කාලය‌ේත්, ආහාරය‌ේත්, රෝගයේත් යථා ස්‌වභාවය මෙසේ විචාරන්න

වේදනානුපස්සනාව

පිංවත් ඔබ, එදිනෙදා ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය නොදකින නිසාම, අනාගත භවය උදෙසා මොනතරම් නම් සංස්‌කාර රැස්‌කොටගන්නවාද? කාර්යබහුල ජීවිතයේදී ඔබ ‘කාලය’ නිසා මොනතරම් වේදනාවන් සකස්‌කොටගන්නවාද? මෙය සටහන් තබන භික්‍ෂුවට ජීවිතයේ එදිනෙදා කාලසටහනක්‌ නැහැ. භික්‍ෂුව ඔරලෝසුවක්‌ පාවිච්චි කරනවා. නමුත් එදිනෙදා කටයුතුවලදී භික්‍ෂුව ඔරලෝසුව බලන්නේ පිණ්‌ඩපාතයට වැඩීම සඳහා පමණයි.

උදේම එළිය වැටෙනකොට මුහුණ සෝදාගන්නවා. පිණ්‌ඩපාතය කරගෙන ඇවිත්, ඇමදීම් කටයුතු අවසන් කරලා, ඇඟපත සෝදාගෙන දානය වළඳනවා. අඳුර වැටීගෙන එනකොට ලන්තෑරුම පත්තුකරනවා. නිදිමත දැනෙනකොට නිදාගන්නවා. කාලයට නැවත කවදාවත් භික්‍ෂුවට සැප, දුක්‌, උපේක්‍ෂා වේදනාවන් සකස්‌කොට දෙන්න බැහැ. නමුත් පිංවත් ඔබ කාලය නිත්‍යවශයෙන් ගැනීම නිසාම, කාලය මගේ කොටගැනීම නිසාම දුම්රිය හෝ බස්‌රථය පැය කාලක්‌ ප්‍රමාද වුණොත් ගැටීමක්‌, දුක්‌වේදනාවක්‌ ඇතිකොට ගන්නවා. දුම්රිය, බස්‌රථය පැය කාලක්‌ වේලාසන ගමනාන්තයට ළඟාවුණොත් සැප වේදනාවක්‌ ඇතිකොටගන්වා. දුම්රිය, බස්‌රථය නියමිත වේලාවට ආවොත් උපේක්‍ෂාසහගත විඳීමක්‌ ඇතිකොටගන්නවා. පරක්‌කුවුණු දුම්රියකට, ඉක්‌මන මැද වැටුණු රතුපාට මාර්ග සංඥා එළියකට පුළුවන් ඔබට භවයට ගාලාගෙන යන අකුසල් සංස්‌කාරයන් සකස්‌කොට දෙන්න.

සතියේ දිනයක සවස්‌ වරුවක ප්‍රධාන දුම්රියපළක, බස්‌නැවතුමක වේදනාවේ අනිත්‍යභාවය නොදකින පිංවතුන්ලාගේ ඉරියව් සංස්‌කාරයන් රැස්‌කොටගැනීම් පිංවත් ඔබට හොඳින් දකින්න පුළුවන්. මෙවැනි කාර්යබහුල ස්‌ථාන වේදනාවේ අනිත්‍යභාවය නොදකින පිංවතුන්ලාට මාරබිම් බවට පත්වෙනවා.

පිංවත් ඔබ විවේකීව මෙනෙහිකොට බලන්නකෝ ඔබේ අතීත ජීවිතයේදී ප්‍රමාදවීම් නිසා, ගැටීම්, දුක්‌වේදනා සහ ඉක්‌මන් වීම නිසා ලැබුණු සැප වේදනා සියල්ලම අනිත්‍යවූ විඳීම් නේද? ඇයි ඔබ අනිත්‍යවූ වේදනාවන් නිසා අනාගත භවයට සංස්‌කාර රැස්‌කරගන්නේ?

වේදනාවේ අනිත්‍යභාවය නොදකින නිසාම, මාළු කෑල්ලක්‌, මස්‌ කෑල්ලක්‌ දැක්‌කොත් ගැටෙන පිංවතුන්ලා කොපමණ සිටිනවාද? මඟුල් ගෙදරක ගිහිල්ලා මඟුල් මේසයේ මස්‌, මාළු, ව්‍යංජන පීරිසි දැකලා බඩගින්නේ සිටින පිංවතුන් කොපමණ සිටිනවාද? මගුල්ගෙදරක ගිහිල්ලා, බඩගින්නේ එනවා කියන්නේ, අනෙ අම්මේ මොනතරම් අකුසලයක්‌ද? ගමේ මාළු විකුණන වෙළෙඳ මහත්මයා, බයිසිකලයේ මාළු පෙට්‌ටිය බැඳගෙන ‘මාළු, මාළු…’ කියමින් කෑගසමින් ගෙවල් ඉදිරියෙන් යනකොට ඒ හඬ ඇසීමෙන් දුක්‌වේදනා ඇතිකරගන්න පිංවතුන් කොතෙක්‌ සිටිනවාද? රූපය, ඵස්‌සය හේතුවෙන් සකස්‌වෙන වේදනවා අනිත්‍යභාවය නොදකින නිසාම, බරපතල වූ ලෝභ, ද්වේෂ මෝහ අකුසල මූලයන්ට අපි කොටුවෙනවා.

වර්තමාන සමාජයේ පිංවතුන්ලා ආහාරය නිසා බරපතල ආකාරයට ඇලීම් ගැටීම සකස්‌කොට ගන්නවා. බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාල, ආහාර ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් බැහැරව ආහාරය නිසා, ඇස, කන, නාසය, දිව, ශරීරය මනසේ ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසාම එම ආහාර නිසා සකස්‌වන රසය ඉදිරියේ සැප වේදනාවත්, නීරසය ඉදිරියේ දුක්‌වේදනාවත් ඇතිකොටගන්නවා.

ආහාර මේසයේදී ආහාරය නිසා සකස්‌වෙන වේදනාවේ අනිත්‍යභාවය නොදකින නිසාම අපි ආහාර මේසයේදී, ආහාර වෙනුවට තෘෂ්ණාව අනුභව කරනවා. වේදනාවේ අනිත්‍යභාවය නොදකින සෑම ආහාර කටක්‌ම ඔබට අනාගත භවයට සංස්‌කාර සකස්‌කොට දෙනවා. ඔබ ආහාරයේ වේදනාවට බැඳී ගියොත්, පිංවත් ඔබ මැරෙන මොහොතේ ආහාර කෙරෙහි තෘෂ්ණාව ඇතිවුවොත්, ඊළඟ ජීවිතයේ ආමාෂගත පනුවෙක්‌. ආහාර තුළ ඕපපාතිකව මතුවන පණුවෙක්‌ බවට පත්වෙන්නට ඉඩකඩ තිබෙනවා. පිළුනුවෙන මස්‌ මාළු ව්‍යංජනයෙන්, පිළුණු වන පරිප්පු. එළවළු ව්‍යංජනයෙන් ඒවාට ලොල්වූ පණුවන් ඇතිවන බව පිංවතුන්ලා තේරුම්ගන්න ඕනේ.

ශරීරයට වැළෙඳන රෝගාබාධ නිසාත් වර්තමාන සමාජයේ පිංවතුන්ලා, දුක්‌වේදනාවන් නිරතුරුවම සකස්‌කොට ගන්නවා. රෝහලක ඇඳක්‌ මත සිනහමුසු මුහුණින් සිටින රෝගියෙක්‌ දකින්න හුඟක්‌ අපහසුයි. යමෙක්‌ සිනාසෙමින් සිටිනවා නම්, ඔහු සිනාසෙන්නේත් ඔහුගේ රෝගය සුවපත්වීමට ආසන්න නිසා හෝ රෝගය බරපතතළ නොවීම නිසාමයි. එතැනදිත් ඔහු නොදැනුවත්භාවයෙන් අනිත්‍යවූ සැප වේදනාවකටමයි බැඳී ගිහින් තිබෙන්නේ. ශරීරයට වැලඳෙන කායික රෝගාබාධ නිසා, භාවනා ඉරියව් හේතුවෙන් සකස්‌වෙන වේදනා, කැක්‌කුම් හිරිවැටීම් දැනීමේදී එම සැප දුක්‌ වේදනාවන්ගේ අනිත්‍යභාවය දකින්න. අනිත්‍යභාවය දැකීම නිසාම ඇතිවෙන උපේක්‍ෂාසහගත විඳීමේත් අනිත්‍යභාවය දකින්න දක්‍ෂවෙන්න. දුක්‌ වේදනා, සැප වේදනා, උපේක්‍ෂා සහගත විඳීමට අදාළ අවස්‌ථා තුන තුළම තෘෂ්ණාව බැසගෙන සිටින බව භාවනා කරන පිංවතුන්ලා හොඳින්ම තේරුම්ගතයුතු වෙනවා. ඇලීම, ගැටීම තුළ තෘෂ්ණාවේ වැඩිභාවයත්, උපේක්‍ෂාව තුළ තෘෂ්ණාවේ මධ්‍යස්‌ථභාවයත් සැඟවී තිබෙනවා.

පිංවත් ඔබ කායිකව දණහිසේ, කොන්දේ වේදනාවන් මෙනෙහි කිරීමේදී නිරතුරුවම තමන්ගේ කොන්දේ, දණහිසේ වේදනාවේ අනිත්‍යභාවය දකිනවා වගේම, සෑම මනුෂ්‍යයෙකුගේ රූපයන් අරමුණුකොට ඒ අයගේත් කොන්දේ දණහිසේ වේදනාවන් අනිත්‍යභාවය නුවනින් දකින්න. වේදනාවට පසුබිම්වූ දණහිසත්, මනසත්, විඥානයත් ඵස්‌සය නිසා, එම ඵස්‌සය මගේ කොට ගැනීම නිසා විඳීම සකස්‌වෙන හැටි නුවනින් දකින්න. දණහිසත්, මනසත්, විඥානයත්, ඵස්‌සයත් අනිත්‍යවන ධර්මතාවයන් බව දකිමින් ඒවා හේතුවෙන් සකස්‌වෙන වේදනාවේද අනිත්‍යභාවය නුවනින් දකින්න.