චිත්තානුපස්‌සනාව
එක් ගෞරවනීය ස්‌වාමීන්වහන්සේනමක් භික්‍ෂුවගෙන් විමසුවා ‘ඔබවහන්සේ මුලින්ම දැක්‌කේ රුවන්වැලි මහාසෑය අනිත්‍යයි කියලද? එහෙම නැතිනම් රුවන්වැලි මහාසෑය දැක්‌ක හිත අනිත්‍යයි කියලද?’ කියලා.
භික්‍ෂුව මුලින්ම දැක්‌කේ රුවන්වැලි මහා සෑය අනිත්‍යයි කියලා. පාරිසරික හේතූන්, දේශගුණික හේතූන්, මිථ්‍යාදෘෂ්ටික සතුරු කරදර හේතුවෙන් විනාශයට යන, සතරමහා ධාතුවේ අනිත්‍යභාවයට යටත් ස්‌වර්ණමාලි සෑ සමිඳුන්වයි මම මුලින්ම මනසින් දැක්‌කේ. නමුත් වර්තමානයේ භික්‍ෂුව ඉහත ආකාරයට දකින්නේ නැහැ. ස්‌වර්ණමාලී මහාසෑය භික්‍ෂුවට ඵස්‌සය වන මොහොතේම, ඵස්‌සය අනිත්‍යයි කියලා භික්‍ෂුව දකිනවා. නමුත් ඒ මුල් දැක්‌ම හේතුවුණා මේ දෙවැනි දැක්‌ම මෝදුකොටගන්න.
අද පිණ්‌ඩපාත මඩුවේදී ගමේ මහත්මයෙක් භික්‍ෂුවගෙන් විමසුවා, හාල්මැස්‌සො ව්‍යංජනය බෙදන්නද කියලා. භික්‍ෂුව ඒ මහත්මයාට කිව්වේ ‘මහත්මයා කැමති නම් බෙදන්න, අකමැති නම් නොබෙදා ඉන්න. භික්‍ෂුවට කැමැත්තක්, අකමැත්තක් නැහැ’ ය කියලා. ප්‍රශ්නයට උත්තරය එතැනින් නතර කළා. මොකද අපි දක්‍ෂ වෙන්න ඕනා, අපිත් පරෙස්‌සම් වෙලා, අනුන්වත් පරෙස්‌සම් කරගන්න. මොකද චිත්තානුපස්‌සනාවෙන් ආවරණය නොවූ එක් සිතකට පුළුවන්, නිරයක් නිර්මාණය කොට දෙන්න. ඒ වගේම දිව්‍ය තලයක් නිර්මාණය කොටදෙන්න.
පිංවත් ඔබ කිසිම දෙයක් කෙරෙහි සීමාව ඉක්‌මවා ගිය කැමැත්තක් ඇති කරගන්න එපා. ඔබ යමකට කැමැති වුණොත්, කෙනෙකුට පුළුවන් ඔබ අකමැති දෙයක් ඔබට දීලා ඔබව දුකට පත්කරන්න. ඔබට අකුසල් සිත් සකස්‌කොට දෙන්න. මෙය සටහන් කරන භික්‍ෂුව කැමැත්ත, අකමැත්ත දෙකම හිස් කරලයි සිටින්නේ. ඒ නිසා කාටවත්ම බෑ, භික්‍ෂුව අකමැතිය කියලා හිතන දෙයක් දීලා, භික්‍ෂුව කම්පා කරන්න. කැමැත්ත වේවා, අකමැත්ත වේවා, එය ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌වෙන, අනිත්‍යවූ සිතක්‌මයි. නිරතුරුවම, පිංවත් ඔබ තුළ සකස්‌වෙන, කැමැත්තෙත් අකමැත්තෙත් අනිත්‍යභාවය දැකීම චිත්තානුපස්‌සනාවට ලොකු ශක්‌තියක් වෙනවා.
අනුන් වචනයක් ප්‍රකාශ කරනකොට අපි දැනගන්න ඕනේ, අපි මේ කථා කරන්නේ අනිත්‍යභාවයට පත්වෙන සිතක්‌ය කියලා. දුක ඇතිකොටදීමට හේතුවන පංචඋපාදානස්‌කන්ධයක් කියලා. ඒ නිසා අපි දක්‍ෂ වෙන්න ඕනේ අනුන්ගේ වචනයක්, සිතිවිල්ලක්, ක්‍රියාවක් තුළිනුත් චිත්තානුපස්‌සනාවට අදාළ ධර්මයක් අපි තුළින් මෝදුකොටගැනීමට.
ඔබ ඉදිරියේ සිටින පිංවතෙක් ප්‍රකාශ කරන වැරදි වචනයකින්, අකුසල් ක්‍රියාවකින් ඔහු අකුසලයක් සිදුකොටගනිද්දී, පිංවත් ඔබට පුළුවන් ඔහුගේ වැරදි වචනය, ක්‍රියාව තුළිනුත් චිත්තානුපස්‌සනාවට අදාළ ධර්මයන් වඩවා ගන්න.
භික්‍ෂුව මීට පෙර සටහන් කොට තිබෙනවා, භික්‍ෂුව ධර්මය ජීවිතය තුළින් මතුකොට ගත්තේ ලෝකය මුලා කරලයි කියලා. භික්‍ෂුව ලෝකය මුලා කළාය කියන කාරණයේදී පිංවත් ඔබ වැරදි අර්ථයක් ගන්න එපා. සම්මුති ලෝකය තුළ පිංවත් ඔබ, මමය කියලා දෘෂ්ටියක්, ආත්මයක් ඇතිකොට ගත්තත්, භික්‍ෂුව මම ය කියන සාධකය දැක්‌කේ අනිත්‍යභාවයට පත්වෙන පංචඋපාදානස්‌කන්ධයක් හැටියටමය.
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, පංචඋපාදානස්‌කන්ධය කියන්නේ මාරයාය කියලා. මාරයා පරාජය කිරීමට නම් මුලින්ම ඔහු හඳුනාගැනීමටත්, ඔහුගේ දුර්වල තැන් හඳුනාගැනීමටත් අවශ්‍යමයි. භික්‍ෂුව ලෝකය මුලා කරලයි ධර්මය මතුකොටගත්තේ කියන කාරණයේදී පිංවත් ‘මම-ඔබ’ නාමයෙන් පෙනී සිටින පංචඋපාදානස්‌කන්ධයයි මුළා කළේ කියන කාරණය මතක්‌කොට දෙන්න ඕනා. නමුත් පිංවත් ඔබ ධර්මයේ නාමයෙන් තාමත් පංචඋපාදානස්‌කන්ධය ‘මම’ය ‘මගේ’ය කොටගෙන සුරතල් කරමින් සිටිනවා.
ගිහි පිංවත් ඔබ නිරතුරුවම, සමාජයෙන් පලා නොගොස්, සමාජය සමග විවෘතව ජීවත්වෙන්න. සමාජය තුළින් ඔබට ලැබෙන හොඳ, නරක ප්‍රතිචාරයන් ඉදිරියේ නොසැලී, නොගැටී ජීවත්වෙන්න ඔබ දක්‍ෂ නම් චිත්තානුපස්‌සනාව වැඩීමේදී ඔබට පහසුවක් වනවා. ගැටෙන තැන් සොයාගෙන ගොස් නොගැටී සිටීමද, ඇලෙන තැන් සොයාගෙනගොස් නොඇලී සිටීමටද චිත්තානුපස්‌සනාව ශක්‌තියක් වෙනවා. ජීවිතය ඉදිරියට පැමිණෙන බලාපොරොත්තු කඩවීමකදීම, ප්‍රශ්නයකදීම ලෝකය කෙරෙහි අවබෝධයෙන් යුත් කලකිරීම ඇතිකරගන්න. භික්‍ෂුවගේ ගිහි ජීවිතයේ කලකිරීම, බලාපොරොත්තු කඩවීම් වැඩිවෙනකොට, ලෝකය කෙරෙහිමයි කලකිරීම ඇතිකරගත්තේ. භික්‍ෂුව ලෝකය නිවැරදි කරන්න ගියේ නැහැ. මම දැනගත්තා ලෝකය නිවැරදි කරන්න බැහැ කියලා. නමුත් පංචඋපාදානස්‌කන්ධය කියන වචනයේ අර්ථය මම එදා දැනගෙන සිටියේ නැහැ. වචනයේ අර්ථය දැනගෙන නොසිටියාට, මා තුළ වැඩී තිබෙන්නේ පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවයයි කියන කාරණය භික්‍ෂුව පසුව දැනගත්තා.