පංච උපාදානස්කන්ධයට අදාළව සංඥාව හේතුවෙන් සකස් වෙන ඵලය තමයි සංස්කාර. හඳුනාගන්නා දෙය ගැන සිතීම නිසා, සංස්කාර සකස්කොට ගන්නවා. සංස්කාර ධර්මයන් කුසල්, අකුසල් කියලා කොටස් දෙකකට බෙදෙනවා. පිංවත් ඔබ රැස්කොටගන්නා සෑම කුසල් අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයට පත්වෙනවා. විපාක දී අනිත්‍යභාවයට පත්වන සංස්කාරයන් අප ‘මගේ’ කර ගන්නවා. සංස්කාරයන් තුළ ‘මම’ සිටිනවාය කියලා දකිනවා. මා තුළ නොවෙනස් වන සංස්කාරයන් තිබෙනවාය කියලා දකිනවා. ඒ සංස්කාරයන් තුළ ආත්මයක් තිබෙනවාය කියලා දකිනවා. මේ හේතුවෙන් සංස්කාරයන් කෙරෙහි මමත්වයේ දැඩිභාවය ඇතිකොටගන්නවා. පිංවත් ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණයෙන් යුත් රූපකාය සිහියට නගාගන්න. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්, දස පාරමී ධර්මයන්ගේ කුසල් ශක්තියෙන් ලද ඵලයක් බව නුවණින් දකින්න. ඒසා ශක්තිමත් කුසල් සංස්කාරයනුත් පිරිනිවන් මංචකයේදී අනිත්‍යභාවයට පත්වී ගිය හැටි නුවණින් දකින්න.
පිංවත් ඔබ දේවදත්ත හාමුදුරුවන්ගේ පාපකාරී ජීවිතය නුවණින් දකින්න. මහ පොළොව පලාගෙන දේවදත්තයන් අවිචි මහා නරකාදියට වැටුණු හැටි නුවණින් දකින්න. මේ සා බලවත් අකුසල විපාකයක් ලැබුවත්, එම බරපතළ අකුසලයන් ද අනිත්‍යභාවයට පත්වී දේවදත්ත කල්ප ගණනාවකට පසු පසේ බුදුරජාණන් නමක්ව පිරිනිවී යන හැටි නුවණින් දකින්න. පිංවත් ඔබ ඔබේ මනුෂ්‍ය ජීවිතය, ඔබේ ප්‍රසන්න අඟ පසඟ, අධ්‍යාපනය, රැකියාව, විවාහය, සමාජ තත්ත්වය ආදිය කුසල් අකුසල් සංස්කාරයන්ගේ ඵලයක් බව දකිමින් ඒවා නිරතුරුවම වෙනස් වන හැටි නුවණින් දකින්න.
වර්තමාන සමාජයේ පිංවතුන්ලා විශාල වශයෙන් දානමය, ශීලමය පිංකම් සිදුකරනවා. මෙවැනි පිංකම් සිදුකිරීමේදී සමහරක් පිංවතුන් පින කෙරෙහි ලෝභ සිත් ඇතිකරගෙන කටයුතු කරනවා. මෙවැනි කාරණා තුළ සැඟවී තිබෙන්නේ සංස්කාර තුළ මම සිටිනවාය, මා තුළ සංස්කාර සිටිනවාය කියන මෝහ මූලික අර්ථයයි. කුසල් සංස්කාරයන් නිසා ඉහළට මතුවන සක්විති රජුත්, ශක්‍රයාත් අකුසල් සංස්කාර හේතුවෙන් දුගතියට වැටිය හැකිනම් සංස්කාරයෝ අනිත්‍යයයි කියලාම දකින්න. පිංවත් ඔබ නිරතුරුවම සශ්‍රික දෙවියෙක්, දිව්‍යාංගනාවක් සිතෙන් මවාගෙන ඒ දිව්‍ය ජීවිත අනිත්‍යවී යන හැටි නුවණින් දකින්න. සුරූපී කාන්තාවක්, පිරිමියෙක් සිතින් මවාගෙන කුසල් සංස්කාරයන් නිසා ලැබුණු සුරූපීභාවය, අනිත්‍යභාවයට පත්වන හැටි නුවණින් දකින්න. දුප්පත් මනුෂ්‍යයෙක් ලොතරැයියක් දිනුම් ඇදීමෙන් කෝටිපතියෙක් වෙනවා නුවණින් දකින්න. සංස්කාරයෝ නිරතුරුවම ආත්මීයභාවයක් නැති, අනාත්ම ධර්මතාවයක් බව නුවණින් දකිමින් සංස්කාර කෙරෙහි ඇති මමත්වයේ දැඩිභාවය සියුම්කොට ගන්න. සංස්කාර යනු සංඥාව හේතුවෙන් සකස්වෙන ඵලයක් මිස, මගේ කොට ගැනීමට එහි ස්ථිර කිසිවක් නොමැති බව නුවණින් දකින්න.
පංච උපාදානස්කන්ධ ධර්මයන්ට අදාළව බුදුරජාණන්වහන්සේ මීළඟට දේශනා කරන්නේ සංස්කාර හේතුවෙන් සකස්වෙන ඵලය වන විඥානය ගැනයි. විඤ්ඤාණය කියලා කියන්නේ විශේෂ වූ ඥාණයට. යමක් දැනගන්නවාය කියන අර්ථයටත් විඤ්ඤාණය කියලා කියනවා. පිංවත් ඔබ යමක් හඳුනාගත්තාද, ඒ හඳුනාගත් දෙය ගැන සිතනවා. ඔබ යමක් ගැන ද සිතන්නේ, ඒ සිතන දෙය ගැන දැනීමක් ඇති කොට ගන්නවා. ඔබ කුමක් ගැන ද දැනගන්නේ ඒ දැනගත් දෙයට බැඳී යනවා. පිංවත් ඔබ ආහාරයක් අනුභව කරනකොට එය තිත්ත නම්, තිත්ත බව දැනගන්නවා. එම ආහාරය පැණිරස නම්, පැණිරස බව දැනගන්නවා. යමක් සුවඳ නම් එය සුවඳ බව දැනගන්නවා. යමක් දුගඳ නම් එය දුගඳ බව දැනගන්නවා. ඔබ යම් පිංවතෙක් ඇසුරු කරලා ඔහු හොඳයි හෝ නරකයි කියලා දැනගන්නවා. ආණ්ඩුව හොඳ ආණ්ඩුවක්ය හෝ දුර්වල ආණ්ඩුවක්ය කියලා දැනගන්නවා. නායකයා හොඳ හෝ නොහොඳය කියලා දැනගන්නවා. දොස්තර මහත්මයා හොඳය කියලා දැනගන්නවා. දැන් පිංවත් ඔබ නුවණින් දකින්න ඔබ යම් රූපයක් කෙරෙහි එවැනි විශේෂ දැනීමක් ඇති කර ගත්තා නම්, ඒ සෑම දැනීමක්ම අනිත්‍යයයි නේද? තමන්ට හොඳයි කියලා ඡන්දය දීලා රජයක් පත්කර ගන්නවා. වසර 5 කින් රජය නරකයි කියලා පරාජයකොට දමනවා. බුදුරජාණන්වහන්සේ විඤ්ඤාණය මැජික්කරුවෙක්ය කියලා දේශනා කරනවා. මරණාසන්න පුද්ගලයෙකුගේ චුති සිතට දැනීමක් ඇතිවෙනවා ඔහු ලබන්නේ සුගතියේ උපතක් ද, දුගතියේ උපතක් ද කියලා. මේ දැනීම නිසාමයි සුගතියේ උපතේදී පුද්ගලයා සතුටු සිතිනුත්, දුගතියේ උපතේදී පුද්ගලයා ගැටෙන සිතිනුත් මියයන්නේ. පටිච්චසමුප්පාද ධර්මයේදී බුදුරජාණන් වහන්සේ ‘සංස්කාර පච්චයා විඥ්ඥාණ ‘ කියලා දේශනා කරනවා. සංස්කාර නිසා සකස්වෙන කර්ම ශක්තිය විඤ්ඤාණය කියලයි එයින් අදහස් වෙන්නේ. මේ කර්ම ශක්තිය ආයතනය හය තුළින්, ආයතන මැරෙමින් ඉපදෙමින්, ඇතිවෙමින් නැතිවෙමින් භවය කරා ගමන් කරනවා. විඤ්ඤාණය පංච උපාදානස්කන්ධයේ සෑම උපාදානස්කන්ධයක් අතරටම වැදී සියුම් ආකාරයෙන් ක්‍රියාත්මක වන නිසාත්, විඤ්ඤාණය වේගයක් පමණක් වන නිසාත්, විඤ්ඤාණය මැජික්කරුවෙක්ය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. විඤ්ඤාණයේ වේගය කොතෙක් ද කියනවා නම්, මේ මොහොතේ මනුෂ්‍යයෙක්ව සිටින ඔබ ඊළඟ නිමේෂයේදී මරණයෙන් පසු දෙවියෙක්, නිරිසතෙක් බවට පත්කරනවා. යොදුන් ලක්ෂ ගණනක් ඈත තිබෙන දිව්‍ය තලයක නිරයක උපතක් තත්පරයක් තුළදී සකස්කොට දෙන්න විඥානයේ වේගයට හැකියාව තිබෙනවා. කවදාහරි දිනයක පිංවත් ඔබ විඤ්ඤාණය අවබෝධ කරගතහොත් ඔබ අවබෝධ කරගන්නේ විඥානය යනු වේගයක් පමණක්ම බවයි. ඒ වේගය තුළ ඔබ දකින්නේ හිස්භාවය පමණක්මයි. ඒ නිසාම ඔබට විඥානය කෙරෙහි ඇති තෘෂ්ණාව සිඳී යනවා.
පිංවත් ඔබ දැන් නුවණින් දකින්න, ඔබේ ජීවිත කාලය තුළ ඔබ ඇසින් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අසලා, දිවෙන් නාසයෙන්, ශරීරයෙන්, මනසින් යම් දැනීමක් ඇතිකරගන්නවා නම්, ඒ ඇතිකොටගත්තා වූ සෑම දැනීමක්ම අනිත්‍යයයි නේද? ඒ දැනීම හිස් දෙයක් නේද? ඒ දැනීම තුළ ආත්මයක්, සත්වයෙක්, පුද්ගලයෙක් හිටියේ නැහැ නේද? පිංවත් ඔබේ ජීවිත කාලය තුළ ඔබ ඇතිකොටගත් සෑම විශේෂ දැනීමක්ම අනිත්‍යයි කියලා නුවණින් දකිමින් ජීවත්වෙන්න.
පංච උපාදානස්කන්ධයට අදාළව රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන ධර්මථාවයන් පහ කෙරෙහි ඔබ ‘මමය’ ‘මගේය’ කියන දෘෂ්ඨීන් නුවණින් මෙනෙහි කිරීම තුළින්ම හීන කොටගන්න. දර්ශනයෙන් ප්රහාණය කළ යුතු ආශ්‍රවයන්, ඒ කියන්නේ සෝවාන් ඵල අවබෝධයෙන් ප්රහාණය වන සක්කාය දිට්ඨිය එවිට ඔබෙන් ප්රහාණය වෙලා යාවි.