහොතක දෙවියෙක්‌, ප්‍රේතයෙක්‌, තිරිසන් සතෙක්‌ වෙන්න පුළුවන්. මේ මොහොතේ නිල් පැහැයට තිබෙන ආකාසය ඊළඟ මොහොතේ කළු පැහැ ගැන්වෙන්න පුළුවන්. මේ මොහොතේ ජපන් ජාතිකයෙක්‌ ලෙස හඳුනාගත් රූපය, ඊළඟ මොහොතේ මියගොස්‌ අප්‍රිකානු ජාතිකයෙක්‌ වෙන්න පුළුවන්. වර්තමානයේ පිංවත් ඔබ තුළ සකස්‌ වෙන්නා වූ සෑම සංඥාවක්‌ම, හඳුනාගැනීමක්‌ම වෙනස්‌ වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. විකෘති වෙලා යනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සංඥාව තුළත්, විඤ්ඤාණය බැසගෙන සිටිනවාය කියලා. එක පිංවත් දරුවෙක්‌ සිටිනවා, එම දරුවා කුඩා ළමා කාලයේදීම කිසිම මස්‌ මාංශ වර්ගයක්‌ ගෙදරට ගෙනෙන්නට දෙන්නේ නැහැ. මේ දරුවාට මස්‌ මාංශ හරිම පිළිකුල්. නමුත් කවුරුවත්ම, ඒ දරුවට මස්‌ මංශවල ගුණ අගුණ කියා දීලත් නැහැ. මස්‌ මාංශවලට අදාළ කිසිම දේශනයකට, පාඩමකට මේ දරුවා සවන් දීලත් නැහැ. දෙමාපියනුත් නිර්මාංශ පිංවතුන් නොවේ. නමුත් මේ දරුවා පෙර ජීවිතයේදී දැඩි නිර්මාංශ දෘෂ්ඨියක්‌ ගත්ත පිංවතෙක්‌. දරුවාගේ වර්තමාන හඳුනාගැනීම් තුළ, පටිච්ඡසමුප්පන්නව සකස්‌වෙන විඤ්ඤාණය බැසගෙන තිබෙනවා.

එක පිංවත් මහත්මයෙක්‌ සිටිනවා, එම මහත්මයා ටිකක්‌ විරුපී මහත්මයෙක්‌. ගොඩක්‌ ප්‍රශ්න අතර සිරගත වූ මහත්මයෙක්‌. ඒ මහත්මයා ගින්දර සමග, ගිනි රස්‌නය සමග මුහුන් කරන රැකියාවක්‌ තමයි තමන්ගේ ආදායම් මාර්ගය හැටියට සොයාගත්තේ. එක්‌කෝ පාන් බේකරියක, තේ කර්මාන්තශාලාවක දර උදුන නැතිනම් යකඩ උණුකරන රැකියාවක්‌, කම්මල් රැකියාවක්‌. ගින්දරත් සමග කෙරෙන හඳුනාගැනීම්වලට මොහු හරිම කැමැත්තක්‌ දක්‌වනවා. මොහු පෙර ජීවිතයක දීර්ඝ කාලයක්‌ ගිනි නිරයක සිට මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුව පිංවතෙක්‌. පටිච්ඡසමුප්පන්නව සකස්‌වෙන විඤ්ඤාණය, සංඥාව හඳුනාගැනීම් තුළ බැසගෙන තිබෙනවා.

එක පිංවත් පිරිමි දරුවෙක්‌ සිටිනවා. එම සිඟිති දරුවා, තමන් පිරිමින් යැයි හඳුනාගත් අයගේ අතට පමණයි යන්නේ. අම්මා ළඟ නැලවෙන්න, අම්මා ළඟ නිදාගන්න මේ දරුවා කැමති නැහැ. තාත්තාගේත් පිරිමි පක්‍ෂයේ ඥාතීන්ගේත් අතට තමයි මේ දරුවා වැඩිපුර යන්නේ. පිරිමි පක්‍ෂයේ හඳුනාගැනීම් වලටයි වඩාත් කැමති. මේ දරුවා පෙර ජීවිතයේ කාමයන්ට අදාළ ශිල්පද හොඳින් ආරක්‍ෂා කරගත් භික්‍ෂුවක්‌. පටිච්ඡසමුප්පන්නව සකස්‌වෙන විඤ්ඤාණයේ ‘රුව ගුණ’ වර්තමාන සංඥාව, හඳුනාගැනීම තුළ බැසගෙන සිටිනවා.

පිංවත් ඔබ වර්තමාන සංඥාවන්ගේ අනිත්‍යභාවය දකිමින් අනිත්‍ය සංඥාවට, එසේත් නැතිනම් හඳුනාගැනීම්වලට සිත යොමු කරන්න. ඔබ මවුකුසේ සිටීම මොනතරම් ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් හඳුනාගැනීම් ඇතිකොටගන්න ඇතිද. ඔබ මව්කුසේ සිටියදී ඔබ පෝෂණය වුණු ගර්භාෂය ‘මේ මගේ නිත්‍ය වූ නිවහන, ස්‌ථානය’ වශයෙන් හඳුනාගත්තා මතකද? මේ අම්මාගේ කටහඬ, මේ තාත්තාගේ කටහඬ, මේ අම්මාගේ උණුසුම, මේ තාත්තාගේ උණුසුම කියා ඔබ හඳුනාගත්තා මතකද? මේ මව්කිරි, මේ පිටිකිරි කියා ඔබ හඳුනාගත්තා මතකද? මේ බෝනික්‌කෙක්‌, මේ හාවෙක්‌ කියා හඳුනාගත්තා මතකද? මේ එකේ පංතියේ ගුරුතුමිය, මේ දෙකේ පංතියේ ගුරුතුමිය වශයෙන් හඳුනාගත්තා ඔබට මතකද? මේ සාමාන්‍ය පෙළ විභාගය, මේ උසස්‌ පෙළ විභාගය කියලා හඳුනාගත්තා මතකද.

මේ හැම අතීත හඳුනාගැනීමක්‌ම, සංඥාවක්‌ම වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. සෑම අතීත හඳුනාගැනීමක්‌ම අනිත්‍ය වී ගියා. විකෘති වී ගියා. අහිමිවී ගියා. පුංචි කාලයේ, ළමා කාලයේ ඔබ හඳුනාගත්තේ ඔබේ එකම ආරක්‍ෂකයා අම්මා තාත්තාය කියලා. ඔබ විවාහ වුණාට පස්‌සේ ඒ අතීත හඳුනාගැනීම වෙනස්‌වෙලා, ඔබේ ආරක්‍ෂකයා බවට පත්වූයේ බිරිඳ හෝ ස්‌වාමිපුරුෂයායි. ඔබ වයසට යනකොට එසේත් නැතිනම් කළ්‍යාණමිත්‍ර ආශ්‍රය ලබනකොට ආයෙමත් මේ හඳුනාගැනීම වෙනස්‌ වෙනවා. මගේ ආරක්‍ෂකයා වශයෙන් හඳුනාගත් අම්මා තාත්තා බිරිඳ ස්‌වාමිපුරුෂයා මගේ සැබෑ ආරක්‍ෂකයා නොව, උතුම් සද්ධර්මයයි මගේ ආරක්‍ෂකයා කියලා හඳුනාගන්නවා. සෑම අතීත හඳුනාගැනීමක්‌ම මොහොතින් මොහොත වෙනස්‌ වෙනවා.

ඊයේ රතු පැහැතියි කියලා හඳුනාගත් ඇඳුම, ලබන වසරේ අවපැහැගැන්විලා යනවා. ඊයේ සත්පුරුෂයෙක්‌ කියලා හඳුනාගත් පුද්ගලයා හෙට දවසේ අසත්පුරුෂයෙක්‌ වශයෙන් හඳුනාගන්නවා. මෙයා නායකයෙක්‌ය කියලා හඳුනාගත් පුද්ගලයා ටික දවසකින් ‘සිරකරුවෙක්‌ය’ කියලා හඳුනාගන්නවා. රට, ජාතිය, ආගම, සුදු, කළු, හොඳ, නරක මේ සෑම අතීත හඳුනාගැනීමක්‌ම වෙනස්‌වී ගියා නම්, අනිත්‍ය වී ගියා නම්, නුවණින් දකිමින් අතීත හඳුනාගැනීම්වල අනිත්‍යභාවය මතුකොටගෙන නුවණින් විමසා බලන්න.