පින්වත, තවත් සිංහල අලුත් අවුරුදු මංගල්‍යයක් උදා වෙලා. පුණ්‍යවන්ත ජීවිතවලට, පුණ්‍යවන්ත සංස්කෘතික සැමරීමක්. පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වී යන නිසා ම, දුර්ලභ ජාතික වටිනාකම් අපි ජීවිත පරිත්‍යාගයෙන් ආරක්‍ෂා කොට තබන්න ඕනේ. පින්වත, අපි දුර්ලභ මනුෂ්‍ය අර්ථයන් ආරක්‍ෂා කොට ගත් පරපුරේ අන්තිමයා වෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපි ජාති ණයකාරයන් බවට පත් වෙනවා. පින්වත, පුණ්‍ය කාලයෙන් ආරම්භ වී රැකීරක්‍ෂා සඳහා සුභ මොහොතින් පිටත් වීමෙන් අවසන් වන, මේ උතුම් සිංහල අලුත් අවුරුදු මංගල්‍යය, ප්‍රමාදී ලෝකය තුළ, අපිට අප්‍රමාදීභාවයේ පාඩම කියලා දෙන කල්‍යාණ මිත්‍රයෙක් වෙනවා. පින්වත, ගහකොළ පරිසරය සමග දේවත්වයෙන් බැඳුණු අතීත සිංහල ජාතිය, මිහිඳු මහෝත්තමයන් වහන්සේගේ සද්ධර්මයේ ලෙයින් උතුම් තෙරුවන් සරණ පිහිටි මොහොතේ, සිංහල බෞද්ධ ජාතිය බවට පත් වුණා. පින්වත, සිංහල බෞද්ධයා යැයි කියන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නා කියන අර්ථයයි. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ජීවන දහම බවට පත් කොට ගත් ජාතියයි. එවන් පුණ්‍යවන්ත ජාතියක් අප්‍රමාදීභාවයේ අඬුව අතේ තියාගෙන ප්‍රමාදීභාවයෙන් අත පුච්චා ගන්න ජාතියක් බවට වර්තමානයේ පත් වී තිබෙනවා. පින්වත, පුණ්‍යවන්ත ජාතියක ලේ උරුමය දරාගෙන උපන් පින්වත් ඔබ වැරදි නැහැ. ඔබේ අවිද්‍යාවටයි වරදේ ඇඟිල්ල ඉලක්ක වෙන්නේ. පින්වත, නොසැලී පුරුෂ වීර්යයෙන් සැබෑ සිංහල බෞද්ධකම උදෙසා නැගී සිටින්න. ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ධර්ම විනය ඔබ ඉදිරියෙන් ම, ඔබ වෙනුවෙන් ම මහා කරුණාවෙන් වැඩ සිටිනවා. ලෝකය උඩු යටිකුරු වුවත්, ඔබ බිය වෙන්න එපා. බිය අයිති ඔබට නොවේ, බිය අයිති අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස් වන විඳීමටයි.
පින්වත, අවිද්‍යාවෙන් තොර ලෝකයක් කොයින් ද? පින්වත, තෘෂ්ණාවෙන් උපදින ඇලීම් සහ ගැටීම්වලින් තොර ලෝකයක් කොයින් ද? පින්වත, ලෝකය සක්සුදක් සේ උපන් ඇඳුමෙන් ම අපි ඉදිරියේ තිබෙනවා. පින්වත, ලෝකය, ලෝකයේ ස්වභාවයෙන් ම තිබෙන්නට හැර, පින්වත් ඔබ සද්ධර්මයෙන් නිවැරදි වෙන්න. ලෝකයේ ප්‍රධානම ථේරවාදී බෞද්ධ රටවල් දෙකක් බලවත් භූමිකම්පා දෙකකින් විපතට පත් වූ මොහොතකයි, භික්ෂුව මෙම සටහන තබන්නේ. පින්වත, අකුසලයට අදාළ ලෝක ධර්මයන් ඉදිරියේ කලබල වෙන්න එපා. ලෞකික සැපයට එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අප්‍රමාදී වීමයි අපි කළ යුත්තේ. භික්ෂුව මීට පෙර මෙම සටහන් තුළින් කියා තිබෙනවා, අන්‍ය ආගමික රටවලට වඩා, බෞද්ධ රටවල ජනතාව තුළින් අකුසල් ඇති වීමේ වේගය වැඩිය කියලා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, මෛත්‍රිය, සීලය, සමාධිය, ප්‍රඥාව යම් පමණකට හෝ අර්ථවත්ව හැසිරෙන රටවල පින්වත් ජනතාව, කර්මය කර්මඵල විශ්වාසය ගැන මනා සිහිනුවණින් පසු වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, තිරිසන් සතෙකුට දානමය චේතනාවෙන් දෙන ආහාර වේලකින් යහපත් ආනිශංසයෝ සියයක් ලැබෙනවා කියලා. පින්වත, ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී දෙදෙනාට දානමය චේතනාවෙන් ලබා දෙන ආහාර වේලකින් ලැබෙන යහපත් ආනිශංසයෝ ලක්‍ෂයකට වැඩිය කියලා. පින්වත, යහපත් ආනිශංස ධර්මයෝ වගේ ම, අපේ අශ්‍රද්ධාව තුළින් මතු කොට ගන්නා අයහපත් ආනිශංස ධර්මයෝත් ගොඩාක් ප්‍රබලයි. පින්වත, අපි තුළ කර්මය කර්මඵල විශ්වාසය ගිලිහුණොත්, පින් කන්දක් තිබුණත්, අකුසල් මහා මේරුවක් මැදයි, අපි ජීවත් වෙන්නේ. පින්වත, අකුසල් මහා මේරුවක් මැද, පින් කන්දක් කුමක් කරන්න ද? පින්වත, ප්‍රමාදීභාවය දුකට මුලක්, විනාශයකට පෙර අප්‍රමාදී වෙන්න. එම අප්‍රමාදී සිතෙන්, සියලු සත්ත්වයෝ ‘සුවපත් වේවා!’ යැයි, මොහොතක් මෙත් වඩන්න. එම මෙත් සිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දකිමින්, ධම්මානුපස්සනාව මතු කොට ගන්න. පින්වත, සියලු ප්‍රණීත සහ අප්‍රණීත සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. මේ උතුම් විදර්ශනා සිතෙන්, මීට සති දෙකකට පෙර බුරුමයේ, තායිලන්තයේ භූමිකම්පාවෙන් මිය ගිය සහෝදර ජනතාවගේ පරලොව ජීවිත ‘සුවපත් වේවා!’ යැයි ප්‍රාර්ථනා කරන්න. පින්වත, බුරුමය, තායිලන්තය මුල් කොට ගෙන, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ස්වභාව ධර්මය, අපිට ප්‍රමාදීභාවයේ පාඩමක් කියලා දුන්නා, කරුණාකර එම පාඩම අකුරක් නෑර ම තේරුම් ගන්න.
පින්වත, අපිට පාලනය කරන්න බැරි ගොඩාක් හේතුඵල ධර්මයන් සමාජය තුළ සිද්ධ වෙනවා. පින්වත, නිරාගමිකභාවය බෞද්ධ වෙස් මුහුණු බැඳ ගත්ත සමාජයකයි, අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. පින්වත, ජාතික මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක, පක්‍ෂ සහ විපක්‍ෂ ජනතාව තුළ ලෝභ, ද්වේශ, මෝහයෝ බහුල අවස්ථාවක, උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. පින්වත, ලෝකය සංස්කාරයන්ට අදාළවයි හැසිරෙන්නේ. වැරදි සහ නිවැරදිභාවයන් ඉදිරියේ අපි සිහිනුවණින් කටයුතු කරන්න ඕනේ. ලෝකයට විපාක දෙන අකුසල් විපාකයන්, අපි යළි යළිත් නිවැරදිව කියවා බලන්න ඕනේ. පින්වත, දුකට බර වූ ලෝකය තුළ, සති සම්බොජ්ඣංගයේ පිහිටෙන් තොරව, කෙසේ නම් ලෞකික සැපය සහ ලෝකෝත්තර සැපයක් මතු කොට ගන්න ද? අවිද්‍යාව මුල් කොට ගෙන තෘෂ්ණාවෙන් උපදින ඇලීම් සහ ගැටීම්, ධම්ම විචය බොජ්ඣංගයෙන් විනිවිද දැක්කොත් පමණක් මයි, වීර්යය බොජ්ඣංගය අපි තුළින් උපදින්නේ. පින්වත, වීර්යය බොජ්ඣංගයෙන් තොරව ඇලෙන සහ ගැටෙන සිතුවිලි විදර්ශනාවෙන් මණ්ඩි රහිතව පෙරා දෙන, චිත්තානුපස්සනාව කෙසේ නම් උපදින්න ද? පින්වත, උතුම් චිත්තානුපස්සනාවෙන් ප්‍රමාදී පින්වතා, තෘෂ්ණාව පුහුණු කරන්නේ අවිද්‍යාවේ පැවැත්මට මයි. එවිට ලෝකයේ ධර්මානුකූල ඉතිරිය බවට පත් වෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ, ප්‍රියයන්ගෙන් වෙන් වීම, අප්‍රියයන් හා එක් වීම සහ පංච උපාදානස්කන්ධ දුක පමණක් මයි. පින්වත, ලෞකික සැප අයිති කොට ගැනීමට ඇති අධිතෘෂ්ණාව හේතුවෙන්, බාහිර සහ ආධ්‍යාත්මික සතර මහා ධාතුවට අපි කරන විකෘතිය වර්තමානයේ ලෝකයට පල නොකියා පලා බෙදනවා.
පින්වත, ආධ්‍යාත්මික සතර මහා ධාතුව යැයි කියන්නේ පින්වත් ඔබගේ ඇස, කන, නාසය, දිව, ශරීරයට. ඒ කියන්නේ ඔබේ රූපයට. පින්වත් ඔබ සිහිනුවණින් බලන්න, වස විෂ සහිත රූපලාවණ්‍යයෙන්, වස විෂ සහිත ආහාරයන්ගෙන්, නොමනා ඇඳුම් පැලඳුම්වලින්, ලෝභ, ද්වේශ, මෝහ අධික ඇවතුම් පැවතුම්වලින්, විෂ මත් වතුර, මත් ද්‍රව්‍යවලින් මනුෂ්‍යයා මොන තරම් විනාශයක් තම ආධ්‍යාත්මික සතර මහා ධාතුවට සිදු කොට ගන්නවා ද? පින්වත, කර්මය කර්මඵල විශ්වාසය නොදත් ව්‍යාපාරික ලෝකය තමන්ගේ සහ අනුනගේ ආධ්‍යාත්මික සතර මහා ධාතුවේ විකෘතිභාවය උදෙසා මොන තරම් අයෝමය උපකාරක ධර්මයන් සකස් කොට දෙනවා ද? මේ උත්සව සමයේ පාවිච්චි වෙන මත් වතුර වීදුරුවකින්, ඔබේ ම ආධ්‍යාත්මික සතර මහා ධාතුව ඔබ විකෘතියක් බවට පත් කොට ගන්නවා. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය ගැන නොදත් අපේ රටේ පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලනයේ මිච්ඡා වාචාවන් සහ මිච්ඡා ක්‍රියාවන් නිසා ම, මනුෂ්‍යයා මොන තරම් නම් ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් ඇති කොට ගෙන, තම ආධ්‍යාත්මික සතර මහා ධාතුව විකෘතියක් කොට ගන්නවා ද? පින්වත, වෛරී සිතකට, ද්වේශ සිතකට, පළිගැනීමේ සිතකට පුළුවන්, තම ශරීරයේ රුධිරය හෙවත් ආපෝ ධාතුව රත් කරන්න. පින්වත, අපි අපේ ආධ්‍යාත්මික සතර මහා ධාතුවට කරන විකෘතීන් හේතුවෙන් ආධ්‍යාත්මික සතර මහා ධාතුව පෙරළා ප්‍රතික්‍රියා දක්වනවා. පින්වත, සතර මහා ධාතුව අපි ධාතු මනසිකාරයෙනුයි විනිවිද දැකිය යුත්තේ. එවිටයි ආධ්‍යාත්මික සහ බාහිර සතර මහා ධාතුව, කායානුපස්සනාවට ආහාරයක් වෙන්නේ; අවිද්‍යාවට සහ තෘෂ්ණාවට අභියෝගයක් වෙන්නේ.
පින්වත, ඔබ චතුරාර්ය සත්‍යය ධර්මයන්ට ගරු නොකර, ඔබේම ආධ්‍යාත්මික සතර මහා ධාතුව විකෘති කළොත්, ඔබේ ශරීරය පිළිකා, වකුගඩු රෝග, හෘදයාබාධ, අක්මාවේ රෝග, දියවැඩියාව, සමේ රෝග, මානසික රෝගවලින් ශරීරය පෙරළා ප්‍රතික්‍රියා දක්වනවා. පින්වත, ඔබ බාහිර සතර මහා ධාතුව හැටියට ගැනෙන පරිසරය, ස්වභාව ධර්මය විනාශ කළොත්, විකෘති කළොත්, බාහිර සතර මහා ධාතුව ප්‍රතික්‍රියා දක්වන්නේ භූමිකම්පා, සුනාමි, මහ වැසි, නියඟය, සුළි සුළං වැනි මහා විපත්වලින් මයි. පින්වත, අවිද්‍යාවේ අන්ධභාවය, විනාශයන් ඇස් පනාපිට දැක දැකත්, අපිව මෙහෙය වන්නේ, ඇලීම් සහ ගැටීම් ඔඩුදුවන, සතර මහා ධාතුව විකෘති කරන දිශාවට මයි. පින්වත, යම් මනුෂ්‍ය ජීවිතයක රුධිර ගමනේ වේගවත්භාවයක් හේතුවෙන් සකස් වන හෘදයාබාධයත්, මහ පොළොවෙන් මතු වෙන භූමිකම්පාවත්, ආධ්‍යාත්මික සහ බාහිර සතර මහා ධාතුවේ කිපීමක් යැයි, අපි අවබෝධ ඥානයෙන් ම දකින දවසයි, අපේ ජීවිතවලට උදා වෙන, විමුක්තියේ අලුත් අවුරුදු මංගල්‍යය වෙන්නේ. පින්වත, එදාට අපි විඳින්නේ සතුට, විනෝදය නොවේ; ආධ්‍යාත්මික සහ බාහිර රූපයන් හෙවත්, සතර මහා ධාතුව “ධාතු මනසිකාරය” තුළ විසිරුවා දකින උතුම් ධම්මානුපස්සනාවයි. පින්වත, උදා වුණ පුණ්‍ය මංගල්‍යය පංච නීවරණයන් නොව, සප්ත බොජ්ඣංගයන් උපදින විමුක්තියේ මංගල්‍යයකට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට එළන, සති සම්බොජ්ඣංගයේ පාවඩයක් කොට ගන්න.
පින්වත, දඩාවතේ යන අකුසයේ අකල් වැසි, තැන සහ නොතැන ඇද හැලෙන සංස්කාර ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. පින්වත, කිසිවෙකුටත් පුළුවන්කමක් නැහැ ඔබට සතුට දෙන්න. කිසිවෙකුට පුළුවන්කමක් නැහැ ඔබේ සතුට නැති කොට දමන්න. සතුට ඔබේම පිනෙන් උපදින, ඔබම විඳින අවිද්‍යාවේ ස්වයං නිෂ්පාදනයක්. පින්වත, ඔබට සතුට අහිමි නම් එහි වගඋත්තරකරු ඔබ මයි. පින්වත, ජීවමාන ශාස්තෘන් වහන්සේ වන උතුම් ධර්ම විනය ඔබට අවවාද කරනවා, උදා වුණ මේ පුණ්‍යවන්ත සිංහල අලුත් අවුරුද්දේ දී, දුකට යට නොවී, සතුටෙන් ලස්සනට ඉන්නය කියලා. පින්වත, සීලයෙන් පිරිසිදු වෙන්න, මෛත්‍රියෙන් ලස්සන වෙන්න, ශ්‍රද්ධාවෙන් ධනවත් වෙන්න. පින්වත, ප්‍රඥාවෙන් ඉහත සියලු ධර්මයෝ විනිවිද දකින්න. මෙය සටහන් තබන භික්ෂුව, අතේ සතේ නැති වුණත්, ඉහත ධර්මයෝ ජීවිතය තුළ පිරිලා තිබෙනවා. එම නිසා ම, භික්ෂුවට ඇතෙක් බරට අවුරුදු තිබෙනවා. භික්ෂුව අවුරුදු සමරන්නේ, බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිය දී ම ශාක්‍ය වංශය විනාශ වෙලා ගියා. මේ උතුම් සිංහල බෞද්ධ ජාතියත් බොහෝම වේගයෙන්, සිංහල බෞද්ධකමෙන් පිරිහිලා යනවා. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි අප්‍රමාදීභාවය මයි, භික්ෂුව සමරන සිංහල අලුත් අවුරුද්දේ එකම නැකැත් ධර්මය වන්නේ.
පින්වත, උදා වූ පුණ්‍යවන්ත සිංහල අලුත් අවුරුද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ බහා සමරන්න. එවිටයි ඔබ සිංහල බෞද්ධකමට දීර්ඝායුෂ දුන්නා වෙන්නේ.
පින්වත, පුණ්‍යවන්ත සිංහල අලුත් අවුරුදු උදාවේ දී, විදර්ශනාමය පුණ්‍ය සිතින්, අපි අපිට ආශීර්වාද කර ගනිමු. පින්වත, ධර්මයෝ, ධර්මයෝ මයි වඩවලා දෙන්නේ. පින්වත, පරාජිත සංස්කාර ලෝකයක, අපරාජිත දහමක්. පින්වත, උතුම් තෙරුවන් සරණින්, සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන්, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ, ස්වර්ණමාලී මහා සෑ සමිඳුන්ගේ, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන්, මේ උතුම් විදර්ශනාමය ධර්ම දානයමය කුසල් ශක්තියෙන්, උතුම් මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම ගෞරවනීය මහා සංඝ රත්නයටත්, රටවාසී සියලුම පින්වත් ජනතාවටත්, ‘දිවයින’ පුවත්පත් ආයතනයේ පින්වත් සභාපතිතුමන්, එම නෝනා මහත්මිය, දියණිය, දිවයින කතෘ මණ්ඩලයේ පින්වතුන්ලා සහ කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාටත් ලැබුවා වූ පුණ්‍යවන්ත සිංහල අලුත් අවුරුද්ද, නිදුක්, නීරෝගී, සුවපත්භාවය, දීර්ඝායුෂ, ධර්මයේ අර්ථයන් වැඩෙන, යහපත් පැතුම් ප්‍රාර්ථනා ඉටු වෙන සුභ ම සුභ සිංහල අලුත් අවුරුදු මංගල්‍යයක් වේවා! යැයි කියලා, විදර්ශනාමය මෙත් සිතින් ආශීර්වාද කරනවා. පින්වත, අපි අපිට ආශීර්වාද කර ගනිමු. පින්වත, පුණ්‍යවන්ත සිංහල අලුත් අවුරුද්දේ, නැකතට කැවුම්, කිරිබත් අනුභව කරන කොට, මහා සංඝ රත්නය වන අපිව අමතක කරන්න එපා. පින්වත් ඔබ දන්නවා ද මහා සංඝ රත්නය සිහිපත් කොට ගන්නේ කොහොම ද කියලා. පින්වත, ආහාර මේසයේ වාඩි වෙලා මොහොතක් දෑස් පියාගෙන, අපේ රටේ වැඩ සිටින විසි පන්දහසක් පමණ වන මහා සංඝ රත්නය සිහියට නගා ගන්න. එම සියලුම ස්වාමීන් වහන්සේලාව අට්ඨික සංඥාවක් කොට දකින්න. දැන් ඔබට ඇට සැකිලි විසි පන්දහසක් පමණ අරමුණු වෙන්න ඕනේ. ඒ සෑම ඇට සැකිල්ලක් ම කැඩිලා, බිඳිලා, විසිරිලා මහ පොළොවට පස් වෙන හැටි නුවණින් දකින්න. ඇට සැකිලිත්, මහ පොළොවේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් බව නුවණින් දකින්න. පින්වත, පුණ්‍යවන්ත මංගල්‍යයක් උදාවේ දී කැවුම්, කිරිබත් රස ඔබේ ජීවිතයට දෙනවා වගේ ම, ඔබේ ආධ්‍යාත්මයට, විදර්ශනා ප්‍රඥාවේ නික්ලේශී රසයන් ලබා දෙන්න. තෙරුවන් සරණයි! ඔබ සැමට ලස්සන සිංහල අලුත් අවුරුදු මංගල්‍යයක් වේවා!