මස්‌ ඇස විදර්ශනාවට ලක්‌ කර ප්‍රඥාවේ ඇස මතු කරගන්න

කායානුපස්‌සනාව – සලායතන භාවනාව

පිංවත් ඔබ දෑස්‌දෙක පියාගෙන ඈත අතීත සංසාර ගමනට සිත යොමුකරලා, ඉපදුන සලායතන ජරා, ව්‍යාධි, මරණවලට පත්වු අයුරු මෙනෙහි කරන්න. අන්ධවූ දෑස්‌, බිහිරිවූ කන්, ගොළුවූ දිව, අංගවිකලවූ ශරීර, රෝගීවූ මනස, ගඳසුවඳ නොදැනෙන නාසය, රස නොදැනෙන දිව නිසා වින්දාවූ දුක්‌ද, ඒ හේතුවෙන් සකස්‌කරගත්තාවූ අකුසල්ද, අකුසල් හේතුවෙන් නැවත වින්දාවූ දුක්‌ද කමටහනක්‌ කරගන්න.

නාමරූප පච්චයා සළායතන කියන ධර්මතාවය යටතේ ඔබට මේ ජීවිතයේ උරුමවුණ ඇස,කන, නාසය, දිව, ශරීරය, මනසට සිත යොමුකරන්න. ඔබේ අම්මාගේ මව්කුසට මනසින් යන්න. මසින් වටවු ගර්භාෂ කුටියේ රුධිරයෙන් ඕජාවන්ගෙන් හමන දුගඳ, පිළීගඳ නොගැටෙන සිතින් අත්දකින්න. සියුමැලි කලල රූපයේ, අතීතයේ සලායතන්හි ප්‍රතිඵලයක්‌ නිසාම ඉපදුන ඇස, කන, නාසය…….. දෙස නුවනින් බලන්න. ලේ, සැරව තැවරිලා අපිරිසිදුභාවයම උරුමකොටගෙන වැඩෙන සලායතනයන් කෙරෙහි කලකිරීම ඇති කරගන්න. පිංවත් ඔබ මේ ලෝකයට බිහිවෙච්ච වෙලාවේ ශල්‍යගාරයේ හෙදි තුමිය ඔබේ කිරිකැටි දෙපාවලින් ඔසවාගත් රූපය නුවනින් දකින්න.

මේ ඇසෙන් ඔබ ඉස්‌සෙල්ලාම දැක්‌කේ ඔබේ අම්මාවයි. ඔබ ඔය කනෙන් ඉස්‌සෙල්ලාම ඇසුවේ ඔබේ අම්මාගේ කටහඬයි. ඒ අම්මා එදා කොච්චර තරුණ අම්මාකෙනෙක්‌ වෙලා සිටින්න ඇතිද? වර්තමානයේ ඒ අම්මාගේ ඇස, කන, නාසය,……. වයසට ගිහිල්ලා. ලෙඩවෙලා මරණයට පත්වෙලා. අම්මාට තිබුණෙත් ලෙඩවෙන, වයසට යන මැරෙන ඇසක්‌, කනක්‌, නාසයක්‌, ශරීරයක්‌, මනසක්‌. ඒවා නිරතුරුවම ජරා, ව්‍යාධි, මරණයට පත්වෙනවා. මනසේ සටහන්වී තිබෙන ධර්මරූප මැකීයනවා.

එක අම්මාකෙනෙක්‌ සිටියා ඇය අවුරුදු 80 වයසේදි ඇගේ මනස දැඩිලෙස රෝගී වෙනවා. ඇය තමන්ගේ දරුවන් හඳුනන්නෙ නැහැ. තමන්ගේ පුතෙක්‌ දුවෙක්‌ ගෙදරට එනකොට ඇය කියන්නේ ඔන්න සිඟන්නනෙක්‌ එනවා දොරවහන්න කියලයි. මතකයේ සටහන්වු ධර්මරූප මැකී ගිහින් මනස කියන ආයතනය දුකම උරුම කරදෙනවා.

මේ ඇස කියන්නේ වෙනස්‌වෙන දෙයක්‌. ලෙඩවෙන මැරෙන දෙයක්‌. එක ඇසක්‌ අන්ධවෙලා ඇස්‌දෙකම අන්ධවෙලා අතීත සංසාරයේ අපි කොච්චර ඉපදෙන්න ඇතිද. චක්‌කුපාල මහරහතන් වහන්සේ උතුම් රහත්භාවයට පත්වෙන්නේ ඇස්‌ දෙකම අන්ධකරගෙනයි. අතීතයේ තවත් පුද්ගලයෙකුගේ ඇසක්‌ නිසා කරගත් අකුසලය රහත්වෙන ආත්මභාවයේ විපාකයට එනවා. අප අතීතයේ කළ අකුසල් අනාගතය භව ගමනේ තවත් කොචචරනම් විපාකයට එයිද? කොච්චරනම් අන්ධභාවයන් අපට ලබාදෙයිද? දෑස්‌ අන්ධ මනුෂ්‍යයෙක්‌ දැක්‌කොත් ඒ අන්ධ මනුෂ්‍යයා තුළින් දෑස්‌ පෙනෙන ඔබව දකින්න. ඔහු අන්ධභාවයට පත්වීමට හේතුවූ අකුසල්සංස්‌කාරය රැස්‌වුණෙත් අතීතයේ යම් දවසක ඇස්‌ දෙකක්‌ නින්‍යභාවයෙන් ආත්මීය භාවයෙන් ගැනීම නිසාම බව ඔබ නුවනින් දකින්න. ඔබේම ඔය සුන්දර ඇස්‌දෙක ඔබව අනාගත සංසාරයේ ඇස්‌ අන්ධකෙනෙක්‌ කරනවානම් ඇස කියන රූපය කෙරෙහි බිය ඇතිකරගන්න.

සුභා මහරහත් තෙරණිය භික්‍ෂුණී ශාසනයේ රූමත් භික්‍ෂුණියක්‌. සුභාතෙරණිය විවේකී විහරණයෙන් ගතකරන්න අන්ධවනයට වඩිනවා. අන්ධවනයේම කාමයන්ගේ ආශ්වාදය සොයායන මනුෂ්‍යයෙක්‌ රූමත් සුභාතෙරණිය දැකල ඇයගේ රූපය කෙරහි ලෝභ සිතක්‌ ඇතිකරගන්නවා. ඒ නිසාම ඇයගේ රූපය අයිතිකරගන්න සිතනවා. මේ කාමයෙන් අන්ධවූ මනුෂ්‍යයා සුභාතෙරණියට කියනවා ඔය ඇස්‌දෙක හරිම ලස්‌සනයි ඔය ඇස්‌දෙක මට අයිති කරගන්න ඕනමයි කියල. සුභාතෙරණිය මේ කාමයන්ගෙන් අන්ධවු මනුෂ්‍යයාට කියනවා ඔබ ඔය ඇස්‌දෙකෙන් දැකලා මනසින් සිතල ඇතිකරගත්තාවූ සෑම චින්තනයක්‌ම ඔබට නිරාදුකක්‌ හිමිකරදෙනවා කියලා. ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට පත්වෙන ඇසක්‌, කනක්‌……….. රසගුලාවක්‌ ලෙසදැක්‌කා. මේ මනුෂ්‍යයෝ කෙසේනම් නිරයේ දුක හඳුනාගන්නද?

දුකත් දුකට හේතුවත් නොදන්නා නිසාම මේ කාමාතුර මනුෂ්‍යයා සුභාතෙරණියගේ අවවාදය පිළිගන්නේ නැහැ. අතීතයේ සුභාතෙරණිය ඇස නිසා සකස්‌කරගත් අකුසලයක්‌ විපාකයට පැමිණි නිසාදෝ සුභාතෙරණිය තම ඇඟිලි තුඩුවලින් තම දෑස්‌ දෙක උගුල්ලා මේ කාමාතුර මනුෂ්‍යයාට මෙන්න ඔබ ඉල්ලන ලස්‌සන ඇස්‌දෙක කියල ලේ වැගිරෙන ඇස්‌දෙක දිගුකරනවා. දැන් අන්ධ සුභාතෙරණිය ප්‍රඥාවේ ආලෝකයෙනුයි ලෝකය දැක්‌කේ සුභාතෙරණියගේ දෑස්‌දෙකට ලොල්වූ කාමාතුර මනුෂ්‍යයාට තම පෙනෙන ඇස්‌දෙකෙන් දීර්ඝ නිරයේ දුකකට අවශ්‍ය සාධක සකස්‌කරගෙන පලායනවා. පිංවත් ඔබ, සුභාතෙරණිය තම ඇඟිලි තුඩුවලින් ගලවා කාමතුර මනුෂ්‍යයාට දිගුකළ ඇස්‌ගොබ දෙස නුවනින් දකින්න. රුධිරය, කදුළු බේරෙන, නහරවැල් එල්ලූන, රඹුටන් මදයක්‌වගේ මළ ඇස්‌දෙක නුවනින් දකින්න. මනසින් ඔබේ ඇස්‌ දෙක ගලවා දෝතට ගන්න. දෑස්‌ අන්ධවූ ඔබේ රූපයත් කුණුවීමට අයිති ඇසත් දෙස නුවනින් දකින්න. ඇස්‌ රෝහල, ඇස්‌ රෝහලේ රොගීන්, ඇස්‌ රෝග නුවණින් දකිමින් මස්‌ ඇස විදර්ශනාවට ලක්‌කර ප්‍රඥාවේ ඇස මතුකරගන්න. රෝහල් ආශ්‍රිතවම රෝග ආශ්‍රිතවම කමටහන් මතුකරගෙන ආයතන හය කෙරෙහි ජරා, ව්‍යාධි, මරණ ධර්මතාවයන් ඔස්‌සේ කලකිරීම ඇතිකරගන්න. ඇස නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌වෙන කෙලෙස්‌ වැස්‌ස ඒ කෙලෙස්‌ වැස්‌ස නිසා දිගුවන සංසාර ගමන දකිමින් ආයතන හය කෙරෙහි කලකිරීම ඇති කරගන්න.