සැපත්, දුකත්, උපේක්‍ෂාවත් අනිත්‍යයෙන් විනිවිද දකින්න

වේදනාව

මෙය සටහන් තබන භික්‍ෂුවගේ වසර 44 වන ගිහි ජීවිතය පුරාවට භික්‍ෂුව වැඩියෙන්ම අත්වින්දේ දුක්‌ වේදනාවන්. මේ හැම දුක්‌ වේදනාවක්‌ තුළම, පටිච්ඡසමුප්පන්නව ගලාගෙන පැමිණෙන, සංස්‌කාර පච්ඡයා විඤ්ඤාන කියන ධමර්තාවය, මුසුවී තිබෙන බව පසුකාලීනව මට වැටහුණා. අතීත භවයන්හිදී පටිච්ඡසමුප්පන්නව කරගත් අකුසල් විපාකයන්, දුක්‌ වේදනාවන් හැටියට ජීවිතය ඉදිරියට පැමිණෙනකොට, දුක්‌ වේදනාවට හේතුව ධර්මානුකූලව හඳුනාගෙන තිබුණු නිසාම, මා ඉදිරියට පැමිණි හැම දුක්‌ වේදනාවක්‌ම, මම උපේක්‍ෂාව කියන තැනට ගන්න දක්‍ෂ වුණා. නමුත් ජීවිතයේ අත්වින්ද සැප වේදනාවන් නම් උපේක්‍ෂාව කියන තැනට ගන්න මම අපොහොසත් වුණා. එම නිසාම සැප වේදනාවන් තුළට නැවත නැවත කිඳාබසිමින්, එම සැම වේදනාවන්ද අසීමිතව අත්විඳීම තුළින්, දුක්‌ වේදනාවන් බවට පත්කොටගත්තා. අන්න ඒ දුක්‌ වේදනාවන් තමයි, දෙවැනුව උපේක්‍ෂාව කියන තැනට ගත්තේ. දැන් පිංවත් ඔබට වැටහෙනවා ඇති ගිහි ජීවිතයේදී මම සැම දුක්‌ වේදනාවක්‌ම අකුසල් විපාකයක්‌ වශයෙන් හඳුනාගෙන, සෑම දුක්‌ වේදනාවක්‌ම ඉදිරියේ මම උපේක්‍ෂාව කියන තැනට පැමිණියා.

නමුත් මා අත්විඳි සැපවේදනාවන්, ඒවා කෙරෙහි ඇති තෘෂ්ණාව නිසාම, ධර්මානුකූලව දකින්න ශක්‌තිය තිබුණේ නැහැ. සැප වේදනාවන් කෙරෙහි මා බැඳී ගියා. මෙම තත්ත්වය මා ජයග්‍රහණය කළේ, සැම සැප වේදනාවක්‌ම නැවත නැවත අත්විඳීම තුළින්, ඇතිවෙන නීරසභාවය මතුකොටගෙන, සැප වේදනාවද දුක්‌ වේදනාවක්‌ බවට පත්කොටගෙන, එම දුක්‌ වේදනාව අවසානයේ උපේක්‍ෂා විඳීමක්‌ බවට පත්කොටගත්තා. යම් පිංවතෙක්‌ සැප වේදනාවත්, දුක්‌ වේදනාවත් මුල් වටයේදීම අනිත්‍ය වශයෙන් දැකීමට යනවා නම්, එය ටිකක්‌ අසීරු කාරණයක්‌ වෙන්න පුළුවන්. එම නිසා පිංවත් ඔබ සෑම සැප වේදනාවක්‌ම, දුක්‌ වේදනාවක්‌ම තම තමන්ගේ දක්‍ෂභාවයත්, උපක්‍රමශීලීභාවයත් උපයෝගිකොටගෙන, මුල්වටයේදී උපේක්‍ෂා විඳීම් බවට පත්කොටගන්න. එය ඔබට පහසුවක්‌ වෙනවා වේදනාවේ අනිත්‍යභාවය දැකීමට. ඒ වගේමයි පිංවත් ඔබ යම් සැපවේදනාවක්‌, දුක්‌වේදනාවක්‌ අත්විඳීමේදී, එම විඳීම ධර්ම මනසිකාරයක්‌ තුළ සිටිමින් අත්විඳීමට දක්‍ෂ නම්, එතැනදී පිංවත් ඔබට ශක්‌තිය ලැබෙනවා, එම සැප දුක්‌ වේදනාවන්, උපේක්‍ෂා විඳීමක්‌ බවට පත්කොටගන්න.

එක පිංවත් යුවලක්‌ දිනක්‌ කුටියට පැමිණ, භික්‍ෂුවට දානයක්‌ පූජාකොට කුටියෙන් පිටත් වෙනකොට එම පිංවතිය ප්‍රකාශ කරනවා ‘දැන් නම් මළත් කමක්‌ නැහැ’ ය කියලා. බලන්න දානය නමැති සැප වේදනාවට බැඳී ගියා. මහා සංඝරත්නයට දන් පූජා කරලා, වේදනාව නමැති මාරයාට බැඳිලා නිවසට යනවා. වරක්‌ භික්‍ෂුව මුණගැහෙන්න පිංවතෙක්‌ ඇවිල්ලා, එයට ඉඩ ප්‍රස්‌ථාව නොලැබීම නිසා එම පිංවතා භික්‍ෂුවට දෝෂාරෝපණය කරමින් ගිහින් තිබෙනවා. බලන්න මහා සංඝරත්නය මුණගැහෙන්න ඇවිල්ලා, දුක්‌ වේදනාව නමැති මාරයාට බැඳිලා නිවසට යනවා. දිනක්‌ භික්‍ෂුව මුණගැහෙන්න පිංවතෙක්‌ ඇවිල්ලා, එම පිංවතාට භික්‍ෂුව මගහැරීම නිසා, මම හෙට උදේට කොහොම හරි ඇවිල්ලා භික්‍ෂුව මුණගැහෙනවා කියලා ගිහින් තිබෙනවා. බලන්න මහාසංඝරත්නය මුණගැහෙන්න ඇවිල්ලා, එම පිංවතා උපේක්‍ෂා වේදනාව කියන මාරයාට බැඳිලා ගෙදරට යනවා. මෙතැනදී උපේක්‍ෂා වේදනාව කියන්නේ තෘෂ්ණාවේ මදභාවය වුණත්, උපේක්‍ෂාව තුළත් මාරයා බැසගෙන සිටිනවාය කියන කාරණය, පිංවත් ඔබ හොඳින් තේරුම්ගත යුතුයි. ඉහතින් සඳහන් කළ තෙවැනි මහත්මයා, ස්‌වාමීන්වහන්සේ හමුවීම මගහැරුණාය කියලා නොගැටී, නොඇලී ‘හෙට උදේම ඇවිත් හමුවෙනවා’ය කියලා උපේක්‍ෂා සිතින් ගෙදර ගියා. නමුත් බලාපොරොත්තු සහගතව, හෙට උදෙත් ස්‌වාමීන්වහන්සේව මුණගැහෙන්න ඇවිත් ස්‌වාමීන්වහන්සේ මුණනොගැසුණොත්, අන්න උපේක්‍ෂ සහගත මාර සිත, ඔබව නැවතත් ගැටීමක්‌, එසේත් නැතිනම් දුක්‌ වේදනාවකට යොමු කරනවා.

ඇයි පිංවත් ඔබට මෙහෙම වෙන්නේ? ඇලීමත් ගැටීමත් උපේක්‍ෂාවත් කියන සෑම විඳීමක්‌ම අනිත්‍ය වශයෙන් දැකීමට ඇති අදක්‍ෂභාවය නිසාමයි.

වරක්‌ භික්‍ෂුව ස්‌වාමීන්වහන්සේ නමක්‌ මුණගැහෙන්න ගිය අවස්‌ථාවක උන්වහන්සේ මෙහෙම ප්‍රකාශ කළා.

‘ඔබවහන්සේ දැන් ජනප්‍රියයි නේද?’ එයට භික්‍ෂුව හිනාවෙන් ප්‍රතිචාර දැක්‌ වූවා.

‘ඒ වුණාට ඔබවහන්සේව හුඟක්‌ අය විවේචනය කරනවා නේද?’ එම ප්‍රකාශයටත් භික්‍ෂුව මුවගට සිනාවක්‌ නගාගත්තා.

‘ඒ වුණාට ඔබවහන්සේ කටයුතු හොඳින් කරගෙන යන්න’ එම ප්‍රකාශයටත් භික්‍ෂුව සිහින්ව සිනාසුනා.

ඔබට සිතෙන්නට පුළුවන්, ඇයි භික්‍ෂුව බොහොම සෙමින්, ඉහත අදහස්‌වලට මුවගට නගාගත් සිනහවකින්ම පමණක්‌ ප්‍රතිචාර දැක්‌වූවේ කියලා. භික්‍ෂුව දන්නවා මේ කථා කරන්නේ ඇලීම, ගැටීම, උපේක්‍ෂාව කියන තෘෂ්ණාවේ ඵලයක්‌ය කියලා. පිංවත් ඔබ මුහුණදෙන සෑම සැප, දුක්‌, උපේක්‍ෂා විඳීමක්‌ ඉදිරියේම, අනිත්‍යයි කියන දැක්‌ම ඇති කර ගැනීමට ඔබ දක්‍ෂනම්, එය වේදනාවේ අනිත්‍යභාවය පුහුණු කිරීමට හොඳ රුකුලක්‌ වෙනවා.