ශීලයෙන් පරිපූර්ණ වූ පමණින් භවයේ සුරක්ෂිත වේ ද?

භික්ෂුව ගම්මානයක වැඩ සිටිනකොට, එම ගමේ එක් කණ්ඩායමක් කිසි ම දිනක පිණ්ඩපාත මඩුවට පිණ්ඩපාතය ගෙනාවේ නැහැ. ඒ ගැන ගමේ කැපකරුගෙන් විමසනකොට ඒ මහත්තයා කියනවා, “හාමුදුරුවෝ ගමේ කුලයෙන් අඩු අයගේ පිණ්ඩපාතය පිළිගන්න නිසා ඒ අය පිණ්ඩපාතය පූජා කරන්නේ නැහැ” කියලා. මේ කණ්ඩායමට කුලයෙන් උසස් අය කියලයි කියන්නේ. මේ කණ්ඩායම ගමේ පන්සලට දානෙ පූජා කරන්නෙත් නැහැ. ගමෙන් පිට, නගරයේ තෝරාගත් පන්සලකට තමයි දානය පූජා කරන්නේ. නමුත් මේ පිංවතුන්ලා සිල්පද පහ හොඳින් ආරක්ෂා කරගන්නා පිංවතුන්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? තම ශීලය සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසා ම සම්මා සංකප්පයන් වැඩිලා නැහැ. ඒ නිසාම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය වැඩිලා නැහැ. මෙවැනි අය මරණින් මතු දුකට වැටේ ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

සමහර පිංවතුන් සිටිනවා, ඒ අය සිල්පද පහ ආරක්ෂා කරගන්නවා. බෞද්ධ පිංවතුන්. නමුත් ඒ අය මහා සංඝරත්නයට දානය පූජා කරන්නේ නැහැ; මහා සංඝරත්නය උදෙසා පූජා කරන දානයේ ආනිශංස පක්ෂය දන්නේ නැහැ. සමහර පිංවතුන්ලා ස්වාමීන් වහන්සේලාව අඩු තක්සේරුවට ලක්කරනවා. එම පිංවතුන්ලා මහලු නිවාසවලට, ළමා නිවාසවලට, රෝහල්වල රෝගීන්ට, දුගීමගී අයට තමයි දන්දෙන්නේ. මේ අයට දන්දෙන්න එපා ය කියන එක නෙවෙයි මේ කියන්නේ. මහා සංඝරත්නය අරමුණුකොට පූජා කරන දානයේ අග්‍රභාවය අපි දකින්න අවශ්‍යයි. වර්තමාන සංඝ සමාජයේ යම් ස්වාමීන් වහන්සේ නමකගේ දුර්වලතාවයක් තිබුණොත්, මහා සංඝරත්නය අරමුණුකොට එම හිස්තැන් පුරවාගැනීමට අපි දක්ෂ වෙන්න ඕනේ. නමුත් එසේ නො වන්නේ මේ පිංවතුන්ගේ ශීලය, සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙලා නැති නිසා. ඒ නිසා ම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය වැඩිලා නැහැ. මේ අය මරණින් මතු දුකට වැටීමේ අවදානම තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

වර්තමාන සමාජයේ සමහරක් පිංවතුන්ලා සිටිනවා, එම පිංවතුන්ලා හොඳින් සිල්පද ආරක්ෂා කරනවා; දන් දෙනවා; අනුනට කරදරයක් නො වී යහපත් ජීවිත ගතකරනවා. ඉහත කාරණා තුළින් පමණක් තමන් ධර්මය තුළ සිටිනවා ය කියලා සතුටු වෙනවා. එම පිංවතුන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් ගැන දන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත්, “දන්නේ නැහැ” කියනවා. සම්මා වායාමෝ කියන්නේ කුමකට ද කියලා ඇහුවොත්, “දිනපතා ව්‍යායාම කිරීම” කියලයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙක් සිල්පද පහ ආරක්ෂා කරගත්තා ය කියලා, දන් දුන්නා ය කියලා ඔහු බෞද්ධයෙක් වෙන්නේ නැහැ ය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, බෞද්ධයා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් ජීවිතයට එකතු කොටගෙන මාර්ගයේ ගමන් කරන පිංවතා ය කියලා. ඇයි ඉහත සඳහන් කළ තත්වයන්ට පිංවතුන්ලා පත්වෙන්නේ? තමන්ගේ ශීලය සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙලා නැති නිසා. ඒ නිසා ම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය දුර්වල යි. මේ අය මරණින් මතු දුකට වැටේ ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

සමහරක් පිංවතුන්ලා සිටිනවා, එම පිංවතුන් හොඳින් සිල්පද පහ ආරක්ෂා කරනවා. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ; තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්ය කාන්ත ශීලය, පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ පිංවතුන් සතියකින්, දෙකකින්, මාසයකින් යුත් පාඨමාලාවකින් අනුනට ලිඛිත සහතිකයකින් සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය ප්‍රදානය කරනවා. ඇයි සමාජය තුළ මෙහෙම වෙන්නේ? එම පිංවතුන් ශීලයෙන් පරිපූර්ණ වුවත් එම ශීලය සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම එම පිංවතුන් තුළ චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය දුර්වල යි. මෙවැනි අය මරණින් මතු දුකට වැටීමේ අවදානම තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.