චිත්ත විශුද්ධියෙන්, ප්‍රඥා විශුද්ධියෙන් දුර්වල නම්

සමාජයේ සමහරක් පිංවතුන්ලා සිටිනවා, ඒ අය හොඳින් සිල්පද පහ ආරක්ෂා කරනවා. නමුත් මේ අය ප්‍රකාශ කරන්නේ, අපට නො පෙනෙන අනෙක් ග්‍රහලෝකවල මේ මොහොතේත් බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිනවා කියලා; මේ මොහොතේත් කොහේ හෝ ග්‍රහලෝකයක බුදුරජාණන් වහන්සේ නමක් සද්ධර්මය දේශනා කරනවා කියලා; අපි සියලු දෙනා ම යම් දවසක නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත්වෙලා ය කියලා; ඒ නිසා ම අපි සියල්ලෝ ම බෝධිසත්වයෝ ය කියලා. මෙවැනි විකාර ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට නැහැ. ඇයි මෙවැනි අදහස් සමාජය තුළ පැතිරෙන්නේ? එම පිංවතුන්ලා ශීලයෙහි පරිපූර්ණ වුවත් එම ශීලය සම්මා දිට්ඨියෙන් පෝෂණය වී නැති නිසා. එම නිසා ම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය වැඩිලා නැහැ. එම පිංවතුන් මරණින් මතු දුකට වැටේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

සමාජයේ සමහරක් පිංවතුන්ලා සිටිනවා, ඒ අය හොඳින් සිල්පද පහ ආරක්ෂා කරනවා. නමුත් තමන්ගේ අම්මාට, තාත්තාට සලකන්නේ නැහැ. ගෙදර නොවටිනා කාමරයක, නොවටිනා පහසුකම් සහිතව තමයි දෙමාපියන් ජීවත් වන්නේ.

එහෙම නැතිනම් මහලු නිවසක, නේවාසිකාගාරයක මුදල් දී නවත්වනවා. නැතිනම් සේවකයන් හැටියට දෙමාපියන්ට සලකනවා. අම්මා, තාත්තා කියන කුසල් නිධිය සුව සේ හාරගන්න දක්ෂ නැහැ. නමුත් මේ පිංවතුන් ශීලයෙන් පරිපූර්ණ පිංවතුන්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? තමාගේ ශීලය සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසා ම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය දුර්වල යි. මෙවැනි අය මරණින් මතු දුකට වැටීමේ අවදානම තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

තවත් සමහර පිංවතුන්ලා සිටිනවා, එම පිංවතුන් සිල්පද පහ හොඳින් ආරක්ෂා කරන බෞද්ධ පිංවතුන්. නමුත් මේ අය කථා කළොත් උපන් මව්බිමට බනිනවා. මව්බිමේ දුර්වලතාවයන්මයි දකින්නේ; අගුණයක් ම යි කියන්නේ. මේ උතුම් මව්බිමේ ස්ථාපිතව තිබෙන සද්ධර්මයේ අර්ථය දකින්නේ නැහැ. උපන් මව්බිමේ දුර්වලතාවයන් දකිමින්, කොහේ හෝ වෙනත් රටක් වර්ණනා කරනවා. භික්ෂුවට මතකයි, වරක් එක් බෞද්ධ තරුණයෙක්, රටේ යුද්ධය පැවති අවස්ථාවේ කිව්වා, මේ රටෙන් බටහිර රටකට පැනගන්න තිබෙනවා නම්, ඒක තමයි මම බලාපොරොත්තු වන නිවන කියලා. මේ තරුණයා සිල්පද ආරක්ෂා කරගන්න තරුණයෙක්. මේ ලෝකධාතුව තුළ යම් උතුම් පුණ්‍ය බිම්කඩක් තිබෙනවා නම්, ඒ උතුම් බිම්කඩ මේ ධර්මද්වීපයම යි. ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට වන්දනා කරන්න, දැකබලා පින් රැස්කොට ගන්න, උතුම් පූජාවස්තූන්ගෙන් යුත් බිම්කඩක් මේ ලෝකධාතුව තුළ තිබේ නම්, ඒ උතුම් බිම්කඩ මේ ධර්මද්වීපයමයි. දිව්‍යතල, බ්‍රහ්මතලවල ජීවත්වන සම්මා දිට්ඨියට පත් දෙවියන්, බ්‍රහ්මයන් නිතිපතා දොහොත්මුදුන් තබා වන්දනා කරන උතුම් බිම්කඩක් මේ ලෝකධාතුව තුළ තිබේ නම්, ඒ උතුම් බිම්කඩ මේ ධර්මද්වීපය ම යි. දිව්‍යතලවල පින පිරිහී, දිව්‍ය ආයුෂ පිරිහීයන දෙවිවරු, දිව්‍යාංගනාවන් නැවත පින් කිරීමට උපත ලැබීමට ප්‍රාර්ථනා කරන උතුම් බිම්කඩක් මේ ලෝකධාතුව තුළ තිබේ නම්, ඒ උතුම් බිම්කඩ මේ ධර්මද්වීපය ම යි. මෙවන් උතුම් පිංබිමක උපත ලබලා, මව්බිමේ වටිනාකම නො දැක, ලෝකයේ වෙනත් රටවල් ගොඩක් වර්ණනා කරනවා. ඒ පිංවතුන් වර්ණනා කරන සමහර රටවල ධර්මයේ නිවැරදි අර්ථයන් නැහැ. මහායාන ක්‍රමවේදයන්ගෙන් පෝෂණය වුණ මිථ්‍යා දෘෂ්ටික ලක්ෂණයි, සමහරක් රටවල බහුලව දක්නට ලැබෙන්නේ. මෙවැනි රටවල් ප්‍රත්‍යන්ත දේශයන්, ධර්මයේ අර්ථයන් නො පිහිටන දේශයන් හැටියටයි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ.

රැකියාවන් සඳහා විදේශ රටවල සේවය කිරීම කියන කාරණය මෙයට අදාළ වෙන්නේ නැහැ. මව්බිමේ අගුණයන් දකිමින්, ලෝකයේ අනෙක් රටවල ගුණයන් දකින පිංවතුන්ලා හොඳින් සිල්පද පහ ආරක්ෂා කරන පිංවතුන්ලා. ඇයි මෙහෙම වෙලා තිබෙන්නේ? තමන් රකින ශීලය සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසා ම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය දුර්වල යි. මෙවැනි අය මරණයෙන් මතු දුකට වැටෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විදේශගතව සේවය කරන පිංවතුන්ලා, තමන් ජීවත්වන ආගන්තුක රටේ සිටිමින්, උපන්බිමේ උතුම්භාවය නිරතුරුව ම නුවණින් දකින්න. මේ ලෝකධාතුවේ මනුෂ්‍යයකුට ලබන්න තිබෙන ශ්‍රේෂ්ඨ ම සැපයක් වන සම්මා දිට්ඨියට පත්වීම නමැති සැපය, විදේශ රටක සිටිමින් වුව ද එවිට ඔබට ලැබිය හැකිවෙනු ඇත.

සමාජයේ ජීවත්වන සමහරක් පිංවතුන්ලා සිටිනවා, එම පිංවතුන්, හොඳින් සිල්පද පහ ආරක්ෂා කරනවා. නමුත් මේ අය ජ්‍යොතිෂ, යන්ත්‍ර-මන්ත්‍ර, ගුරුකම්, බලිතොවිල්, දේවාල සරණ කොට ගෙනයි ජීවත්වන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? මේ පිංවතුන්ලා ආරක්ෂා කරන සීලය සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසා ම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය දුර්වලයි. මෙවැනි අය මරණින් මතු දුකට පත්වෙනවා ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

භික්ෂුව මේ වස් සමයේ වැඩසිටින කුටියේ කැපකරුගේ කුඹුරේ අද ගොයම් කපනවා. කළුවර වැටෙන්න ආසන්න මොහොතේ, ගොයම් පාගන මීහරකුන්ට කෑගසන හඬ ගම්මානය දෙසින් යාන්තමට ඇසෙනවා. මේ ගම්මානවල තවමත් මීහරකුන්ට ගොවිතැන් කටයුතුවල දී වටිනාකමක් තිබෙනවා. පසුගිය කන්නය අවසානයේ දී, ගමේ ගෙදරක හදපු මීහරකෙක් විකුණලා, මීහරකා ලොරියට පටවනකොට එයාගේ ඇස්වලට කඳුළු ආවා ලු. මස්කඩේ මුදලාලි මීහරකාට රුපියල් හැටදාහක් ම ගෙවලා. අකුසලයට කොච්චර නම් වටිනාකමක් තිබෙනවාද. කුඹුරේ පස පෙරලලා, කුඹුර මඩකරලා, ගොයම පාගලා, අවුරුද්දක් කන්න වී ටික ගෙදරට ඇදලා දීලා, අවසානයේ දී එම සතා මසට විකිණෙනවා නම් පිංවතුන්ලා අකුසලයට කොච්චර නම් බියවෙන්න ඕනේ ද.

ඉහත සටහන පුරාවට, සම්මා දිට්ඨියේ දුර්වලතාවයෙන් ඇතිවෙන විශ්වාසයන් ගැනයි සටහන් කළේ. යමෙක් සීලයෙන් පරිපූර්ණ වුව ද, ඔහු චිත්ත විශුද්ධියෙන්, ප්‍රඥා විශුද්ධියෙන් දුර්වල නම්, මරණින් මතු දුකට වැටෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙම කාරණයේ දී මරණින් මතු දුකට වැටෙනවා ය කියන්නේ, එක්කෝ සතර අපායට වැටෙනවා. නැතිනම් මිථ්‍යා දෘෂ්ටික, දිව්‍ය-මනුෂ්‍ය ජීවිත ලබනවා. එහෙමත් නැතිනම් කුලහීන භාවයට, අල්පේශාක්‍යභාවයට, නූගත් භාවයට පත්වෙනවා. එහෙමත් නැත්නම් අඳ, ගොළු, බිහිරිභාවයට, විරූපීභාවයට, මන්දබුද්ධික භාවයට පත්ව දුප්පත්, පොහොසත් පවුල්වල ඉපදෙන්න පුළුවන්.