කායානුපස්සනාව – සතර මහා ධාතුවක් ලෙස කය දැකීම
කායානුපස්සනාවට අදාලව බුදුරජාණන් වහන්සෙ මීළඟට දේශණා කරනවා මේ රූපය සතර මහධාතුව හැටියට දකින්නය කියලා. කායානුපස්සනාවට අදාළව දෙතිස්කුණපය භාවනාවට ගැනීමේදී අපි රූපය කොටස් 32 ක් කරබැලුවා. සතරමහ ධාතුව හැටියට රූපය බැලීමේදී පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් රූපය කොටස් හතරකට සරලකොට ගන්නවා.
ශරීරයේ තද ස්වභාවයන් පඨවි ධාතුව වශයෙන්ද, ශරීරයේ වැගිරෙන දියර ස්වභාවයන් ආපෝ ධාතුව වශයෙන්ද, ශරීරයේ වායු ස්වභාවයන් වායෝ ධාතුව වශයෙන්ද, ශරීරයේ උෂ්ණත්වය නැතිනම් රස්නය ස්වභාවය තේජෝ ධාතුව වශයෙන්ද දකිනවා. පිංවත් ඔබේ ශරීරයට ලස්සන දවටනයක් ලබා දී තිබෙන්නේ පඨවි ධාතුවයි. එම ධාතුව ඔපවත්කොට, වර්ණවත්කොට ඇත්තේ ආපෝ ධාතුවයි. තේජෝ ධාතුව විසින් මේ කය පිළුණුභාවයට පත්වීමට ඉඩ නොදී, උණුසුම් කරනවා, ප්රකෘතිභාවයෙන් තබාගන්නවා. වායෝ ධාතුව මේ කය පුම්බා, හැඩ වැඩ කොට හැසිරවීමට ක්‍රියාත්මක වෙනවා. නව යොවුන් තරුණියකගේ, තරුණයකුගේ ශරීරයේ ලාලිත්‍යය, රිද්මය, ප්රභාශ්වරභාවය මට සිළුටු බව, ප්‍රසන්නභාවය නුවනින් දකිමින් සතර මහා ධාතුවේ තරුණ්යයත්, හැට වයස් ඉක්මවූ තාත්තා කෙනකුගේ අම්මා කෙනෙකුගේ සම රැළිවැටුණු, අවපැහැගැන්වුණු, ගොරෝසුවුණු සතරමහා ධාතුවේ අනිත්‍යභාවය, වෙනස් වීම නුවනින් දකින්න. ඔබේ සතරමහා ධාතුවේ අනිත්‍යභාවය දකිනවා වගේම, අන්‍යයන්ගේ සතරමහා ධාතුවේ අනිත්‍යභාවයද දකින්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
මේ සටහන තැබෙන දැන් වේලාව රාත්‍රී නවයට පමණ ඇති. ආහාරයෙන් හිස් වූ, භික්ෂුවගේ කුස තුළ වායෝ ධාතුව සිත් සේ ආක්‍රමණයක යෙදෙනවා. වායෝ ධාතුවට පුළුවන් පපුව තද කරන්න, හෘද වස්තුව රිදවන්න, හිස තද කරන්න, ඇස් දෙක බරකරන්න. පඨවි ධාතුවට පුළුවන් සීරීමක්, කැපීමක්, තුවාලයක් තුළින් මේ රූපය ඉදිමීමට ලක්කරන්න. සතරමහාධාතුවට යටත්වෙච්චි ජීවිතයක් මේක. පාලකයෙක්, පාලනයක් නැති වෙනස්වීම, අනිත්‍යය උරුමකරගත් සතර මහා ධාතුවක්.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංවත් ඔබ නිරතුරුවම සර්පයින් හතරදෙනෙක් පෝෂණය කරමින් සිටිනවාය කියලා. මේ සර්පයින් හතරදෙනාට නිරතුරුවම කවන්න, පොවන්න, නාවන්න, නිදිකරවන්න, බෙහෙත් දෙන්න ඕනේ. මේ සර්පයින් හතරදෙනාට උපස්ථානය නොකළොත් ඒ සර්පයින් කිපෙනවා, පහරදෙනවා. මේ සර්පයින්ගේ කිපීම තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ හැටියට අපි දකින්නේ. පිංවත් ඔබ නිරතුරුව පෝෂණය කරන, විෂකුරු සර්පයින් හතර දෙනා තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ හෙවත් සතරමහා ධාතුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ සතර මහා ධාතුව විෂකුරු සර්පයින් වශයෙන්ම දකින්න කියලා. මේ සර්පයින් කෙරෙහි බිය ඇතිකරගන්න කියලා. මේ සර්පයින්ගේ විෂ කියන්නේ කුසල් අකුසල් සංස්කාර. මේ සංස්කාර නමැති සර්ප විෂට පුළුවන් පිංවත් ඔබව කල්ප ගණන් භව ගමනේ ඈතට අරගෙන යන්න. මේ සතරමහා ධාතුවට ඇලීම නිසාත්, ගැටීම නිසාත්, අපි නිරතුරුව භවයට අදාළව සංස්කාර රැස් කොටගන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අනේපිඬු සිටුතුමාට මරණාසන්න මොහොතේ දේශනා කරනවා ‘සිටුතුමනි, මේ පඨවි ධාතුව ඔබට අයිති දෙයක් නොවෙයි. එය නිරතුරුවම වෙනස්වෙනවා, වේදනාදෙනවා, රිදුම්දෙනවා, ඉදිමෙනවා. එමනිසා ඔබ මේ පඨවි ධාතුවට බැඳෙන්න එපා. පඨවි ධාතුව නිසා යම් වේදනාවක් වේද, ඒ වේදනාවට බැඳෙන්න එපා’ ය කියලා. ‘මේ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව නිරතුරුවම වෙනස්වෙනවා. ඔබට අයිති නැහැ. ඒ නිසා එම ධාතූන් හේතුවෙන් යම් වේදනාවක් වේද, එම වේදනාවට බැඳෙන්න එපා’ ය කියලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතරමහා ධාතුවේ ආශ්වාදයක්, ආදීනවයක්, නිස්සරණයක් තියෙනවා ය කියලා. සතර මහා ධාතුව නිසා යම් සැපයක්, සොම්නසයක්, ප්‍රීතියක් උපදිනවානම් ඒ සතර මහා ධාතුවේ ආශ්වාදයයි. සතරමහා ධාතුව යම් අනිත්යභාවයකින් යුක්තද, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්තද, එම නිසා යම් දුකක් වේද, දොම්නසක් වේද, ඒ සතර මහා ධාතුවේ ආදීනවයයි. සතර මහා ධාතුව කෙරෙහි කැමැත්ත දුරුවී අවබෝධයෙන් කළකිරීමක් සකස්වේද ඒ සතර මහා ධාතුවේ නිස්සරණයයි කියලා සතර මහා ධාතුව සැපයක් වුණා නම්, සොම්නසක්, සතුටක් වුණා නම්, දුක තුළ නොබැසගත්තා නම්, සතර මහා ධාතුව කෙරෙහි ඔබ කළකිරෙන්නේ නැහැ. සතරමහා ධාතුව කෙරෙහි ඔබ කලකිරෙන්නේ එය වෙනස්වෙන නිසාමයි. නව යොවුන් තරුණයෙකුගේ, වයෝවෘද්ධ තාත්තා කෙනෙකුගේ රූපයකුත් නුවනින් දකිමින් ඉහත කාරණය අවබෝධයට ගන්න.
දීර්ඝ මුහුදුගමන් යන නාවික වෙළෙන්දෝ තම නැවෙහි ළිහිණියකු අරගෙන යනවා. මුහුදු මාර්ගය නිවැරදිව සොයාගැනීමට අපහසු වුවහොත් මෙම නාවිකයින් කූඩු කර සිටි ළිහිණියාව මුදාහරිනවා. ළිහිණියා දස දිශාවට පියාඹලා ගිහිල්ලා, ගොඩබිමක් පෙනුනොත් ඒ දෙසට පියාඹා යනවා. ඒ ළිහිණියා නැවත නැවට එන්නේ නැහැ. ගොඩබිමක් පෙනෙනතෙක් මානයේ නොතිබුණොත් ළිහිණියා නැවත නැවට එනවා. තෘෂ්ණාව ප්රහීනවීමෙන්, ප්‍රඥාවෙන් ආලෝකමත් වූ විඤාණයක් වෙත්ද, විඤ්ඤාණය තුළ සතර මහා ධාතුව නොපිහිටනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉන් මෙහා සතර මහා ධාතුව මගේ කොට ගැනීම නිසාම, සකස් කොටගන්නා සංස්කාර හේතුවෙන් අපි නැවත සතරමහා ධාතුව නමැති රූපයකට බැස ගන්නවා.