මේ, මා ඔබට දුන් අලුත් අවුරුදු තෑග්ගයි

නව වසරට ප්‍රවේශයක් – අවසන් කොටස

පිංවතුන්ලා ලබන්නාවූ නව වසරේදී පිංකම් සිදුකරන විට, ස්‌වාමීන් වහන්සේලා භේදවන ආකාරයට පිංකම් සිදුකරන්න එපා. ගිහි පිංවතුන්ලා භේදවෙන ආකාරයට පිංකම් සිදුකරන්න එපා. පන්සල් පන්සල් ගැටෙන ආකාරයට පිංකම් සිදුකරන්න එපා.

භික්‍ෂුව දැකලා තිබෙනවා සමහර පන්සල්වල එකිනෙකාට විරුද්ධ දායක කණ්‌ඩායම් දෙකක්‌ තිබෙනවා. මේ පාර්ශ්වයන් දෙක පන්සලේ තරඟෙට පිංකම් සිදුකරනවා. මෙවැනි ක්‍රියාවන්ගෙන් යම් පිනක්‌ වැඩුණත් පිනට ඔරොත්තු නොදෙන ආකාරයට අකුසල් මූලයන් වැඩෙනවා. මේ ලෝකයේ සම්‍යක්‌දෘෂ්ටික දෙවියන් දිවෙස්‌ හෙළන ස්‌වභාවයන් දෙකක්‌ තිබෙනවා. එකක්‌ තමයි තව්තිසාවේ සුදම් සභාව. දෙවැනි සභාව තමයි පන්සලේ ආරණ්‍යයේ දායක සභාව. දායක සභාවේ සමගිය, ශාසනයේ ආරක්‍ෂාවත් ගමේ සමගියත් අත්‍යාවශ්‍ය සාධකයක්‌ වෙනවා. මෙය සටහන් තබන භික්‍ෂුව ගමේ පන්සල වන කලපළුවාව ශ්‍රී සුදර්ශණාරාම පුරාණ විහාරස්‌ථානයේ දායක සභාවේ සභාපති හැටියට පත්වුණේ වයස අවුරුදු තිස්‌හයේදී පමණ. දායක සභාවේ අනෙක්‌ සියලුම නිලධාරීන් මට වඩා වයසින් වැඩියි. අපි බොහෝම සමගියෙන් කටයුතු සිදුකළා. මේ සමගිය වර්තමානයේ ගමේ පන්සලේ තිබෙනවාද කියන්න භික්‍ෂුව දන්නෙ නැහැ. මේ වෙලාවේ භික්‍ෂුවට සිහිපත් වෙනවා ගෞරවණීය බතලවත්තේ නායක ස්‌වාමීන්වහන්සේව. උන්වහන්සේ බොහෝම නිහතමානී, ඉන්ද්‍රිය සංවරයෙන් යුත් නායක ස්‌වාමීන් වහන්සේ නමක්‌. බතලවත්තේ නායක ස්‌වාමීන් වහන්සේ මාව වයස අවුරුදු තිස්‌හයේදී පමණ දායක සභාවේ සභාපති හැටියට පත්කළත් මා පාසල් වයසේදී පන්සල් වත්තේ ක්‍රිකට්‌ ගහන්න ගිහිල්ලා, පන්සල් වත්තේ තැඹිලි කඩන්න ගිහිල්ල උන්වහන්සේගෙන් දෙපාරක්‌ම ගුටිකාලා තිබෙනවා. ඒ ගුටිකෑම මතක්‌ වෙනවිට අද භික්‍ෂුවට සතුටක්‌ දැනෙනවා. ඒ අකීකරුභාවයයි කීකරුභාවයට අවශ්‍ය සිහිය සතිය මා තුළ ඇතිකොටදුන්නේ.

ඉහත සටහන් කළ කරුණුවලින් පිංවත් ඔබට හොඳින්ම වැටහෙනවා ඇති පිංවත් ඔබ එදිනෙදා කරන සෑම කටයුත්තකදීම ලෝභ ද්වේශ මෝහ අකුසල මූලයන් සිදුකරගන්නවාය කියන කාරණය. එම නිසා ලබන්නාවු නව වසරේදී පිංවත් ඔබ දක්‍ෂවෙන්න කුසල මූලයන් වැඩෙන ආකාරයට එදිනෙදා ඔබේ කටයුතු සිදුකරන්න. කුසල්මූලයන් වැඩෙන ආකාරයට ඔබ කරන දාන, ශීල, භාවනා පිංකම් සිදුකරගන්න.

අකුසල් මූලයන් වැඩෙන ආකාරයට ඔබ පිංකම් කළොත් පින අනාගතයේදී විපාකට එන්නේ දුර්වල රෝගී අඩු ආයුෂ සහිත උපත්වලින්. දුශ්ශීලභාවය සහ අකුසල් මූලයන් නිසා අනාගත ලෝකයේ බිහිවන මෘග සංඥාවන්ගෙන් යුත් අඩු ආයුෂ සහිත මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි බිය ඇතිකරගෙන නව වසරට කුසල් මූලයන් වඩන අධිෂ්ඨානයෙන් පියවර තබන්න. නව වසර ධර්මයේ අර්ථයන් වැඩෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙන වසරක්‌ බවට පත් කරගන්න.

පිංවත් ඔබ සමාජයෙන් ඇසෙන දෘෂ්ටි මතවාද අදහස්‌ නිසා නිරතුරුවම බරපතල ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන් සකස්‌ කරගන්නවා. ඉන්ද්‍රිය අසංවරයෙන් යුත් පුද්ගලයින් අයෝනිසෝ මනසිකාරයෙන් යුත් පුද්ගලයින්ගේ අදහස්‌ ප්‍රකාශයන්, ක්‍රියාවන් නිසා ඔබ දිනකට මොනතරම් අකුසලමූලයන් ඇතිකරගන්නවාද? ලබන්නාවූ නව වසරේදී පිංවත් ඔබ ඇසෙන් දකින කනෙන් අසන දෙය ප්‍රත්‍යවේක්‍ෂාවෙන් යුතුව ජීවිතයට එකතු කරගන්න. යමක්‌ දකින විට අසන විට මේ දකින අසන දෙයින් මා අකුසල් සිතක්‌ ඇතිකරගන්නවාය කියන සතිය සිහිය ඇතිකරගෙන අනුනගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවය හේතුවෙන් ඔබ ඔබේ ඉන්ද්‍රියධර්මය දුර්වල කරගන්න එපා. එය අනාගතයේ අඩු ආයුෂ ඇති උපතකට හේතුවෙනවා. වර්තමාන සමාජයේ මනුෂ්‍යයා තුළ අකුසල මූලයන්ගේ දුර්වල දුර්වලභාවයෙන් දානයේ පින විපාකයට පැමිණෙන නිසා මනුෂ්‍යයා තුළ සකස්‌වෙන වර්ණය, සැපය, බලය ඉන්ද්‍රිය අසංවරභාවය තුළිනුයි පෝෂණය වෙන්නේ. එම නිසා ධර්මයට කැමති පිංවතුන්ලාට, ලැජ්ජාව භය ඇති පිංවතුන්ලාට, මනුෂ්‍යකම සාධාරණය ගරුකරන පිංවතුන්ලාට අසන්න දකින්න වෙන්නේ ඔබලා අකමැති දේවල්මයි. මේවා හේතුඵල ධර්මයන්. දක්‍ෂ පිංවතා ලබන්නාවූ නව වසරේදී ඔබ දකින ඔබ අසන ඔබ සිතන දෙය තුළින් ධර්මයක්‌මයි කුසලයක්‌මයි මතුකර ගත යුත්තේ. පිංවත් ඔබ තුළ ඉහත ශක්‌තිය දුර්වල නම් මෙවැනි අනතුරු මග හැරයැමෙන් දුරුකර ගැනීමට ඔබ දක්‍ෂවෙන්න ඕන.

පිංවත් ඔබ ලබන්නාවූ නව වසරේදී මොනම හේතුවක්‌ නිසාවත් වේගයෙන් දුවන කෝච්චිවල එල්ලෙන්න යන්න එපා, දුවන කෝච්චිවල එල්ලෙන ගියොත් ඔබ අනතුරට පත්වේවි. දුවන කෝච්චියක්‌ දැක්‌කම, දුවන කෝච්චිවලට සුවසේ දුවන්න ඉඩහැරල පිංවත් ඔබ මන්දගාමීවන්න. වේගයෙන් දුවන කෝච්චි කවදාහරි දවසක පීලි පනිනවා, එය ධර්මතාවයක්‌. පීලි පනිනවාය කියන්නේ සම්මාදෘෂ්ටියෙන් මිථ්‍යාදෘෂ්ටියට පනිනවාය කියන කාරණයයි.

මෙම සටහන අවසන් කරන මොහොතේ භික්‍ෂුව දෑස්‌දෙක පියාගෙන ගෙවී ගිය වසර දෙස හැරී බැලූවා. භික්‍ෂුවට අරමුණුවෙන්නේ හිස්‌ බවක්‌ පමණයි. ඇල්පෙනිති තුඩක තරම්වත් සටහනක්‌ එහි නැහැ. ගෙවීගිය වසරේ භික්‍ෂුව ධර්මය සටහන් කළා, ධර්මය දේශනා කළා, ධර්ම සාකච්ඡා කළා, දායක පිංවතුන් ඇසුරු කළා. ඒත් භික්‍ෂුවට අරමුණුවෙන්නේ හිස්‌බවක්‌ පමණක්‌මයි. සටහන්කළ, දේශනා කළ, ඇසුරු කළ කිසිවක්‌, කිසිවෙක්‌ ජීවිතයට ඇලිල නැහැ. ධර්මයේ සුන්දර අත්දැකීමක්‌ පිංවතුන්ලාට අලූත් අවුරුදු තෑග්ගක්‌ වශයෙන් සටහන් තබමින් ලිපිය අවසන් කරනවා. දැන් වේලාව රාත්‍රී 8.30 යි. උඳුවප් මහේ පරිසරය හරිම ලස්‌සනයි. බාල්කයේ එල්ලෙන ලන්තෑරුමේ එළිය හරිම සෞම්‍යයි, අරමුණක්‌ නැති භික්‍ෂුවගේ වර්තමාන ජීවිතය හරිම නිහඬයි.