භික්ෂුව භික්ෂුත්වය ලැබූ මුල් කාලයේ, සැම විටම අතීතයේ වැඩ සිටි, පිරිනිවී ගිය උතුම් රහතන් වහන්සේලාගේ ගුණයන් සිහිපත් කරමින් ජීවත්වුණා. උන්වහන්සේලා පිළිබඳ ආත්මීය සංඥාවක් ගන්න ගියේ නැහැ. තවමත් නොනැසී පවතින සංඝරත්නයේ උතුම් ගුණයනුයි මම මගේ ශක්තිය කොටගත්තේ. භික්ෂුව පැවිදිවීමට පෙර ථෙර ථේරී ගාථා පොත කිහිප වරක්ම කියවා තිබුණා. මේ පොත ගොඩක් උපකාරී වුණා මේ උතුම් මනෝභාවයන් ඇතිකරගැනීමට. ඒ ථේර ථේරී ගාථා පොතේ ඇති උතුම් රහතන්වහන්සේලාගේ සිංහනාදයන් භික්ෂුවගේ චංචල හිත නිශ්චල කරන්න ගොඩක් හේතුවුණා. රහත් භික්ෂුණීන්වහන්සේලාගේ ඒ අභීත සිංහ නාදයන් කියවනකොට භික්ෂුවක් වශයෙන් අයෝමය ජවයක් මා තුළ ඇතිවුණා. කිසාගෝතමී රහත් භික්ෂුණිය තුළ, උත්පලවන්නා රහත් භික්ෂුණිය තුළ ඇති අයෝමය ධර්ම ශක්තිය දැක, පටාචාරා රහත් භික්ෂුණිය ගිහි කාලයේ අත්විඳි කටුක අමිහිරි අත්දැකීම් දැක, භික්ෂුව භික්ෂු ජීවිතය තුළ අයෝමය ශක්තියක් මතුකරගත්තා.
මළ දරුවෙක් කරතබාගෙන නුවරක් පුරා දරුවාට පණදෙන්න යැයි කියමින් ඇවිද ගිය කිසාගෝතමිය වැනි කාන්තාවක්, දරුවා කියන රූපය කෙරෙහි ආත්මීය සංඥාවෙන් බැඳී ගිය කාන්තාවක්, ධුථාංගධාරී භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානයට පත්වූ හැටි දකිමින්, භික්ෂුව තමා තුළ යටපත්ව තිබූ අධ්‍යාත්මික ශක්තිය මතුකොටගත්තා. බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමට සෘද්ධියෙන් වැඩි, දිරාගිය සිවුරක් දැරූ, නහර මතුවුණු පටාචාරා රහත් භික්ෂුණියගේ රූපකාය, භික්ෂුවට සරල දිවියක අගය මතුකොටදීමට හුඟක් උපකාරී වුණා. මෙවැනි උපක්‍රම මගේ සාමනේර ජීවිතයේ ශක්තිය පිණිස හේතුවුණා.
භික්ෂුවගේ භික්ෂු ජීවිතයේදී කවදාවත් තමා සරණය කියන හැඟීමක් ඇතිවෙලා නැහැ. භික්ෂුත්වය පිළිබඳ කලකිරීමක් ඇතිවෙලා නැහැ. බුදුරජාණන්වහන්සේම කල්‍යාණ මිත්‍රයා කරගත් භික්ෂු ජීවිතයක ඵලයයි භික්ෂුව අත්දකින්නේ. පැවිදි පිංවත් ඔබත් ඔබේ භික්ෂු ජීවිතයේ අරමුණු කරා යන ගමනේදී ඉතහ අත්දැකීම් ගැනත් මොහොතක් සිතන්න. පිංවත් ඔබ ප්‍රමාද නැහැ. ඔබේ ඇස්දෙක පියාගෙන ශබ්ද නගලා නමස්කාය සජ්ඡායනා කරලා, ඒ උතුම්, පිරිනිවී ගිය රහතන් වහන්සේලාගේ සුරතින් ඔබේ පැවිදි ජීවිතයට ආශිර්වාදය ලබාගන්න. ථේර් ථේරී ගාථා පොත නිරතුරුවම පරිහරණය කරන්න.
ජීවිතය කියන්නේ සංස්කාරයක ඵලයක්. අපි කරපු දෙයයි අපට ලැබෙන්නේ. අපි පතන දෙය අපට ලැබෙන්නේ නැහැ. නමුත් කරපු දෙය ලබන්න නම් අපි සිතන්න ඕනේ.