වර්තමානයේ මනුෂ්‍යයාගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු 75 පමණ වෙනවා. මේ කෙටි ආයුකාලය මනුෂ්‍යයෙක් ගෙවන්නේ මුලින්ම තමන්ගේ දෙමාපියන්ගේ ගෙදර. ආවාහ විවාහ වුණාට පස්සේ තමන්ගේ ගෙදරක. වැඩිමහලු වියට පත්වුනාම තමන්ගේ දරුවන්ගේ ගෙදරක. සමහරු ජීවිත කාලයම අනුනට අයිති කුලී ගෙදරක ජීවත්වෙනවා. තවත් සමහරු මහලු නිවාසයක්, වැඩිහිටි නිවාසයක් තම අවසාන කාලයේදී නිවස කර ගන්නවා. මේ කොතැනක ජීවත් වුවද පිංවතුනි ඔබ මනුෂ්‍ය ජීවිතය වසර 75 ක් වැනි කෙටි කාලයක් තමයි ගත කරන්නේ. මේ කාලය කෙටිය කිව්වේ දිව්‍ය, බ්‍රහ්ම සතර අපාය සමග සසඳලා. ඉහත ලෝකවල ආයුෂ බලන විට මනුෂ්‍යයාගේ ආයුෂ හරිම අල්පයි. මේ මොහොතේ ලෝකයේ දියුණු අති නවීන විද්‍යාගාරවල විද්‍යාඥයින් බොහෝම වෙහෙසෙනවා මනුෂ්‍යයාගේ ආයු කාලය වැඩිකර ගැනීමට ක්‍රමවේදයක් සොයාගැනීමට වැඩිපුර වසර පහක් දහයක් මනුෂ්‍ය ආයුෂ වැඩිකර දෙන්න. එහෙත් අවාසනාව කියන්නේ මේ විද්‍යාඥයින්ට සිතාගන්නවත් බැරි විදිහට ළමා, තරුණ, වැඩිහිටි මනුෂ්‍යයන් සිය ගණනින්, දසදහස් ගණනින් මාරන්තික රෝග, ස්වාභාවික විපත් වරින් වර මතුවෙමින් අසරණ ලෙස මරාදමනවා.
මේ වරින් වර මතුවෙන ස්වාභාවික විපත් වසංගත රෝග හමුවේ ඉහත විද්‍යාඥයින් හරිම අසරණයි. මේ අසරණභාවයට ඔවුන් පත්වෙන්නේ පතපොතේ දැනුමෙන් සියල්ල දැනගත්තත් ධර්මය නොදකින නිසාමය.මේ අයගේ ඇති අවිද්‍යාවේ පුළුල් දැනීම් සම්භාරය නිසා හිතනවා මනුෂ්‍යයෙක් යනු ජීවවිද්‍යාත්මකව ඇතිවුන සත්වයෙක් පමණක්ය කියලා. ඉන් එහා කර්මයක්, කර්මඵලය ගැන, හේතුඵල ධර්මයක් ගැන ඒ අයට දැනුමක් නැහැ. ඒ නිසා මේ අය නිරතුරුවම උත්සාහගන්නවා තමා උපාදානය කරගත් තම දැනුම උපයෝගිකරගෙන ඇතිකරගත් මමත්වයේ දැඩිභාවය නිසාම මිනිහාගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ පාලනය කරන්න. මේ උත්සාහය නිරර්ථක උත්සාහයක්.
හැබැයි මනුෂ්‍යයින් හැටියට අපිට සතුටුවෙන්න පුළුවන්. මන්ද, සතර අපායේ සත්වයා විඳින දුක, වේදනාව, කටුක බව සමග සස¹ බලන කොට මනුෂ්‍යයා යනු සැපවිඳින පිරිසක්මය. අනාථ කඳවුරක කැඳ උගුරක් පමණක් ලැබී ජීවත් වන මනුෂ්‍යයාද විඳින්නේ සැපයක්මය. අවිද්‍යාවේ ක්‍රමවේදයන් විසින් පුහුණුකරන ලද ඉහත විද්‍යාඥයින් ආචාර්ය, මහාචාර්ය මහත්වරුන් සත්වයා සතර අපායේ විඳින දුක් වේදනා දකින්නේ නම්, අවිද්‍යාව නිසා සතර අපායේ තමා උපදින බව දන්නේ නම් ඔය පර්යේෂණ සියල්ල නවතා දමා සතර අපායෙන් මිදීමේ ආර්ය පර්යේෂණයේ යෙදෙනවා නියතය.
භික්ෂුව ඉහත සටහන් කළේ පසුගිය වස් කාලයේදී භික්ෂුව වැඩ සිටිය රුහුණු ප්‍රදේශයේ කැලෑබද ආරණ්‍යය භූමියේදී භික්ෂුවට දර්ශනය වූ ප්‍රේත සන්නිපාතයක් ගැන ඔබව දැනුවත් කිරීමටය. භික්ෂුවගේ භික්ෂු ජීවිතයේදීම වැඩිම ප්‍රේතයින් ප්‍රමාණයක් දර්ශනය වුන කාලය මෙයයි. මෙය කෙටි මනුෂ්‍ය ජීවිතය තුළින් ලබන ප්‍රේත ජීවිතයේ දීර්ඝ බව කියන කථාවක්. භික්ෂුව සමාධියෙන් පසුවන විට ප්‍රේතයින් සියය, දෙසියය දර්ශනය වුනා. මේ සෑම ප්‍රේතයෙක්ම ඉතාමත් විකෘති ප්‍රේතයින්. එක්කෙනකුට එක්කෙනෙක් විකෘතියි. විකෘති මුහුණු, විකෘති හිස් ප්‍රේත ලෝකයේ අත්විඳින ආදීනවයන්ගේ විවිධත්වය හොඳින් දකින්න පුළුවන්. මේ හැම ප්‍රේතයෙක්ම උඩු කයට ඇඳුමක් නැතිවයි සිටියේ. යටි කය වසාගෙන සිටියෙත් කෙටි සරොම් කැබැල්ලකින්. පිනක් දහමක්. දැකල, ලැබිල, නැති එවැනි සංඥා නුහුරු ඒ නිසාම අනන්ත දුක්විඳින විකෘති, අවිචාරවත් ප්‍රේත සන්නිපාතයක්. මේ ප්‍රේතයන්ගේ පිං මද අසරණභාවය දැකලා මේ අය අරමුණු කරලා පිං අනුමෝදන් කළා.
භික්ෂුව සොයා බැලුවා මේ තරම් අසරණ ප්‍රේත සන්නිපාතයක් එම ප්‍රදේශයේ සිටින්නේ ඇයි කියලා. මේ අවස්ථාවේ කල්‍යණමිත්‍ර ස්වාමීන්වහන්සේ නමකගෙන් පහත තොරතුරු දැන ගන්නට ලැබුනා. මේ යාල වනෝද්‍යානය ආශ්රිත ප්‍රදේශ අතීතයේ සශ්‍රික ගොවිබිම් සහිත ජනාකීර්ණ ජනාවාස සහිත ප්‍රදේශයක්. බැමිනිතියාසාය පැමිණි වෙලාවේ මේවායේ ජීවත්වූ ජනතාව. ඒ දුෂ්ට බමුණා විසින් ඒ අයගේ ගොවිබිම් කුරිරු ලෙස විනාශ කරලා ජනතාව අමු අමුවේ ඝාතනයකර තිබෙනවා. ඉන්පසුව මෙම ප්‍රදේශ කැලයට ගිහිල්ලා. මේ අවාසනාවන්ත ලෙස මැරිච්ච මිනිස්සුන්ට පිනක් අනුමෝදන් කරන්න කෙනෙක් ඉතුරුවෙලා නැහැ. තමන්ගේ ගොවිබිම්, දුවා දරුවන් කෙරෙහි ඇතිකරගත් ඡන්දරාගය, ආක්‍රමණිකයන් කෙරෙහි ඇතිකරගත් වෛරය, ක්‍රෝධය සමග අවසන් හුස්ම හෙලා තිබෙනවා. ඔබම හිතන්නකෝ, තමන්ගේ නිජභූමියේ ගොවිතැන් කරගෙන ජීවත්වුන ගම්වැසියන් ආක්‍රමණිකයන් සියල්ල විනාශකරදමා ගිනිබත් කරනවිට හදවතේ ඇතිවන වෛරය, ක්‍රෝධය, තෘෂ්ණාවේ ගිනිදලු ගෙවල් දොරවල් භවබෝග ගිනිගෙන නැගෙන ගිනිදලුවලට වඩා ප්‍රබලයි නේද? ගම්බිම් කෙත්වතු දවා අළු කළ ගින්න මොහොතකින් නිවී ගියද ඒ අය මැරෙන මොහොතේ හදවතේ අවුළුවාගත් වෛරයේ, ක්‍රෝධයේ ගින්න තවමත් නොකඩවාම ඒ අයව පීඩාවට පත්කරනවා. නිවී යන ගින්නක් උදෙසා බුර බුරා නැගෙන දුක්ගින්නක් ‘මගේ’ කරගන්නවා. ඉහත අවාසනාවන්ත ප්‍රේතයින් ලෙස උපත ලබා තිබෙන්නේ අතීතයේ මේ ගම් බිම්වල ජීවත්වුන මිනිස්සු කියලා භික්ෂුව අනුමාන කරනවා. ආහාර, ඇඳුම් අහේනිය නිසා ඉණ දවටාගත් සරම් කැබැල්ල පිටින්ම ප්‍රේත ලෝකයේ උපදින්න ඇත්තේ ඒ නිසා විය යුතුය. කැලයේ දඩයමේ යන, මීවද, ඖෂධ සොයන්න කැලේට වදින මිනිස්සු නොයෙක් හේතූන්ගෙන් මියයනවා. මෙවැනි මිනිස්සුද මැරෙන්නේ වෛරයෙන් බියෙන් නිසා විකෘති ස්වභාවයන් පිහිටන්න පුළුවන්. භික්ෂුවට දර්ශනය වූ ප්‍රේතලෝකයේ ප්‍රේතයින්ගෙන් ඉතාමත් අපුලම ප්‍රේතයින් මේ ප්‍රේත සන්නිපාතයතුළ සිටියා. එය විකෘතියේ ලෝකයක්. එක ප්‍රේතයෙක් භික්ෂුව ඉදිරියේ වැඩි වේලාවක් දර්ශනය වුණා. භික්ෂුව ඔහුගෙන් ඇසුවාම ඔබ කවුද කියලා මේ ප්‍රේතයා ගොතගසන ස්වභාවයෙන් වචන පිටකරන්න උත්සාහ කළා. භික්ෂුවට තේරුණේ ‘කථාකරන්න බැහැ’ කියනවා වගේ. එහෙම කියන විටම දැක්කේ එම ප්‍රේතයාගේ උඩුතොල සහ යටිතොල කට වටේම කුණුවෙලා හරියට හොරිදාල වගේ කට කුණුවෙච්ච ප්‍රේතයෙක්. මේ ප්‍රේතයාට කවුරුන් බෙහෙත් කරන්නද? කවුරුන් සුවදුක් විචාරන්නද? කටකුණුවෙච්ච වේදනාව විඳිමින් කර්ම විපාක ගෙවනවා.
වචනය සංවර කර නොගත් නිසා මුසාවාද, පිසුනාවාච, පරුෂවචන, සම්පප්‍රලාප භාවිතාකළ නිසා අනුනට දුන් දුක තමන් ප්‍රේත ලෝකයේ විඳිනවා. මේ කථාව කියවලා ඔබ දැන් හිතන්න ඕනේ මේ ප්‍රේතයා විඳින දුක ගැන නොවේ. ඒ ගැන හිතලා වැඩක් නැහැ. ඔහුව ගොඩගන්න ඔබට බැහැ. තමා කැමැත්තෙන්ම සකස් කරගත් හේතූන් නිසා ලැබුණු ඵලය තමා ප්‍රේතයා විඳින්නේ. මේ දුක අහල ඔබ කල්පනාකරන්න ඕනේ ඔබේ වචනයත් සංවරද කියලා. සමහර පිංවතුන්ගේ දිව හරියට දැලිපිහියක් වගේ. සමාජයේ සෑම ක්ෂේත්රයකම තමාගේ පැවතීම, බලය, ආත්මගරුත්වය උදෙසා මේ දැලිපිහියෙන් මොනතරම් අහිංසක ජීවිත රිදවනවද? රැවටීමට ලක්කරනවාද? විශේෂයෙන් දේශපාලනයේදී එහෙම…..
සමහර දිනවල භික්ෂුව උදේට පිණ්ඩපාතේ වඩිනවිට ගෙවල්වල ක්‍රියාත්මක කර ඇති රේඩියොවේ බොහෝම වේගවත්ව අදහස් ප්‍රකාශ කරනවා ඇසෙනවා. ඒ හඬවල්වල ඇති තියුණු, වේගවත්, ප්‍රහාරාත්මක බව ඇසෙනවිට එම හඬවල් අයිති අයිතිකරුවන් මොනතරම් දේවල් ඡන්දරාගයෙන් අයිතිකරගෙන තිබෙනවාද? තව අයිති කරගැනීමට බලාපොරොත්තු වෙනවාද? ඒවා රැකගැනීමට උත්සාහ ගන්නවාද කියල පෙනෙනවා. ඔබ අනුන්ව හදන්න යන්න එපා. මේ අවිචාරවත් දුක්දෙන ප්‍රේතලෝකය ගැන සිතලා බිය ඇතිකරගන්න. ඔබ තනි තනිවම නිවැරැදිවෙන්න. ඔබේ කටින් පිටවෙන වචනයකින් තව කෙනෙක්ව රිදවන්නේ, මුලාකරන්නේ නැහැය කියලා. එම විශ්වාසය තුළ ජීවත්වන්න. එවිට ඔබ ඔබටම ලියාගන්නා සහතිකයක් ඔබ ළඟ තිබෙනවා. කට කුණුවෙච්ච ප්‍රේත උපතක් ඔබ නොලබනවා කියලා. මේ ආරණ්‍යයේදී දර්ශනය වු ප්‍රේතයින් අතර තව විශේෂ ප්‍රේත පිරිසක් සිටියා. ඒ භික්ෂු සහ භික්ෂුණී ස්වරූපයේ ප්‍රේතයන්. මේ අය අතර විදේශීය ජාතික භික්ෂු භික්ෂුණී ප්‍රේතයන් සිටියා. දර්ශනය වුන එක ප්‍රේත භික්ෂුණියක් හිස සම්පූර්ණයෙන්ම මුඩුකර සිටියේ. නමුත් හරියට හිස මැද හිසකෙස් රොදක් ඉතිරිකර තිබෙනවා. එක අතකට මිට මොලවා ගන්න පුළුවන් ප්‍රමාණයේ එම කෙස් රොද ගොතලා තිබෙන්නේ. සිව්රු කොටට පෙරවු ප්‍රේත භික්ෂුණින් විදේශීය අය බව හොඳින් හඳුනාගත්තා. මේ ප්‍රේත භික්ෂු භික්ෂුණීන් විකෘති දේහයන් සහිත අය නොවේ. මේ අයට විකෘති ශාරීරික ලක්ෂණ නොලැබුනේ යමක් කෙරෙහි ඇති කරගත් ඡන්ද රාගය නිසා ප්‍රේත ලෝකයට බැසගත්තත් තමන් විසින් කරන ලද පුද පුජාවල කුසල් විපාකයන් ක්‍රියාත්මක වීම නිසා විකෘති ස්වභාවයෙන් තොර ප්‍රේත ස්වභාවයක් ලැබෙන්න ඇතැයි භික්ෂුව අනුමාන කරනවා. මේ භික්ෂුණී ප්‍රේතයින් හරිම කඩිසරයි. ඒකෙන්ම පෙනෙනවා මොවුන් යමක් නිත්‍යභාවයෙන් ගෙන එය අයිති කරගැනීමට අධික්‍රියාත්මක භාවයෙන් කටයුතු කර ඇති බව.
ඉහත ආරණ්‍ය පුරාවිද්‍යාත්මක සාධක අනුව ප්‍රකාශ වෙනවා අතීතයේ විදේශීය භික්ෂු භික්ෂුණීන්ගේ අධ්‍යාපනයට කැපවී තිබූ බව. ඔබට පේනවා නේද ගිහි පැවිදි භේදයකින් තොරව දේශීය විදේශීය භේදයකින් තොරව අපි ගිහින් පදිංචිවෙන ස්ථානයක් තමයි කියලා ප්‍රේත ලෝකය. විදේශීය රටවලින් ඇවිල්ලත් මහණකම නොවේ කරල තිබෙන්නේ. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, නොවේ වඩල තිබෙන්නේ ‘ප්‍රේතානුස්සතිය’ යි. මොවුන් අතහැරීම නොවේ කරල තිබෙන්නේ. මොවුන් මේ අල්ලාගෙන ඉන්නේ කුමක්ද? ආරණ්‍යයද, පන්සලද, ඉඩකඩම්ද, සිව්පසයද, පූජාවස්තුද මේවා නොවේ. මේවාට වර්තමානයේ අයිතිකරුවන් සිටිනවා, බලධාරීන් සිටිනවා. එසේ නම් මොවුන් මේ වසර එක්දාහස් තුන්සීයක් වැනි අතීතයක සිට මගේ කර අල්ලාගෙන බොහෝම කඩිසරකමින් ප්‍රේත ලෝකයේ ජීවත්වන්නේ රූපය කෙරෙහි තමා තුළ ඇති වු ඡන්දරාගයයි. රූපය කෙරෙහි ඇති ඇල්මයි. රූපයට ඇති විඳීම ආත්මයක් කරගෙන චීවරයක් දරාගෙන ප්‍රේත ලෝකයේ ජීවත්වෙනවා. මේ අයට වෙහෙස බවක් පෙනෙන්නේ නැහැ. මෙතැනින් මිදෙන්න අවශ්‍ය බවක් පෙනෙන්නෙ නැහැ. ඒක හරියට මේ වගේ දෙයක්. පිටකොටුවේ යාචක අම්මා කෙනෙක් ඉන්නවා. තම කුඩා දරුවත් සමග ජීවත්වන්නේ සිඟා කාලා. නිදාගන්නේ කඩ පිලක. ධනය තිබෙන මහත්මයෙක් ඇවිල්ලා මේ යාචක අම්මාගෙන් දරුවා හදාගන්න ඉල්ලනවා. පාසල් යවල හොඳට උගන්වන්නම්, අනාගතය බාර ගන්නම් කියලා. ඒත් ඒ යාචක අම්මා දරුවා දෙන්නේ නැහැ. ඒ යාචක අම්මා දන්නේ නැහැ දරුවා දුක්ය විඳින්නේ කියලා. ඒ යාචක අම්මාගෙයි දරුවාගෙයි කර්ම ශක්තිය සැපය කර අල්ලාගත් උපාදනය. ප්‍රේත භික්ෂුණීන්ගේ ස්වභාවයත් එසේමයි. ප්‍රේත ලෝකයේ උපතක් යනු කර්ම විපාකය නිසා සකස්වන ඔබගේ කැමැත්තයි. එය හරියට මත් වතුර පානය කර කාමයේ වරදවා හැසිරීම නිසා මාරාන්තික රෝගයන්ගෙන් විනාශවන ජීවිත වගේ ඔවුන් සැපයක් කර අල්ලා ගන්නේ දුකක්ය. කෙටි ආශ්වාදයත් දීර්ඝ ආදීනවය යන දෙකම තමාම විඳිය යුතුය. කෙටි ආශ්වාදයට ඇති ඡන්දරාගය ඔබට දීර්ඝ ආදීනවය වසන් කරයි. මත්වතුර කෙරෙහි තෘෂ්ණාව ඇතිකරගත හොත් ඔබේ විනාශයත්, ඹෘෂධිය පානයක් කෙරෙහි ඔබ තෘෂ්ණාව ඇති කරගත හොත් ඔබේ සැපයත් ඇතිකරයි. විනාශයත් සැපයත් දෙකම ඇතිකර ඇත්තේ තෘෂ්ණාව විසින්මය. මේ හේතුඵල ධර්මයන් ඔබේ ජීවිතයට ගලපා ගැනීමට ඔබට හැකියාව ලැබෙන්නේ ධර්මයේ හැසිරීම තුළින්මය. ප්‍රේත ලෝකයේ විකෘති දුක් බව, විවිධත්වය යැයි කියන්නේ මනුෂ්‍යයා විසින් කරගන්නා කාය, වචී, මනෝ කර්මවල විවිධත්වයයි. එහි ඵලයයි. ප්‍රේත ලෝකයේ දුක යනු ඔබගේ අකුසල් කර්මයන්ගේ ප්‍රතිබිම්බයයි. එය හරියට කණ්නාඩිය ඉදිරියට ගොස් ඔබ දකින ඔබගේම රූපය වගේය. ඔබ ඔබටම වගකිව යුතුය. ඔබ බියවිය යුත්තේ ප්‍රේත ලෝකයේ උපතකට නොවේ. ප්‍රේත ලෝකයේ උපතකට හේතුවන අකුසල කර්මයන් සිදුකිරීමටය. ඔබ අතින් එවැනි අකුසල කර්මයක් සිදුනොවේ නම් ඔබ සතර අපායෙන්ම නිදහස්වීමේ සුදුසුකම ලබයි. එය ඔබට ලොව්තුරා බුදුසමිඳුන් ලබාදෙන සහතිකයයි. මනුෂ්‍යලෝකයේදී ඔබ කාමයන් තුළින් කෙටි ආශ්වාදයක් හෝ ලබන නමුත් බහුතරයක් ප්‍රේතයින්ට මේ කෙටි ආශ්වාදයද අහිමිය. යම් හෝ කෙටි ආශ්වාදයක් ලැබුණද එය ඒඩ්ස් රෝගියෙක් සමග කාමයේ වරදවා හැසිරුණු අයෙක් ලබන සැපය වගේය. ඒ කෙටි ආශ්වාදය උදෙසා මුළු ජීවිත කාලයත්, පරලොවත් එහි ආදීනවයන්ගෙන් වන්දි ලැබිය යුතුය. ආශ්වාදය ලැබුවේ විනාඩි 05 කාලයක් වීමට පුළුවන. එහි ආදීනවය කල්ප ගණනාවක් දීර්ඝවීමට පුළුවන. මේ කෙටි සැපය සහ දීර්ඝ ආදිනවය අවිද්‍යාව නිසාම ඔබ ස්වකැමැත්තෙන්ම තෝරාගත්තෙකි.
ඔබම කල්පනාකර බලන්න ඉහත සිදුවීම් ඔස්සේ පසුගිය වසර 40ක පමණ කාලය තුළදී උතුරු නැගෙනහිර යුද කලාපවල ඝාතනය වන ලද සෑම ජාතියකම මිනිසුන් ප්‍රමාණය දෙස බලන විට මොන තරම් අසරණ ප්‍රේතයින්, ප්‍රේතියන්, යක්ෂයන් ඔය ප්‍රදේශවල දුක්විඳිනවා ඇතිද? සරණක් පිහිටක් නොමැතිව ද්වේෂය, වෛරය තව තවත් වඩමින්…. ජීවත්ව සිටින මනුෂ්‍යයින් ඉන්න වෛරය, ද්වේෂයට වඩා මියගිය නොපෙනෙන ලෝකයේ සත්වයින්ගේ වෛරය, ද්වේෂය අධිකය. මන්ද ඔවුන්ගේ වෛරය, ද්වේෂය ඇවිළෙනවා මිස නිවීමට අවශ්‍ය සාධක සතර අපායේ නොමැති නිසාය. ඔවුනගේ දහම අධර්මයයි. ඔවුන් දන්නා ගුණධර්මයක් නැත. ජීවත්ව සිටින මිනිසුන් සුත මුදිත කරනවා වගේම නොපෙනෙන ලෝකයේ සිටින වෛරය, ද්වේෂය වඩන සත්වයින්ද සුවපත්කිරීම වැඩදායකය. හැබයි මේවා ඉවරයක් කළ නොහැකි වැඩය. හොඳම දෙය හැකි උපරිම ශක්තිය යොදා ඔබ සතර අපායෙන් මිදීයාමය. එහෙත් සෑම විටම ඔබ තෝරාගන්නේ මෙහි කන පිටය. තමා තමාට මෛත්‍රිය කරගන්නේ නැතිව අනුනට මෛත්‍රිය කරගන්නට යාමය. ඔබගේ ඇස ප්‍රකෘති ස්වභාවයෙන් තිබුණත් ඇසේ සුද වර්ධනය වෙලා නම් ඇස පෙනෙන්නේ නැත. ධර්මය ලෝකයේ පැවතුන ද ඔබ ධර්මයේ සරණ නොයන්නේ නම් එයත් සුද වසාගත් ඔබේ ප්‍රකෘති ඇස් දෙක වගේය. අපි එයට අවිද්‍යාවේ අන්ධභාවයයි කියමු. එහෙත් ඔබ ජාති අන්ධයෙක් නොවන බව තරයේ සිහිතබා ගත යුතුය. සතිය නමැති සැත්කමේ කතුරින් අවිද්‍යාවේ සුද ඉවත් කර සද්ධාව නැමති කාචයක් ඇසට පැලඳුවහොත් ඔබට නැවතත් විද්‍යාවේ ආලෝකය දෙසට ගමන් කිරීමට හැකිවනු ඇත. එහෙත් එයද නැවත මැරෙන ඇසක් බව ඔබ දැනගත යුතුය.
දැන් ඔබට වැටහෙනවා ඇති භික්ෂුව මේ සටහන මුලදී සඳහන් කළ අවුරුදු හැත්තෑපහක් ජීවත්වන මනුෂ්‍යයාට වසර පහකින්, දහයකින් තම ආයුෂ දීර්ඝකරගැනීමට විද්‍යාඥයින් මොන පර්යේෂණ සිදු කළ ද ලෝකයා කළ යුතු වඩාත්ම වටිනාම පර්යේෂණය නම් සතර අපායෙන් මිදීමේ පර්යේෂණය කියල. එසේ නොවුනහොත් මිනිසා වැඩිපුර ජීවත්වන සෑම තප්පරයකදීම ඔහු විසින් රැස්කරගන්නේ සතර අපායට යාමට අවශ්‍ය සාධකමයි. නවීන විද්‍යාවේ නාමයෙන් කෙරෙන අවිද්‍යාවේ ක්‍රමවේදයන් මනුෂ්‍යයා දුක දෙසටම ඇද දමනවා. සතර අපායටම ගාල් කරනවා.
නවීන විද්‍යාව කියන්නේ, තාක්ෂණය කියන්නේ සතර අපායට පිරිස් බලය සපයන නියෝජිතයෝ. ඒජන්තවරු. හැබැයි අවසානයේදී මේ නියෝජිතයෝත්, සේවාදායකයෝත් සතර අපායේම ගාල්වෙනවා. සේවාදායකයෝ ප්‍රේත ලෝකයේ සරොම් කැබැල්ලක් හරි දවටගෙන ඉන්න විට ඒජන්තවරු නිර්වස්ත්‍රව ප්‍රේත ජීවිත ගතකරනවා. සේවාදායකයෝ තිරිසන් ලෝකයේ කිඹුලෙක්ව ඉපදෙනවිට ඒජන්තවරු කිඹුලා ජීවත්වන ජලාශයේම මාළු වෙලා ඉපදිලා කිඹුලාට ගොදුරු වෙනවා. මොකද කර්ම විපාක ඔය මනුෂ්‍යලෝකයේ වගේ සන්තෝෂමක්, අල්ලසක් දීල වෙනස්කරගන්න බැරි නිසා. එහෙයින් කයින් ක්‍රියාවක් කිරීමට පෙර, වචනයක් ප්‍රකාශ කිරීමට පෙර, මනසින් සිතුවිල්ලක් සිතීමට පෙර සතර අපායේ දුක ගැන මොහොතක් මෙනෙහි කරන්න. එවිට එම ක්‍රියාව නිවරැදි කරගන්න ඔබට පුළුවන්.
නිවරැදිකරගන්නා සෑම ක්‍රියාවක් පාසාම ඔබ පියවර තබන්නේ සතර අපායට විරුද්ධ දිශාවටය. ඒ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම සුගතීන් දෙසටය.
අපි හොඳින් කාලා, හොඳින් ඉගෙනගෙන, හොඳින් ජීවත්වෙලා හොඳින් මැරිල යමු. මෙය වර්තමාන සමාජයේ ජනප්‍රිය සුන්දර සටන් පාඨයක්. සටන් පාඨයක් යනු මුළාවු සත්වයා තම මෝහයේ ස්වභාවය ලෝකයාට හඬගෑමය. සටන් පාඨය සුන්දර වුවද ධර්මයෙන් තොරව ජීවත්වන ඉහත පිරිස් ඇත්තෙන්ම හොඳින් හම්බකරලා, හොඳින් කාලබීල, හොඳින් ජීවත් වුණත් ඔබ හොඳින් නිරීක්ෂණය කරලා බලන්න මේ කවුරුවත්ම හොඳින් මැරෙන්නෙනම් නැහැ. අනෙක් සියල්ල අවංකවම හොඳින් කෙරිලා. හැබැයි ප්රශ්නය හොඳින් මැරෙන්නේ නම් නැහැ. අන්න දුකට බයට පත්වෙලා. ලෙඩ, රෝග, ව්‍යාධීන් හැදිලා. සිහි මුළා වෙලා. තමාට තමාව කරදරයක් පීඩාවක් බවට පත්වෙලා තමයි මේ අය මිය යන්නේ. මෙහෙම මැරිලා නැවත උපදින තැන ගැන මොනවා කථාකරන්නද? නමුත් ලොව්තුරා බුදුසමිඳුන් දේශනාකරනවා යමෙක් ශීලයෙන් පරිපූර්ණ නම් එම පිංවතා සිහිමුළාවෙන් තොරවයි මිය යන්නේ කියල. එයා ජීවත්ව සිටියදීම තමා උපදින සුගතිභූමි දකිනවා. සතුටුවෙනවා. සාධුකාර දෙනවා. මේවා සටන් පාඨ නොවේ. හේතුඵල ධර්මයේ හේතුව ඵලය පැහැදිලියි විවෘතයි. ලෝකයා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන්, ශීලයෙන්, කර්මය කර්ම ඵල විශ්වාසයන්ගෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ලෝකයේ මිනිස් ජනගහණය ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. මෙහි සුවිශේෂ ලක්ෂණය තමයි ලෝක ජනගහණය ඉහළ යන විට ථේරවාදී බෞද්ධ ජනතාවගේ සංඛ්‍යව සීඝ්රයෙන් පහළ බසිනවා. ඒ කියන්නේ වැඩිවන හැම උපතක්ම සිදුවන්නේ හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි, මහායාන ධර්මය අවිද්‍යාව ධර්මය කරගත්ත මව්කුසක් තුළින්. මෙලෙස බිහිවන ලෝකයා නිරතුරුවම රාග, ද්වේෂ, මෝහයෙන් වෙලාගත් කායික, මානසික, ස්වාභාවික ව්‍යසනයන්ගෙන් පීඩාවිඳින, ඉන්ද්‍රියන් පිනවීමට වෙහෙසෙන ජනතාවක් වෙනවා. ඒක ලෝක ධර්මතාවයක්. ලෝකය නිරතුරුවම සකස්වෙන්නේ දුක දෙසට. සත්වයා විසින් අවිද්‍යාව නිසා අකුසල් කිරීම වැඩි වන තරමට ඒවා විපාක දීමට සුදුසු ලෝකයක් ඉදිරියේ බිහිවන්නේ. මේ ගමන අවබෝධ කර ගන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක්මයි. උන්වහන්සේ පිරිනිවී ශාසනය දුර්වලව යන විට මාරපාක්ෂික ධර්ම, ලෝකය ඩැහැගන්නවා. මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ මේ ක්රියාදාමයයි. මේ මොහොතේ ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු, මහායාන ආගම්වල විශාල ප්රචාරාත්මක ගුණාත්මකභාවයක් බාහිරින් පෙනෙන්නට තිබුණද එම ගුණාත්මකභාවය මායාවක්. ථෙරවාදී බුදුදහමට සහ එහි ඉගැන්වීම්වලට මුහුණ දීම සඳහා ඇතිකරගත් ආරක්ෂක ක්‍රමවේදයක්. අනාගතයේදී නිවන අරමුණුකරගත් සැබෑ ථෙරවාදී බුදු දහම ධර්ම විනය දෙක මාරපාක්ෂික ධර්මවලට යට වී යන විට ඉහත ආගම්වල ගුණාත්මක භාවයද පිරිහීයනවා. මොකද ඒ පිංවතුන්ට තරග කිරීමට, අභියෝගයක් එල්ල වීමට නිවන අරමුණු කරගත් මනාව හේතුඵල ධර්මයන් අනුව දේශනා කර වදාළ ධර්මයක් ලෝකයේ නොමැති නිසා. ථෙරවාදී බුදුදහම ලෝකයේ පවතින නිසයි අන්‍ය ආගම්වල ගුණාත්මකභාවයක් සඳහා ඒ අය ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරි ලෝකයේ ස්වභාවය නුවනින් දැක ඔබද ලෝකයෙන් එතෙර වීමට අවශ්‍ය සාධක ජීවිතය තුළින් පරිපූර්ණ කරගන්න. තෙරුවන් කෙරෙහි සද්ධාව, ශීලය, දන්දීම ජීවිතයේ කොටසක් කරගන්න. ඔබේ දුවා, පුතා, බිරිඳ, ගේදොර ඔබ ඔබේ ජීවිතයේ කොටසක් කරගෙන ජීවත්වනවා වගේම ඒවායේ සුබසාධනය උදෙසා වෙහෙසෙනවා වගේම එම කටයුතුද අලස නොවී ඉටුකරමින් ඉහත තෙරුවන් කෙරෙහි සද්ධාව, ශීලය, දන්දීම ඔබේ ජීවිතයේ කොටසක් කරගෙන ජීවත්වන්න. අතීතයේ කළ පිංකම් නිරතුරුවම සෑම රාත්‍රියකම මෙනෙහි කරන්න. එම පිංකම් ආරක්ෂා කරගත්තා වු ශීලයන් දුන්නාවු දානයන් පිළිබඳ මතකයන් නිරතුරුවම අලුත් කරගන්න. ඔබ සිදුකළ පිංකම් අමතකවයාමට ඉඩ නොදෙන්න. ජීවිතය තුළින් දේවානුස්සතිය වඩන්න. ඔබ මේ ගමන් කරන්නේ සතර අපායෙන් මිදෙන දිශාවට බව සිහි කරන්න.