ලස්‌සන වෙසක්‌ සැරසිල්ලෙන් ද අර්ථවත් ධර්මයක්‌ම දකින්න

පාසල් දරුවෙක්‌ භික්‌ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා. ඕපපාතික සත්වයන්ගේ උපත පිළිබඳ විශ්වාසය සම්මා දිට්‌ඨියේ ලක්‌ෂණයක්‌ වෙන්නෙ ඇයි කියලා. පින්වත් ඔබ ඕපපාතිකව සත්වයන් උපදිනවා කියලා විශ්වාස නොකරනවානම් ඔබ දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ ඉන්නවාය කියල විශ්වාස කරන්නේ නැහැ. දෙවියන් බ්‍රහ්මයන් කෙරෙහි විශ්වාසය නැති නිසාම ඔබටත් දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ විය හැකිය යන විශ්වාසය නැතිව යනවා. ඒ නිසාම ඔබ කුසලයට පෙළඹෙන්නේ නැහැ. ඕපපාතිකව උපදින ප්‍රේතයන් නිරිසතුන් ගැන ඔබට විශ්වාසයක්‌ නැති නම් ඔබට ප්‍රේත ලෝකයක්‌, නිරයක්‌ තිබෙනවාය කියල විශ්වාසය නැතිව යනව. ඒ නිසාම ඔබ අකුසලයට බිය නැතිවෙනවා. ඕපපාතික සත්ව උපත තුළිනුත් බුදුරජාණන් වහන්සේ ඔබ තුළ අකුසලය බැහැරකොට කුසලය මතුකොට දීමටයි උත්සාහ ගන්නෙ. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය කියන කාරණය ගන්න. බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාපකර්ම ගැන දේශනාකොට මුලින්ම සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම, දෙවැනිව රහතන් වහන්සේ මැරීම, තෙවැනිව සංඝ භේදය, හතරවැනිව අම්මා, තාත්තා ඝාතනය කිරීම. මෙතනදී බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ මැරීමත්, අම්මා තාත්තා මැරීමත් කියන කාරණයන් දෙකම සම අකුසලයන් හැටියට පෙන්වා දී තිබෙනවා. අම්මා තාත්තාත් රහතන් වහන්සේත් සම තැනක තියලයි බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්ම ගැන දේශනා කරලා තිබෙන්නෙ. එහෙමනම් පින්වත් ඔබ මේ උතුම් වෙසක්‌ දිනයේදී දැනගන්න ඕනෙ, ඔබ කුඩා පාසල් දරුවෙක්‌ වේවා, තරුණ කෙනෙක්‌ වේවා, වැඩිහිටියෙක්‌ වේවා තමන්ගෙ දෙමව්පියන්ට පීඩා කරනවා නම්, හිංසා කරනවා නම්, සිත් වේදනා දෙනවා නම්, නොසලකා හරිනවා නම්, එය රහතන් වහන්සේ නමකට ඔබ කරන පීඩාවක්‌ හිංසාවක්‌ තරමටම බලවත් අකුසලයක්‌ වෙනවාය කියන කාරණය. උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් ජීවිතයට එකතුකොට ගැනීමෙන් පමණක්‌මයි පින්වත් ඔබට මව් දෙමව්පියන් නිසා සිදුවෙන බලවත් අකුසලයන්ගෙන් මිදෙන දිශාවට ගමන් කළ හැකිවෙන්නේ. අම්මා තාත්තා නමැති කුසල් නිධියෙන් සිත්සේ කුසල් ධර්මයන් එකතුකොට ගතහැකි වෙන්නෙ. අතීතයෙ රහතන් වහන්සේලා ඇතුළු අධිගමලාභීන් සිටියාය කියන විශ්වාසය ඔබ තුළ තිබුණොත් පමණමයි, පින්වත් ඔබටත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදීම රහතන් වහන්සේ නමක්‌ වීමට හැකිය යන විශ්වාසය ඇතිවෙන්නේ. ඔබටත් සෝවාන් ඵලයට පත්වෙන්න පුළුවන්ය කියන විශ්වාසය ඇතිවෙන්නෙ. ඉහත සම්මාදිට්‌ඨියට අදාළ කාරණා තුළින් පින්වත් ඔබට තේරෙනවා ඇති බුදුරජාණන් වහන්සේ පින්වත් ඔබ තුළ මුලින්ම තෙරුවන් කෙරෙහි විශ්වාසය ඇතිකොට අවසානයේ ඔබව උතුම් රහතන් වහන්සේ නමක්‌, සෝවාන් පුද්ගලයෙක්‌ කියන ඉලක්‌කයට ඔබව යොමුකොට තිබෙනවාය කියන කාරණය. පින්වත් ඔබ සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගෙන් බැහැරව ගියොත්, තෙරුවන් කෙරෙහි අවිශ්වාසය ඇතිකොට ගෙන, අවසානයේ ඔබව සතර අපායට යොමු කිරීමයි සිද්ධවෙන්නෙ. පින්වත් ඔබ ශ්‍රද්ධාවේ සහ අශ්‍රද්ධාවේ වෙනස සහ පරතරය හඳුනාගෙන ශ්‍රද්ධාව ඉලක්‌කකොට පෙන්වන සතර අපාය කියන අර්ථයන් සිහි නුවණින් දකිමින්, නිවැරදි ආකාරයට සම්මා දිට්‌ඨියේ අර්ථයට ප්‍රවේශ වීමට පින්වත් ඔබ මේ උතුම් වෙසක්‌ සතියේදී අධිෂ්ඨානයක්‌ ඇතිකොට ගතහොත් එය පින්වත් ඔබ විසින් බුදුරජාණන් වහන්සේට දක්‌වන ශ්‍රේෂ්ඨතම ආමිසමය ප්‍රතිපත්තිමය පූජාව වෙනවා.

පින්වතුන්ලාගේ ඉන්ද්‍රියධර්මයන්ගේ ඇති වෙනස්‌භාවයන් නිසාම, කෙනෙක්‌ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වා සතුටු වෙන අතර තවත් පින්වතෙක්‌ ආමිස පූජාවෙන් බුදුරජාණන් වහන්සේට පූජාවන් පවත්වා සතුටුවෙනවා. මෙතැනදී ප්‍රතිපත්ති පූජාවන් හැටියට ගැනෙන්නේ විදර්ශනා නුවණ, ප්‍රඥාව ඔබ තුළ මූදුකොට දෙන භාවනාමය, ශීලමය, සද්ධර්ම ශ්‍රවණය කිරීම් තුළින් ඔබ ඇතිකොට ගන්නා විදර්ශනා නුවණින් බුදුරජාණන් වහන්සේට පූජෝපහාර දැක්‌වීමයි. නමුත් පින්වත් ඔබ ශීලමය, භාවනාමය, සද්ධර්ම ශ්‍රවණමය ක්‍රියාවන් තුළිනුත් ඇතිකොට ගන්නේ ආශ්වාදයක්‌ නම් ඒවා ජීවිතයට එකතුකොට ගැනීම නිසා ඇතිවෙන කුසල් ආශ්වාදයට ඔබ බැඳී යන්නේ නම්, එම කුසල් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය ඔබ විදර්ශනා නුවණින් නොදකින්නේ නම් ඔබ කළා වූ ප්‍රතිපත්ති පූජාවද නැවත භවය සකස්‌කොට දෙන ආමිස පූජාවක්‌ බවටම පත්වනු ඇත. එම නිසා පින්වත් ඔබ සිල් සමාදන් වෙමින් ශීලයේ ආනිශංස ජීවිතයට ලබමින් එම ආනිශංසයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. බුදුගුණ භාවනාව වඩමින්, මෛත්‍රි භාවනාව වඩමින්, ආනිශංස ජීවිතයට ලබමින් එම සංස්‌කාරයන්ගෙ අනිත්‍යභාවය නුවණින් දකින්න. කාය, චිත්ත, ධම්ම, වේදනා සතර සතිපට්‌ඨාන ධර්මයන් වඩමින්, සප්ත බොජ්ජංග ධර්මයන් ජීවිතයට එකතුකොට ගනිමින්, සතර සතිපට්‌ඨාන ධර්මයන්ගේත්, සප්ත බොජ්ජංග ධර්මයන්ගේත් අනිත්‍යභාවය නුවණින් දකින්න. පින්වත් ඔබ භාවනාවේදී යම් ධර්මතාව අනිත්‍ය දකිනවාද, එම අනිත්‍ය දකින සිතත් අනිත්‍ය වශයෙන් දැකීමට දක්‌ෂ විය යුතුයි. එසේ නොවුණහොත් ඔබ අනිත්‍ය වශයෙන් දැක්‌කා වූ සිතට බැඳී යනු ඇත.

පින්වත් ඔබ දක්‌ෂ නම් ඔබ වෙසක්‌ මංගල්‍ය උදෙසා සිදුකරන ආමිස පූජාවන් තුළින් ද ප්‍රතිපත්ති පූජාවන් මතුකොට ගැනීමට ඔබට හැකිය. පින්වත් ඔබ වෙසක්‌ කූඩුවක්‌ තැනීමේදී, ප්‍රදර්ශනය කිරීමේදී, දන්සලක්‌ සංවිධානය කිරීමේදී, මේ සෑම ක්‍රියාවක්‌ සිදුකිරීමට පෙරාතුව, තෙරුවන් සරණ පිහිටා පංචශීලය සමාදන්ව එම ආමිස පූජාව ආරම්භ කරන්න. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්‌ෂ ගණනකට දී අද වගේම උතුම් තෙමඟුල් සැමරීම උදෙසා ලක්‌ෂ ගණන් පහන් කූඩු වෙසක්‌ සැරසිලි දන්සල් බුද්ධ පූජාවන් පූජා කළ හැකි නුවණින් දකින්න. ඒ අතීත සම්මා සම්බුද්ධ ශාසන අනිත්‍යයට ගියා සේම අතීතයේදී ආමිස පූජාවන් තුළින් රැස්‌ කළා වූ කුසල් සංස්‌කාරයන් අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකිමින් මේ මොහොතේ පිංවත් ඔබ ආමිස පූජාවන් තුළින් රැස්‌කොට ගන්නා කුසලයන් අනිත්‍ය වී යනහැටි නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේ උදෙසා, ධර්මරත්නය, සංඝරත්නය උදෙසා තුණුරුවන්ට ගෞරවය පුදකිරීම උදෙසා පිංවත් ඔබ තුළ සකස්‌වෙන සෑම ආස්‌වාදජනක පිනක්‌ම, කුසල් සිතක්‌ම සංස්‌කාරයන් බව දකිමින්, එම සංස්‌කාරයන් විපාක දී අවසන් වන ඒවා බව දකිමින් පින්වත් ඔබ මේ උතුම් තෙමඟුල සමරන සතියේ ඔබ සිදුකරන ආමිස පූජාව තුළින් ද උතුම් ප්‍රතිපත්ති පූජාවක්‌ මතුකොට ගන්න දක්‌ෂ වෙන්න. එවිට ලස්‌සන වෙසක්‌ සැරසිල්ලක්‌ තුළින්, අර්ථවත් ධර්මයක්‌ ද ඔබගේ ජීවිතයට එකතුකොට ගෙන උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් තුළින් ආර්යඅෂ්ඨාංගික මාර්ගයට ඔබේ ජීවිතය සේන්දුකොට ගැනීමට හැකිවනු ඇත.