කලෙක භික්ෂුව මනුෂ්‍ය වාසයෙන් මදක් ඈතින් වැසි වනාන්තර ලක්ෂණ සහිත වූ කුඩා ආරණ්‍යයක වැඩ සිටියා. මෙම කුඩා ආරණ්‍යයේ මාස 15 කින් කිසිවෙක් වැඩ ඉදල නැහැ. පාළුවට ගිහින් තිබුණ ස්ථානයක්. ඉහත කාලය තුළ එක ස්වාමීන්වහන්සේ නමක් සති දෙකක් පමණ වැඩ ඉඳලා ඉවත්ව ගිහින් තිබෙනවා. මීට මාස පහළවකට පෙරාතුව මෙහි තනිවම වැඩසිටි වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ අපවත්වීම නිසයි මේ ආරණ්‍යය පාළුවට ගිහින් තිබෙන්නේ. අපවත්වීමට පෙර උන්වහන්සේ වසර දහනවයක් හුදකලාව මෙහි වැඩ ඉදලා තිබෙනවා, නේවාසික කැපකරුවෙක්වත් නොමැතිව. කැලයේ සැබෑම ආරණ්‍යය ලක්ෂණ සහිත හුදකලාව රජයන, කූඩැල්ලන් ගහන පරිසරයක මෙම ආරණ්‍යය පිහිටියත් එහි දීර්ඝ කාලයක් වැඩසිටිය ස්වාමීන් වහන්සේ ගුරුකම්, යන්ත්‍ර මන්ත්‍ර, තෙල් බෙහෙත් මේවා තමයි කරලා තිබෙන්නේ. භික්ෂුවකට අගෞරව කරනවා නොවේ. යම් පිංවතෙක් එහෙම හිතනවානම් මට සමාව අවසර ලැබෙන්න ඕනේ. මෙවැනි ඔබට පාඩමකට ගත හැකි සිද්ධියක් ඔබ හමුවේ තබන්නේ ඔබගේ යහපත පිණිසයි. ජීවතුන් අතර නොමැති කිසිවෙකුට අගෞරව කිරීමට නොවේ. මෙවැනි සිදුවීම් වසන් කළහොත් එය ජීවත්ව සිටින අයට කරන අගෞරවයක් වනවා ඇත.
මෙම භික්ෂුවට මාසික සලාක දානය ගමේ දායක පවුල් උදේම ආරණ්‍යයට ගෙන ගිහින් පුජා කරලා තිබෙනවා. බොහෝම දුරබැහැරව සිට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සදහා ජනතාව මෙහි පැමිණ තිබෙනවා. වසර දහනවයක් තුළ මේ භික්ෂුව මෙහි තනිවම වැඩ ඉදලා තිබෙන්නේ, කිසිවෙකුට මෙම භික්ෂුව සමග දීර්ඝව කටයුතු කිරීමට නොහැකි කේන්ති යන ස්වභාවයක් තිබෙන නිසා. මේ හේතුවෙන් ශිෂ්‍යයෙක් කැපකරුවෙක් ඉදලා නැහැ. මෙහෙම කටයුතු කරලා තමයි අපවත්වෙලා තිබෙන්නේ. අපවත් වුණාට පස්සේ දායක පිරිස කුඩා කුටියේ අල්මාරිය විවෘත කරලා තිබෙනවා. එහි පාවිච්චි නොකළ සිවුරු 46 ක් තිබිලා තිබෙනවා. කල් ඉකුත් වෙච්ච බිස්කට් පැකට්, තේ කොළ පැකට් තිබිල තිබෙනවා. ඉහත සියල්ලෙන් කියවෙන්නේ ක්‍රෝධය, වෛරය සහිත ලෝභී චරිතයක ස්වභාවය තිබුණ බවයි. දැන් ඉතින් ඔය කතාව ඔතනින් ඉවරයි. මේ කථාවේ දෙවැනි කොටස පටන් ගන්නේ එම භික්ෂුව අපවත්වී අවුරුද්දයි මාස තුනකට පසුව පාළුවට ගිය ආරණ්‍යයට භික්ෂුව වැඩම කළාට පසුවයි.
භික්ෂුව මේ ආරණ්‍යයට පැමිණ තුන්වන දිනයේදී රාත්‍රී 10.00 ට පමණ සමාධියෙන් පසුවෙනවිට භික්ෂුව ඉදිරියේ බියකරු උල් නිකටක් සහිත විරූපී සිහින් දිග උල් දත් සහිත ප්‍රේතයෙක් දිස්විය. මේ ප්‍රේතයා වියරුවෙන් දැඩි වේගයෙන් දත්මිටිකමින් රෞද්රලෙස බලමින් භික්ෂුව ඉදිරියේ සිටියේය. දත් මිටි කන ප්‍රේතයා දුටු විට “දරුවෝ ඔබ කරලා තිබෙන පව මදිවටද තවත් පව් කරගහන්නේ. යන්න පුතේ යන්න” කියලා භික්ෂුව ආමන්ත්‍රණය කළා. ප්‍රේතයා නොපෙනී ගියා. විනාඩි තුනක් පමණ ප්‍රේතයා දත්මිටි කමින් සිටියා. මෙතනින් මේ සිද්ධිය ඉවරයි. තවත් සතියකින් පමණ රාත්‍රියක මේ ප්‍රේතයා නැවත දර්ශනය වුණා. හැබැයි පෙර දැක්මේදී තිබු රෞද්‍ර දත්මිටි කෑම, බියකරු පෙනුම නැතිව උල් දත් සහිත මුඛය අයාගෙන භික්ෂුව දෙස බලාසිට විනාඩි දෙකකින් පමණ නොපෙනී ගියා. පෙර සතියේ දැක්කට වඩා ප්‍රේතයා සන්සුන් වී ඇති ස්වභාවයක් දුටුවා. මේ සිද්ධියත් මෙතනින් ඉවරයි.
තවත් දින කිහිපයක් ගතවන විට රාත්‍රීයේ භික්ෂුව සමාධියෙන් පසුවන විට භික්ෂුව ඉදිරියට අඩි හයක් පමණ උස හැඩි දැඩි කළුම කළු ප්‍රේතයෙක් පෙනී සිටියා. මේ ප්‍රේතයා කර රවුම් දනහිස දක්වා දිග පැරණි ඉස්කෝල මහත්වරු අඳින ආර්යසිංහල ඇඳුමක් සුදු සරමක් සමග පැළඳගෙන සිටියේ. මොහු ප්රතාපවත් ප්‍රේතයෙක්. ස්වරූපයෙන් හරියට උස මහත, කළු පැරණි ගුරුමහත්මයෙක් වගේමයි. ඇස්දෙක හරි ලොකුයි. ඇසිපිය ගහන්නේ නැහැ. මොහු ඇස් ලොකු කරමින් උරහිස් දෙක මාරුවෙන් මාරුවට උස් පහත් කරමින් බෙල්ල දෙපැත්තට සොලවමින් නිතර ගැස්සෙන ස්වභාවයෙන් භික්ෂුව දෙස බලා සිටියා. මේ ප්‍රේතයාගේ ස්වභාවය අනුව මන්ද බුද්ධික ප්‍රේතයෙක්. ප්‍රේතයාගේ සෑම ඉරියව්වකම මන්දබුද්ධික ස්වභාවය තිබුණා. අසරණ බැගෑපත් ස්වභාවයක් දැක්වුවා. භික්ෂුව මේ ප්‍රේතයාට පිං දුන්නා. විනාඩි තුනක් පමණ දර්ශනය වී ප්‍රේතයා නොපෙනී ගියා. මේ සිද්ධියත් මෙතනින් ඉවරවුණා.
දැන් භික්ෂුවට ප්‍රශ්නයක්, අවස්ථා තුනකදී දර්ශනය වූ මේ ප්‍රේතයන් දෙදෙනා කවුද කියන එක. මේ වනවිට භික්ෂුව දැනසිටියේ නැහැ, වසර 19ක් මෙහි වැඩ සිට අපවත්වූ භික්ෂුව පිළිබඳව. එම භික්ෂුව කොහොම කෙනෙක්ද? ඇවතුම් පැවතුම් කෙසේද? කියලා. මොකද මේ ගමේ අය මේ ආරණ්‍යයට පැමිණියේ නැහැ. මිනිසුන් තුළ ද අමනුෂ්‍ය බියක් තිබෙන බව භික්ෂුවට දැනුණා. මෙහෙම වැඩසිටිනකොට දිනක් ගමේ තරුණයන් දෙදෙනෙක් භික්ෂුව ගමට පිණ්ඩපාතය වැඩීමට පෙර හිමිදිරියේම දානය රැගෙන කුටියට පැමිණියා. එම තරුණයන් දෙදෙනා ප්‍රකාශ කළ, මෙම ආරණ්‍යයේ වසර 19ක් වැඩසිට භික්ෂුවගේ තොරතුරු තමයි මේ කතාවේ මුලින්ම සටහන් කළේ. වසර 19 ක්, කේන්ති යන ස්වභාවයෙන් ගුරුකම්, වෙදකම් කළ, ලෝභී ස්වභාවයක් තිබූ, අපවත්වූ භික්ෂුවගේ තොරතුරු එම තරුණයන් දෙදෙනා සඳහන් කරනවිට, භික්ෂුව නිසැකයෙන්ම සිතුවා, ඉහත සටහන් කළ පරිදි දත්මිටි කමින්, රෞද්‍ර ලෙස දර්ශනය වූ ප්‍රේතයා වෙන කව්රුවත් නොව, ක්‍රෝධය වැඩූ, මෙම ස්ථානය තණ්හාවෙන් උපාදානය කරගත් ඒ අපවත්වූ භික්ෂුවම බව.
ගිහි පිංවතුන්ගේ උපස්ථාන ලබමින්, සිව්පසය ලබමින්, ගුරුකම් – වෙදකම් කරමින්, නිරතුරුවම කේන්තියන ස්වභාවයේ අයෙක් වූ මේ භික්ෂුව මරණින් මතු, එහිම නැවත ප්‍රේතයෙක් ලෙස උපත ලබා ඇතැයි භික්ෂුව අනුමාන කළා. මොහු වැනි වියරු ස්වභාවයේ ප්‍රේතයෙක් මෙහි සිටින නිසාමයි, මේ ස්ථානය අවුරුද්දයි මාස 3 ක් පාළුවට ගොස් තිබුණේ. මෙය සටහන් තබන භික්ෂුව ඉදිරියට ද, මේ ප්‍රේතයා රෞද්‍ර ස්වභාවයෙන් පැමිණියේ භික්ෂුව බියගැන්වීමට විය හැකිය. එය ප්‍රේතයාගේ උපාදානයේ බලවත්බවයි. අසරණකමයි.
තමා වසර 19ක් ‘මගේ’ කොටගෙන, ගහකොළ වවාගෙන, ඔසු උයන් තනාගෙන, තණ්හාවෙන් ද ක්‍රෝධය සහිතව ද ගත කළ ජීවිතය නිසා සහ ඒ සියල්ල කෙරෙහි පැවැති ජන්දරාගය නිසා ඉහත වියරු ප්‍රේත උපත සිදුවූවා විය හැකිය.
දෙවැනිව භික්ෂුව ඉදිරියට පැමිණි රෞද්‍ර භාවය අඩු දමනය වු ප්‍රේතයා මේ වියරු ස්වභාවයෙන් මිදුනේ වියරු ස්වභාවයෙන් යුත් ප්‍රථම දර්ශනයේ දුටු ප්‍රේතයාට සහ අපවත් වු භික්ෂුවට පිං නිරතුරුවම අනුමෝදන් කළ නිසා විය යුතුය. ඉහත වියරු ප්‍රේතයා දර්ශනය වුවාට පසුව භික්ෂුව එම ප්‍රේතයා කෙරෙහි අනුකම්පාවෙන් තම දුක්ත ප්‍රේත ආත්මයෙන් යම් සහනයක් ලබාගැනීම සදහා, ප්‍රේත ජීවිතය ඉන් ඉහළ තැනකට ගෙන ඒම සදහා නිරතුරුවම පිං අනුමෝදන් කළේය. මෙම ආරණ්‍යය පිහිටි ගම්මානය තේ දළු නෙළන, වගා කරන ජනතාව බහුල ගමකි. කවදාකවත් දානයක් දීමට අපහසු පිරිස් මෙහි සිටියහ. මෙවැනි පිණ්ඩපාත ගමනකදී භික්ෂුව තුළ ඇතිවන මෛත්‍රීය ශක්තිය අති ප්රබලය. ගිහි පිංවතුන්ගේද සද්ධාව ද අධිකය. මේ දෙකම එකතුවීමෙන් රැස්වෙන පින කුටියට ගිය විගස අපවත්වු භික්ෂුව සහ වියරු ප්‍රේතයා අරමුණු කරගෙන අනුමෝදන් කළේය. අවුරුද්දයි මාස තුනක් පාළුවට ගිය මෙම ආරණ්‍යයට අමනුෂ්‍ය පීඩාවක් ඇතොත් එම අමනුෂ්‍යයින් සතුටු කර සංඝයාගේ පරිහරණයට සුදුසු ස්ථානයක් බවට පත්වීමට භික්ෂුව මෙසේ ක්‍රියා කළේය. ‘භික්ෂුව වඩන සැබෑ මධ්‍යම ප්‍රතිපදාව දෙස බලන්න. භික්ෂුවගේ අත්හැරීමේ ශක්තිය දෙස බලන්න. ඒවා දකිමින් ඔබද ඔය නපුරු රෞද්‍ර ගති අත්හරින්න. මේ පිං දැක සතුටු වෙන්න’ මේ ප්‍රේතයා මනුෂ්‍ය ජීවිතයේදී පිං ගැන කුසල් ගැන දන්න අයෙක්. නමුත් ඒවා යටපත් වෙලා ක්‍රෝධය, වෛරය වගේම ස්ථානය පිළිබද තණ්හාව නිසාම. ගුරුකම් කිරීම නිසා ඇතිවන පළිගැනීමේ ස්වභාවය නිසාම මේ දරුණු ප්‍රේත තත්ත්වයට වැටෙන්න ඇත්තේ. නමුත් දිගටම භික්ෂුව එහි නේවාසිකව වැඩසිටිමින් භික්ෂුවගේ සරල මෛත්‍රී සහගත ඇවතුම් පැවතුම් දකින විට, පිං දෙන විට ප්‍රේතයාට තමා අතීතයේ වඩපු යහපත් දේවල් මතු වෙන්න ඇති. ඒ නිසාමයි ප්‍රේතයා අදියර දෙකකදී උසස් භාවයන් ලබාගත්තේ.
දැන් අපි බලමු තුන්වැනිව සුදු ආරියසිංහල ඇඳුමක් ඇඳපු, කලු, උස මහත ප්‍රේතයා කවුද කියලා අනුමාන වශයෙන්. මුලින්ම දර්ශනයවු රෞද්‍ර ප්‍රේතයා දෙවැනි වර බොහෝම දමනය වු ස්වභාවයෙන් දර්ශනය වුණා. භික්ෂුව නැවත නැවත පිං දීම නිසා ප්‍රේත ස්වභාවය අදියරෙන් අදියර උසස්වී පිනෙන් ඉහළ ප්‍රේතයෙක් ලෙස සශ්‍රීකභාවය ලැබුවා. මේ සශ්‍රීක බව ලැබුව ප්‍රේතයා තමයි තුන් වන වරට දර්ශනය වු ආරියසිංහල ඇඳුම දමාගත් දැන් අපි බලමු තුන් වැනිව සුදු ආරිය සිංහල ඇඳුමක් ඇඳපු, කළු, උස මහත ප්‍රේතයා කවුද කියලා, අනුමාන වශයෙන්. මුලින්ම දර්ශනය වු රෞද්‍ර ප්‍රේතයා දෙවන වර බොහෝම දමනය වු ස්වභාවයෙන් දර්ශනය වුණා. භික්ෂුව නැවත නැවත පිංදීම නිසා ප්‍රේත ස්වභාවය අදියරෙන් අදියර උසස් වී පිනෙන් ඉහළ ප්‍රේතයෙක් ලෙස සශ්‍රීකභාවය ලැබුවා. මේ සශ්‍රික බව ලැබුව ප්‍රේතයා තමයි තුන්වන වරට දර්ශනය වු ආරිය සිංහල අඳුම දමාගත් මන්දබුද්ධික ප්‍රේතයා. මේ තුන් ආකාරයෙන් වරින් වර දර්ශනය වූයේ අන් කවුරුත් නොව වසර දහනවයක් ආරණ්‍යයේ සිට අපවත් වු භික්ෂුව බවට අනුමාන කරනවා.
ඉහත සිද්ධිය හරහා මතුවන මේ කථාව ඔබට ගොඩාක් වටිනවා. ඇයි මේ ප්‍රේතයා පිංගැනීමෙන් පසුවත් මන්දබුද්ධික ප්‍රේතයෙක් වුණේ කියලා. ඇයි මේ ප්‍රේතයා තද කළු පැහැති ශරීරයක් ලැබුවේ කියලා. අපවත් වුණ භික්ෂුව නිතර ගුරුකම් කිරීම නිසාත් ස්වභාවයෙන් පිහිටි කේන්ති යන ස්වභාවය නිසාත් ඇති වුණ වෛරී බව, ක්‍රෝධය නිසාමයි. එහි අකුසල් විපාක නිසයි මේ කළු පැහැය ලැබෙන්නේ. මේ වඩපු ක්‍රෝධය නිසාමයි මුල් අවස්ථාවේදී කිසිදු බියකින්, චකිතයකින් තොරව භික්ෂුව ඉදිරියට දත්මිටි කමින් වියරුවෙන් පැමිණෙන්න ශක්තිය ලැබුණේ.
ප්‍රේතයා මන්දබුද්ධික ප්‍රේතයෙක් වුණේ ඇයි? මේ කථාවේ ඔබට වැදගත්ම පාඩම ඇත්තේ මෙතනය. මේ ටික කියන්නයි මේ සටහන ඔබට ලිව්වේ. මියගිය භික්ෂුව වසර දහනවයක් පුරාවට කළේ ගුරුකම්, යන්ත්‍ර මන්ත්‍ර, වෙදකම් වැනි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තිරශ්වීන (තිරිසන්) ධර්මයන් ලෙස ප්‍රතික්ෂේප කළ දේවල්මයි. මොහු මේවා කළේ උපසම්ප්‍රදා භික්ෂුවක් ලෙස දායකයන් සද්ධාවෙන් දෙන සිව්පසය ලබමින්. මෙම අකුසල කර්මයේ විපාකය හැටියටයි මන්දබුද්ධික ප්‍රේත ස්වභාවය ලබන්නේ.
සමාජය දෙස හොඳින් දෑස්හැර බලන්න. මොනතරම් යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් ගිහි පැවිදි දෙපාර්ශ්වයම කරනවද? මිනිසුන් අතරට මේ බුදුරජාණන් වහන්සේ විසින් එපා කියන ලද තිරශ්වීන ධර්මයන් පතුරවා හරිනවාද? ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යමක් එපා යයි දේශනා කළානම් ඒ දේශනා කළේ හේතුවක් ඇතිවය. එයින් ඇතිවන ඵලය ගැන අවබෝධයෙන්ම දත් හෙයිනි. ප්‍රඥාවේ ආලෝකය වසා අවිද්‍යාවේ අඳුරෙන් ජනතාව අන්ධ කිරීම හේතුවෙන් මර්ණින් මතු ලැබෙන ඵලය නම් මනුෂ්‍ය, ප්‍රේත, තිරිසන් ජීවිතයක් ලැබුවත් මන්දබුද්ධිකව ඉපදීමයි.
ඉහත මන්දබුද්ධික ප්‍රේතයාද තම ප්‍රේත ජීවිතය උසස් තත්ත්වයට පත්වුවද මන්දබුද්ධික ස්වභාවයක් ලැබුවේ අතීතයේ කළ ගුරුකම් යන්ත්‍ර මන්ත්රවල කර්ම විපාකයක් නිසා වීමට හොඳටම ඉඩකඩ ඇත. ප්රශ්නය ඇත්තේ මෙතැනය. මොහු තමා විසින් කළ අකුසල කර්මයන්ට දුක් විඳීම සාධාරණය. මොහු නිසා තව කීදාහක් මෙම තිරශ්වීන ධර්මයන් විශ්වාස කර ඒවා සරණගොස් ඇතිද? තමා මරණින් මතු මන්දබුද්ධික ජීවිතයක් ලබනවා සේම අනුනටද එම ස්වභාවය හිමිකර දීම අවාසනාවකි. වර්තමාන සමාජයේ වෛද්‍ය විද්‍යාව කොතෙක් දියුණු වුවද මන්දබුද්ධික දරුඋපත් වැඩිය. මෙවැනි දරුවන් නිසා දෙමාපියන් විඳින වේදනාවන්, සමාජ පීඩනය අති විශාලය.
ඉහත සටහන කියවන ඔබට එය විශ්වාස නම් ඔබ කෙරෙහි අනුන් කෙරෙහි අනුකම්පාවෙන් මෙම තිරශ්වීන ධර්මයන්ගෙන් ඈත්වෙන්න. ඒවා විශ්වාස නොකරන්න. එකම විශ්වාසය, සරණ, තෙරුවන් කෙරෙහි ඇතිකරගන්න. ඉන් තොර විශ්වාසයක් ඇතැයි නොසිතන්න. අඳුනක, අංජනමක, ගුරුකමක, කොඩිවිනයක, ජීවංකළ තෙලක සරණයැම යනු මතුභවයක ඔබ කැමැත්තෙන්ම මන්දබුද්ධික ජීවිතයක් ලැබීම බව හොඳින් වටහාගන්න. ඔබේම කැමැත්තෙන් ඔබ මන්ද බුද්ධිකයෙක් නොවීමට ඉහත තිරශ්වීන ධර්මයන්ට ඔබම වැටබඳින්න. ඔබ ප්‍රශ්න පීඩා දුක් කම්කටොලු වලින් දැවේනම් තෙරුවන් කෙරෙහි විශ්වාසය තබමින් නිරතුරුවම ශීලයක පිහිටා එය ආරක්ෂා කරමින් දන්දෙමින් ලෝකයට මෛත්‍රිය වඩන්න. ඔබේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු වැඩිවන්න වැඩිවන්න ඉහත ධර්ම ප්‍රතිප්‍රදාවේ වැඩි වැඩියෙන් යෙදෙන්න. අකුසලය පැරදවිය හැක්කේ කුසලයෙන්ම බව සිතන්න. කුසල්ගොඩ වැඩිකරගෙන අකුසල් බෙලහීන කරගන්න. තමා දුක්විඳින්නේ තමාම සංසාරයේ කරන ලද ‘හපන්කම්’ නිසා බව සිතන්න. ප්‍රතිඵලය දුක නම් දුකට අයිති දෙය නොකරන්න.
සාස්තර කියනු ලැබේ, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, අංජනම්, කොඩිවින, වශීගුරුකම් බෝඩ්ගසාගෙන ඔබ එනතුරු ආදායම සොයාගැනීමට බලා සිටින ”මන්දබුද්ධිකයන් නිපදවන්නන්ට” ඔබ නොරැවටෙන්න. යමෙක් මේ වන විටත් තමාගේ පවුලේ අයෙක් මන්දබුද්ධික ස්වභාවයෙන් පෙළේ නම් ඒ අයගේ සුවය පතා මේ තිරශ්වීන ධර්මයන් පසුපස නොයන්න. තමාට මෙවැනි මන්දබුද්ධික භාවයක් ලැබුණේ පෙර භවවල මෙවැනි තිරශ්වීන ධර්මයන් පසුපස යැම නිසා බව සිතන්න. සුදුසුකම් ලත් වෛද්‍ය ප්‍රතිකාර සහ පිංදහම්වලම යෙදෙන්න. මෙසේ යෙදෙමින් තමා අතින් අතීත භවයන්හිදී කරන ලද ඉහත වැරදි ක්‍රියාවන්ට තමාම තමාගෙන් සමාව ගන්න. ඒවා කෙරෙහි ඇලීමට ගැටීමට නොයන්න. ඒවායේ ස්වභාවයෙන් ඒවාට ලෝකයේ පැවතීමට ඉඩහරින්න. ඔබ ඔබේ ස්වභාවයෙන් ජීවත් වෙන්න. ප්‍රඥාවේ ආලෝකය වාසා දමන අවිද්‍ය වේ සිතුවිලිවලින් මිදෙන්න. ප්‍රඥාවේ ආලෝකය ලැබෙන සම්බුදු වදන්ම ජීවිතයට ලංකරගන්න. ලෝකයට නොඇලී නොගැටී ලෝකයෙන් එතෙරවන්න. තණ්හාව, වෛරය, ක්‍රෝධය, ඔබ තුළින් වැඩෙන්නේ නම් මීළඟට ඔබ ලබන උපත ද තණ්හාවට, ක්‍රෝධයට, වෛරයටම අයිති උපතක් බව හොඳින් මෙනෙහි කරන්න. ඉහත රෞද්‍ර ප්‍රේතයා ඔබ දේව දුතයෙක් කරගන්න දක්ෂ වෙන්න.