පිංවත් ඔබ සම්මා දිට්ඨියේ අර්ථයන් තුළ ශක්තිමත් වෙන්න. හේතුඵල ධර්මයන් නිසා ම ඔබට ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලයට ඇලෙන්න එපා. ආයුෂ, වර්ණය, සැපය, බලයට ඊර්ෂ්‍යාකරන්න එපා; ද්වේෂ කරන්න එපා. ඒ හේතුවෙන් පළිගන්න එපා. සම්මා දිට්ඨියේ අර්ථයන් තුළ සිටිමින් ම ඉහත අර්ථයන් විග්රහ කරගන්න දක්ෂ වෙන්න.
මාර්ගඵල ලැබීමට පෙරාතුව මේ ධර්මයන් අපි දැනගත යුතු යි. එසේ නො වුණහොත් මාර්ගඵලත්, ධර්මයත් දෙක ම අපට අහිමි වෙනවා. ලෝකය නැවත හටගන්න මුල්කාලයේ පටන් පාලක පන්තියත්, පූජක පක්ෂයත්, ව්‍යාපාරික, ගොවි, කම්කරු පන්තියත් මේ ලෝකයේ සිටියා. ඒ ඒ පන්තීන්ට පෙර පින සහ පව් නිසා ලැබෙන සැපයේ විවිධත්වය සම්මා දිට්ඨියේ අර්ථයන් තුළින් දකින්න ඕන. කම්කරු පන්තියේ මහත්මයෙකුට රටක පාලකයෙක් වෙන්න අවශ්‍ය කුසලයේ මාර්ගය උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය තුළයි තිබෙන්නේ. එම නිසා සැපයට කැමති වීමෙන් ඔබ ඔබේ ආරක්ෂක ඉලක්කය කරගත යුත්තේ සම්මා සම්බුද්ධ ශාසනය යි.
භික්ෂුව මේ සටහන ලියන්නේ ලෞකික සම්මා දිට්ඨියේ අර්ථයන් ඔබට පැහැදිලි කර දීමට යි. ඒ තුළින් අනතුරු නුවණින් දැකලා ධර්ම මාර්ගය තුළ අප්‍රමාදීභාවය ඇතිකරගන්න. එක රැයකින් හුඟක් දේවල් වෙනස්වෙලා යන්න පුළුවන්, විනාශවෙලා යන්න පුළුවන්. කොසොල් රජතුමාගේ දරුවෙක් වූ විඩූඪභ කුමාරයා ශාක්‍ය වංශය සමඟ ඇතිකරගත් වෛරයක් නිසා ශාක්‍ය වංශයෙන් පළිගන්න හමුදා සේනාවන් අරගෙන කිඹුල්වතට යනවා. මේ කාරණය දිවැසින් දැකලා, බුදුරජාණන් වහන්සේ තමන් උපන් ශාක්‍ය වංශය කෙරෙහි කරුණාවෙන් විඩූඪභ කුමාරයා සේනාව සමඟ ගමන් කරන අතරමඟට වැඩම කරලා, මෛත්‍රී ආනිශංස පහදා දීලා විඩූඪභ කුමාරයා සහ සේනාව ආපසු හරවා ඇරියා. නැවත කාලයක් ගියාට පස්සේ විඩූඪභ කුමාරයාට පරණ වෛරය මතක් වෙලා ශාක්‍ය වංශය විනාශකර දැමීමට සේනාව අරගෙන කිඹුල්වතට යනවා. දෙවැනි වරත් බුදුරජාණන් වහන්සේ අතරමඟට වැඩම කරලා කුමාරයාට ද්වේෂයේ ආදීනව පහදලා දීලා ආපසු හරවා යැවුවා. නැවත කාලයක් ගියාට පස්සේ විඩූඪභ කුමාරයාට ශාක්‍ය වංශය කෙරෙහි පරණ වෛරය මතක් වෙලා සේනාව අරගෙන කිඹුල්වතට යනවා. තුන්වැනි වතාවේ බුදුරජාණන් වහන්සේ දිවැසින් බලනවා, දෙවතාවක් ම විඩූඪභ කුමාරයාට අවවාද කරලත් ඇයි මේ විදිහට ඔහු ශාක්‍ය වංශිකයන්ව සමූල ඝාතනය කරන්නට යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දකිනවා ශාක්‍යයන්ගේ අතීත ප්‍රාණඝාත අකුසල කර්මයක් විපාක දීමටයි සූදානම් වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ හේතුඵල දැකලා තුන්වැනි වතාවේ විඩූඪභ කුමාරයා නවත්වන්න වැඩියේ නැහැ. විඩූඪභ කුමාරයා ද්වේෂයෙන් මුළු ශාක්‍ය වංශය ම මරා විනාශකොට දැම්මා.
බුදුරජාණන් වහන්සේ කාලය, දීපය, දේශය, කුලය, මව යන පස්මහ බැලුම් බලා උපන් ශාක්‍ය වංශයත්, බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිය දී ම විනාශ වී ගියා නම් එතැන තමයි අප ඉගෙනගත යුතු ධර්මය. සියලු සංස්කාරයෝ අනිත්‍ය යි. එක ම විසඳුම ධර්ම මාර්ගය තුළ අප්‍රමාදීභාවය යි. අප්රමාදී නො වුවහොත් අපව විනාශවෙලා යාවි. ඒ දෙසටයි හේතුඵල ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ.
භික්ෂුවක් උතුම් සමාධියෙන් පසුවෙද්දී සශ්‍රීක දිව්‍යතලයක ජීවත්වන දිව්‍යාංගනාවක් අරමුණු වෙනවා. ඇය සුදෝසුදු ප්‍රභාෂ්වර දිව්‍යාංගනාවක්. සුදු පාට හැර වෙන වර්ණයක් ඇගේ දිව්‍ය ශරීරයේ නැහැ. ඇය ප්‍රභාෂ්වර සුදු දිලිසෙන වස්ත්රයකිනුයි සැරසී සිටින්නේ. එය හරියට මඟුල් දිනයට මනාලියන් අඳින දිගු සුදු ගවුමක් වගෙයි. ඇගේ කෙස්කළඹ දණහිසින් පහළට වැටී තිබෙනවා. ඒ කෙස්කළඹ සිනිඳු, දිලිසෙන සුදෝසුදු කෙස්කළඹක්. හිසකෙස්වල කළු පැහැයක් නැහැ. ඒත් ඒ කෙස්කළඹේ කාන්තිය, ජීවය පිරිලා. ඇගේ ඇසේ කළු ඉංගිරියාවත් සුදු පැහැතියි. ඇසෙන් ආලෝකය පිටවෙනවා. එයත් සුදු පැහැතියි. ඇය හිරුරැස් සේ දීප්තිමත් සුදෙන් බබළන දිව්‍යාංගනාවක්; පංච කල්‍යාණියක්. ඒ දිව්‍යාංගනාව වෙන කවුරුත් නෙමෙයි, විහාරමහා දේවියගේ දිව්‍ය උපත යි. ඇය මෙවන් අසිරියක් ලබන්නේ ගැමුණු පුතාට සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න දුන් ගුරුහරුකම් නිසා ම යි; ආරක්ෂා කොටගත් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය ජීවිතයට එකතු කොටගත් නිසා ම යි. මේ මොහොතේ සශ්‍රීක දිව්‍යතලයක දිව්‍යසැප අත්විඳින දුටුගැමුණු දිව්‍ය කුමරු, විහාරමහා දේවී සුදෝසුදු දිව්‍යාංගනාව ඔබට පෙන්වන ආදර්ශය වන්නේ සියලු මනුෂ්‍යයන්ට මෛත්‍රිය කරුණාව දක්වමින්, ශාසනික අර්ථයන් ද රැකීමේ දක්ෂතාවය පිංවත් ඔබට ද සශ්‍රීක දිව්යසැපයට හේතුවක් වන බව යි.
භික්ෂුව මේවා ඔබට සටහන් කරන්නේ, සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් ආරක්ෂා කරලා ඔබටත් සශ්‍රීක දෙවියන් දිව්‍යාංගනාවන් අතරට යන්න කියලා ආරාධනා කරන්න යි. එසේ නො වී, සම්මා සම්බුද්ධ ශාසනය යනු කුමක්ද යන්න හරිහැටි නො දන්නාකම හේතුවෙන් ම, පංච නීවරණයන්ට යටවීමෙන් හෝ අප අතින් උතුම් ශාසනික අර්ථයන් දුර්වල වීමට උපක්‍රම, ක්‍රමවේදයන් සකස් වුණොත් ඉන් ඔබට සිදුවන හානියත් සුළුපටු නැහැ. භික්ෂුවට මැවිලා පෙනෙනවා, මුළු ශරීර අභ්‍යන්තරය ම පිච්චෙමින් මතුවෙන, ලොකු කළයක් වැනි ගිනි ජාලාවක් තම කිඹුල් කටක් වැනි කටින් නිරතුරුව ම පිටකරමින්, පිච්චීමේ මරණීය වේදනාව, සෑම තත්පරයක දී ම අත්විඳින දේවදත්ත නිරිසතා නිරිදුක් විඳින අවීචි මහා නිරයේ තව ඕනෑ තරම් ඉඩකඩ ඉතිරි වී තිබෙනවා ය කියන කාරණය.