මහ පොළොවත්, ඔය සිරුරත් වෙන්වේවිද හැමදාමත්…

කායානුපස්‌සනාව – සලායතන භාවනාව

මේ දෑස්‌ දෙක, කන් දෙක….. ඔබට අයිති නැහැ. එය වෙනස්‌වෙන දෙයක්‌. යම් දවසක මහපොළොවට පස්‌වෙන දෙයක්‌. මහපොළොවේ පස්‌ මිටක්‌ මනසින් දෝතට ගෙන ඔබේ ඇසත්, කනත්….. සමග සංසන්දනයකර දකින්න. කුසල් සංස්‌කාරයක්‌ නිසා භික්‍ෂුවට ලැබුණ ඇස, කන, නාසය ගැන භික්‍ෂුව සතුටුවෙනවා. වර්තමානයේ භික්‍ෂුවගේ ඇස්‌දෙක දුර්වලයි. හතලිස්‌ ඇඳිරියෙන් මෝදුකොටදුන් දුර්වලභාවය කාලයත් සමග තව තවත් දුර්වලකරනවා. භික්‍ෂුව ඇස්‌ දෙක පියාගෙන මේ මහ පොළොව දෙස නුවනින් දකිනවා. අතීතයේ මැරෙමින් ඉපදෙමින් පටිච්චසමුප්පන්නව පැමිණි ගමනේදී මගේම ඇස, කන, නාසය… කියන ආයතනයන්ගෙන් පෝෂණයවුණ මහපොළවත් පසක්‌ ලෙසමයි භික්‍ෂුව දකින්නේ. මහපොළොවට පසට නොඇලෙන්නේ යම්සේද, භික්‍ෂුව ඇස, කන, නාසය…… මත ඇලෙන්නෙ නැහැ.

වෙනස්‌වන ආයතන හයක්‌ නොවෙනස්‌වන ප්‍රඥාවකින් දකින්න භික්‍ෂුවට උපකාරී වූයේ, මේ ආයතන හය දෙස නුවනින් දැකීමමයි. භික්‍ෂුව වර්ෂයේ මුලදී වික්‌ටෝරියා නිවාසයට ධර්මදේශණාවකට වැඩියා. ඒ නිවාසය භික්‍ෂුව දැක්‌කේ සලායතන භාවනාවට අවශ්‍ය කමටහන් තෝ තැන්නක්‌ හැටියට. අතීත භවයක ඉපදුන ඇසක්‌, කනක්‌…….. නිසාම වර්තමානයේ උපන් ඇස, කන….. පීඩාවටපත් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශණාකරනවා ඇස, කන, නාසය, දිව, ශරීරය මනස යනු මාරයාය කියල. මාරයා, මාරයා වශයෙන් හඳුනානොගත් නිසාම රෝගී පිංවතා තවමත් කරුණාව ආදරය රැකවරණය බලාපොරොත්තුවෙනවා. නීරෝගීව උපස්‌ථානය කරන පිංවතා රෝගී උපස්‌ථානය තුළින් තමන්ටත් පින කුසලය බලාපොරොත්තුවෙනවා. ඇසක්‌ නිසා කෙනෙක්‌ දුක්‌ විඳිනවිට තවත් කෙනෙක්‌ ඇසක්‌ ප්‍රර්ථනා කරනවා. ඇසක්‌ දුකක්‌ බව ඔබ අවබෝධ කරගතහොත් දුකත් සැපත් දෙකම ඔබ පරාජයකළා වෙනවා. ඇසක්‌, කනක්‌….. නිසා කෙනෙක්‌ දුක්‌විඳිද්දී පිංවත් ඔබ කළයුත්තේ තවත් ඇසක්‌, කනක්‌….. ප්‍රර්ථනා කිරීම නොව ඇසෙන්, කනෙන්…… මිදීමය. එය කළහැක්‌කේ සලායතන භාවනාව වැඩීම තුළින්මය.

මගුල්දවසේ මනාලියගේ ඇස, කන, නාසය,…….. සරසන්න හැඩවැඩකරන්න රුපියල් ලක්‍ෂගණනක්‌ වියදම් කරනවිට එම මනමාලියම පසුවදා මියපරලොව ගියහොත් මෘත ශරීරාගාරයේදී ඇයගේ මළමිනිය පර්යේෂණය සදහා කපන කම්කරු මහත්මයාට එම මනමාලියගේ සිරුරේ පිළිකුල, පිළීගඳ මගහරවාගන්න මත්පැන් සලාකයක්‌ ලබාදෙනවා. නොවටිනා කුණුවෙන රූපයක්‌ තෘෂ්ණාවේ ලංසුවෙන් වෙන්දේසිකරන අපි රූපය නිසාම දුක තුරුළුකර ගන්නවා. නැවත ආයතන හයක්‌ උපද්දවා ගන්නවා.

පිංවත් ඔබ දෑස්‌දෙක පියාගෙන පහසු ඉරියව්වකින් වාඩිවෙලා ඔබේ හිසේ සිට දෙපතුළ දක්‌වා, හොඳින් නුවනින් දකින්න. ඔබේ ඇස්‌දෙක නුවනින්, හොඳින් පරීක්‍ෂාකර බලන්න. කඳුළු, නගන, සුද, කබ, කුණුවීම, නරක්‌වීම, වෙනස්‌වීමට අයත් ඇස දෙස නුවනින් දකිමින් ඇස කෙරෙහි කළකිරීම ඇතිකොටගන්න. දෑස්‌ දෙක මොහොතක්‌ පියාගෙන අන්ධභාවය යනු මොනතරම් කටුක, කළුවර විපාකයක්‌ද යන්න නුවනින් දකින්න. වාර්තමානයේ පෙනීම ලබාදෙන මෙම දෑසම, අනාගත අන්ධභාවයට උපකාරීවනවා නම්, ඇස යනු අනතුරක්‌ය, දුකක්‌ය යන්න නුවනින් දකින්න. මනසින් ඔබේ ඇස්‌දෙක ගලවා බිමට දමන්න. දැන් ඔබ ඔබේ කන දෙස බලන්න. බිහිරිභාවය මොනතරම් කටුක, නිහඬ දුකක්‌ද යන්න නුවනින් දකින්න. කලාඳුරු, පැසවීම. මස්‌දළු ආදී කනට අදාළ රෝගාබාධයන් නුවනින් දකින්න. මනසින් ඔබේ කන්දෙක ගලවා බිමට දමන්න.

දැන් ඔබ නාසය දෙස බලන්න. නාසයට ගඳ, සුවඳ නොදැනෙන, එය හිරවන ස්‌වභාවය මොනතරම් නම් අමිහිරි කටුක දුකක්‌ද යන්න නුවනින් දකින්න. පීනස, සොටුදියර, මස්‌දළු, හුස්‌ම තදවීම්, හිරවීම්, නාසයට අදාළ රෝගාබාධයන් නුවනින් දකින්න. නාසය මැරෙමින් උපදිනවා නුවනින් දකින්න. මනසින් නාසය ගලවා බිමට දමන්න.

දැන් ඔබ දිව දෙස නුවනින් බලන්න. ඔබේ දිවට රස නොදැනී ගියොත්, එය මොනතරම් කටුක, අමිහිරි දුකක්‌ද යන්න සිහිපත් කරන්න. මැලියම්, උෂ්ණ බිබිලි ආදී දිවේ රෝගීභාවයට අදාළ තත්ත්වයන් නුවනින් දකින්න. ගොළුභාවය මොනතරම් කටුක දුකක්‌ද යන්න. වර්තමානයේ දිවේ රසයට ඔබ ගැතිවුණොත්, අනාගතයේ දිව ගොළුවීම අවශ්‍ය සාධක එම දිව තුළම සැඟවී තිබෙන බව නුවනින් දකින්න. මනසින් දිව ගලවා බිමට දමන්න.

දැන් ඔබ ශරීරයට හිත යොමුකරන්න. ශරීරයට පහස සොයායැම නිසාම, අනාගතයේදී ශරීරයම අංගවිකලභාවයට පත්වීමට හැකිබව නුවනින් දකින්න. ඉදීමීම්, පැසවීම්, වනවීම්, තුවාලවීම්, පිළිකා ආදී මේ මස්‌ ගොඩට අදාළ රෝගාබාධ නුවනින් දකින්න. කලල රූපය, ළදරු, ළමා, තරුණ, මධ්‍යම, වයෝවෘධ ශරීරයේ ජරා ව්‍යාධි මරණ ස්‌වභාවය නුවනින් දකින්න. මනසින් එම ශරීරයත් ගලවා බිමට දමන්න. මේ කමටහන් සියල්ල සිතිවිලි ලෙසින් දැක්‌කාවූ මනස දෙස නුවනින් බලන්න. මනස යනු කුමන ඉන්ද්‍රියද යන්න ඔබට ප්‍රශ්නයක්‌ වනු ඇත. මනස යනු ලේ ධාතුවද, හෘද වස්‌තුවද, මොළයද ආදි ප්‍රශ්න, විතර්ක සිර නොවන්න. ප්‍රශ්න විතර්ක ඇතිකරන සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවිට ඔබ දකින්නේ මනසේ අනිත්‍යභාවය බව සිහිපත් කරන්න. මනසේ ඇතිවන ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්, කාම රාග පටිඝයන් මොන සා නම් කටුක, අමිහිරි දුකක්‌ ඇතිකරනවාද යන්න සිහිපත් කරන්න. මනසේ ඇතිවෙන අලෝභ, අද්වේෂ ධර්මයන්ගේ අනිත්‍යභාවය නුවනින් දකින්න. මනසත්, මනසින්ම ගලවා බිමට දමන්න. දැන් ඔබේ ආයතන හයම බිමට දමලයි තිබෙන්නේ. මනෝමය කයකින්, දැන් ඔබ බිමවැටී තිබෙන ආයතන ගොඩවල් හය දෙස නුවනින් බලන්න. කුණුවීම, නරක්‌වීම, ගඳගැසීම, ඕජාව ගැලීම, නිලමැස්‌සන්ගේ රසැති ආහාරයක්‌ වීම නුවනින් දකින්න.

කුණුවෙන මසට ලොල්වූ සුනඛයෙකු ඔබේ ඇස ගිලදමනවා නුවනින් දකින්න. එය ජීර්ණය වූ එම සුනඛයාගේ අසුචිය තුළින් ඔබේ ඇස දකින්න. ඇස අයිති අසුචියටනම් එවන් ඇස කෙරෙහි අවබෝධයෙන් කළකිරෙන්න. අනිත් ආයතනත් ඉහත ආකාරයටම නුවනින් දකින්න. අවසානයේ මේ ආයතන සියල්ල පොළොවට පස්‌වෙනවා නුවනින් දකින්න. මහපොළොවේ පසත්, ඔබේ රූපයත් සංසන්දනය කර දකින්න. මේ සෑම ආයතනයක්‌ම අතීත, වර්තමාන, අනාගත වශයෙන් ඒවයේ වෙනස්‌වීම නුවනින් දකින්න.

තමන්ගේ ඇස, කන, නාසය…. නුවනින් දකිනවා වගේම, අන්‍යයන්ගේ ඇස කන නාසය …. ඒ ආකාරයෙන්ම විදර්ශනා නුවනින් දකින්න.

භික්‍ෂුව ගිහිකාලයේ මළමිනියක්‌ තැන්පත් කොට තිබූ කොන්ක්‍රීට්‌ වලක්‌ විවෘත කළා. මෙයට වසර දහයකට පෙරාතුවයි එම කොන්ක්‍රීට්‌ වළේ ඒ මිනිය තැන්පත් කොට තිබුණේ. කොන්ක්‍රීට්‌ පියන ඉවතට ගැනීමේදී එම මිනීවළේ තිබුණේ සපත්තු දෙකක්‌ සහ ටයි පටියක්‌ පමණක්‌මයි. දුහුවිල්ලක්‌ බඳු පස්‌ටිකක්‌ තිබුණා. මීට වසර දහයකට පෙර එහි තැන්පත් කළ මළමිනිය රූපය අනිත්‍යභාවයට පත්වෙන වේගයටම ලක්‌වී පරිසරයට එකතුවී තිබුණා. මැරෙන ඇසක්‌, කනක්‌…. කුණුවෙන ඇසක්‌ කනක්‌…. පරිසරයටම මුහුවෙන ඇසක්‌ කනක්‌ …. දෙස කලකිරීමෙන්ම බලන්න. එවිට පිංවත් ඔබතුළ වැඩෙන්නේ කායනුපස්‌සනාවට අදාළව සලායතන භාවනාවයි.