මේ කීවේ නිරයන් 128ක් අතුරින් 7ක් ගැන පමණි

(නිරය – අවසන් කොටස)

පිංවත් ඔබට දැන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, නිරයේ සිටින යමපල්ලන් කියන්නේ කවුරුන් ද කියලා. යමපල්ලන් කියන්නේ නිරයේ උපත ලබා ඇති ආයුෂ, වර්ණය, බලය වැඩි නිරිසතුන් පිරිසක් ම යි. යමපල්ලන් නිරයේ උපත ලබන්නේ අතීත බලවත් අකුසල විපාකයන් නිසා. පිංවත් ඔබ මෙහෙම සිතන්නකෝ: දුප්පත් කම්කරු මහත්මයෙකුත්, රටේ පාලක පිංවතෙකුත් සිහියට නඟාගන්නකෝ. දෙදෙනා ම මනුෂ්‍යයෝ, නමුත් දෙදෙනාගේ ආයුෂ, වර්ණය, සැපය, බලය වෙනස්. සිරගෙදර අලුගෝසු මහත්මයෙක්, මරණ දඬුවමට නියම වූ සිරකරුවන් සිහියට නඟාගන්නකෝ. නිරිසතාත් යමපල්ලාත් කියන්නේ ඉහත ස්වභාවයන්ට යටත් දෙදෙනෙක්. නිරයේ තිබෙන කටුක, උෂ්ණාධික පරිසරය නිසා ම ආයුෂ, වර්ණය, බලය වැඩි යමපල්ලන් නිරතුරුව ම වියරුවෙන් සිටින්නේ. යමපල්ලන් ලබන එක ම සැපය තමයි, නිරිසතුන් දණ්ඩනයට පත්කර ලබන සැපය. යමපල්ලන්ගේ මේ වියරු සැපය නිසා ම යමපල්ලන් අතිශයින් තියුණු අකුසල් රැස්කර ගන්නවා. නිරිසතුන්ගේ අකුසල් විපාකයන් බලවත්භාවය නිසා ම යි, යමපල්ලන්ගේ වියරුභාවය සකස්වෙන්නේ.

පිංවත් ඔබ යුධ සමයක වධකාගාරයක් සිහියට නඟාගන්න. වධකාගාරයේ යුධ සිරකරුවන්ට දසවධ දෙන වධකයන් වධයට ලක්වෙන සිරකරුවන් ගැන දුක්වෙනවා ද? වධකයන්ගේ එකම වියරුව වධදීම යි. ඔවුන් අනුනට වධදීමෙන් ම යි තෘප්තියක් ලබන්නේ. විදේශ රටවල සත්ව ගොවිපළවල්වල ඌරන්, හරකුන් මරනවිට එම සතුනට අතිශය කෲර වධයන් පමුණුවනවා. හරකා කකුල් දෙකෙන් බාල්කයක එල්ලලා, එම සතාගේ උගුරු දණ්ඩ කපලා බාල්දියට ලේ ටික එකතුකර ගන්නවා. ඌරන් මැරීමට පෙර එම සතුනට දරුණු ලෙස පහර දෙනවා. සත්ව හිංසාකරුවන් මේ සියල්ල කරන්නේ හරි ම තෘප්තියෙන්. නිරයේ නිරිසතුන්ට දඬුවම් කරන යමපල්ලන්ගේ ක්‍රියාකාරීත්වයත් ඉහත කාරණයන්ට අදාළව පිංවතුන් තේරුම් ගතයුතු යි. මේ මොහොතේ නිරයේ නිරිසතුන්ට දසවධ දෙන යමපල්ලන් ඊළඟ මොහොතේ දුක් විඳින නිරිසතෙක් බවට පත් වී යමපල්ලන්ගේ වියරු දණ්ඩනයන්ට ලක්වෙන්න පුළුවන්.

නිරයන්ගේ යම් ස්වභාවයන් ගැන භික්ෂුව තැබූ ඉහත සටහන සමහරක් පිංවතුන්ලාගේ විවේචනයට ලක්වෙන්න පුළුවන්. මෙම සටහන තුළින් භික්ෂුවට අවශ්‍ය වුණේ නිරය යනු, වැරදි කරන අයට දඬුවම් දීමට කෘත්‍රිමව නිර්මාණය වූවක් නො ව, නිරය යනු මහපොළොව යට තිබෙන ස්වාභාවික පරිසරයක් ය කියන කාරණය පිංවත් ඔබලාට මතුකර පෙන්වන්න.

මනුෂ්‍ය ලෝකයේ ඇති ස්වාභාවික සෞම්‍ය පරිසරයේ පිංවත් ඔබ උපත ලැබුවේ අතීත පිනේ ශක්තිය නිසා ම යි. තවත් පිංවතෙක් ඈත ශුෂ්ක ප්‍රදේශයක, කාන්තාර ප්‍රදේශයක උපදින්නේ එම පිංවතාගේ අකුසල් සංස්කාරයන් විපාකදීම සඳහා ම යි. අකුසල් සිදුකරගන්නා, සිල්පද දුර්වල කරගන්නා මනුෂ්‍යයෝ, දෙවියන් එම අකුසල් විපාක දීමට ගැළපෙන ගිනියම් වූ ස්වාභාවික පරිසර පද්ධතියක් වන නිරයේ උපද්දනවා.

පිංවත් ඔබ මොහොතක් දෑස් දෙක පියාගෙන, ගිනිකඳුවලින් ගහන පරිසරයක, ලෝදිය, ලාවා මහපොළොව මත ගලාගෙන යන පරිසරයක, උණු අළුවලින් මහපොළොව වැසීගිය පරිසරයක, මුවහත ඇති තියුණු කටු, උල්, කොළ, අතු සහිත ශාක බහුල පරිසරයක, ගංගා, ඇළ, දොළ ලෝදියවලින්, ලාවාවලින් පිරීගිය පරිසරයක, ඔබ වටා ආයුෂ, වර්ණ, සැප, බලය වැඩි වියරු මිනිසුන්, වධකයන් ජීවත්වන පරිසරයක ඔබ ඉපදුණොත් ඇතිවෙන කටුක දුක මොහොතක් නුවණින් දකින්න. පොළොව ගිනියම් වී ඇති නිසා ඔබට නැවතී සිටින්නත් බැහැ. මුවහත තියුණු කටු, උල්, අතු, කොළ, සහිත ගස්කොළන් නිසා ඔබට දුවන්නත් බැහැ. නමුත් නිරයට ඔබ වැටුණොත් බැහැ කියලා බැහැ. අත, පය, බෙල්ල, සම්, මස්, නහර ඉරාගෙන, කපාගෙන ඔබට දුවන්නට වෙනවා. මොකද, ගිනියම් වූ පොළොව ඔබට නැවතී සිටින්නට ඉඩදෙන්නේ නැහැ. නිරයේ ගිනිගන්නා ස්වාභාවික පරිසරයේ ඔබ උපත ලැබුවොත් නැවතීමක් ගැන හෝ ආරක්ෂා වීමක් ගැන හිතන්නවත් බැහැ.

පිංවත් ඔබ මේ සටහන කියවා අකුසලය ඉදිරියේ, දුශ්ශීලභාවය ඉදිරියේ සතිය, සිහිය ඇතිකරගන්න. එවිට ඔබ නිරයට වැටීමෙන් නැවතුණා වෙනවා; ගිනියම් වූ පොළොවේ අතපය ඉරාගෙන දුවන දිවීම නැවැත්තුවා වෙනවා. අකුසලය ඉදිරියේ පිංවත් ඔබ ඇතිකරගන්නා සතිය, සිහිය මුල්කරගත් සතර සතිපට්ඨාන ධර්මතාවයන් ම යි පිංවත් ඔබව මේසා දරුණු සතරඅපා දුකෙන් මුදවා දෙන්න උපකාරක ධර්මයක් සකස්කර දෙන්නේ. භික්ෂුව ඉහත සටහනින් මතුකර පෙන්වූයේ නිරයන් 128කින් නිරයන් 7ක ස්වභාවය පමණක් බව පිංවත් ඔබට මතක් කර සිටිමි.