නිවන් මඟ වඩනා භික්ෂුවකට ගෙපිළිවෙළින් පිඬුසිඟාවැඩීම, තම නිවන් මඟ ශක්තිමත් කරගැනීමට උපකාරවන්නකි. පිණ්ඩපාත වඩින විට භික්ෂුවට ගමක එක ගෙදරක සිට තව ගෙදරකට ඇත්තේ නොපෙනෙන දුරකි. ගෙවල්වල නිවැසියන් ගොවිතැන් කටයුතුවලය. දුප්පත්කම, ශ්‍රද්ධාව, ශීලාචරකම, දන්දීමේ කැමැත්ත ඔවුන් තුළ ඇත. දිනක් පිණ්ඩපාතය සඳහා ගොවි ගෙදරක් ඉදිරිපිට වැඩ සිටින විට, කාන්තාවක් පැමිණියාය. ඇය තරුණය. කුඩා දරුවකු ද ඇය පසුපස දුව ආවේය. ඇය එක් දරු මවක විය හැකිය. ඇය දෝතට රැගෙන පැමිණියේ සීනි බෝතලයකි. එය ද අඩක් හිස්ව තිබිණි. ඇය සීනි හැඳි දෙකක් පාත්‍රයට පූජා කළාය. එකපාරටම ඇය ඉකිගසා හැඬුවාය. “හාමුදුරුවනේ, මේ දරුවගේ තාත්තා හම්බ කරන සේසතම බොන්න වියදම් කරනවා. ගෙදර මොකුත්ම නැහැ පූජා කරන්න, බොහෝ බැගෑපත් ස්වරයෙන් කියූ ඇය ඉකිගැසීය. ඇයට පිං අනුමෝදන් කර භික්ෂුව ඉවතට වැඩම කළහ.
කාන්තාවකගේ කඳුළු, ඉකිබිඳුම, විරහ වේදනාව, පුරුෂයාගේ නොසලකාහැරීම, එක්දරු මවක් ඉල්ලන කරුණාව, මේ සියල්ල මාරයා ඔබට දෙන ආහාරය. එක්දරු මවක ලෙස ඔබ ඉදිරියේ හඬාවැටුණේ මාරයාමය. ඔබට සිතුණොත් ‘අනේ පව්. ඇයට ආහාර නැති නිසා දරුවාට කිරිත් නැහැ. පාත්‍රයෙන් යමක් දරුවාට දෙන්න ඕනේ. හෙට බිස්කට් මොනවහරි ගෙනත් දෙන්න ඕනෙ….’
මේ ආකාරයෙන් ඔබ ඇගේ දුකට අනුකම්පා කරන්න ගියොත්, ඒ ඔබ අනුකම්පා කරන්නේ මාරයාටය. අනාගතයේදී මාරයා ඔබව ගිහිගෙදරක් තුළ එක්දරු මවකගේ දාසයකු කරනු ඇත.
හැබැයි ඔබ දක්ෂයෙක් නම් මෙසේ සිතනු ඇත. මා ඉදිරිපිට හඬන ඇය සංසාරය පුරාවට මනුෂ්‍ය, දේව, ප්‍රේත, තිරිසන් දුවක් ලෙස ඉපිද හඬමින්ද, විරහවෙන්ද, පුරුෂයා නොසලකා හැරීමෙන්ද හඬාවැටී මේ බුද්ධෝත්පාද කාලයේදීද කඳුළම උරුම කරගත් මිනිස් දුවක් බවයි. ඇය සොයන්නේ අනුකම්පාවයි. කරුණාවයි. ඔබ සොයන්නේ නිවීමයි. අනුකම්පාව, කරුණාව ඉල්ලීම යනු යමක් එකතුකරගැනීමයි. නිවන් මඟ වැඩීම යනු අතහැරීමයි. ඔබ ඇයගේ කඳුළ, දුක අතහැරිය යුතුය. කඳුළ, ඉකිබිඳුමේ ස්වභාවය ලෙසත්, දරුවා මවකගේ ස්වභාවය ලෙසත් ඔබ දැකිය යුතුය.
සියලු දෙය අතහැර, ගිහිගෙදරින් ඉවත්ව යමෙක් නිවන් මඟ වැඩීමට පැවිදි වෙන්නේ ලෝකයට අනුකම්පා කරන්න නොවේ. අනුන්ගේ දුක නිවීමට නොවේ. තමා තුළ දුක නිවා ගැනීමටය. මේ ගමන ඔබ යන විට මෛත්‍රිය, කරුණාව ද අනුකම්පාව ද අත්හැරිය යුතු අවස්ථා පැමිණෙනවාය. ලෝකයාට මෛත්‍රිය, කරුණාව දක්වමින් ඔබට මේ ජීවිතය තුළ නිවන් අවබෝධය ලැබීමට නොහැකිය. ඔබ තවම ලෝකය තුළ මැරෙන, ලෙඩවෙන, වයසට යන අසරණ භාවයෙන් මිදී නොමැත. මුලින් ඔබ මේ අසරණභාවයෙන් මිදෙන්න. සසර සැප තියෙනවාය කියන මුළාව පසුපස දුවන, තව පාරමී මදිය කියලා විශ්වාස කරන, රුචි ලෝක ප්‍රාර්ථනා කරන පින්වතුන්ට නම් තව තව මෛත්‍රිය, කරුණාව වැනි ගුණධර්ම වැඩිය යුතුය. ඒ පිළිබඳ කිසිදු තර්කයක් නොමැත. හැකි උපරිමයෙන් එම ගුණධර්මයන් වැඩිය යුතුය. බලන්න, සත්වයා මාරයාගේ සිත දවන්න කොතරම් අකැමැතිද කියලා. එයාගේ තුරුලම පතනවා. මාරයාගේ තුරුළ තමයි භවය. මාරයාගේ තුරුලේ උණුසුමේ තලු මරමින් සතුටු වෙමින්, ඉකිගසමින් හඬමින් කල්ප සියක් කෝටි ගණනක් ඇවිඳපු ඔබ අදත් මාරයා අතදිගුකොට පෙන්වන සසරට ලොල් වෙනවා. මෛත්‍රී බුදු සමිඳුන්ගේ ශාසනය තෙක් නිවීම කල් දමනවා. තවත් කල්ප ගණනාවක්, ආත්ම දස දහස් ගණනක් මැරී මැරී ඉපිදෙමින් යම් හෙයකින් මනුෂ්‍යයකුව ඔබ මෛත්‍රී බුදු සමිඳුන්ගේ ශාසනය ඇති වූ කල ඉපදුණහොත්, එදාටද අද වගේම මාරයො ඔබට ඊළඟට බුදු වන බුදු සමිඳුන්ගේ ශාසනය ඇඟිල්ල දිගුකොට පෙන්වාවී. ඔබ එයත් පිළිගනීවි. ඒ ආකාරයෙන් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණනාවක් පසුකොට මාරයා ඔබව රැගෙනවිත් තිබෙන්නේ. ඒ නිසාම මාරයාගේ උණුසුම ඔබේ ශරීරයේ උණුසුම කරගෙන සංසාරයක් පුරාවට ඔබට දුක් සාගරයක් උරුමකොට දුන් මාරයාගෙන් නිදහස් වීමට නම් ඔබ කිසිවක් ජීවිතයට එකතුකරගතයුතු නැත. ඔබ කළ යුත්තේ සියල්ල අතහැරීමයි. බලන්න ඔබ එකතු කිරීම කියන අමාරුදේ කරමින් අතහැරීම කියන ලෙහෙසි දෙය මගහරිනවා. එකතු කිරීමය යනු මාරයාගේ ධර්මයයි. අතහැරීම යනු ලොව්තුරා ධර්මයයි. ඔබ මාර පුතෙක් වෙන්නද කැමැති? බුදු පුතෙක් වෙන්නද කැමැති?
ඔබ කරන්නේ එකතුකිරීම, රැස්කිරීම ගොඩගසා ගැනීම නම් ඔබ මාරපුත්‍රයෙක්මය.මරණින් පසු පෘථග්ජන ගිහි – පැවිදි පින්වතුන් පාංශකූලයේදී තරගයට දේශන පවත්වා, බැනර් ඔසවා ඔබව නිවන් දක්වනු ඇත. පෘථග්ජන ගිහි – පැවිදි පින්වතුන්ගේ අසූචි මල් මාලා පළඳවාගෙන ඔබට සිදුවන්නේ තව උපතක් කරා යැමටය. එය සතර අපාය වීමටද හැකිය. දිව්‍ය, මනුෂ්‍ය ලෝක වීමටද හැකිය. එහෙත් ඒ සියල්ලේම ඇත්තේ දුකමය.
පිණ්ඩපාතය වැඩීම නිවන් මඟ වැඩීමට අවශ්‍ය කලමනා සොයායන ගමනක් කරගැනීමට ඔබ දක්ෂ විය යුතුය. ඔබ සොයා යන්නේ ආහාර පමණක් නම් මාරයා ඔබට ආශිර්වාද කරනු ඇත. මන්ද ඔබ ආහාර සොයා යන්නේ මාරයාගේ පැවැත්ම පිණිස බැවිනි. දානය පූජා කළ දායකයාට මෛත්‍රී කිරීමට අප කාටත් හැකිය. ඔබ කළ යුත්තේ සැවොම කරන දෙය නොවේ. අන් අයට කළ නොහැකි දෙයයි. හැමෝටම කළ නොහැක්කේ නොදුන් කෙනාට මෛත්‍රිය කිරීමයි. පිණ්ඩපාත ගමනේදී ඔබ දක්ෂ වුවොත් මෛත්‍රී සමාධියට පත්වීමට ඔබට හැකිය. යමෙක් ආහාර පමණක් සොයා පිණ්ඩපාතය වඩිනවා නම් ඔහු තුළ ඉතිරිවන්නේ කුසගින්න නොව, භව ගින්නය. භවගින්න නිවාගතහොත් සියලු ගිනි නිවී යනු ඇත. මෙතෙක් අප කර ඇත්තේ ගින්නට පිදුරු දමාගැනීමය. පිදුරු සපයන්නේ මාරයා වුවද ගින්නෙන් දැවෙන්නේ ඔබය. ගින්නේ ස්වභාවය ඇවිළීමය. පිදුරුවල ස්වභාවය ඇවිළීමට උපකාරී වීමය. මාරයාගේ ස්වභාවය මේ දෙක එකතු කිරීමය. ඔබේ ස්වභාවය විය යුත්තේ භව ගින්නට කෙලෙස් පිදුරු නොදමා, මාරයාට නොපෙනෙන්නට ගින්න නිවාදැමීමය.