මත් පානයත්, මත් දානයත් දුරින්ම දුරුකරන්න

නව වසරට ප්‍රවේශයක් – 6

පිංවත් ඔබ දැකලා ඇති, සමහර මංගල උත්සව තිබෙනවා, උත්සවයට පැමිණෙන සියලූම අමුත්තන්ට ඇති තරම් අසත්පුරුෂ මත්වතුර දානයන් දෙනවා. නමුත් මඟුල් ගෙදර මනමාල මහත්මයා මත්වතුර බොන්නෙත් නැහැ, මනමාල මහත්මයාගේ දෙමාපියන් මත්වතුර බොන්නෙත් නැහැ. බලන්න, මොන තරම් අසත්පුරුෂ ධර්මයක් ද කියලා. තමන් සිල්පද ආරක්‍ෂා කොටගනිමින්, අනුන්ගේ සිල්පද උවමනාවෙන් ම බිඳ දමනවා. තමන් සිතුවත් තමන් සිල්පද ආරක්‍ෂා කොටගත්තා ය කියලා, අනුන් ශීලයෙන් දුර්වලකොට, අනුන් අකුසල් මූලයන් තුළට කොටුකිරීමෙන්, තමන් බලවත් අකුසල් මූලයන් රැස්කොට ගන්නවා. අසත්පුරුෂ මත්වතුර දන්සැල් දෙන මංගල උත්සවවල මනමාල පාර්ශ්වයන්, අමුත්තන්ගේ පාර්ශ්වයන් සහයෝගයෙන් යුතුව කරගන්නා සුභ ප්‍රාර්ථනාවක් තිබෙනවා. එම සුභ ප්‍රාර්ථනාව තමයි, ”අපි අමුත්තන්ට මත්වතුර දානය දීලා ඔවුන්ගේ සිල්පද බිඳ දමා, අකුසල් මූලයන් ඇතිකරනවා, අමුත්තන් වන ඔබලා සුව සේ මත්වතුර දානයන් භුක්තිවිඳලා රෝගීභාවයත්, ආයුෂ හීනවීමත්, සිල්පද බිඳීමත් ජීවිතයට එකතුකොට ගන්න”ය කියලා. කොහොම ද මිත්‍රත්වයේ, ඥාතීත්වයේ මඟුල් ගෙදර දෙපාර්ශ්වයේ සුබ පතාගැනීම…………?

මඟුල් උත්සවයේ, උපන්දින සාදයේ දී අනුන්ට මත්වතුර අසත්පුරුෂ දානයන් දීමෙන්, ඔබ අනුන්ගේ ශීලය දුර්වලකොට, අනුන්ගේ අකුසල් මූලයන් තීව්‍ර කිරීම නිසා, මේවායේ විපාකයන් හැටියට ඔබලාට රෝගීභාවය, ආයුෂ හීනභාවය, විවාහ දිවියේ අසමගිය වගේ ම, මීළඟ ජීවිතයේ යම්හෙයකින් ඔබ මනුෂ්‍ය ප්‍රතිසන්ධියක් ලැබුවොත්, ඔබ උපත ලබන්නේ ද බේබදු තාත්තා කෙනෙකුට දාව වීමත්, ඔබත් තරුණ කාලයේ දී ම බේබද්දෙක් වීමත් ධර්මතාවයක් වෙනවා. තමන් මත්වතුර පානය නො කර, අනුනට අසත්පුරුෂ මත්වතුර දානයන් දෙන පුද්ගලයා අසත්පුරුෂ භාවයේ අංක එක වෙනවා. යම් පිංවතෙකුට තමන්ගේ මංගල උත්සවයට, උපන්දින ප්‍රියසාදයට මත්වතුර අවශ්‍ය යැයි සිතෙනවා නම්, භික්‍ෂුව ඔහුට සහතිකයක් දෙනවා. එම සහතිකය තමයි, ඔබ තවම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණිලා නැහැ, ඔබ තවම අමූලිකා ශ්‍රද්ධාව තුළයි සිටින්නේ කියන සහතිකය.

මත්වතුර අයිති හීනමානයට යි; කෑදරකමට යි; පරාජිතභාවයටයි. අනුන්ට මත්වතුර දන්සැල් දෙන තැනැත්තා අයිති අසත්පුරුෂ භාවයේ අංක එකට ම යි. තමන් මත්වතුර බොනවාට වඩා, අනුන්ට අසත්පුරුෂ මත්වතුර දානයන් දීම බලවත් අකුසලයක් බවත්, පවත්නා නව විචිත්‍ර මත්වතුර සංස්කෘතිය තව තව ශක්තිමත් කිරීමේ හේතුඵල ධර්මයක් බවත් නුවණින් දකින්න දක්‍ෂවෙන්න. මංගල උත්සවයක දී, උපන්දින සාදයක දී මත්වතුර දන් දී සිය දෙනෙකුගේ සිල්පද බිඳිනවා ය කියන්නේ, සිය දෙනෙකු තුළ අකුසල් මූලයන් වඩනවා ය කියන්නේ මොන තරම් අකුසලයක් ද කියලා ධර්මානුකූලව දකින්න. නව වසරේ දී පිංවත් ඔබ දක්‍ෂවෙන්න, පසළොස්වක පොහොය දිනයට පන්සලේ ධර්ම ශාලාවේ සිල් සමාදන්වෙන උපාසක උපාසිකාවන් සිය දෙනෙක් රැස්කොටගන්නා කුසලය යම් සේ ද, ඔබ ප්‍රියසාදයක දී සිය දෙනෙකුට අසත්පුරුෂ මත්වතුර දන්දීමෙන් ලැබෙන අකුසලයේ පව ද, ප්‍රතිවිරුද්ධ අර්ථයෙන් ඒ තරමට ම බලවත් වෙන බව ධර්මානුකූලව ගළපාගන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”මහණෙනි, කාමයේ ආස්වාදයක් තිබෙනවා”ය කියලා. එහෙමනම් අසත්පුරුෂ මත්වතුර දානය තුළත්, මත්වතුර පාවිච්චිය තුළත්, ආස්වාදයක් එම ජීවිතවලට ලැබෙනවා. නමුත් එම කෙටි මාර ආස්වාදය නිසා, දීර්ඝ වූ ආදීනවයන් රැසක් එම ජීවිතවලට එකතුවෙනවා. එම කෙටි කාමයේ ආස්වාදය උදෙසා පිංවත් ඔබ ජීවිතයට එකතුකොට ගන්නා දීර්ඝ ආදීනවයන් වන්නේ, පැතිර යන නව විචිත්‍ර මත්වතුර සංස්කෘතිය තව තව වර්ධනය වෙනවා. රෝගීභාවය, අපකීර්තිය, ආයුෂ හීනවීම, සතර අගතියට වැටීම මාර මත්වතුර ආස්වාදයේ දීර්ඝ ආදීනවයන් බවට පත්වෙනවා. ලබන්නා වූ නව වසරේ දී මත්වතුරේ ඇති කෙටි ආස්වාදයත්, එහි ඇති දීර්ඝ ආදීනවයන් ආදියත් කෙරෙහි පිංවත් ඔබ සතිය, සිහිය ඇතිකොට ගන්න දක්‍ෂවෙන්න. මත්වතුර බීමට, මත්වතුර දන්දීමට සකස්වෙන ඔබගේ සිත දන් දී පිංවත් ඔබ ශීලයන් ආරක්‍ෂා කොටගෙන උතුම් විදර්ශනාමය, දානමය කුසලයකුත් ජීවිතයට එකතුකොට ගන්න දක්‍ෂවෙන්න. මත්වතුර වීදුරුවක් අනුන්ට දන්දෙන්නා, අකුසල් ගැලූමක් දන්දුන්නා වෙනවා. මත්වතුර වීදුරුවක් බොන පිංවතා අකුසල් ගැලූමක් බොන කෙනෙක් බවටයි පත්වෙන්නේ.