චිත්තානුපස්‌සනාව
වර්තමාන සමාජයේ සමහරක් පිංවතුන්ලා අනුන්ගේ, නැතිනම් ලෝකයේ දුර්වලතාවයන් දැකලා ඒවාට ගැටිල තමාගේ ඉන්ද්‍රීය ධර්මයන් දුර්වල කරගන්නවා. ඔබ සෑම මොහොතකම ප්‍රාර්ථනා කරන්න ඕනේ අනුනගේ දුර්වලතාවයන්ම මට දකින්ට ලැබේවා. අනුනගේ විවේචනයන්ම මට ලැබේවා කියලා. කුමක් නිසාද? ලෝකය අවබෝධ කරගැනීම උදෙසා, ඒවාට ඔරොත්තු දෙන ස්‌වභාවයට පත්වෙලා චිත්තානුපස්‌සනාව ශක්‌තිමත් කරගැනීම උදෙසා.
අංගුලිමාල තරුණයා මනුෂ්‍ය ඝාතන 999ක් සිදුකරල පණ අදිමින්, පණ ගැහි ගැහී සිටින මනුෂ්‍යයන්ගේ ඇඟිල්ල බැගින් කපාගෙන එකම එක අගිල්ලක අඩුභාවය නිසා ආනන්තරීය පාපකර්මය සිදුකරගැනීමට ආසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ අංගුලිමාලට ලබාදෙන එකම කමටහනින් අංගුලිමාල ධර්මාවබෝධය ලබනවා. බුදුරජාණන් වහන්සේ අංගුලිමාල තරුණයාට දේශනා කරන්නේ අංගුලිමාල මම නැවතුනා. ඔබ නවතින්නකියලයි. මෙවන් දරුණු මිනීමරුවකුට බුදුරජාණන් වහන්සේ ලබාදුන් කමටහන එපමණයි. අතීත කුසල් සංස්‌කාරයන්ගේ ශක්‌තියෙන් අංගුලිමාල හිතනවා
බුදුරජාණන් වහන්සේ නැවතුණාය කියලා කියන්නේ, නැවත භවය උපද්දවන සංස්‌කාර නිරෝධය කරාය කියල කියන කාරණයයි. බුදුරජාණන් වහන්සේ ලෝකය තුළ නැවතිලා සිටින්නේ අංගුලිමාල නම ලැබූ මම තවමත් ලෝකයේ දිවීමට අදාළ සංස්‌කාර රැස්‌කරමිනුයි සිටින්නේ. ඒ නිසා මමත් මෙතැන් පටන් නවතිනවා කියල සිත චිත්තානුපස්‌සනාවට යොමුකළා. අතීත භවයන්හි ත්‍රිලක්‍ෂණය පුහුණු කළ අත්දැකීම නිසාම, කුසල් සිතෙත්, අකුසල් සිතෙත් අනිත්‍යභාවය දකිමින් සිදු කළා වූ අතීත ප්‍රාණ ඝාතන නැතිනම් මිනිස් ඝාතක අකුසල් සිත්ද, අනිත්‍ය වශයෙන්, විදර්ශනා නුවණින් දකිමින් අංගුලිමාල මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙනවා.
මේ සටහන් තබන භික්‍ෂුවට විශ්වාසයි, පිංවත් ඔබ කිසිවිටෙකත් මනුෂ්‍ය ඝාතන 999ක් තබා, බොහෝ දුරට එකදු මනුෂ්‍ය ඝාතනයක්‌වත් නොකළ පිංවතෙක්‌ය කියලා. නමුත් පිංවත් ඔබට මෙතෙක් ධර්මයේ සැබෑ අවබෝධාත්මක අර්ථය ජීවිතයට එකතුකොට ගැනීමට ප්‍රමාද වන්නේ, ධර්මයේ වරදින් නොව, ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතුකොට ගැනීමේ ඇති ප්‍රමාදය නමැති වරද නිසාය කියලා.
භික්‍ෂුව තම ගිහි ජීවිතයේ වඩාත් කැමති මහරහතන් වහන්සේ වූයේ අංගුලිමාල මහරහතන් වහන්සේමයි. එදා මමත් නවතින්න උත්සහ කළා. නමුත් නවතින්න බැරිවුණා. එම නිසාම මම එදා හතිවැටෙන තුරු දිව්වා. එසේ දිවීමෙන්ම මම දැනගත්තා, ඒ ධාවනයෙන් අයිතිකොටගත් දෙයත් වෙනස්‌වෙනවා කියලා. අවසානයේ දිවීමත්, නැවතීමත් කියන සිත් දෙකම අනිත්‍ය වශයෙන් දකිමින්, දිවීමත්, නැවතීමත් හිස්‌කොට දැම්මා.
චිත්තානුපස්‌නාවට අදාළව ඉකුත් සටහන් පෙළ පුරාවටම භික්‍ෂුව කියන්න උත්සහ කළේ, පිංවත් ඔබ පහසු ඉරියව්වකින්, විවේකීව සිටිමින්, ඔබ තුළ සකස්‌වෙන සිතිවිලි දෙස බලාසිටින්න. කුසල් වේවා, අකුසල් වේවා, පංචනීවරණ වේවා, සප්තබොඡ්ජංග වේවා, සෑම සිතිවිල්ලකම අනිත්‍යභාවය දකින්න. ප්‍රශ්නාර්ථයක් ඇතිවුණොත්, ඒ සිතත් අනිත්‍ය වශයෙන් දකින්න. සමාජයෙන්, ජීවිතයෙන් පලා නොගොස් , චිත්තානුපස්‌සනාවෙන් යුතුව ලෝකය දෙස නොගැටී, නොඇලී බලන්න. එවිට ඔබ දකින්නේ හිස් පංචඋපාදානස්‌කන්ධයක් පමණමය. ඒ හිස් පංචඋපාදානස්‌කන්ධය තෘෂ්ණාවෙන් තෙත් කරමින්, ඉදිරිකරගන්නා පටිච්ඡසමුප්පන්න ලෝකයක් පමණක්‌මය. මේ සටහන කියවා ඔබට දැනෙන යම් නිරාමිස ආශ්වාදයක් ඇතිනම්, එම ආශ්වාදජනක සිතත් අනිත්‍ය වශයෙන්ම දකින්න. එවිට සටහනේ අර්ථයත්, චිත්තානුපස්‌සනාවත් ඔබ තුළින්ම වැඩෙනවා.
පිංවත් ඔබ ඇසින් දකින, සෑම මනුෂ්‍ය තිරිසන් රූපයක්‌ම පංචඋපාදානස්‌කන්ධයක්‌ය කියලා දකින්න. සලායතනයනගේ ඉපදීම නිසා, පටිච්චසමුප්පන්නව සකස්‌වෙන අනිත්‍යවූ ධර්මතාවයන්ය කියලා දකින්න. පිංවත් ඔබ පෙර ජීවිතයේ මරණාසන්න මොහොතේ සකස්‌වූ අවසාන චුති සිත, අනිත්‍ය වශයෙන් දැකීමට අපොහොසත්වීම නිසා, පටිච්චසමුප්පන්නව ඔබ මේ ජීවිතය සකස්‌කොට ගත්තා. එක සිතක අනිත්‍යභාවය අවබෝධකොට නොගැනීම නිසා, සකස්‌වෙන භවගමන නුවණින් දකිමින්, චිත්තානුපස්‌සනාවෙන් ඔබේ සිතිවිලි ආවරණය කොටගන්න.
සමාජයෙන් නිතර ඇසෙන මැසිවිල්ලක් තමයි ස්‌වාමිපුරුෂයා, එසේත් නැතිනම් සිය බිරිඳ කරන වැඩ නිසා තමන්ගේ සිත නරක් වුණාය කියන කාරණය. සමහරු දරුවන් නිසා සිය සිත නරක්‌වුණා කියනවා. බලන්න සිත කියන කාරණය සමාජය විසින් කොතරම් නම් නිත්‍යභාවයෙන් යුක්‌තිව ගන්නවාද කියලා. චිත්තානුපස්‌සනාවට අදාළව සිතන්න අදක්‍ෂ නිසාම, ස්‌ථිරභාවයේ නොපවතින සිතක්, නිත්‍යභාවයෙන් අරගෙන, අකුසලයට අදාළව නරක්‌වීමේ සිතුවිලි ඇතිකරගන්නවා. අනුන්ගේ ගිනිගන්නා පංචඋපාදානස්‌කන්ධයන් නිසා තමනුත් ගිනි අවුළුවාගන්නවා. සමාජය තුළ, මනුෂ්‍ය ජීවිත තුළ මේ ඇවිලෙන ගිනි, යම් ප්‍රමාණයකට හෝ නිවාදැමීමට නම්, චිත්තානුපස්‌සනාවට යටත්ව ඔබ ඔබේ සිතිවිලි දෙස බැලිය යුතු වෙනවා.
චිත්තානුපස්නාවට අදාළ ලිපි මාලාව මෙතැනින් නිමවේ.