වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවිතය භුක්‌ති විඳින්න

වේදනානුපස්සනාව

මේ ජීවිතයේදී පිංවත් ඔබ ඔය ඇස්‌දෙකෙන් මුලින්ම දැක්‌කේ අම්මා කියන රූපයයි. ඒ අම්මා නිසා පිංවත් ඔබ මොනතරම් විඳීම් සකස්‌කරගන්නට ඇතිද? අම්මාගේ ආදරයට, අම්මාගේ කිරි සුවඳට, අම්මාගේ උණුසුමට, අම්මා කවන විට, පොවන විට, ඇඳුම් අන්දවන විට, අකුරු කියල දෙන විට, ගහන විට, බනින විට මොනතරම් නම් සැප දුක්‌ වේදනාවන් ඇති කරගන්න ඇතිද? මේ මොහොතේ සිට ඒ අතීතය දෙස ආවර්ජනය කර බලන විට විඳීමේ අනිත්‍ය භාවයේ අර්ථය පමණක්‌මයි දකින්නේ. අම්මාගේ රූපය වගේම තාත්තා, ඥාතියා ආදිය ද ඔබේ මතකයට නැඟෙන සෑම රූපයක්‌ නිසාම සකස්‌ වූ සැප,දුක්‌, උපේක්‍ෂා විඳීම්වල අනිත්‍යභාවය නුවණින් දකිමින් ජීවත්වෙන්න. අතීතයේ අත්දැකීම් තුළින්ම වර්තමානයේත් අනාගතයේත් විඳීම්වල අනිත්‍යභාවය මතු කර ගෙන දකින්න. අන්‍යයන්ගේ ජීවිතවලටත් මෙම වේදනාවේ අනිත්‍යභාවය ගළපා නුවණින් දකින්න.

පිංවත් ඔබ දෑස්‌ දෙක පියාගෙන ඔබගේ උපත, මව්පිය ආදරය, ළදරු පාසල, පාසල් ජීවිතය, උසස්‌ අධ්‍යාපනය, යෞවනය, රැකියාව, විවාහය, මධුසමය, කුළුඳුල් දරු උපත, අතීත බලාපොරොත්තු, සිහින මාලිගා මෝදුකොටදුන් සැප, දුක්‌, උපේක්‍ෂා වේදනාවන්ගේ අනිත්‍යභාවය ඒවා වෙනස්‌ වූ ස්‌වභාවය, තම දරුවන් වෙනස්‌ වන ස්‌වභාවය, වේදනාවට බැඳුනොත් තව තව දුක තීව්‍ර වන ස්‌වභාවය නුවණින් දකින්න. අතීත විඳීම්වල අනිත්‍යභාවය නුවණින් දකිමින් වර්තමානයේ විඳීම්වලට තෘෂ්ණාවෙන් නොබැඳෙන්න. ඉහත කාරණාවන් එරමිණිය ගොතාගෙන මෙනෙහි කළත්, පුටුවක වාඩි වී නිදි යහනේදී මෙනෙහි කළත් අවබෝධයට බාධාවක්‌ නොවන බව සිහි තබාගන්න. වේදනාවේ අනිත්‍යභාවය මෙනෙහි කිරීම නිසා ඔබ තුළ සකස්‌ වෙන විඳීමත් පිංවත් ඔබ අනිත්‍ය භාවයෙන් දකින්න දක්‍ෂ වෙන්න.

මේ සටහන ලියන රාත්‍රියේ භික්‍ෂුව දෑස්‌ දෙක පියාගෙන අතීත වේදනාවන් පිළිබඳ අතීතාවර්ජනයක යෙදුණා. මැරෙමින් ඉපදෙමින් පැමිණි දීර්ඝ බව ගමන සිනහව, කඳුළ, දුක, සැප, ප්‍රියයන් අප්‍රියන් හිමි වීම, අහිමිවීම, මේ සෑම දෙයක්‌ තුළින්ම සකස්‌ වූ වේදනාවන් හිස්‌ දෙයක්‌ වශයෙන්මයි භික්‍ෂුවට අරමුණු වෙන්නේ. විවේකීව සිටින සෑම මොහොතකම පිංවත් ඔබත් අතීත වේදනාවන් පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙන්න. ඊයේ දවසේ පිංවත් ඔබ අත්විඳි වේදනාවන් දෙස නුවණින් දකින්න. කොපමණ සැප, දුක්‌ , උපේක්‍ෂා වේදනා ඔබ තුළ ඇතිවෙන්නට ඇතිද? සැමියා නිසා, බිරිඳ නිසා, දරුවන් නිසා, ව්‍යපාරය රැකියාව නිසා, විනෝදය, පිංකම් නිසා ඊයේ දිනයේ ඇති වූ සෑම විඳීමක්‌ම අනිත්‍යයි නේද? නමුත් ඒ අනිත්‍ය වූ විඳීම්වලට බැඳීම නිසා පිංවත් ඔබ කොතෙක්‌නම් දුකට හේතුවෙන අනිත්‍යවු සංස්‌කාරයන් රැස්‌කොට ගන්න ඇතිද? සෑම බැඳීමක්‌ම බවය අස්‌වද්දන සංස්‌කාරයක්‌ ඔබට සකස්‌කර දෙනවා. වේදනාවට බැඳුණොත් ඔබ දුකටමයි බැඳෙන්නේ. වේදනාවෙන් ඔබ නිදහස්‌ වුවහොත් ඔබ දුකෙන්මයි නිදහස්‌ වෙන්නේ. ගිහි ජීවිතයක්‌ ගතකරන පිංවත් ඔබ ඵස්‌සය නිසා දැනෙන සෑම සැප වේදනාවක්‌ම අනිත්‍ය වශයෙන් දකිමින් වේදනාවේ ආශ්වාදයට යට නොවී එම සැප වේදනාව භුක්‌ති විඳින්න. ඔබ සැප වේදනාවේ ආශ්වාදයට බැඳී ගියහොත් අනිවාර්යෙන්ම තව තවත් බවය අස්‌වද්දන සංස්‌කාරයන් ඔබ රැස්‌කරගන්නවා.

ගිහි පිංවතුන්ලාට සැප, දුක්‌, උපේක්‍ෂා විඳීම්වලින් පලායන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මේවා නිසා සකස්‌ වෙන ආශ්වාදයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න කියලයි දේශනා කරන්නේ. ඔබේ ජීවිතය ඉදිරියට නිරතුරුවම සැප වේදනාවන් ලැබෙනවා නම් එය කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌. ඔබ ඉදිරියට නිරතුරුවම දුක්‌ වේදනාවන් පැමිණෙනවා නම් එය අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌. නමුත් මේ සංස්‌කාරයෝ අනිත්‍යයි. අනිත්‍ය වූ සංස්‌කාරයන් නිසා ඔබට ලැබෙන විඳීමට බැඳී යන්න එපා. පිංවත් ඔබ විවේකීව ජීවිතකාලය පුරාවට ඔබ අත්විඳි සැප දුක්‌ උපේක්‍ෂා වේදනාවන් නුවනින් මෙනෙහි කරමින් මතු කොට දකිමින්, අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකිමින් ජීවත් වෙන්න. අතීත වේදනාවන් කෙරෙහි ක්‍රමාණුකූලව අනිත්‍ය සංඥාව ඔබ තුළ මතුවෙන විට වර්තමාන අනාගත විඳීම්වල අනිත්‍යභාවය දැකීම ඔබට පහසු වෙනවා. පිංවත් ඔබගේ අතීත කායික මානසික රෝගීභාවයන් නිසා ඔබ තුළ ඇති වූ දුක්‌ වේදනා නුවනින් දකිමින් ජීවත් වන්න. ඔබ දකින්නේ අනිත්‍යයි කියන අර්ථය පමණක්‌මයි.

රට ජාතිය ආගම නිසා ඔබ කොච්චරනම් විඳීම් ඇතිකොටගෙන ඇතිද?යුද්ධය පැවති සමයේ ඔබ තුළ ඇති වූ දුක්‌ වේදනාවන්, සාමය ඇතිවු සමයේ ඔබ තුළ ඇති වූ සැපවේදනාවන්, වෙනස්‌වන අනිත්‍ය ධර්මතාවයන්මයි. දිනපතා පුවත්පතක්‌ අතට අරගෙන කියවන ඔබ තුළ මොනතරම් විඳීම් ඇතිවෙනවාද? ඒ ඇලීම් ගැටීම් හේතුවෙන් මොනතරම් අකුසල් සිදුකරගන්නවාද? වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවිතය භුක්‌තිවිඳින්න.

අද වස්‌ පවාරන පොහොය දවස. උදේ පිණ්‌ඩපාත මඩුවට ගම් වැසියන් හැත්තෑපස්‌දෙනෙක්‌ පමණ ඇවිත් සිටියා. කෙටි පුණ්‍යානුමෝදනාවකින් කටයුතු ඉවර කරල එම පිංවතුන් ප්‍රකාශ කළේ ලොකු සතුටක්‌ වගේම ලොකු දුකකුත් දැනෙනවාය කියල. සතුට ඇති වූයේ තුන්මාසයක්‌ කරපු පිංකම් නිසා. දුක ඇතිවන්නේ භික්‍ෂුව ගමෙන් බැහැරව වඩින නිසා. සැප වේදනාවට අපි ඇලුන තැනදී, සැප වේදනාව නිත්‍යභාවයෙන් ගත්ත තැනදී, දුක්‌ වේදනාව පැමිණි විට අපි ගැටෙනවා. සැප වේදනාව ඔබ අනිත්‍ය වශයෙන් දකින්න දක්‍ෂ නම් අහිමි වීම ඔබට දුකක්‌ බවට පත්වන්නේ නැහැ.