භාවනාවට පෙර – මෙසේ කළ යුතුමය

සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය

අපිරිසිදු වුණු ළිඳක්‌ තියෙනවා. එම ළිඳෙහි පස්‌, මඩ, කොළරොඩු පිරිලා. පිංවතෙක්‌ මේ ළිඳ පිරිසිදු කිරීමේ අරමුණින් ඉසිනවා. නමුත් ඔහු ළිං පතුළේ ඇති පස්‌, මඩ, කොළරොඩු ඉවත් කරන්නේ නැහැ. ඒ හේතුව නිසාම, තාවකාලිකව ළිඳේ ජලය පිරිසිදු වුණත්, මොහොතකින් ජලය අපිරිසිදු වෙනවා. ආශ්‍රවයන්, කෙළෙස්‌ ධර්මයන් තැන්පත්වූ සන්තානයක, එම අපිරිසිදු ආශ්‍රවයන් ක්‍රමානුකූලව ඉවත් කරගැනීමෙන් තොරව, යම් පිංවතෙක්‌ සමථ, විදර්ශනා භාවනාවන්ට යොමුවුණොත්, මොහොතක ආශ්වාදයක්‌ ලැබුවත්, ඉක්‌මනින් හිත විසිරී යනවා. එයත් හරියට අපිළිවෙලට පිරිසිදු කළ ළිඳ වගේ. පිංවත් ඔබට, සමථ විදර්ශනා භාවනාවන් වැඩීමට පෙර එදිනෙදා ජීවිතයේදී ආශ්‍රවයන් හීන කරගන්නා කාරණා හයක්‌ සබ්භාසව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

එම කාරණා හය වන්නේ දර්ශනයෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන්, සංවරයෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන්, ප්‍රත්‍යාවේක්‍ෂයෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන්, ඉවසීමෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන්, මගහැරයැමෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන්, දුරුකිරීමෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් කියලා. මේ කාරණා හයට පසුවයි, බුදුරජාණන්වහන්සේ සමථ විදර්ශනාවෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් ගැන සඳහන් කරන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝක ධර්මයන්, ඒ කියන්නේ ඉපදීම- මරණය, කුසලය- අකුසලය, සුගතිය-දුගතිය, දුප්පත්-පොහොසත්බව, තෙරුවන්ගේ පහළවීම ගැන නුවණින් මෙනෙහි කිරීමට අදක්‍ෂ පුද්ගලයා තුළ නූපන්නා වූ ආශ්‍රවයන් උපදිනවාය කියලා. ඉපදුනාවූ ආශ්‍රවයන් වැඩෙනවාය කියලා. යම් පිංවතෙක්‌ ලෝක ධර්මයන් නුවණින් මෙනෙහි කරමින් යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ජීවත්වෙන්නේ නම්, ඔහු දුක දෙය දුක වශයෙන් දැනගන්නවා. අසුබ දෙය අසුබ වශයෙන් දැනගන්නවා. අනිත්‍ය දෙය අනිත්‍ය වශයෙන් දැනගන්නවා. අනාත්ම දෙය අනාත්ම වශයෙන් දැනගන්නවා කියලා. මේ හේතුවෙන් අවිද්‍යාව මෝදුකොට දෙන ආශ්‍රවයන්ට ඔබ තුළින් නැගී සිටීමට ඇති අවස්‌ථාව හීන වෙනවා. බුදුරජාණන් වහන්සේ සබ්භාසව සූත්‍රයට අදාළව දේශනාකොට ඇති කාරණා හයෙන් පිංවත් ඔබ සිත පිරිසිදුභාවයට පත්කර නොගෙන සමථ විදර්ශනා භාවනා වැඩීමට ගියොත්, කෙටි ආශ්වාදයක්‌ සහ විසිරුණු සිතක උරුමය පමණයි ඔබට හිමිවන්නේ.

සමහරක්‌ භාවනා කරන පිංවතුන්, නිරතුරුවම අසන ප්‍රශ්නයක්‌ තමයි ‘ස්‌වාමීන්වහන්ස, භාවනා කිරීමේදී නිතර සිත විසිරෙනවා. කුමක්‌ද ඊට කරන්නේ’ කියලා. ඊට කළ යුතු ප්‍රතිකර්මය තමයි සබ්භාසව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ.

එම නිසා පිංවත් ඔබ, සමථ විදර්ශනා භාවනා වැඩීමට පෙරාතුව පූර්වකෘත්‍යයක්‌ ලෙස ඉහත කාරණා හය ජීවිතයට එකතු කරගන්න.

1. සබ්භාසව සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරන මුල්ම කාරණය තමයි, දර්ශනයෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන්, ඒ කියන්නේ සෝවාන් ඵල අවබෝධයෙන් ප්‍රහානය වෙන ආශ්‍රවයන්. දර්ශනයෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් ඔබ සම්පූර්ණයෙන්ම ප්‍රහානය කොට දමන්නේ සෝවාන් ඵලයට පත්වෙන මොහොතෙයි. එතෙක්‌ ‘මම’ය කියලා ගත්තා වූ දැඩි දෘෂ්ටිය නිසා පටිච්ඡ සමුප්පාද ධර්මයන්ගෙන් බැහැරව ආත්මීය දෘෂ්ටියෙන් ජීවිතය දකිනවා. ‘මා තුළ ආත්මයක්‌ තිබෙනවා. එම ආත්මය තුළ මම සිටිනවා. මම ගිය ජීවිතයේදී සිටියා. මරණයෙන් මතු මම සිටිනවා. අසනීපයකදී, දුකකදී, සතුටකදී මා තුළ දුක්‌, සැප විඳිනා කෙනෙක්‌ සිටිනා බව දකිනවා. රූපය තුළ, වේදනාව, සංඥාව, චේතනාව, විඥානය තුළ මම සිටිනවා කියලා දකිනවා. මේ නිසාම රූපය මගේකොටගෙන වේදනාවක්‌ ඇතිකොටගන්නවා. වේදනාව මගේ කොටගෙන සංඥාවක්‌ ඇතිකරගන්නවා. සංඥාව මගේ කොටගෙන චේතනාවක්‌ ඇති කරගන්නවා. ෙච්තනාව මගේ කොටගෙන විඤාණය ඇතිකොටගන්නවා. ඒ නිසාම භවයට ගලාගෙන යන ආශ්‍රවයන් ඔබ ඇතිකොට ගන්නවා.

දර්ශනයෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් යටතේ සක්‌කායදිට්‌ඨිය නැතිකොට ගැනීමට කැමති පිංවතා නිරතුරුවම පංචඋපදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙනවා. ඔහු මුලින්ම මමය කියලා ගත්තාවූ රූපයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙනවා. රෝගයන්ට, ව්‍යාධීන්ට මරණයන්ට තෝතැන්නක්‌ වූ රූපය දෑස්‌ පියාගෙන හිඳිමින් පුපුරා යන සැරව ගෙඩියක්‌ සේ දකිනවා. ඔහු තම රූපය අසූචි පිරවූ කළයක්‌ වශයෙන් දකිනවා. ඔහු තම රූපය කුණුවී යන මස්‌ගොඩක්‌ වශයෙන් දකිනවා. මෙවැනි උපක්‍රම තුළින් රූපය තුළ මම, මම තුළ රූපය, රූපය තුළ ආත්මයත්, ආත්මය තුළ රූපයත් තිබෙනවාය කියන දෘෂ්ටියේ නිරුවත හෙළිකොට ගන්නවා. තම රූපය තුළින් නිරතුරුවම ළදරුවෙක්‌, ලෙඩෙක්‌, මහල්ලෙක්‌, මළකඳක්‌ මතුකොට දකින්න ඔබ දක්‍ෂ නම් ඔබේ මියගිය ඥාතියාගේ රූපය ඔබේ පවුලේ සුසානභූමියේ පසත් සමග සංසන්දනාත්මක දැකීමට ඔබ දක්‍ෂ නම්, ඒ දක්‍ෂභාවය ඇතිකොටගන්නා මොහොතක්‌ පාසා, සක්‌කායදිට්‌ඨියට ඔබ අභියෝග කළා වෙනවා. පිංවත් ඔබ මේ සියල්ල සිදුකරන්නේ නුවණින් මෙනෙහි කිරීමෙන්. තවම ඔබ එරමිනියා ගොතාගෙන භාවනාවට වාඩිවෙලා නැහැ. විවේකීව සිටින සෑම මොහොතකම, කැමති ඉරියව්වකින්, ඉහත කාරණාව නුවණින් දකින්න.