ඇය මටද, මට ඇයද නොව අප දෙදෙනාම අයිති ධර්මතාවයකටය

ධම්මානුපස්‌සනාව

චක්ඛු විඤ්ඤාණය, ශෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය හේතුවෙන්, කාමයේ ආශ්වාදය සකස්වීම ධර්මතාවයක්.

පින්වත් ඔබ ආයතන හය නිසා ජීවිතයේ ලැබූ කාමාශ්වාදයන් නුවණින් මෙනෙහි කරන්න. පින්වත් ඔබ මුලින්ම ආශ්වාදයක් කර ගත්තේ ඔබේ අම්මාගේ ගර්භාෂ කුටියයි. කුඩා ඉඩකඩක් තුළ උෂ්ණය, ලේ, සැරව, දෙතිස් කුණුපයන් මැදි කොට ගෙන ඔබ ඇති කර ගත් මේ ජීවිතයේ මුල්ම ආශ්වාදය අනිත්‍ය වූ ධර්මයක්. ඔබ ජීවිතයේ දෙවැනියට ඇතිකරගත් ආශ්වාදය මව් සෙනෙහසයි. මව් උණුසුමයි, මව්කිරි සුවඳයි. ඒ සෑම ආශ්වාදයක් ම අනිත්‍ය වූ ධර්මතාවයක්.

කාමයේ ආශ්වාදය හේතුවෙන් කාමයේ ආදීනවය සකස්වීම ධර්මතාවයක්. අම්මා කියන රූපය කෙරෙහි ඇති කර ගත් කාමයේ ආශ්වාදය නිසා මොන තරම් නම් ආදීනවයක් ඇතිද? කාමයේ ආශ්වාදයට බැ`දී ගියොත් කාමයේ ආදීනවය ඇතිවීම ධර්මතාවයක්. නමුත් මේ ධර්මතාවය අනිත්‍යයි. මා බැ`දී ගිය අම්මාය කියන රූපය මේ මොහොතේ පටිච්ච සමුප්පන්නව වෙනත් උපතකට ගිහිල්ලා. ඇය මට අයිති නැහැ. මා ඇයට අයිතිත් නැහැ. මේ සියල්ලම අයිති පටිච්චසමුප්පාද ධර්මයන්ට. නමුත් මේ ධර්මතාවය ද අනිත්‍ය වූ ධර්මතාවයක්. යම් පින්වතෙක් කාමයේ ආශ්වාදයේ අනිත්‍ය භාවය අවබෝධ කර ගෙන ආදීනවයෙන් මිදී කාමයේ නිස්සරණය සාක්ෂාත් කොට ගැනීමද ධර්මතාවයක්. ඒ ධර්මතාවයන් පිරිනිවී යාමෙන් අනිත්‍ය භාවයට පත් වෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපයේ ආශ්වාදය කියල කියන්නේ අවුරුදු දහ අටේ, විස්සේ පිරිමි දරුවෙක්ගේ ගැහැණු දරුවෙක්ගේ රූපයේ තාරුණ්‍යය, හැඩය, වර්ණය, මටසිළුටු බව, ලස්සන ය කියලා. එයත් ධර්මතාවයක්. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයි. රූපයේ ආශ්වාදය පසුපස නිරතුරුව ම රූපයේ ආදීනවය සැඟවී තිබෙනවා. ඒ කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ. මේ ධර්මතාවයන්ගේ ස්වභාවයත් අනිත්‍යයි. පින්වත් ඔබ ඔබේ ශරීරයේ රැළි වැටුණු සම දෙස බලමින් වැහැරෙමින් එල්ලී වැටීමට මාන බලන මස් පිඩු දෙස බලමින්, අල්මාරි මේසය මත තිබෙන මංගල ඡායාරූපය දෙස බලමින්, රූපයේ ආශ්වාදයේ අනිත්‍ය භාවයන් රූපයේ ආදීනවයන් ගැන ධම්මානුපස්සනාවෙන් බලන්න. මාගේ අම්මා තත්තාගේ මංගල ඡායාරූපය තවමත් මහගෙදර අල්මාරී මේසය මත තබා ඇත. මට ඒ ඡායාරූපය සිහිවෙන විට හාස්‍යයක් පමණයි දැනෙන්නේ. ධම්මානුපස්සනාවෙන් ආවරණය නොවු සිත මොන බලපෑමක්ද සත්වයාට කරන්නේ කියලා.

උපත සිහිවෙන මොහොතේදී ම මරණය ධර්මතාවයක් බව නුවණින් දකින්න. ඒ ධර්මතාවය අනිත්‍ය වූ ධර්මතාවයක්. රූපයේ ආශ්වාදයේ කෙටි භාවයත් ආදීනවයේ දිගු භාවයත් අවබෝධ කරගත් උත්තමයා ආර්ය අෂ්ඨාංගික මාර්ගය තරණය කර රූපයේ නිස්සරණය සාක්ෂාත් කරගැනීම ද ධර්මතාවයකි. එයද අනිත්‍ය වූ ධර්මතාවයකි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළමුවැනි, දෙවැනි, තෙවැනි, සතර වැනි ධ්‍යානතල, වේදනාවේ ආශ්වාදයයි කියලා. පංචනීවරණ ධර්මයන් යටපත් වීමේ ප්‍රමාණයට ධ්‍යානතල සකස් වීම ධර්මතාවයක්. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයි. මොකද ඉහත රූපාවචර ධ්‍යානතල අනිත්‍ය භාවයට පත්වෙනවා. ධ්‍යානතල පිරිහීම වේදනාවේ ආදීනවයයි. එයත් ධර්මතාවයක්. පංචනීවරණයන් මතුවීමේ ප්‍රමාණයට ධ්‍යානතල පිරිහී යනවා. වේදනාවේ ආශ්වාදයේ අනිත්‍ය භාවයත් ආදීනවයේ අනිත්‍ය භාවයත් අවබෝධ කරගත් තැනැත්තා වේදනාවේ නිස්සරණය ලබාගැනීමද ධර්මතාවයක්. ඒ ධර්මතාවයත් අනිත්‍ය වූ ධර්මතාවයක්.

පින්වත් ඔබට මේ ජීවිතයේදී යහපත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, සහෝදර සහෝදරියන්, දරුවන්, ඥාතීන්, බිරිඳක්, සැමියෙක් ලැබුණා නම් එය අතීත කුසල් සංස්කාරයක ඵලයක්. ඒ කියන්නේ ධර්මතාවයක්. නමුත් මේ ධර්මතාවය අනිත්‍යයි.

එක මහත්මියක් භික්‍ෂුවට ප්‍රකාශකළේ ‘ස්වාමීන්වහන්ස, මම විවාහවුන අළුත මගේ ස්වාමි පුරුෂයා දෙවියෙක් වගෙයි සිටියේ. දැන් ඔහු යක්‍ෂයෙක් වගේ’ය කියල. අම්මා කෙනෙක් කියනවා ‘ස්වාමීන්වහන්ස, මගේ දරුවා හොඳ කීකරුවට හිටියේ දැන් හරිම මුරණ්ඩුයි’ කියලා. මේ අපි දකින්නේ ධර්මතාවයන් ගේ වෙනස්වීමයි.

කුළුදුල් දරුවා ලැබුණු අම්මා කෙනෙක් කියනවා ‘හාමුදුරුවනේ, දරුවා ලැබුණත් මට කිරි එරෙන්නේ නැහැ’ය කියල. එයත් ධර්මතාවයක්. මේ කුළුදුල් දරුවා පෙර ජීවිතයේදී සිල්වත් ස්වාමීන් වහන්සේ නමකට පූජා කරන ලද කිරි කෝප්පයක් හොරෙන් බොන්න ඇති. එහෙම නැත්නම් සංඝයාට ලැබිය යුතු කිරි ආහාරයක් වලක්වන්න ඇති. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන පින්වතෙක් කිරි කලයකින් බෝධීන් වහන්සේ නහවනවා දැක එය විවේචනය කරන්න ඇති. අතීත අකුසල් කර්මයක හේතුඵලයක්.

නමුත් මේ ධර්මතාවයන් අනිත්‍යයි. පින්වත් ඔබට අංගවිකල, මන්ද බුද්ධික, නිරතුරුව ම රෝගී භාවයට පත් වෙන දරුවන් ලැබී ඇත්නම්, එයත් ධර්මතාවයක්. පෙර ජීවිතයක දෙමාපියනුත්, දරුවනුත් එකතුව කරන ලද අකුසලයක ඵලයක්. එම නිසා පින්වත් ඔබ එවැනි උපත් කෙරෙහි කලකිරීම් ගැටීම් ඇති කරනොගෙන ධම්මානුපස්සනාවෙන් යුතුව එම දරුවන් දෙස බලන්න.

මෙවැනි අකාරුණික උපත් වලින් මිදීමට ඇති එකම ඖෂධය එයවනු ඇත. අනිත්‍ය වන ධර්මතාවයන්ට ගැටී තව තව අකුසල් සිදු කර නොගන්න.