ගමක ජීවත්වන මැදි වයසේ මහත්මයෙක් භික්ෂුව මුණගැසීමට පැමිණ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළා. ‘හාමුදුරුවනේ මගේ බිරිඳට මාව රුස්සන්නේ නැහැ. මම කියන දෙය අහන්නේ නැහැ. මේ ගැන කල්පනාකරලාම දැන් මගේ මතක හිටීමේ ශක්තියත් අඩුවෙලයි තියෙන්නේ’ කියලා. භික්ෂුව බලාපොරොත්තු වුණේ මේ මහත්මයා භික්ෂුව හමුවීමට පැමිණියේ ධර්ම කාරණයක් දැනගන්නය කියලා. නමුත් ඉදිරිපත් කළේ පවුල් ප්‍රශ්නයක්. දායක මහත්මයා මේ ප්රශ්නය ඉදිරිපත් කරලා ඒ තුළින් සැනසීමක් ලැබීමටයි බලාපොරොත්තු වුණේ. මෙවැනි අවස්ථාවක විනය කාරණා ගැන සිතල ඔහුව ප්‍රතික්ෂේප කිරීමට අපිට බැහැ. භික්ෂුවක් සෑමවිටම දායක පිංවතෙක් සතුටු කරන්න ඕනේ ධර්මය තුළින්මයි. ධර්මයෙන් බාහිරව කෙනෙක් සතුටු කිරීමේ අයිතියක් භික්ෂුවකට නැහැ. මෙය සටහන් තබන භික්ෂුවට මතකයි කුඩා කාලයේදී මගේ අම්මා තාත්තා ගේ ඇතුළේ, වචනවලින් සන්ඩුවෙනවා. එහෙම වෙලාවට පුංචි අපිට හරි බයක් දැනෙනවා. නමුත් ටික වෙලාවකින් දෙදෙනා යාළුවෙලා. ඒ අතීතයේ ඇතිවුනාවු දෙන්න දෙමහල්ලන්ගේ සන්ඩුවල ස්වභාවය. නමුත් වර්තමානය මීට වඩා හුඟාක් වෙනස්. උගත් නුගත් භේදයකින් තොරව දුප්පත්, පොහොසත් භේදයකින් තොරව පවුල් ජීවිතවල සමීපභාවය දුරස්වෙලා. වරෙක පිංවත් මහත්මයෙක් භික්ෂුවට ප්‍රකාශ කරනවා ‘මට හොඳටම අසනීප වුණා. ඒත් බිරිඳ මොකද කියලවත් ඇසුවේ නැහැ. මම තනිවම ගිහින් බෙහෙත් අරගෙන පැමිණියා. දැන් සනීපයි. ඒත් බිරිඳ තවම දන්නේ නැහැ මම අසනීපයෙන් සිටි බවක්වත්. එය ඇය දැන සිටියත් දන්න බවක් හඟවන්නෙත් නැහැ’ කියලා.
සමහර පිංවතුන්ලා ගිනියම් වු පවුල් ජීවිත උරුම කරගන්නේ සද්ධර්මයෙන් ඈත්වීම නිසාමයි. ශීලය තුළින්මයි ඔබේ සිතේ ඇතිවන කෙලෙස් ගිනි නිවා දමන්නේ. මෙතනදි ඉක්මගියාවු මනෝකර්ම කියන කාරණය ගැන අවධානය යොමුකරන්න ඕනේ. මනෝකර්ම කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන කාරණාවන්. මනසින් සිදුවන මේ අකුසල් තුන නිසාමයි මේ කෙලෙස් ගිනි ඇවිලෙන්නේ. ලෝකය තුළින් කවදාකවත් පිංවත් ඔබට මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. මුළු මහත් සමාජයම අර්බුදයකට යවලා. එම අර්බුදයන් තුළින් මතුවන සමාජ සංකීර්ණතා නැවත නැවත ආදායම් උපදවන මාර්ග බවට පත් කරගන්න සමාජයක් තුළයි ඔබ ජීවත්වෙන්නේ. මේක තමයි ධර්මයෙන් තොර ආර්ථීකයක දියුණුව කියන්නේ. දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු කරන විට අඩුම වශයෙන් දෙදෙනාගෙන් එක්කෙනකුට වස කුප්පියක් හරි විකුණලා ආර්ථීකය දිවවීමටයි ලෝකය බලාපොරොත්තු වන්නේ. සමාජය තුළ මෙම බිඳවැටීම් සිදුනොවනවා නම් ආර්ථීකය තුළ නව ආදායම් මාර්ග ඇතිවෙන්නේ නැහැ. එම නිසා සමාජය හැමවිටම ඔබලාට අත දිගු කරන්නේ ප්‍රශ්න ඇතිවන දිශාවටයි. අපි සමාජයෙන් පලාගියේ විසිතුරු ලෙසින් පෙනෙන මෙම ලෝකය හෙළිකරගැනීම නිසාමයි. මනුෂ්‍යයා තුළ විසිතුරුභාවය ඇතිකරවන්නේද තෘෂ්ණාවෙන් බරිත වු මනුෂ්‍යයා තුළම සකස් වෙන පංචඋපාදානස්කන්ධය නිසාමයි. එම ලෝකයාට ඉඳිකටුතුඩක තරම්වත් බැඳෙන්න අප නැවත කැමති නැහැ. ආර්ථීකය විසින්ම අපව රණ්ඩු කරන පරිසරයකට යොමුකරලා අපිටම වස විකුණලා. අපටම ආයුධ විකුණනවා. අපේම ගුණකථන කියලා දියුණුව මනින ලෝකයක් තුළයි පිංවත් ඔබ ජීවත්වෙන්නේ. වාසනාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තවමත් ජීවමානව තිබෙනවා. මිතුරු වෙසින් සිටින කුරිරු ලෝකයේ වෙස්මුහුණ අපිට හඳුනාගන්න. ලෝකය කවදාකවත් මේ මොහොතේ පවතින ත්ත්වයට වඩා හොඳවෙන්නේ නැහැ. ඒ නිසා පිංවත් ඔබ ලෝකය තුළින් විසඳුම් බලාපොරොත්තු වෙන්න එපා. විසඳුම් අනාගතයට භාර කරන්න එපා. පිංවත් ඔබ ධර්මයේ කැඩපතින් ලෝකය හඳුනාගන්න. එතැනයි ප්‍රශ්නයට ස්ථීර විසඳුම තිබෙන්නේ. ඔබේ ස්වාමිපුරුෂයා, බිරිඳ ඔබට අකීකරු නම් ඔබ තවතවත් ඔහුට හෝ ඇයට සමීපවෙන්න. ඔබ අනෙකාට සමීපවෙන්න සමීපවෙන්න අනෙකා තවත් ඈත් වෙනවා නම් ඔබ තව තවත් සමීපවෙන්න. අනෙකා ඔබට බැන්නොත්, පහරක් ගැසුවොත්, ඒත් ඔබ තව තවත් ඒ තැනැන්තා හෝ තැනැත්තියට සමීපවෙන්න. ඔබ ආත්ම ගරුත්වය ගැන සිතන්න එපා. මොකද ඔබ සමීපවෙන්නේ ඔබගේ බිරිඳට, ස්වාමිපුරුෂයාට නොවේ ධර්මයටයි. මෙවැනි තැනකදී ඔබව අනෙකාගෙන් දුරස්කරන්නේ මමත්වයේ දැඩිභාවයයි. සැමියා බිරිඳට සමීප වුණාය කියලා ඔබලාට ලැබෙන සුගතියක් නැහැ. ඔහුගේ හෝ ඇයගේ අකීකරුභාවය උපයෝගි කරගෙන පිංවත් ඔබ ධර්මයට සමීපවෙන්න. ඔබලාගේ පවුල් ජීවිතවල අර්බුද මතුවෙනවා නම් ඒවා ඔබලා විසින්ම අතීතයේ කරන ලද අකුසල් සංස්කාරවල ප්‍රතිඵලයන්මයි. අතීත භවයන්හිදී අනුනගේ පවුල් ජීවිත අවුල් කරලා, සැකයේ බීජයන් ඇති කරලා, ඊර්ෂ්‍යා කරලා, එකිනෙකාගේ යුතුකම පැහැර හැරලා ඇතිකරගත් අකුසල්වල හේතුවෙන්මයි මේ අර්බුද මතුවී එන්නේ. වර්තමාන සමාජ පරිසරය තුළින් එම අකුසල් තව තවත් අකුසල් වැඩෙන දිශාවටමයි යොමුකරන්නේ.
මමත්වයේ දැඩිභාවය නිසාමයි අකුසල් විපාක දෙන අවස්ථාවන්හිදී අපි දැඩිව ගැටෙන්නේ. සිහි නුවණින් ධර්මානුකූලව ඔබ එය තේරුම්ගත යුතුයි. ඔබ විසින්ම කරගන්නා ලද අතීත අකුසල් සංස්කාර හේතුවෙන් ඔබලා දුක්විඳින විට ඒවා තව තවත් අකුසල් බවට පත්කර නොගැනීමට ඔබලා දක්ෂ විය යුතුය. එම නිසා ඔබ ආත්මාර්ථකාමීවන්න නැවත බිරිඳක්, ස්වාමී පුරුෂයෙක්, විවාහයක් එපාය කියන අධිෂ්ඨානයට එන්න. එම අධිෂ්ඨානය සපල කරගැනීම සඳහා මේ ජීවිතයේ බැඳුන බිරිඳට ස්වාමිපුරුෂයාට මොනතරම් බාධක මාධ්‍යයේ වුවද තව තවත් සමීපව යුතුකම් ඉටුකරන්න. මනුෂ්‍යයා සිල්පද වලට වටිනාකමක් නොදෙන අනාගත සමාජයේදී විවාහයක් යනු ගිනි ගොඩක්ම වනු ඇත. මේ ගිනි නිවීමට ඔබට නොහැකිය. මන්ද මේවා සංස්කාර ධර්මයන්ය. මනුෂ්‍යයා අකුසල් කිරීම වැඩිවන්න වැඩිවන්න එම අකුසල් විපාකදීමට සුදුසු ලෝකයකුයි අප ඉදිරියේ බිහිවන්නේ. මනුෂ්‍යයා කාමය වරදවා හැසිරීම වැඩි වන්න, එහි අකුසල් විපාක දෙන ලෝකයයි කඳුළු, අඳෝනා අපචාර මැදින් මේ කළ එලි බසින්නේ. ඔබට මේ මොහොතේ ලැබී ඇති ස්වාමිපුරුෂයා, බිරිඳ ඔබට ලැබිය යුතුම කෙනාමය. කිසිදු අසාධාරණයක් ඔබට සිදුවී නොමැත. එය හොඳ වුවද නරක වුවද එය ඔබේ ලැබීමයි. මේ ලැබීම ඔබට සකස් කරදෙන්නේ අතීත කුසල, අකුසල් සංස්කාරයන් විසින්මය. ලැබුණ දෙයට නොගැටෙන්න. ගැටෙන සිත හඳුනාගන්න. ගැටෙන සිතක් යනු අකුසල් සංස්කාරයක්ම බව දකිමින් කුසල් සංස්කාරයන්ම ජීවිතයට එකතු කරගන්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය කියන්නේ මාරයාය කියලා. එසේ නම් ඔබ ඉදිරියේ ඇති රූපය කාගේ වුවද එම රූපය මාරයාමය. මාරයා නිරතුරුවම උත්සාහ ගන්නේ ඔබට අකුසල් රැස්කර දීමටය. ඔබ ප්‍රවේශම් විය යුතුය. මාරයා පරාජය කළ හැක්කේ රූපය සමග ගැටීමෙන් නොව රූපය අවබෝධ කර ගැනීමෙන්මයි. ගැටෙන තාක්, සණ්ඩු වෙනතාක් අපි ගැටෙන්නේ සණ්ඩුවෙන්නේ මාරයා සමගය. මාරයාගේ බලවත්භාවය හමුවේ මාරයා සමග ගැටීමට යැම අනුවණකමකි. මාරයා ගැටීම නැමැති දෙයට බොහෝම කැමතිය. මන්ද, මාරයාගේ ලෝකයේ ප්රාග්ධනය අකුසලයම වන හෙයිනි. එහෙයින් ඔබට ලැබුණ බිරිඳ ගැටීම උදෙසා නොව අවබෝධය උදෙසාම පරිහරණය කරන්න. ඔහු හෝ ඇය කේන්ති ගත්විට ඔබ සිනාසෙමින් අධිෂ්ඨානශීලීව පෙරට යන්න.
සිටු ගෙදරට මස් සපයන මස් වැද්දකුගේ හැඩිදැඩි රූපයට කාමයෙන් බැඳී මස්වැද්දා සමග කැලයට පලාගිය සෝවන් ඵලයට පත් සිටු දියණියක් එම වැද්දාට සුවච කීකරු බිරිඳක්ව ඔහුගේ සියලු කටයුතු නොපිරිහෙලා ඉටුකරමින් ඔහුත් සමග දරුමල්ලන් හදාගෙන ජීවත්වෙමින්, අවසානයේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහාකරුණා ගුණයෙන් වැද්දාත් දරු තිදෙනාත් සෝවන්ඵලය අවබෝධ කරගත් කථාවක් මේ අවස්ථාවේදී භික්ෂුවගේ මතකයට එනවා. අපේ ජීවිත ගිනි ගන්නා සියලුම අවුල් වියවුල් ගැටීම් ඇතිවෙන්නේ අප තුළ ඇති සක්කායදිට්ඨිය නිසාමය. අප කොතෙක් නිවැරැදි පාර්ශ්වයන් වීමට උත්සාහ ගත්තද ගැටීම සකස්වෙන්නේ මමත්වයේ ඇති දැඩිභාවය නිසාමය. ඉහත සිටුදියණිය මමත්වයේ දැඩිභාවය නැති කළ තැනත්තියක් නිසා ගැටීමකින් තොරව මස්වැද්දාත් සමග සමගියෙන් පවුල් ජීවිතයක් ගත කිරීමට ශක්තිය ලැබිණ. ඇයගේ එම ධර්ම ශක්තිය නිසාම අවසානයේ පවුලේ සියලුදෙනාම ධර්මය දැකීමෙන් සැනසීමට පත්විය. මස්වැද්දාත් දරුවනුත් ශීලයේ පරිපුර්ණත්වයට පත්විය. සක්කාය දිට්ඨිය සිඳුණු තැන, දැන් ඔබ මාරයාව හඳුනාගෙන ඇත. දැන් ඔබ මාරයාගේ උගුල්වලට අසුවන්නේ නැත. දැන් ඔබ ගමන් කරන්නේ හඳුනාගත් මාරයා අවබෝධ කරගන්නා දිශාවටය.
පවුල් ප්‍රශ්න ගැන සිහිපත් කිරීමේදී ප්‍රශ්නයට පෙරාතුවත් ප්‍රශ්නයට පසුවත් ඇතිවන ප්‍රධාන අනතුර තමයි කාමයේ වරදවා හැසිරීම. මේ අනතුරේ භයානක බව දැකලමයි සමගියෙන් අපි ජීවත් වෙන්න ඕනේ. කාමයේ වරදවා හැසිරීම අප්‍රමාණ දුක් විපාක වශයෙන් ගෙන දෙන අකුසලයක්. වර්තමාන සමාජය මේ සිල් පදයට දෙන වටිනාකම ගොඩාක්ම අඩුවෙලා. ශිල්පදයට දෙන වටිනාකම අඩුවෙන්න අඩුවෙන්න එහි දිට්ඨධම්ම වේදනීය අකුසල් විපාක සමාජය තුළින් හොඳටම පෙනෙනවා. වැරදි කාම සිතුවිල්ලක් සකස්වෙන මොහොතේම ඇස් අන්ධවෙනවා, කන් නැසීයනවා, මනස වේගවත් වෙනවා. දැන් මෙතන ඉන්නේ සිතුවිලි වේගවත් වෙච්ච ජාති අන්ධයෙක්. ඔහුට හරිවැරැද්ද පෙනෙන්නේ නැහැ. හොඳ නරක ඇහෙන්නේ නැහැ.
අතීතයේ වැඩසිටිය ඉසිදාසී මහරහත් භික්ෂුණීන් වහන්සේ ආත්ම භාව හතක් පුරාවට කාමයේ වරදවා හැසිරීමේ වරද නිසා ගිනිගත් භවගමනේ ගිනියම් වු දුක්පීඩාවන් පුර්වේනිවානුස්සති ඥානායෙන් දැකලා ප්‍රකාශ කරනවා. උතුම්අරිහත් උත්තමාවියකගේ මේ සිංහනාදය, කර්මය-කර්මඵල විශ්වාසයෙන් බැහැරව ගිය වර්තමාන සමාජයට කාමයේ වරදවා හැසිරීම විනෝදාංශයක් කරගත් සමාජයට වටිනා පාඩමක් වේවි. ඉසිදාසී රහත් තෙරණින් වහන්සේ ප්‍රකාශ කරනවා මීට ආත්මභාව හයකට පෙරාතුව මම පිරිමියෙක්. මේ පිරමිභාවය උපයෝගීකරගෙන කාමය වරදවා හැසිරීම නිසා මරණින් පසු කල්පයක් නිරයේ පැසුනා. නිරයෙන් චුතවෙලා එළිච්චියෙකුගේ කුසේ පිරිමි එළුපැටවකුවෙලා උපත ලැබුවා. මේ එළු ජීවිතයේදී මම මියගියේ පුරුෂලිංගය කුණුවෙලා. මම නැවත වැඳිරියකගේ කුස, වඳුරු පැටවකුවෙලා ඉපදුනා. මම පුංචි කාලයේම රැලේ නායක වඳුරා මගේ පුරුෂලිංගය හපල කඩාගැනීම නිසාම දුකට පත්වී මරණයට පත්වුණා. ඊළඟට මම එළදෙනකුගේ කුසේ වසුපැටවෙක් වෙලා උපත ලැබුවා. වසුපැටවා තරුණ වයසට පැමිණෙන විට ලිංග බිජෝධරණයට ලක්වුණා. ඒ ආත්ම භාවයේදී මම මියගියේ පුරුෂලිංගය පණුවන් ගසලා. මෙම වසු කුලයෙන් අනතුරුව මම මනුෂ්‍ය අම්මා කෙනකුගේ කුස ජාති නපුංසකයෙක්ව ඉපදුනා. ඉන් පසු භවයේ මම කාන්තාවක්ව ඉපදුනා. එතනදීත් මම මගේම ස්වාමිපුරුෂයාගේ දෙවැනි බිරිඳට ඊර්ෂ්‍යා කළා. ඒ හේතුවෙන් මේ ජීවිතයේදීත් මාව ස්වාමීපුරුෂයන් දෙදෙනෙක්ම ප්‍රතික්ෂේප කළා. බලන්න කාමය වරදවා හැසිරීම නම් වරද මොනතරම් නම් දුක් කන්දරාවක් අත්කරලා දෙනවාද? ඕනෑම පිරිමියෙක් කාන්තාවක් බවට පත්කිරීමේ ශක්තිය කාමය වරදවා හැසිරීම කියන වරද තුළ සැඟවී තිබෙනවා. වර්තමාන ලෝකයේ පිරිමි ජනගහනය පරදවා කාන්තා ජනගහනය ඉහළ යන්නේ ඉහත හේතුඵල ධර්මය නිසාමයි.
ලෝකය දෙස හොඳින් දෑස් හැර බලන්න. ඒ ඔබ දකින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ධර්මයයි. මේ කැලෑවල වැඩසිටින විට අපට පෙනෙනවා, වඳුරු රංචුවල නායක වඳුරා තම රැලේ වැඳිරියකට පිරිමි පැටවෙක් ඉපදුනොත් එම පිරිමි පැටවා මරාදැමීම උදෙසා මොනතරම් වෙහෙසක් ගන්නවාද කියල. කාමය උදෙසාම නායක වදුරා අකුසලයන් රැස්කර ගන්නාවිට වඳුරු පැටියා කාමය වරදවා කළ අකුසලයක විපාකය ගෙවනවා. ලෝකය පුරා පැතිරීයන සමාජරෝග ගත්තත් ඒඩ්ස් වැනි භයානක රෝග ගත්තත් මේවා කාමය වරදවා හැසිරීමේ දිට්ඨධම්මවේදනීය විපාකයි. ලෝකයා දුශ්ශීල වෙන්න දුශ්ශීල වෙන්න අනාගත ලෝකයේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, තරමට ඒඩ්ස් රෝගය පැතිරිලා යාවී. මහාවේගයකින් පවුල් සබඳතා බිඳවැටී යයි. මේ අපි දකින්නේ සංස්කාරයන්ගේ ස්වභාවයයි. පිංවත් ඔබ දැක ඇති ඒඩ්ස් රෝගීන්ට දාව, සමාජ රෝගීන්ට දාව උපදින කුඩා දරුවන්. අපි ඒ මරණයන් සමග සටන් කරන දරුවන් දකින විට අනේ අපොයි කියලා කම්මුලට අත ගසා ගන්නවා. මේ දරුවා එවැනි අන්තරාකාරී රෝගී මව් කුසක උපත ලැබුවේ ඔහු පෙර ජීවිතවල කරන ලද කාමය වරදවා හැසිරීම නිසාමයි. කාමය වරදවා හැසිරීම වැඩිවීම නිසාම කාන්තා පක්ෂයේ ගහනය සහ ජාති නපුංසකයන්ගේ ගහනයද වර්ධනය වනු ඇත. වැරදි කාම සිතක් සකස්වෙන මොහොතේදීම නිවැරදි කර්මය කර්මඵලය විශ්වාසයෙන් ඔබ තුළ ඇතිකරගන්න. භික්ෂුව මේ සටහන තබන විට මන්දෝත්සහගත බවක් ඇතිවෙනවා. ලෝකය නිවැරැදි කරන්න අපට බැහැ. ලෝකය දිහා බලල අපි නිවැරැදි වෙන්න ඕනේ. කාමය වරදවා හැසිරීම සම්බන්ධව භික්ෂුවට ගිහි ජීවිතයේ ගොඩාක් අත්දැකීම් තිබෙනවා. ඒ නිසා භික්ෂුව අත්දැකීමෙන්ම දන්නවා එය මොනතරම් අවදානම් කාර්යයක්ද කියන එක. මෙතැනදි කාමය වරදවා හැසිරීම කියා කියු ඒ කාමයන් තුළින්මයි කාමයේ නිරෝධය දෙසට පාර සොයාගත්තේ. මේ මොහොතේ භික්ෂුව ඒ අතීතය සිහියට නගාගැනීමට යනවිට භික්ෂුවට පෙනෙන්නේ මැකීගිය අතීතයක්. ජීවිතය තුළින් කළා වු කුසල් හෝ අකුසල් සංස්කාර මනසින් මැකිලා ගිහින්. එම නිසාම භික්ෂුවට බියක් කියල දෙයක් සකස්වෙන්නේ නැහැ අතීතය ගැන සිතලා. අතීතයක්, අනාගතයක්, වර්තමානයක් නැහැ. විපාක පිණිස සකස්වෙන අතීත සංස්කාර ලෝගුවක්නම් තිබෙනවා. ඒකට තමයි ජීවිතය කියන්නේ. සංස්කාර නැමති ඉන්ධන වලිනුයි ජීවිතය දුවන්නේ. ඉන්ධන ඉතිරිව තිබෙන තාක් කල් ජීවිතය දුවාවී. එතෙක් දිරායාම පමණක්මයි ජීවිතයට බැඳිලා තිබෙන්නේ.
වරක ශරීරයේ පඨවිය ඉදිමෙනවා. එම ඉදිමීමට ආපෝ,තේජෝ,වායෝ ධාතුනුත් සහෝදරත්වයෙන් උපකාරීවෙනවා. මේ හතර දෙනා බොහෝම සහෝදරත්වයෙන් ජීවත්වෙන්නේ. සතරමහා ධාතුවත් හරියටම ධර්මයෙන් ඈත් වෙච්ච මනුස්සයෙක් වගේ නිතර කිපෙනවා. කිපීම නිසාම රතුවෙනවා, පුපුරනවා අවසානයේදී කුණු සැරව ඕජාව ලෙස ගලා යනවා. අවසානයේ අලුත් හැඩයකින් අලුත් වටිනාකමකින් සතරමහා ධාතුවටම එකතුවෙනවා.