මෙතැන් සිට සමථ-විදර්ශනාවට එන්න

සබ්බාස සූත්‍රයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කළ, දර්ශනයෙන්, වීර්යෙන්, සංවරයෙන්, ප්‍රත්‍යවේක්‍ෂාවෙන්, දුරුකිරීමෙන්, මඟහැර යැමෙන් ආශ්‍රවයන් ප්‍රහාණය කිරීමෙන් අනතුරුවයි, බුදුරජාණන් වහන්සේ සමථ-විදර්ශනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ගැන දේශනා කරන්නේ. පිංවත් ඔබ ඉහත කාරණා හයෙන් පිරිසිදුභාවයට පත්වුණොත් පමණයි, ඔබ තුළ අර්ථවත් ආකාරයට, සමථ-විදර්ශනාව වැඩෙන්නේ. ඉහත කාරණා හයෙන් ඔබේ කෙළෙස් ධර්මයන් තුනී කොටගැනීමෙන් තොරව, පළමු අදියරේ දී ම සමථ-විදර්ශනාව පුහුණුවීමට ගියොත්, සමථ-විදර්ශනාවේ නාමයෙන් ඔබ තුළ වැඩෙන්නේ සක්කාය දිට්ඨිය ම යි. එම නිසා පිංවත් ඔබ, එරමිණියා ගොතාගෙන සමථ-විදර්ශනාව පුහුණුවීමට පෙරාතුව, එදිනෙදා ජීවිතයේ දී, නිවසේ දී, කාර්යාලයේ දී, සබ්බාසව සූත්‍රයට අදාළව ඉහත කාරණා හය ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න. එය සමථ-විදර්ශනාව තුළ ශක්තිමත් වීමට ඔබට අර්ථවත් පූර්වකෘතියක් වේවි.

සබ්බාසව සූත්‍රය ගැන සටහන අවසන් කරනකොට, සබ්බාසව සූත්‍රයේ අර්ථයන්ගෙන් තොරව සමථ-විදර්ශනාව පුහුණු කළ මහත්මයෙක්ගේ ක්‍රියාවක් මතකයට එනවා. දිනක් භික්‍ෂුව ආරණ්‍යයක වැඩසිටින විට පිංවත් මහත්මයෙක් භික්‍ෂුවගෙන් විමසුවා, ආරණ්‍යයේ තමන්ට භාවනා කරන්න කුටියක් හිස්ව තිබෙනවා ද කියලා. ඒ මහත්මයා ප්‍රකාශ කළේ තමන් අධිගමලාභියෙක් ය කියලයි. භික්‍ෂුව එම මහත්මයාගෙන් විමසුවා, ”ඇයි මහත්මයා නේවාසික භාවනා කුටියක් සොයන්නේ” කියලා. එවිට ඒ මහත්මයා කියනවා, ”හාමුදුරුවනේ, මම රාත්‍රියට ආහාර අනුභව කරලා, නිවසේ මගේ කාමරයට ගිහින් දොර අගුළු දමාගෙන භාවනා කරන්න පටන්ගන්නවා. පසුදා උදෑසන හයට තේ කෝප්පයක් හදාගෙන ඇවිත් මගේ බිරිඳ කාමරයේ දොරට ගහනවා. බිරිඳට කිව්වාට අහන්නේ නැහැ, පාන්දර හයට දොරට ගහන්න එපා ය කියලා. බිරිඳගේ මේ කරදරය නිසයි මම භාවනා කරන්න කුටියක් සොයන්නේ” කියලා. ඒ මහත්මයා මේ කියන්නේ, රාත්‍රී ආහාරයෙන් පසුව පටන්ගන්නා භාවනාව, පසුදා උදෑසන හය දක්වා කරගෙන යනවා කියලා. ඒ කියන්නේ පැය 9ක් පමණ එකදිගට භාවනා කරනවා, බිරිඳගේ උදේ තේ කෝප්පය නිසා භාවනාව කැඩෙනවා කියලා. මේ මහත්මයා එක පැත්තකින් තමා අධිගමලාභියෙක් හැටියට ප්‍රකාශ කරනවා. අනෙක් පැත්තෙන් තමා ඉස්මතුකොට පෙන්වීමට අමූලික බොරුවක් කියනවා. අවම වශයෙන් සිල්පද පහවත් ආරක්‍ෂාකර ගන්න උත්සාහයක් ගන්නේ නැහැ. සබ්බාසව සූත්‍රයට අදාළව, ආශ්‍රවයන් හීන කිරීමේ, සිත පිරිසිදු කිරීමේ පූර්වකෘති කිරීමෙන් තොරව සමථ විදර්ශනාව පුහුණු කරලා, සමථ-විදර්ශනාවේ නාමයෙන් සක්කාය දිට්ඨිය වඩවාගත්ත චරිතයක කථාවකුයි භික්‍ෂුව ඉහතින් සටහන් තැබුවේ. පිංවත් ඔබ සමථ-විදර්ශනාව පුහුණුවීමට පෙරාතුව සබ්බාසව සූත්‍රයේ අර්ථයන් නිවැරදිව ජීවිතයට එකතුකොට ගෙන සමථ-විදර්ශනාව සාර්ථක කොටගන්න දක්‍ෂ වෙන්න.