මැතිවරණයක සැඟවුණු මාරධර්ම

පිංවත් ස්වාමීන් වහන්සේ ඉකුත් ජනාධිපතිවරණය (2015) අවසන් වී නොබෝ දිනකින්, එහි ප්‍රතිඵලය ධර්මයේ ඇසින් විවරණය කළ ලිපිය.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දුර්ලභ කාරණාවන් 5 ක්‌ තිබෙනවාය කියලා. ලොව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම පළමු දුර්ලභ කාරණය වෙනවා. ගෞතම බුදුරජාණන්වහන්සේ දඹදිව පහලවන විට, මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු එකසිය විස්‌සක්‌ වුණා. ගෞතම බුදුරජාණන් වහන්සේට පෙරාතුව බුද්ධත්වයට පත්වූ කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ කාලයේ මනුෂ්‍ය පරමායුෂ අවුරුදු විසිදහසක්‌ වෙනවා. එතකොට පිංවතුන් ගණනය කර බලන්න අවුරුදු විසිදහසක පරමායුෂ අවුරුදු 120 ක්‌ දක්‌වා අඩුවෙන්න අවුරුදු දස ලක්‍ෂයකට වැඩි කාලයක්‌ ගතවෙනවා. නැවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතිවෙන්නේ මනුෂ්‍යයාට පරමායුෂ අවුරුදු අවුරුදු අසූදහසක්‌ වෙන කාලයේදී. ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාණන්වහන්සේ පහළවෙන්න තවත් අවුරුදු ලක්‍ෂ 25 කට වඩා ගතවෙනවා. බුදුරජාණන්වහන්සේ නමකගේ පහළවීම මොනතරම් දුර්ලභ කාරණයක්‌ද.

දෙවැනිව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, දුර්ලභව පහළවෙන තථාගතයන්වහන්සේ නමක්‌ දේශනා කරන ධර්ම විනය නිවැරදිව දේශනා කරන සංඝරත්නය පහළවීම දුර්ලභ දෙයක්‌ය කියලා. තුන්වැනිව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා බුදුරජාණන්වහන්සේ දේශිත ධර්ම විනය දැනගත්තත්, ධර්මානුධර්ම ප්‍රතිපදාවට අනුව ජීවත්වෙන පුද්ගලයා දුර්ලභය කියලා. පස්‌වෙනුව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා කෘතඥ, කෘතවේදී, කෙළෙහිගුණ දත් පුද්ගලයා දුර්ලභය කියලා.

ඉහත කාරණා පහෙන් පිංවතුන්ලාට හොඳින් වැටහෙනවා, ලොව්තුරා බුදුරජාණන් වහන්සේනමක්‌ ලොව පහළවීම යම් සේ දුර්ලභද, මනුෂ්‍යයා තුළ කෘතවේදී බව, කෘතඥතාවය ඒ තරමටම දුර්ලභ දෙයක්‌ය කියලා. එම නිසා, පිංවත්, සමාජ වගකීම් දරන සෑම ගිහි පිංවතෙක්‌ම, ශාසනික වගකීම් දරන සෑම ගිහි පිංවතෙක්‌ම, ශාසනික සමාජීය යුතුකමක්‌ ඉටුකිරීමෙන් පෙරලා සමාජයෙන් කෘතඥතාවය, කෘතවේදිභාවය බලාපොරොත්තුවීම දුකටම හේතුවන ධර්මතාවයක්‌ය කියලා දැනගත යුතුයි. මොකද කෘතඥතාවය, කෘතවේදීභාවය ලෝකයේ බුදුරජාණන්වහන්සේ පහලවීම තරමටම දුර්ලභ දෙයක්‌ වන නිසා.

සමාජය දෙස බැලීමේදී, ගිහි පිංවතුන්ලා ශාසනික, සමාජීය යුතුකම් ඉටුකිරීමේ ඉලක්‌කයන් සපුරාගැනීම සඳහා හඹායන ගමනේදී, ශීලයෙන් දුර්වලවීම සහ අකුසල් මූලයන් රැස්‌වීම බරපතළ ආකාරයෙන් සිදුකොටගන්නවා. ලෝකයේ කෘතවේදීභාවය, කෘතඥභාවය දුර්ලභ දෙයක්‌ය කියලා නොදන්නාභාවය නිසාම, මේ සෑම ගිහි පිංවතෙක්‌ම අවසානයේ, දුර්වල කරගත් ශීලයන්, අකුසල මූලයන්ගේ උරුමයන් දෝතින් දරාගෙන කලකිරීම තුරුළුකරගන්නවා. භික්‍ෂුව පිංවත් ඔබට මේ සටහන් තබන්නේ ලෝක ධර්මතාවයන් පිළිබඳව, කෘතවේදීභාවය, කෘතඥතාවය දුර්ලභ වූ ලෝකය තුළ, සමාජ වගකීම් දරන ගිහි පැවිදි පිංවතුන් දක්‍ෂවෙන්න ඕනේ, වගකීම් දරන කාලය තුළ, ආශ්වාදයට යට නොවී, ඉහත ධර්මතාවයන් නුවනින් හඳුනාගෙන, ශීල්පද තුළින්, කුසල් මූලයන් තුළින් තමාගේ ආරක්‍ෂාව සහතිකකොටගෙන සමාජ යුතුකම් ඉටුකරන්න.

මේ ලෝකයේ සුර-අසුර කියලා සත්ව කොට්‌ඨාශ දෙකක්‌ තිබෙනවා. සුර පක්‍ෂයේ නායකත්වය දරන්නේ තව්තිසාවේ ජීවත්වෙන ශක්‍රයා ප්‍රමුඛ සම්මාදෘෂ්ඨියට පත් දෙවියන් විසින්. අසුර පක්‍ෂයේ නායකත්වය දරන්නේ මිත්‍යදෘෂ්ඨික වේපචිත්ති කියන අසුර නායකයා ප්‍රමුඛ මිත්‍යදෘෂ්ඨික දෙවිවරු විසින්. බුදුරජාණන්වහන්සේ නමක්‌ පහලවුනු කාලයේ මනුෂ්‍යයෝ තෙරුවන් සරණ පිහිටලා, කුසල් ධර්මයන් වැඩීම නිසා දිව්‍යතලවල සම්මාදිට්‌ඨියට පත් සුර පක්‍ෂයේ බලය ශක්‌තිමත් වෙනවා. මොකද පිං කරලා මියයන මනුෂ්‍යයෝ සශ්‍රික දෙවියන් හැටියට දිව්‍යතලවල උපදින නිසා. සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් හීනවෙනකොට මනුෂ්‍යයන්ගේ සහ දෙවියන්ගේ දුශ්ශීලභාවයන් අකුසල මූලයන් නිසා මිථ්‍යාදෘශ්ඨික අසුර බලය, ඒ කියන්නේ මාරපාක්‍ෂික බලය ශක්‌තිමත් වෙනවා.

බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටිය කාලයේ දිව්‍යතලයේ සුර-අසුර යුද්ධයක්‌ සිද්ධවෙනවා. මෙය අවි ආයුධ වලින් කෙරෙන යුද්ධයක්‌ නොව, දෙපාර්ශ්වයේ ආධ්‍යාත්මික ශක්‌තියෙන් කෙරෙන යුද්ධයක්‌ වශයෙන් හැඳින්වීම සුදුසුයි කියලා භික්‍ෂුවට හිතෙනවා. මේ සුර-අසුර යුද්ධයේදී ශක්‍රයාගේ නායකත්වයෙන් යුද වැදුණු සුර දිව්‍ය පිරිස, අසුර නායක වේපචිත්ති අසුරයා සහ මිථ්‍යාදෘශ්ඨික අසුර සේනාව අතින් පරාජයට පත්වෙනවා. අසුරයින්ට පරාජය වී ශක්‍රයා පලායනවා. වේපචිත්ති අසුර නායකයා, ශක්‍රයා ජීවග්‍රහනයෙන් අල්ලා ගැනීමට මාතලී දිව්‍ය රියදුරා පදවන අජානීය අශ්වයන් යෙදූ දිව්‍ය රථය පසුපස හඹාගෙන පැමිණියා. ඒ මොහොතේ ශක්‍රයා තමන් දිවිහිමියෙන් ආරක්‍ෂා කරගත් උතුම් ශීලය ආවර්ජනාකොට, තම නොකැල්ල ශීලය ගැන සත්‍යක්‍රියාකොට උපක්‍රමශීලීව අසුර පිරිස පාරජයකොට අසුර පුරයට එලවා දමනවා.

පිංවත් ඔබ නුවනින් දකින්න. බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටි කාලයේදීත්, ශක්‍රයා පළමුව මිථ්‍යාදෘෂ්ඨික අසුර බලය හමුවේ පරාජයට පත්වෙනවා. දෙවැනුව තමයි තම ශීලයේ සත්‍යක්‍රියා බලයෙන් අසුර බලය පරාජයකොට දමන්නේ. බුදුරජාණන්වහන්සේ ජීවමානව සිටියදීත් අසුර බලය, මාරබලය මේ තරම් ශක්‌තිමත් වුනා නම්, මනුෂ්‍යයා අකුසලයට, දුශිල්වත්භාවයට කොටුවී ජීවත්වන වර්තමානයේ මාර බලය, අසුරබලය ගැන කුමන කථාවක්‌ද. වර්තමාන ලෝකය තුළ සිදුවෙමින් පවතින්නේ මේ ඛේදවාචකයේ අර්ථයයි. මාරපාක්‍ෂික අසුර කොටස්‌ නිරතුරුවම උත්සහගන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් අර්ථයන් වැඩෙන දිශාවට, පෝෂණය වන දිශාවට යා නොදී උතුම් සද්ධර්මයේ අර්ථයන් විනාශකොට දැමීමයි. වර්තමානයේ ශාසනික සමාජීය වගකීම්දරන සෑම පිංවතෙක්‌ම, මේ මාරපාක්‍ෂික ධර්මයන්ගේ හැඩරුව, අභියෝගය නිවැරදිව හඳුනාගෙන කටයුතු නොකළොත්, එය අනාගත සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවට බරපතල අනතුරක්‌ වෙන්න පුළුවන්. මේ මාරපාක්‍ෂික ධර්මයන්ට මුහුණදිය හැකි එකම ආයුධය උතුම් ශීලයයි. උතුම් කුසලයේ ශක්‌තියයි. මොකද සුර-අසුර යුද්ධයේදී ශක්‍රයා දෙවැනි අවස්‌ථාවේදි අසුරයින් පරාජයකොට, අසුර පුරයට එලවා දමන්නේ, ශීලයේ ශක්‌තිය තුළින්ම නිසා.

දිනක්‌ මුගලන් මහරහතන් වහන්සේ ආකාශයේ සක්‌මන් කරමින් සිටියදී, පවිටු මාරයා උන්වහන්සේගේ කුසට රිංගාගන්නවා. උන්වහන්සේට දැනෙනවා තම උදරය පුරවා දමනවා වගේ. තම කුස මෑ ඇට පිරවූ ගෝනියක්‌ වගේ බරයි කියලා. උන්වහන්සේ පොළෝතලය මතට බැහැලා කුටියට ගොඩවෙලා නුවනින් මෙනෙහිකොට බලනවා, කුසට කුමක්‌ද සිද්ධවුනේ කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ දකිනවා පවිටු මාරයා සිය කුසට රිංගාගෙන කියලා. මාරයාව හඳුනාගත් මුගලන් මහරහතන් වහන්සේ පවිටු මාරයාට කියනවා, තථාගත ශ්‍රාවකයන්වහන්සේලාව නොපෙලා පිටව යන්න කියලා. ඒ අවස්‌ථාවේදී මාරයා පලා යනවා. බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටිය කාලයේ, එක්‌ වස්‌ සමයක මාරයා ගමේ වැසියන්ට ආවේශ වී, බුදුරජාණන්වහන්සේ පුමුඛ පන්සියයක්‌ ස්‌වාමීන්වහන්සේලාට පිණ්‌ඩපාතය ලැබීම දුර්වලකොට දමනවා. වරක්‌ මුගලන් මහරහතන් වහන්සේ, තමන් කකුසඳ බුදුරජාණන්වහන්සේගේ කාලයේ දුසි මාරයා වශයෙන් ඉපිද සංඝයාට එරෙහිව කළ මාරාවේශයන් ගැන සඳහන් කරනවා. දිනක්‌ කකුසඳ බුදුරජාණන්වහන්සේ ස්‌වාමීන්වහන්සේලාව කැඳවල දේශනාකරනවා, මහණෙනි අද මේ ගමේ වැසියන්ට මාරයා ආවේශවෙනවා. ජනතාව මාරාවේශවෙලා භික්‍ෂූන්වහන්සේලාව ආහාරයෙන් ප්‍රමාදයට, මදයෙන් ලොල්භාවයට පත්කරන්න උත්සහකරනවා. ඒ නිසා මහණෙනි, පටික්‌කුල සංඥාවෙන් ආහාරය පිළිගන්න. ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් පිණ්‌ඩපාතය වළඳන්න. මාරාවේශය නිසා ගිහි පිංවතුන් ප්‍රනීත ආහාර පූජාකරාවී. ඔබලාව පංච නීවරණයන්ට පත්කරාවී. ඒ නිසා නුවනින් දකිමින් පිණ්‌දීපාතය පිළිගන්න කියලා. ස්‌වාමීන්වහන්සේලා බුදුරජාණන්වහන්සේ දුන් අවවාදය පිළිඅරගෙන මාරාවේශය පරාජයකොට දමනවා.

අයෙමත් දවසක කකුසඳ බුදුරජාණන්වහන්සේ, ස්‌වාමීන්වහන්සේලාව කැඳවලා දේශනා කරනවා අද මේ ගමේ පිංවතුන්ලාට මාරාවේශයක්‌ සිද්ධවෙනවා. මාරාවේශය නිසා ජනතාව ඔබලාට බනින්න, ගහන්න, චෝදනා කරන්න, පීඩා කරන්න, පිණ්‌ඩපාතය නොදෙන්න පුළුවන්. එම නිසා දස දිශාවට මෛත්‍රී සංඥාව පතුරවමින් ජීවත්වෙන්න කියලා. බුදුරජාණන්වහන්සේගේ පෙර දැනුම්දීම නිසාම ස්‌වාමීන්වහන්සේලා මාරාවේශ වූ ගිහි පිංවතුන්ලාට මොනතරම් පීඩාවන් කළත්, ඒ සියල්ලටම මාරාවේශයක්‌ බව දකිමින්ම මෛත්‍රී සංඥාවෙන්ම ජීවත්වෙමින් මාරාවේශය පරාජයකොට දමනවා. අවසානයේ මේ දුසි මාරයාම, කකුසඳ බුදුරජාණන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක, විදුර මහරහතන් වහන්සේට ගලකින් ගසා හිස තුවාලකොට දමනවා. ඒ ‘හපන්කමත්’ කළාට පස්‌සේ, දුසි මාරයා කකුසඳ බුදුරජාණන්වහන්සේ පසුපසත් හඹාගෙන එනවා. බුදුරජාණන්වහන්සේට පීඩා කරන්න. එවිට කකුසඳ බුදුරජාණන්වහන්සේ නාගාවලෝකනයෙන්, ඒ කියන්නේ ඇතකු සේ මුළු කය පෙරලා බැලීමෙන්, දුසි මාරයා දෙව්බවින් චුතව, දුඨසඳ නිරයෙහි මිනිසකුගේ කය බඳු, මාළුවකුගේ හිස බඳු නිරිසනෙක්‌ව උපදිනවා කියලා මුගලන් මහරහතන්වහන්සේ දේශනා කරනවා.

ලෝකයේ පවතින අසුර බලය, මාර බලය බුදුරජාණන්වහන්සේලාටත්, සද්ධර්මයටත්, සංඝරත්නයටත් පීඩාකරමින් මේ උත්සහගන්නේ උතුම් සද්ධර්මයේ බලය හීනකොට දැමීමටය. මාර බලවේගයන් මේ මොහොතේදීද, සම්මා සම්බුද්ධ ශාසනය විනාශකොට දැමීමට ජනතාවට මාරාවේශවිම සාමාන්‍ය සිද්ධියක්‌ බවට පත්වී ඇත. මනුෂ්‍යයා දුශ්ශීලභාවයට පත්වෙමින්, අකුසල මූලයන් වදීමින්, මාරාවේශයට අවශ්‍ය සාධක පූර්ණ කරගැනීමේ ව්‍යයාමයක්‌ අප ඉදිරියේ ඇත.

උතුම් ශාසනික අර්ථයන් හීනකොට දැමීමට මාරාවේශයන් සිද්ධවූ පැහැදිළි අවස්‌ථාවක්‌ හැටියට පසුගියදා නිමාවට පත්වූ මැතිවරණය හැඳින්විය හැකිය. හිටපු නායකතුමාට පැහැදිළිව තවත් වසර දෙකක්‌ නිත්‍යානුකූලව රාජ්‍ය බලය බුක්‌තිවිඳීමට හැකියාව තිබියදී, එතුමා වසර දෙකකට පෙරාතුව මැතිවරණයකට යන්නේ මාරාවේශයක්‌ නිසාමය. එතුමා ඒ තීරණය ගැනීමට මුල්කරගන්නේ ජ්‍යෙතිශයයි. ජ්‍යෙතිශය මුල්කරගත් තැනදීම එතුමා තුළින් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝරත්නය කෙරෙහි විශ්වාසයත්, කර්මය කර්මඵල කෙරෙහි විශ්වාසයත්, තමන් ජීවිත කාලය තුළදීම සිදුකළ කුසල් දහම් පිළිබඳ, පිංකම් පිළිබඳ විශ්වාසයත් එතුමා තුළින් බැහැරට යනවා. චිරස්‌චීන ධර්මයක්‌ වන ‍‍ජ්‍යෙතිශය කෙරෙහි විශ්වාසකොට, ධර්මයට අදාළ උතුම් විශ්වාසයන්ගෙන් එතුමා බැහැරට යනකොට, එතුමා තුළ සකස්‌වෙන්නේ මිථ්‍යාදෘස්‌ඨිකභාවයට අදාළ ධර්මතාවයන්. දැන් පිංවත් ඔබට තේරෙනවා ඇති, හිටපු නායකතුමා සහ ඊට අනුබල දුන් පිංවතුන් අවශ්‍ය කාලයක පෙරාතුව මැතිවරණයකට යන්නේ මාරාවේශයක්‌ නිසාමය කියලා. ඒ මාරාවේශයෙන් ගත් මැතිවරණ තීරණය නිසාම, මැතිවරණයට පැවැති කාලයම මාරාවේශයෙන් පීඩාවට පත්වූ මාසයක්‌ බවට පත්වුණා. දේශගුණික විපත්තීන් නිසා, අධික වැස්‌ස, ගංවතුර හේතුවෙන් මරණ, අවතැන්වීම්, චෝදනා, විවේචන මිල ඉහළයැම් නොසිතූ ආකාරයට සිද්ධවුණා. මනුෂ්‍යයන් කුසල් මූලයන් ගැන මොහොතකටවත් නොසිතා, චෝදනා කරගත්තා. මඩගසා ගත්තා. ස්‌වාමීන්වහන්සේලාත් අකුසල මූලයන් හරිහරියට රැස්‌කරගත්තා. තමන් මාරාවේශයකට ලක්‌වූ අයෙක්‌ය කියලා දකින්න කාටවත්ම සතිය සිහිය තිබුණේ නැහැ. ශාසන පරිහානියට උපකාරක ධර්ම සකස්‌කොට, මේ සියළුකොටස්‌ මාරාවේශයට පත්කරලා, ජනතාව අවුස්‌සලා, මැතිරවරණ දිනයේදීත්, ඊට පෙරදිනත්, ඊට පසුදිනත්, සියල්ලෝම සන්සුන්ව තැබීමට මාරයා උපක්‍රමශීලීවුනා. භික්‍ෂුව මේ තබන්නේ දේශපාලන සටහනක්‌ නොවේ. සම්බුද්ධ ශාසනය ඉදිරියේ ඇති මාරාවේශයන් පෙන්වාදෙන ධර්මානුකූල විග්‍රහයක්‌ පමණයි. පිංවත් ඔබ නුවනින් දකින්න. මැතිවරණය ප්‍රකාශ කිරීමත් මාරාවේශයක්‌ නම්, මැතිවරණය පැවැති කාලයත් මාරාවේශයක්‌ නම්, මැතිවරණයේ ප්‍රතිඵලයත් මාරයාටම අයිති ප්‍රතිඵලයක්‌ වෙනවා. කුසලයෙන්, ශීලයෙන් දුර්වලතැන සොයලා, ඒ අයව මාරාවේශයකට ලක්‌කරලා මාරයා මේ ඉරිදියට පැමිණි ගමන ධර්මය තුළින් දකින්න වෙන්නේ ප්‍රශ්නාර්ථයක්‌ තුළ සිටිමින්මයි. නමුත් සියළු සංස්‌කාර ධර්මයෝ අනිත්‍යයි. එය ධර්මථාවයක්‌.

බුදුරජාණන් වහන්සේ පිරිනීවී ගොස්‌ වසර 2500 ක්‌ ගිය තැනදී ජීවමාන බුදුරජාණන්වහන්සේ හැටියට දැකලා සිත පහදාගෙන වඳින්න පුදන්න යම් පූජනීය වස්‌තූන්ගෙන් පිරි බිම්කඩක්‌ මේ ලෝකධාතුව තුළ තිබෙනවා නම්, ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ස්‌වර්ණමාලි සෑ සමිඳුන් වහන්සේ, දන්ත ධාතූන් වහන්සේ, ශ්‍රීපාදයන් වහන්සේ, ථූපාරාම සෑ සමිඳුන් වහන්සේ, සෝමාවාතී සෑ සමිඳුන් වහන්සේ ඇතුළු පූජනීය වස්‌තුන්ගෙන් පූජිත මේ උතුම් දේශයමයි. මේ උතුම් බිම්කඩමයි.

දිනපතා සම්මාදිට්‌ඨියට පත් බ්‍රාහ්මයින්, දෙවියන් දස දහස්‌ ගණනක්‌ වන්දනා කරන බිම් කඩක්‌ මේ ලෝක ධාතුව තුළ තිබෙනවා නම් ඒ උතුම් බිම්කඩ ඔබ දෙපා තබාගෙන සිටින මේ උතුම් දේශයයි. මුළු රටේම බැංකුවල තිබෙන සල්ලි ටික මහනුවර නගර මධ්‍යයට ගෙනල්ලා, රටේම ජනතාවට මහනුවර නගරයට එන්න කියලා ප්‍රදර්ශනය කළොත්, ඒ මුදල් දැකලා ජනතාව තුළ කාමඡන්දයක්‌මයි බියක්‌මයි සකස්‌වෙන්නේ. නමුත් දන්තධාතූන් වහන්සේ වැඩ සිටින කුටියක්‌ ශ්‍රී දන්තධාතූන් වහන්සේව පිටතට වැඩම කරලා ජනතාවට දන්තධාතූන් වහන්සේව ප්‍රදර්ශනය කරන්න පටන්ගන්න මොහොතේ මුළු රටටම මල් වැසි වසිනවා. ජනතාව තුළ සතුටක්‌ ප්‍රමෝදයක්‌මයි ඇතිවෙන්නේ.

මහනුවර නගර මධ්‍යයේ කොඩිගසක්‌ එල්ලලා, එම කොඩිගසේ කෝටි ගණනක සල්ලි එල්ලලා, ජනතාවට එම සල්ලි ගස ප්‍රදර්ශනය කළොත් ජනතාව තුළ කාමඡන්දයක්‌මයි, බියක්‌මයි සකස්‌වෙන්නේ. නමුත් ඇසළ පෙරහැරට දළදා මාළිගාවේ කප් සිටුවන දවසට, පෙරහැර අවසාන වී දිය කපන දවසට මුළු රටටම මල් වැසි වසිනවා. සම්මා සම්බුද්ධ ශාසනයමයි මුල් වෙන්නේ, සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවමයි, චිරස්‌ථිතියයි, පැවැත්මයි මුල් වෙන්න ඕනේ. ආර්ථිකය නෙමෙයි. මුදල් නෙමෙයි.

ස්‌වර්ණමාලි මහා සෑ සමිඳුන් වහන්සේගේ සෑ මළුවේ කෝටි ගණනක්‌ සල්ලි කොළ ඇතිරුවත්, ජනතාව එම සල්ලි දැකලා කාමඡන්දයක්‌මයි, බියක්‌මයි සකස්‌කොට ගන්නේ. නමුත් අපේ ගෞරවනීය ස්‌වාමීන් වහන්සේ නමක්‌ මහ සෑ සමිඳුන් අභියස මහ සෑ වන්දනාවක්‌ සිදුකරද්දී, මහා පහන් පින්කමක්‌, මහා මල් පින්කමක්‌ සිදුකරද්දී, ආකාසය පුරාවට විවිධ වර්ණයෙන් පරිපූර්ණ පිනට කැමැති දෙවිවරු ලක්‍ෂ ගණනක්‌ වැඩ සිටිමින් සතුටු වෙනවා. හරියට ආකාශයේ බුදුරැස්‌ විහිදෙනවා වගේ. සම්මා සම්බුද්ධ ශාසනයමයි, උතුම් ශාසනයේ අර්ථයමයි, චිරස්‌තිථියමයි, පැවැත්මමයි මුල්විය යුත්තේ. ආර්ථිකය නෙමෙයි. මුදල් නෙමෙයි.

සල්ලි ගෝනියක්‌ ඔබ ගෙදර තබාගෙන සිටියත්, එම සල්ලි ගෝනිය නිසා ඔබ තුළ කාමඡන්දයක්‌මයි, බියක්‌මයි සකස්‌වෙන්නේ. නමුත් ඔබ සවසට නා පිරිසිඳුවෙලා මල් ටිකක්‌ නෙලලා, බුදු පහන පත්තුකරලා, වන්දනාවක්‌ කරන මොහොතක්‌ පාසා මේ ලෝකයේ ලැබිය හැකි උතුම්ම සැනසිල්ලක්‌ ලබනවා. සම්මා සම්බුද්ධ ශාසනයමයි මුල්වෙන්නේ. උතුම් වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ. ආර්ථිකය නෙමෙයි. මුදල් නෙමෙයි.

මේ රට දියුණුවෙන් දියුණුවට පත්වෙලා, මේ රටේ සෑම මනුෂ්‍යයෙක්‌ම කෝටිපතියෙක්‌ වෙලා මැරෙන්න පුළුවන්. කෝටිපතියෙක්‌ වෙලා මැරුණාට පසුව, ඔහු වැටෙන්නේ සතර අපායට නම් ඒ කෝටිපතිකමින් ඇති ඵලක්‌ නැහැ. සම්මා සම්බුද්ධ ශාසනයමයි මුල්විය යුත්තේ. ශාසනයේ චිරස්‌ථිතියයි, ආරක්‍ෂාවමයි මුල්විය යුත්තේ. ආර්ථිකය නෙමෙයි. මුදල් නෙමෙයි.

මේ උතුම් බිම්කඩේ ශ්‍රේෂ්ඨ භාවය මේ රටේ සෑම නායක පිංවතෙක්‌ම දැන ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්‌ වෙනවා. ශාසනික අර්ථයන්ගේ යම් පිබිදීමක්‌ සිදුවන සෑම අවධියකදීම ඊට අදාළ පිංවතුන්ලාගේ දුර්වලතාවයන් තුළින් මාර වේශයට නතුකර ගැනීමට මාරයා නිරතුරුවම මාන බලමින් සිටින්නේ. එම නිසා අතීතයේ කළ මහා පිනකින් මේ උතුම් දේශයේ නායකත්වයට පත්වෙන සෑම පිංවතෙක්‌ම ශක්‌තිමත්ව, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීලයෙන් පරිපූර්ණ භාවයට පත්වීමෙන්, මාරවේශයන්ගේ ග්‍රහණයට හසුනොවී මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් තව එක දිනක්‌ හෝ අනාගත ලෝකයට ආරක්‍ෂාකොට තබා රැස්‌කොටගන්නා වූ කුසලයෙන් අනුන්වත් සුවපත් කොට, තමනුත් දිව්‍ය සම්පත් සලසාගන්න දක්‍ෂ වෙන්න ඕනා. සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම, චිරස්‌ථිතිය, වර්ධනයට කැමති කුමන පක්‍ෂයක නායකයෙක්‌ වේවා ඉහත කාරණාවන් නුවණින් දැකීම තුළින් ශාසනික අර්ථයන් රැකීමට ඉදිරිපත් වීම, තමා විසින් තමාටම කරගන්නා ශ්‍රේෂ්ඨම උපකාරය වෙනවා.

මාරාවේශයන් හරහා මාරයා මේ උත්සහ කරන්නේ බෞද්ධ පිංවතුන්ලාව ලෝභ ද්වේෂ මෝහ තුළින් භේද භින්නකොට, එම භේද භින්නභාවය තුළින්, මිථ්‍යාදෘෂ්ටික බලවේගයන්ගේ ක්‍රියාකාරීත්වය ශක්‌තිමත්කොට, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය දුර්වල කිරීම විය හැකිය. මේ සටහන කියවලා පිංවත් ඔබට ප්‍රශ්නයක්‌ ඇතිවෙන්න පුළුවන්, භික්‍ෂුව තේ කෝප්පයේත් කිඹුලන් දකිනවාය කියලා. නමුත් භික්‍ෂුව මාර බලවේගයන්ගේ සියුම් භාවය දැකලා අත්දැකීමෙන්ම පිංවත් ඔබට කියනවා, තේ කෝප්පයක නොව වතුර උගුරක්‌ තුළත් මාරයාට සියුම් කිඹුල් වේෂයක්‌ මවාගෙන සිටිය හැකිය කියලා. වතුර උගුරක්‌ තුළත් සියුම් කිඹුල් වේෂයන් මවාගෙන කෙනෙකුගේ උදරයට රිංගාගත හැකිය කියලා. මාරයාගේ මේ සියුම්භාවය අපට හඳුනාගැනීමට හැකිවන්නේ උතුම් සද්ධර්මයේ අවබෝධයන් තුළින් පමණක්‌මය. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යනු මාරයාටත්, මාර බලවේගයන්ටත් ඇති ලොකුම හිසරදයයි. මාරයාගේ මේ අභියෝගය පිංවත් ඔබට පරාජයකොට දැමීමට හැකිවන්නේ මේ මොහොතේ පක්‍ෂ විපක්‍ෂ සෑම නායකයෙක්‌මත්, ජනතාවත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, ශීලයේ ආරක්‍ෂාවත්, අලෝභ ධර්මයන්ගේ රැකවරණයත් ජීවිතයට වහ වහා එකතුකොටගැනීමෙන් පමණක්‌මය. ඉහත සද්ධර්මයන්ගෙන් පිංවත් ඔබ පරිපූර්ණ වෙනකොට මාර ධර්මයන් මුළුගැන්වී උතුම් සද්ධර්මයේ චිරස්‌ථිතියත්, ඒ හේතුවෙන් ජනතාවගේ ආර්ථිකයේ දියුණුවත් ඇතිවීම ධර්මතාවයක්‌මය.